AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

මකර විමන - 05 නිපුන කරුණාරත්නගේ අද්භූත ප‍්‍රබන්ධ නවකතාව

මොකක්ද 
ඔය කරන්න හදන්නේ...?
පාසල් කාලය තුළ දෙවරක්ම පාසලේ හොඳම කිමිඳුම් ශූරිය බවට පත්වූයේ මේරි බව සියල්ලෝටම අමතකව තිබුණි. ගැහෙන හදින් යුතුව ඔවුහු බලා සිටියහ. ජල තලය මතුපිට සෙලවීම ක්‍රමයෙන් වැඩි වූ අතර එකවරම මේරි මතුපිටට පැමිණියේ බ්‍රයන්ගේ කෙස් වැටියෙන් අල්ලාගෙනය.
එකවරම නීරෝ සහ පෝල් ඔවුන් ඔසවාගෙන සිටි කොටය මේරි හා බ්‍රයන් වෙතට දැමූ අතර ඔවුන් දෙදෙනා සතුටින් ඉපිලී ගොස් තිබුණි. කට කොනකට නගාගත් සිනාවක් සහිතව මිං සියෑන් මෙසේ කීවේය.
“මං කිව්වෙ ඔයාට පුළුවන් කියලා.....”
බ්‍රයන් සිටියේ කල්පනාවකින් නොවේ. මේරි ඔහුවද ඇදගෙන කොටය ඇති තැනට ගියාය. ඇයට ඔහුවද ඇදගෙන පිහිනීම දුෂ්කර වුවද ඇය දිගින් දිගටම පිහිනා ගොස් ලී කොටයේ එල්ලුනාය. අනතුරුව බ්‍රයන්ද අඩසිහියෙන් මෙන් ලී කොටයේ එල්ලුනේය.
එකවරම නීරෝ, පෝල් හා ජොනී මුළු වැරම යොදා වැල්පොට ඇද්දහ. ඉතා සවිශක්තියෙන් යුත් වැල්පොටක් බැවින් එය කැඩී ගියේ නැත. බ්‍රයන් හා මේරි කෙමෙන් කෙමෙන් ඉවුරට ඇදී ආ අතර ඈ හනිකට ඇවිදගෙන තම බෑගය, සපත්තු හා ජැකැට්ටුව ඇති තැනට ගියාය. බ්‍රයන් වෙරි වූ මිනිසෙකු සේ නැගිට වැනි වැනි ඉදිරියට ගියේය. එලෙස අඩි දෙකක් තුනක් ඉදිරියට ගිය ඔහු හතරගාතේ ඇද වැටුණේය.
ඉදිරියට දිවගිය පෝල් හා නීරෝ, බ්‍රයන් අසල දණින් වැටී ඔහුගේ පිටේ වූ බෑගය ගලවා ඉවතට දැමූහ. අනතුරුව ඔහු අනෙක් පසට හරවා ඔහුට කතා කළහ.
“බ්‍රයන්......, බ්‍රයන්......., මාව ඇහෙනවද...?” නීරෝ ඇසීය.
“නෑ..... එයාට ඔයාව ඇහෙන්නෙ නැහැ. එයාට සිහිය නෑ. ඔහොම්ම ඉන්න දෙන්න. තව ටිකකින් නැගිටියි....” මිං සියෑන් එතනට එමින් කීවේය. අනතුරුව ඔහු මේරි දෙසට හැරුනේය.
“කොහොමද ඔයාට.....?” මිං සියෑන් ඇසීය. නමුත් පිළිතුරු දුන්නේ ජොනීය.
“එයා සීතලේ ගැහෙනවා........” ජොනී කීවාය.
“අපි ගින්නක් ගහමු..., හතරවටෙන් කලුවර වැටීගෙන එන නිසා හොඳයි.....”
“හරි ඒක හොඳ අදහසක්. නීරෝ, පෝල් ඔය දෙන්නා ගිනි ගොඩක් ගහන්න. මං ගිහින් කන්න දෙයක් හොයන් එන්නම්...” මිං සියෑන් අඳුර දෙසට ගියේය.
“ජොනී මේරි එක්ක ගිහින් ඔය තෙත ඇඳුම් මාරුකර ගන්න උදව් වෙන්න.....”
“ගින්නක් ගහන්නෙ කොහොමද.....? ගිනිපෙට්ටියක් කෝ....?”’ පෝල් හඬනගා මිං සියෑන්ගෙන් විමසුවේය.
“පොඞ්ඩක් මොලේ පාවිච්චි කරන්න.....” ඔහු කීවේය. “මෙතැන හොඳට වේලුනු දර කොටු වගයක් තියෙනවා...” කියමින් ඔහු කෑමට යමක් ගෙනඒමට පිටත් විය.
පෝල් තවමත් කට ඇරගෙන මිං සියෑන් ගිය දෙසට තම මුහුණු හරවාගෙන සිටියේය. නීරෝද සුළු වේලාවක් බලාසිට අනතුරුව මිං සියෑන් ගිය දෙසට ඇවිදගෙන ගියේය. එය දුටු පෝල් කෑ ගසා නීරෝට කතා කළේය.

එක්වරම නීරෝ එකට වද්දමින් සිටි ගල් දෙකෙන් කොළ පැහැති ගිනිපුපුරු පිටවිය. ඒවා වියලුණු මීවණ පඳුරු මිටකට වැටුණු අතර කුඩාවට ගිනිගත්තේය. වහාම ගල් කැට දෙක පසෙකට දැමූ නීරෝ කටින් පිඹිමින් ගින්න පැතිරවීමට උත්සාහ ගත්තේය. ඔහුගේ උත්සාහය සාර්ථක විය. ගින්න ඇවිලුනි. අනෙක් දර කැබලිත්, මීවණ පඳුරුත් ගින්නට එකතුකර නීරෝ සාර්ථකව ගිනි මැලයක් ගැසුවේය. අනතුරුව ගින්න ඇවිලීමට උදව්කළ ගිනි ගල් දෙක තම බෑගයේ එළියෙන් වූ පොකැට්ටුවක තැන්පත් කර ගත්තේය.

“කොහෙද යන්නෙ....” හේ ඇසුවේ ප්‍රශ්නාර්ථයක් මුහුණේ රඳවාගෙනය. නීරෝ යන්නේ කොහෙද යන්න ගැටලුවක් විය.
“ඇයි ඇහුණෙ නැද්ද මං යන්නෙ දරටික ගන්න. උදව්වට ඔයත් එන්න...” එසේ කියමින් නීරෝ මිං සියෑන් පෙන්වූ තැන තිබුණු දර කොටු ඇහිඳින්නට විය. පෝල්ද නුරුස්නා බැල්මක් ආරූඪ කරගෙන ඔහු සමග දර ඇහින්දේය. ඔසවාගෙන යාමට නොහැකි තරම් දර එකතු කළ නීරෝ ඉතා අපහසුවෙන් ඒවා මීට පෙර සිටගෙන ස්ථානයට ගෙන ආවේය. පෝල් ද එසේ කළේය. අනතුරුව
දරකෝටු හතරක් ගෙන නීරෝ පොළවේ කොළරොඩු මදක් ඉවත් කර පිළිවෙලකට තැබීය. පෝල්ට ද අවසානයේ මෙසේ කීවේය.
“තරමක ලොකු ගල්ගෙඩි ටිකක් ගෙනත් දරටික වටේ රවුමට තියන්න....”
“මොකටද....?” පෝල් විමසීය....
“ගල් තිබ්බහම ගින්න වටේට පැතිරිලා යන එක නවත්වන්න පුළුවන්....” මෙසේ කියූ නීරෝ හතර වටේ ඇවිදිමින් යමක් සොයන්නට විය. පෝල් තැනින් තැන තිබුණු කලුගල් කිහිපයක් ගෙනවිත්
රවුමට දරකෝටු වටා තැබුවේය. අනතුරුව යමක් රැගෙන පැමිණෙන නීරෝ දෙස බැලුවේය.
“මොනවද ඔය...” පෝල් ඇසුවේය.
“වේලුනු මීවණ ගස් ටිකකුයි...., කලුගල් කැට දෙකකුයි...” නීරෝ පිළිතුරු දී කලින් දර කැබලි හතරක් පහක් තැබූ තැනට ළං විය. “ෂාහ්......... ඔයා නියෙමට ගල් ටික තියලා තියෙනවා...” ප්‍රශංසාත්මක මුඛයෙන් පෝල්ට කීවේය. වදනෙන් ආඩම්බරයට පත් පෝල් නීරෝ අසලට පැමිණ ඔහු කරන්නට යන්නේ කුමක්දැයි යන්නට අවධානය යොමු කළේය.
“මොකක්ද ඔය කරන්න හදන්නේ....?” පෝල් ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. නීරෝ සිනාසුනේය. අනතුරුව මෙසේ කීවේය. “බලාගෙන ඉන්නකෝ......”
මෙසේ කියූ නීරෝ ක්‍රමානුකූලව අසුරා තිබුණු දර කැබැලි උඩින් ඔහු ගෙනා ආ වේලි ගිය මීවණ පඳුරුවලින් ටිකක් තැබුවේය. අනතුරුව ගෙන ආ ගල් කැට දෙක අතට ගත් ඔහු ඒවා තදින් එකට වැද්දීය. මෙය ඔහු දිගින් දිගටම කරගෙන ගිය අතර පෝල් උපාහාසාත්මකව සිනාසුනේය.
“ඕක හරියන්නෙ නෑ....” ප්‍රකාශය කියා නිමකිරීමටත් ඉඩ නොතබා එක්වරම නීරෝ එකට වද්දමින් සිටි ගල් දෙකෙන් කොළ පැහැති ගිනිපුපුරු පිටවිය. ඒවා වියලුණු මීවණ පඳුරු මිටකට වැටුණු අතර කුඩාවට ගිනිගත්තේය. වහාම ගල් කැට දෙක පසෙකට දැමූ නීරෝ කටින් පිඹිමින් ගින්න පැතිරවීමට උත්සාහ ගත්තේය. ඔහුගේ උත්සාහය සාර්ථක විය. ගින්න ඇවිලුනි. අනෙක් දර කැබලිත්, මීවණ පඳුරුත් ගින්නට එකතුකර නීරෝ සාර්ථකව ගිනි මැලයක් ගැසුවේය. අනතුරුව ගින්න ඇවිලීමට උදව්කළ ගිනි ගල් දෙක තම බෑගයේ එළියෙන් වූ පොකැට්ටුවක තැන්පත් කර ගත්තේය. එය දුටු පෝල් මෙසේ ඇසීය.
“මොකටද ඕවා බෑග් එකේ දාගන්නෙ....?” එසේ විමසුවත් ඔහු ගිනිමැලය පිළිබඳ අතිශයින් සතුටටපත්ව සිටියේය.
“ඒවා ඉස්සරහට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්...” නීරෝ කීවේය. අනතුරුව ඔහු ජොනී හා මේරි දෙසට හැරණේය. “එන්න ඔයාලත් මෙතනට ඇවිත් උණුසම් වෙන්න.” ඔහු එසේ කියා පෝල්ට කතා කළේය.
“බ්‍රයන්වත් මෙතනට ගේමු...” එසේ කියා නීරෝ පෝල් සමග එක්වී බ්‍රයන් ඔසවාගෙන ගිනිමැලය අසලට ගෙනවිත් තැබීය. අනතුරුව පෝල් ඒ වනවිට ඔවුන් මිලදී ගත් පරණ ඇඳුම් ඇඳ සිට මේරි දෙසට හැරණේය.
“කොහොමද දැන්......?”
“හොඳයි..... කෝ ගුරුතුමා...?” මේරි ඇසුවාය. එවිට අඳුර වැටීගෙන එමින් තිබූ අතර අහස අලංකාර දම් පැහැයෙක් ගෙන තිබුණි. තාරකා මතුවෙමින් තිබුණි. තවම මිං සියෑන් පැමිණ තිබුණේ නැත. නීරෝ කලබල වී වටපිට බැලීය.
“කරදරයක් ද දන්නෙ නෑ...” නීරෝ කීවේය. නමුත් වැඩිපුර ඒ පිළිබඳව සිතීමට අවශ්‍ය වූයේ නැත. කැලය දෙසින් එකවර ‘සරසර’ හඬක් ද කෝටු කැඩෙන හඬක් ද ඇසුණි. නීරෝ, පෝල්, ජොනී හා මේරී ඒ දෙසට එකවරම හැරුණි. ඔවුන් දුටු දෙයන් සන්ත්‍රාසයට පත්විය. ඔවුන් වෙතට කලුපැහැ යමක් එනු පෙනුණි. ඒ කලු පැහැ විශාල ව්‍යාඝ්‍රයෙකු බවට සැකයක් නොවීය. වහා ගිනිමැලයෙන් ගිනිගන්නා දර කැබැල්ලක් පෝල් අතට ගත්තේය. නීරෝ ද වහා ඔහු අනුගමනය කළේය. නීරෝගේ හද ගැස්ම පෝල්ටත් ඇසෙන්නා සේය. එකවරම කලුපැහැති දෙය ඔවුන් අසලට පැන්නේය. අතිශයින් බියට පත්වූ නීරෝ විසිවී ගොස් වැටුණේය. ගිනිගන්නා දර කැබැල්ල ගිනි ගොඩටම වැටුණි.
“අතන මහා වැල් ගාලක්... එතනින් එන්න අමාරුයි. ඉතින් උඩින් පනින්න වුණා. බය වුණානම් සමාවෙන්න. අද රෑට අපට කන්න වෙන්නෙ අල තමයි...” මෙලෙස කියූ මිං සියෑන් ඔසවාගෙන ආ ප්‍රමාණයෙන් කුඩා අල ගොඩක් බිමට දැම්මේය.

මතු සම්බන්ධයි







රූප එක්ක හිත යන දුර

බොහෝ අයට පුළුවන් තමන් එදිනෙදා දකින දේ ගැන ලස්සණට හිතන්න. ඒ වගේම, උපමා
විශේෂණ ආදිය පාවිච්චි කරලා කවුරුහරි එක්ක කියන්නත් පුළුවන්. ඒත් ඒක ඒ විදියටම තවත් අර්ථවත් කරලා වෙනකෙනෙකුට ඇස්දෙකින් දකින්න පෙන්වන්න පුළුවන් ද? එතනදි තමයි අපිට ‘කලාව’ ඕන වෙන්නේ. අන්න ඒ හැකියාව වැඩියෙන්ම තියෙන මාධ්‍යයක් තමා ‘සිනමාව’ කියන්නේ.

“කෙනෙක් හිතන විදිය” රූපයට නගලා පෙන්වන්න සිනමාව කියන ආර්ට්එකට ලොකු හැකියාවක් තියෙනවා. යම්කිසි දෙයක් උකහා ගන්න කැමරාව තියන තැන (කෝණය), එහෙම තියලා රූපගත කරද්දි ආලෝකය සහ අඳුර හසුරුවා ගැනීම, ගන්න දර්ශන එකට පෙළගස්වලා පසුබිම් හඬ හා සංගීතය, එහෙමත් නැත්නම් නිහඬතාව වගේ දේවල් උචිත පමණට යොදලා ඉදිරිපත් කිරීම හරි අපූරු වැඩක්. පියවි ලෝකයේ යථාවක් විදියටම සිද්ධ නොවෙන දෙයක් වුණත් අපිට සිනමාවෙන් එහෙම පෙන්වන්න පුළුවන්. අතීත වර්ථමාන විතරක් නෙවෙයි පරිකල්පනය තුළ ගොඩනගන අනාගත සිදුවීම් වුණත් ඇහැට පෙනෙන්න සලස්වන්න පුළුවන්. එහෙම පෙන්වීම තුළින් අපි ඇතුළෙ භාවයන් නැගෙන ස්වභාවය සහ සංවේදී ස්වරූපය අනෙක් කලාවන්ට සාපේක්ෂව වෙනස්. සිනමාවෙදි ඇස හිමි අපිත් වෙලාවකට තිරයට අනුගත සහභාගීකරුවන්. ඒ තිරය නතුවෙන්නෙ අපේ දැක්මට නිසා.
ඉතින් මේ ටික ලිව්වෙ ‘සිනමා කවුළුවෙන්’ අද අපි කතා කරන ‘ලිලා’ (Lila) චිත්‍රපටයට පූර්විකාවක් ලෙසයි. ලිලා කියන්නෙ කෙටි චිත්‍රපටයක්. මේක නිර්මාණය කරලා තියෙන්නෙ කා(ර්)ලෝස් ලස්කානෝ (Carlos Lascano) කියන ආජන්ටිනා ජාතික අධ්‍යක්ෂවරයා. ලස්කානෝ අතිදක්ෂ සජීවිකරණ ශිල්පියෙක්, සංස්කරණ ශිල්පියෙක් වගේම චිත්‍ර ශිල්පියෙකු ද වෙනවා. 2005 වර්ෂයේ එම අංශ වලින් ඔහු දායක වුණ ‘zThe Legend of the ScarecrowZ ’ චිත්‍රපටය ලෝක සිනමා උළෙල 20ක පමණ සම්මානයට පාත්‍ර වුණා. ‘ලිලා’ චිත්‍රපටයත් ඔහු එම සියලු අංශ වලින් දායක වුණ චිත්‍රපටයක්. වැඩි දුරට කියනවනම් ද්විමාන සජීවිකරණයෙන් (2D) අපිව අතිශය විචිත්‍ර ලෝකයකට ගෙන යන එකක්. නමුත් මේක මුලුමනින්ම සජීවිකරණ මාදිලියේ නිර්මාණයක් නෙවෙයි. සජීවිකරණය, සිතුවම් සහ සැබෑ මිනිස් රංගනය යොදාගෙන හදපු ‘මිශ්‍ර මාධ්‍ය’ (Mixed Media) භාවිතාවක් අඩංගු චිත්‍රපටයක්.
‘ලිලා’ කේන්ද්‍ර වෙන්නෙ කුඩා දැරියක වටා. මුලින්ම අපි දකින්නනෙ ඇය කඩදාසියක් මත චිත්‍රයක් අඳින සමීප රූප පෙළක්. ඇය අඳින්නෙ දීප්තිමත් රතු පාටක් තියෙන මලක්. ඇය තමන් කටුසටහන් අඳින පොතත් අරන් කාමරයෙන් පිට වී යනකොට අපි දකින්නෙ අසල මල් බඳුනේ තියෙන ඇත්ත මල. ඒකත් රතු පාට මලක්. හැබැයි මේ ඇත්ත මල චිත්‍රයේ තිබුණු මල තරම් දීප්තිමත් නෑ. අඳුරු, මැලවුණ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ දර්ශනේට ඡේදනය වෙන්නෙ දැරිය පාර දිගේ තනිව ඇවිදගෙන යන රූප පෙළක්.
ඊට පස්සෙ අපි ඇයව දකින්නෙ කෝපිහලක වීදුරුව තුළින්. ඈ කොලයක යමක් ඇඳලා ඒක වීදුරුවෙ අලවලා ඒ දිහා බලනවා. කඩදාසිය තියෙන්නෙ අපට පිටුපාලා නිසා ඇඳලා තියෙන්නෙ මොකක් ද කියලා පෙනෙන්නෙ නෑ. ඒතනදි සිනමා කරුවා අපිට සමීපව දකින්න සලස්වල තියෙන්නෙ ඇයගෙ මුහුණ ඒ චිත්‍රය එක්ක කරන ප්‍රති ක්‍රියාව. ඒක එක්ක විඳින හැඟීම. සම්පූර්ණ චිත්‍රපටය පුරා වැඩි පුරම අපි දකින්නෙ ඇය චිත්‍ර අඳිමින් ඒවා එක්ක මනසින් කරන ගණුදෙනුව. ඇත්තමට චිත්‍රය හා ඇගේ ඇසුර, යථාර්ථයේ පවතින තත්ත්වයෙන් මිදී තමන් විසින් නිර්මාණය කරන ලෝකයක් හා එකතු වීමක්. චිත්‍රපටයේ සජීවිකරණය භාවිතා කරලා තියෙන්නෙ අන්න ඒ, ඇගේ ඇත්තලෝකයේ නැති, චිත්‍රයෙන් ඈ පරිකල්පනය අවස්ථා චලන රූපිකව අපිට පෙන්වන්නයි. ඒක බොහෝ ලස්සන ෆැන්ටසි ලෝකයක්. හැබැයි චිත්‍රපටවල අපිට දැකල පුරුදු මායාරූපි අද්භූත ලෝකයක් නෙවෙයි. පියවි ලෝකයේ විවිධ අඩුපාඩු හෝ හිස්තැන් සහිතව දකින දේ තමන් කැමති ලෙස පරිකල්පන ලෝකයක සම්පූර්ණකොට දැකීමක්. ඒ විදියට පාරේ හමුවෙන කම්කරුවෙක් රජ පෙළපතක කුමාරයෙක් වැන්නෙක් ලෙසත්, හිස් සඳළුතලා, මලින් පිරුණු අලංකාර තැන් ලෙසත් සජීවිකරණය වෙන්නෙ හරිම විචිත්‍ර ආකාරයෙනුයි. ඒ එක්කම තමන්ට දකින්න ලැබෙන අයගේ හුදෙකලා ජීවිතවල හිස් බව ඇයගේ චිත්‍ර ඇතුළෙ ආදරය කරන කෙනෙක්ගෙන් පිරවෙනවාත් දකින්න පුළුවන්.
ඇත්තටම අපිට සැබෑ ජීවිතයේදී හමු නොවන අය මෙහෙම පරිකල්පනය තුළ හමු වීමට හැකි වීම චිත්‍රපටයේ අවසානයේ දී අපේ ඇහැට කඳුළක් නැගෙන තරම් සංවේදී කාරණාවක් වෙනවා. එහෙම වෙන්නෙ චිත්‍ර අඳින දැරිය දෙමාපියන් අහිමිව තනිවූ කෙනෙක් බව දනවමින් ඇය සජීවි චිත්‍රයක් තුළ මව සහ පියාගේ ආදරය ලබනවා දකිද්දියි. එතනදි අපි මුල් රූප රාමු අතරෙ මල් බඳුනක දැක්ක මැලවුණු ඇත්ත මලටත් අර්ථයක් එනවා.
මෙහෙම හිතට ආදරය හැඟෙන, ඇහැට කඳුළක් නැගෙන ‘ලිලා’ (Lila) ඔබටත් YouTube නරඹන්න පුළුවන්.





සෙමින් සෙමින් නැගී සිටින කළු තුරඟුන් ජැමෙයිකාව

ව සියවස ආරම්භයේම ලෝක වාසින්ට ගිම්හාන ඔලිම්පික් උළෙලක උද්වේගකර
තරඟකාරිත්වයක් අත්විඳීමට අවස්ථාව ලැබුණි.ඒ 2000 වර්ෂයේ සුන්දර කැන්ගරු
දේශයේ දී ය. මේ ඔලිම්පික් උළෙලට ඇමරිකාව පැමිණෙන්නේ 1996 ඇට්ලන්ටා හි දී ලබාගත් රන් පදක්කම් දහතුන තවත් විශාල කරගැනීමේ බලාපොරොත්තුවෙනි. ඇට්ලන්ටාහි දී මයිකල් ජොන්සන් මීටර් 200,400 රන් පදක්කම් ලබද්දී ඩෙරික් ඇඞ්කින්ස් සහ ඇලන් ජොන්සන් පිළිවෙලින් මීටර් 400 සහ 110 කඩුලු පැන දිවීමේ රන් පදක්කම් දිනාගනිද්දී ඔවුන්ට රන් පදක්කම් අහිමි වන්නේ මීටර් 100 කේවල සහ සහය දිවීමේ තරඟ වලයි. එසේ වුවත් මීටර් 400 සහය දිවීමේ තරඟයේ දී යළිත් රන් පදක්කම තමන් සතු කරගැනීමට මයිකල් ජොන්සන් ඇතුළු ඇමරිකානුවන් සමත් වූහ.මීටර් 100 පිරිමි රන් පදක්කම අහිමි වූවත් කාන්තා රන් පදක්කම ඇමරිකාවට හිමි කරදීමට ගෙයිල් ඩෙවර්ස් සමත් වූවාය.සහය දිවීමේ කාන්තා තරඟ වල ද රන් පදක්කම් දිනා ගත්තේ එක්සත් ජනපදයයි.
1999 වසරේ දී මීටර් 100 ලෝක වාර්තාව තමන් සතු කරගත් මොරිස් ග්‍රීන් සමඟින් සිඞ්නි ඔලිම්පික් ගම්මානයට පැමිණෙන ඇමරිකාව මෙවර සිටියේ නවක දක්ෂයින් රැසක් තම කණ්ඩායමේ පිරිවරාගෙනයි. මොරිස් ග්‍රීන් එවකට ලෝක වාර්තාව තබන්නේ තත්පර 9.79 කාලයක් වාර්තා කරමිනි. ඇමරිකාවේ කැන්සාස් හී උපත ලැබූ මොරිස් ග්‍රීන් ඇමරිකානු මළල ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන නමක් තබන්නේ ඔලිම්පික් පදක්කම් හතරක් සහ ලෝක ශූරතා උළෙලවල් දී පදක්කම් පහක් ලබාගනිමිනි. සිඞ්නි ධාවන පථයේ මීටර් 100 රන් පදක්කම ග්‍රීන් විසින් දිනා ගනු ලබන්නේ තත්පර 9.88 ක කාලයක් වාර්තා කරමිනි. එහිදි දෙවන ස්ථානය ලබන්නේ ටි්‍රනිඩෑඞ් සහ ටොබැගෝ දූපත් නියෝජනය කරමින් පැමිණි අටෝ බෝල්ඩන් විසිනි. එමෙන්ම එහි ලෝකඩ පදක්කම හිමි කරගන්නේ බාබඩෝස් හී තොම්ප්සන් විසිනි. එමෙන්ම පීඩනය දරාගත නොහැකිව ඝානා ධාවකයාගේ වැරදි ආරම්භය ද මේ තරඟය අතරතුරදී කැපී පෙනුණි.
සිඞ්නි ඔලිම්පික් හී මීටර් දෙසීය කෙරෙහි ද බොල්ඩන් රන් පදක්කමක් බලාපොරොත්තුවෙන් සිටි අතර තවමත් ටි්‍රනිඩෑඞ් හී ජාතික වාර්තාව සතු වන්නේ ඔහුටයි. නමුත් අනපේක්ෂිත ලෙස ඔහුගේ රන් පදක්කම් බලාපොරොත්තුව ගිලිහි ගොස් ඔහුට ලැබෙන්නේ ලෝකඩ පදක්කමයි. එහි රන් පදක්කම හිමි කරගන්නේ ග්‍රීසියේ කොන්ස්ටටීනෝස් කෙන්ටෙරිස් හටයි.රිදී පදක්කම හිමි කරගන්නේ මහා බි්‍රතාන්‍යයේ ඩැරන් කැම්බෙල් ය. මේ තරඟය මීටර් 100 තරඟයටත් වඩා ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර කොන්ස්ටටීනෝස් ගේ විප්ලවය ගැන විචාරකයන් ඇතුළු සෑමදෙනාම විමතියට පත් වෙද්දී අටෝ බෝල්ඩන් ගේ බලාපොරොත්තු කඩවීම හොඳින්ම දැක ගැනීමට හැකිවිය. කොන්ස්ටටීනෝස් තරඟය තත්පර 20.09 ට අවසන් කරද්දී බෝල්ඩන් තරඟය නිම කර තිබුණේ තත්පර 20.20 කාලයක දී ය.
මොරිස් ග්‍රීන් සහ ඇටෝ බෝල්ඩන් ගැන විශේෂයෙන්ම සඳහන් කලයුතුය.ග්‍රීන්ට මූලික අධ්‍යයන කටයුතු වලින් අනතුරුව කැන්සාස් විශ්ව විද්‍යාලයෙන් ක්‍රීඩා ශිෂ්‍යත්වයක් හිමි වන්නේ ඔහු පාසලේ දී මළල ක්‍රීඩා මෙන්ම ඇමරිකන් පාපන්දු වලට දක්වන හැකියාව නිසාවෙනි.1995 දී අන්තර්ජාතික තරඟ බිමට පැමිණෙන ඔහුගේ මුල්ම තරඟාවලිය වන්නේ ගොතන්බර්ග් හී පැවති ලෝක ශූරතාවලියයි. නමුත් සුදුසුකම් ලබාගැනීමේ තරඟයේ දී පරාජයට පත්වී තරඟාවලියෙන් ඉවත් වීමට ඔහුට සිදු වනවා. එසේම 1996 ඇට්ලන්ටා වලදී ද ඔහුට සිදුවන්නේ බංකුවේ සිට තම සඟයින් තරඟ කරන අයුරු නැරඹීමටයි. අනතුරුව ඔහු ජොහ්න් ස්මිත්ගේ පුහුණුකාරිත්වය යටතේ ඉදිරියට යන්නට පටන් ගන්නවා. අනතුරුව ඇතන්ස් හී පැවති ලෝක ශූරතාවයෙහි මීටර් 100 තරඟයෙන් ජයගැනීමෙන් පසුව ග්‍රීන් ගේ කාලය ආරම්භ වී තිබුණා. පෙර සඳහන් කල පරිදිම 1999 ලෝක ශූරතාවලියේ දී යලිත් රන් පදක්කම හිමි කරගන්නා මේ විශිෂ්ඨ ධාවකයා සමු ගන්නා විට ඔහුගේ නම ඉදිරියේ ඔලිම්පික් රන් පදක්කම් දෙකක් සහ ලෝක ශූරතා රන් පදක්කම් පහක් සටහන් වී තිබුණා.
ග්‍රීන් ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූයේ බටහිර ඉන්දීය කුඩා දූපතක සිට පැමිණි අටෝ බෝල්ඩන් ය. ටි්‍රනිඩෑඞ් හී උපත ලබන ඔහු අධයාපනය ලබන්නේ නිව් යෝර්ක් හී වන අතර 1992 කණිෂ්ඨ ලෝක ශූරතාවලියේ මීටර් 100,200 රන් පදක්කම් දිනන ඔහු, ජේෂ්ඨ ලෝක ශූරතාවලියේදී ද රන් පදක්කම් ලැබු ක්‍රීඩකයින් ස්වල්පය අතරින් එක් අයෙකු වේ. කෙසේ නමුත් ඔහු දැඩි බලාපොරොත්තු තබන සිඞ්නි හී මීටර් 200 ඉසව්ව මෙන්ම 100 ඉසව්ව තුල ද රන් පදක්කම දිනා ගැනීමට නොහැකි වීම ඔහුගේ බලාපොරොත්තු කඩවීමක් ලෙස හැඳින්විය හැකි අතර ලෝක ශූරතා හතරකට සහභාගී වන ඔහුට දිනාගැනීමට හැකි වන්නේ එක් රන්පදක්කමක් පමණි. කෙසේ වුවත් පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ දි මීටර් 100 රන් පදක්කම දිනා ගැනීමට ඔහුට හැකිවනවා. 2002 වසරේදී බීමත් රියදුරෙකු විසින් සිදු කරනු ලබන අනතුරක් නිසා බෝල්ඩන් දරුණු ලෙස තුවාල ලබනවා. එම නිසාම ඔහුට පෙර මෙන් දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වන අතර එම නිසාම 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලේදී සාර්ථක වීමට ඔහුට හැකියාවක් ලැබෙන්නේ නෑ.
යලිත් අපි සිඞ්නි ඔලිම්පික් උළෙල වෙත යොමු වෙමු.ඇට්ලන්ටා වල ශූරයා වූ මයිකල් ජොන්සන් හට මෙවර රන්පදක්කමක් ලබාගැනීමට හැකි වන්නේ මීටර් 400 ඉසව්වේ දී පමණි.එහිදි පළමු ස්ථාන දෙකම ඇමරිකාවට හිමි වන අතර එම නිසාම ඔවුන් මීටර් 400 සහය දිවීමේ රන් පදක්කම කෙරෙහි ද වැඩි බලාපොරොත්තුවක් තබා තිබුණු අවසන් මහා තරඟයේ දී ඔවුනට රන් පදක්කම හිමිවු අතර “අන්තෝනියෝ පෙට්ටිග්‍රෙව්” තහනම් උත්තේජක භාවිතා කිරීම නිසා ඔවුන්ට යළිත් පදක්කම් සියල්ලම ඔලිම්පික් කමිටුවට භාරදීමට සිදුවිය. මයිකල් ජොන්සන් මීටර් 400 ඔලිම්පික් උළෙලකදී පිට පිට දෙවන වරටත් දිනාගමින් නව ඉතිහාසයක් නිර්මාණය කරන්නේ ඔලිම්පික් ඉතිහාසය තුළ මීටර් 400 තරඟය සඳහා රන් පදක්කම් දෙකක් ලබාගත් පළමු ධාවන ශූරයා බවට පත්වෙමිනි. සිඞ්නි ඔලිම්පික් උළෙලේදී ඔහු වාර්තා කරනු ලබන කාලය වන්නේ තත්පර 43.85 කි.මෙහිදි ජොන්සන්ට එතරම් තරඟයක් නොවු අතර රිදී සහ ලෝකඩ පදක්කම් ලැබු ඔහුගේ සඟයා වන ඇල්වින් හැරිසන්ට සහ ජැමෙයිකාවේ හෝට්න්ට ඔහු අසලටවත් පැමිණීමට අවස්ථාවක් ලැබුණේ නැත.
2000 ඔලිම්පික් උළෙල කොහොමත් ඇමරිකාවට එතරම් සුබ නොවීය. තරගාවලිය අතරවාරයේ ඔවුන්ගේ අණසක ගෙන ගියත් තහනම් උත්තේජක ගැටළු නිසා අවසානයේ ඔවුන්ට ලැබුණේ අපකීර්තියක් පමණි. මේරියන් ජොන්ස්ටත් ආන්තෝනියෝ ට හිමිවු දඬුවම අත්වුවාය. අවසානයේ ඇමරිකාවට හිමි වුයේ පදක්කම් 7 ක් පමණි. කෙසේ නමුත් මළල ක්‍රීඩා ඉසව්වල මුල් තැන තබා ගැනීමට ඔවුනට හැකිවූ නමුත් එහි වටිනාකම අඩුවූයේ තහනම් උත්තේජක සිදුවීම් නිසාවෙනි. එහිදි සඳහන් කලයුතුවම ඇත්තේ මේරියන් ජෝන්ස් විසින් දිනා ගනු ලබන රන් පදක්කම් තුනක් ඇතුළු මුළු පදක්කම් පහක් ඇයට අහිමි වීමයි.
ඇමරිකාවේ තත්වය එසේ වන විට ජැමෙයිකාව තම දක්ෂතා ක්‍රමයෙන් දක්වමින් ඉදිරියට පැමිණෙමින් සිටියේය. එහිදි ඔවුන්ට එක් රන් පදක්කමක් හෝ හිමි කරගැනීමට නොහැකි වුවත් රිදී පදක්කම් හයක් සහ ලෝකඩ පදක්කම් තුනක් ජැමෙයිකාව සතු වූහ. ජැමෙයිකා ක්‍රිඩකයින් පදක්කම් දෙකක් පමණක් හිමි කරගන්ද්දී පදක්කම් හතක් තමන් සතු කරගැනීමට ජැමෙයිකානු කළු වෙළඹුන් සමත් වූහ. ග්‍රෙග් හෝට්න් මීටර් 400 ලෝකඩ පදක්කම හිමි කරගනිද්දී ඔහු නියෝජනය කල ජැමෙයිකානු පිරිමි කණ්ඩායම මීටර් 4ං400 සහය දිවීමේ තරඟයේ රිදී පදක්කම ලබාගත්හ. ටන්‍යා ලොරන්ස් මීටර් 100 රිදී පදක්කම දිනා ගනිද්දී ලොරීන් ග්‍රැහැම් මීටර් 400 කාන්තා තරඟයේ රිදී පදක්කම තමන් සතු කරගත්තාය. එමෙන්ම බේවර්ලි මැක්ඩොනල්ඞ් මීටර් 200 තරඟයේ ලෝකඩ පදක්කම හිමි කරගන්නා විට මීටර් 400 කඩුලු පැන දිවීමේ කාන්තා තරඟයේ දෙවන ස්ථානය ලබාගැනීමට ඩීආන් හෙම්මින්ස් සමත් වූවාය. එහි විශේෂත්වය වූයේ 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේදී ඇය මෙම ඉසව්වේ රන් පදක්කම හිමි කරගැනීමයි.
මර්ලෙන් ජොයිස් ඔටේ යන නාමය කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ සිඞ්නි ගිම්හාන ඔලිම්පික් උළෙලේදී ය. 1996 ඔලිම්පික් උළෙලේදී දී මීටර් 100, 200 යන ඉසව් දෙකෙහිම රිදී පදක්කම් හිමිකරගන්නා මර්ලෙන් ඔටේගේ සුවිශේෂීත්වය වන්නේ ලෝක මළල ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම කාලයක් ක්‍රීඩා කල තැනැත්තිය වූයේ ඇයයි. එමෙන්ම ඔටේ විසින් ඔලිම්පික් උළෙලවල් හතක් නියෝජනය කරන්නේ රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් හයක් තමන් සතු කරගනිමිනි. ඔටේට සුදුසුකම් ලැබීමේ තරඟ වලින් පළමු තිදෙනා අතරට පත්වීමට හැකියාවක් ලැබුණේ නැති අතර ඇය විසින් ඉල්ලීමක් කරනවා “පෙටා ගයේ ඩව්ඩි” නම් ක්‍රීඩිකාව වෙනුවට තමන්ව ඉදිරිපත් කරන ලෙස. එයට බොහෝ දෙනෙකුගේ විරෝධය එල්ල වන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ජැමෙයිකාවට ඒ පිළිබඳව තම පිළිකුල පල කරන අතර සිඞ්නි ඔලිම්පික් ගම්මානය තුලද මෙම සිදුවීම විශාල ආන්දෝලනයකට ලක්වෙනවා. කෙසේවෙතත් ඔටේට මීටර් සියයේ තරගයේ දී හිමිවන්නෙත් සිව්වැනි තැන. ඒ වුනත් මේරියන්ගේ සිදුවීම නිසා වසර නවයකට පසුව ඇය ලෝකඩ පදක්කමට හිමිකම් කියනවා. එමෙන්ම මීටර් සියය කාන්තා සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත් වන ඇය අනෙකුත් සමාජිකාවන් සමඟ ජැමෙයිකාවට රිදී පදක්කම හිමි කරදෙනවා. එහිදි එම කණ්ඩායමට එවකට තරුණ ක්‍රීඩිකාවක් වු වෙරොනිකා කැම්බල් ද ඇතුළත් වූ අතර ඉදිරියේදී ඇය ගැන වෙනම පරිච්ඡේදයක් ලිය වෙනු ඇති. මර්ලෙන් ඔටේ යනු ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් හිමි කරගත් ක්‍රීඩිකාවයි. 2002 වසරේ සිට සොල්වෙනියාව නියෝජනය කරමින් තරඟ වදින ඇයට එරට වෙනුවෙන්, 2012 සමුගන්නා තෙක්ම හිමි කරදීමට සමත් වන්නේ එක් ජාත්‍යන්තර පදක්කමක් පමණි.ඒ 2003 ලෝක ගෘහස්ත මළල ක්‍රීඩා ශූරතාවලීයේ දී ය.
කෙසේ නමුත් 2000 ඔලිම්පික් උළෙලේදී ලැබු පන්නරය නිසා ජැමෙයිකාව තම ඉදිරි අනාගතය වෙනුවෙන් විශාල ඉදිරි පියවරක් තබනවා. එහිදි ඔවුන් අලුත් පුහුණුවීම් රටා මෙන්ම වෙනස් ආකාරයේ සැලැස්මක් ක්‍රියාවට නංවනවා. එහිදි මූලිකත්වය ගන්නේ පැරණි ලෝක ශූරයෙකු වන ඩෙනිස් ජොන්සන් විසින්. ජැමෙයිකාව ලෝකයේ පාසල් අතර තිබෙන හොඳම මංතීරු සහිත පිටි නිර්මාණය කරනවා. ඩෙනිස් ජොන්සන් විසින් ඔහු ඇමරිකාවේ දී ඉගෙන ගත් දෑ ජැමෙයිකාව වෙනුවෙන් අත්හදා බලනවා. එමෙන්ම ශිෂ්‍යත්ව ලබා දී ඇමරිකාවට යවන බොහෝ සිසුන් යළි නොපැමිණෙනවා මෙන්ම ඔවුන් වෙනත් රටවල් වෙනුවෙන් ක්‍රීඩා කරන අයුරු ද ඔවුන් දකිනවා. ඒ නිසාම ඔවුන් තම පහසුකම් තව පුළුල් කරන්නේ ජැමෙයිකා තාක්ෂණික විදුහලේ වසර දෙකක පාඨමාලාවක් ලබාදෙමින්. පසුව එය UTECH බවට පත් වූ අතර එහි ක්‍රීඩා පහසුකම් මෙන්ම අධ්‍යාපනික කටයුතු ඇමරිකාවේ තරමටම හොඳින් පවත්වාගෙන යාමට කටයුතු කලා. එහිදි පුහුණුකරුවන් ඉතාමත් වැදගත් චරිතයක් මෙම මෙහෙයුම් දී රඟපෑවා.ඔවුන් තවමත් මෙම භූමිකාවෙහි කටයුතු කරමින් ඉන්නවා. එහිදි ජැමෙයිකාව විසින් බිහි කල පළමු විශිෂ්ඨයා බවට පත්වීමට අසාෆා පවෙල් පත් වුනා. නමුත් තවමත් ලෝක මළල ක්‍රිඩාව ආධිපත්‍ය හිමිකරගෙන සිටින්නේ එක්සත් ජනපදයයි. මයිකල් ජොන්සන්, මොරිස් ග්‍රීන් ගේ සමුගැනීමෙන් පසුව ජස්ටින් ගැට්ලින් සමඟින් ටයිසන් ගේ ඇමරිකානු මළල ක්‍රිඩාවේ ශක්තිය බවට පත් වුණා. ඔවුන් සමඟින් අසාෆා පවෙල්ගේ ගැටීම සහ වෙරොනිකා කැම්බල්ගේ නැඟි සිටීමත් ජැමෙයිකානු කාන්තා ආධිපත්ය විකාශනය වන අයුරු ඉදිරියේදී කතා කරමු.

 






චීනය ලංකාව ආක්‍රමණය කරයි!

ක්‍රි.ව. 1405 වසරෙ දිනක උදෑසන බේරුවල වෙරළේ හුන් ධීවරයන්ට පෙර නොදුටු
දර්ශනයක් ඈත ක්ෂිතිජයේ දිස් වුණා. නැව් සිය ගණනක නැව්පන්තියක් වෙරළ දෙසට පැමිණෙමින් තිබුණා. මේ වන විට ලංකාවෙ ප්‍රධාන රාජධානිය ගම්පොළ වුණත්, මේ ප්‍රදේශය පාලනය කළේ රයිගම මුල් කරගත් විර අලකේශ්වර නැමති ප්‍රභූ වරයා විසින්.

ඔහුට මේ නැව් පන්තියේ පැමිණීම කලින්ම ආරංචි වෙළා තිබුණා. ඒනිසාම ඔහු බේරුවලට එන්නෙ දැවැන්ත සේනාවකුත් එක්ක. මේ නැව් පන්තිය මුහුදු සේද මාවත දිගේ පැමිණෙන්නක්. එවකට චීනය මිං රාජවංශයේ යොංගල් අධිරාජ්‍යයා විසින් පාලනය කළා. ඒ අතර දකුණු ඉන්දීය රාජ්‍යයන් සමඟ වෙළඳ සබඳතා පවත්වාගෙන යන්න ඔවුන්ට අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලය, ඔහුගේ දක්ෂතම සෙනවියා චෙං හෝ, නැව් තුන්සීයක නැව් පන්තියක් සමඟ ඉන්දියන් සයුරට එවීම.
එය මෙතෙක් ලෝකයේ භාවිතා වුණ නෞකා මෙන් දෙගුණයක් විශාල නෞකාවන්ගෙන් සමන්විත වුණා. ඒ වගේම ඔවුන් ඉන්දියන් සාගරයට යාත්‍රා කලේ හිස් අතින් නෙමෙයි. ඉන්දියාවේ සහ මෙරට පූජ්‍යස්ථාන රැසකට පූජා භාණ්ඩත් ඔවුන් රැගෙන පැමිණියා.
ක්‍රි.ව. 1911 වසරෙ ගාල්ල නගරයෙ කාණුවක බෝක්කුවකට තිබුණ වෙනස් විදිහෙ ගල් කුට්ටියක් ගැන එවකට ප්‍රාදේශීය ඉංජිනේරු එච් එෆ් ටොමලීන් මහතාට ආරංචි වෙනවා. එහි වටිනාකම හඳුනාගත් ඔහු එය සංරක්ෂණයට පියවර ගන්නවා.
ඒ අන් කිසිවකුත් නොවේ ක්‍රි.ව.1405 වසරේ මෙරටට පැමිණි චෙංහෝ තම ගමන පිළිබඳ සටහන් තබා ගිය භාෂා තුනකින් ලියවුණු සෙල්ලිපිය. එහි චීන, දෙමළ වගේම පර්සියන් බසිනුත්, මෙරට ශ්‍රී පාදස්ථානයට මෙන්ම දෙවිනුවර උපුල්වන් දෙවොලට සිදු කල පූජාවන් ගැන සඳහන් වෙනවා. මේ අනුව චෙං හෝ බේරුවලට යාත්‍රා කරන්නට පෙර ලංකාවෙ දකුණු වෙරළට ගොඩ බසින්නට ඇති බව සිතන්න පුළුවන්.
චෙං හෝ බේරුවලට යාත්‍රා කරන්නෙ වීර අලකේශ්වරයන් සමඟ වෙළඳාම පිළිබඳ එකඟතාවක් ඇති කරගන්න අදහසින්. නමුත් රයිගම වීර අලකේශ්වර ඔහුට මිත්‍රත්වයේ දෑත් දිගු කරන්න කැමති වෙන්නේ නැහැ. මහ සේනාවක් සමඟ බේරුවලට පැමිණි වීර අලකේශ්වර දකින චෙං හෝ ආපසු හැරී යන්නට තීරණය කරනවා. ඒ එවර ඔහුගේ චාරිකාවේ මූලික අරමුණ ඉන්දියාවෙ කැලිකට් වරාය නිසා වන්නට පුළුවන්.
නමුත් චෙංහෝ, වීර අලකේශ්වර තමන්ට කල අභියෝගය අමතක කරන්නේ නැහැ. ක්‍රි.ව. 1411 වසරෙ ඔහු නැවතත් ලංකාවට එන්න තීරණය කරනවා. ඒ අනුව ඉන්දියාවෙ කැලිකට් වලට යාත්‍රා කරන ඔහු පෙරළා මව් රටට යාත්‍රා කරන අතර බේරුවලට සේන්දු වෙනවා. මෙවර වීර අලකේශ්වරයන් ගෙන් ඔවුන්ට ලැබෙන්නෙ අනපේක්ෂිත ප්‍රතිචාරයක. ඒ තම මාලිගයට පැමිණෙන ලෙස කෙරෙන ආරාධනයක්.
චෙං හෝ හමුදාවද රැගෙන රයිගම වෙත ගමන් කලා, නමුත් මේ අතර වීර අලකේශ්වර තවත් කුමන්ත්‍රණයක් දියත් කර තිබුණ. ඒ රහස් සේනාවක් යවා බේරුවල වරායේ නවතා තිබූ චීන නෞකා මංකොල්ලකෑමට. රයිගමට යන අතර චෙං හෝට මේ කුමන්ත්‍රණය පිළිබඳ ආරංචි වෙනවා. ඔහු සේනාවෙන් කොටසක් බේරුවලට යවා ඉතිරි පිරිස සමඟ රයිගමට යන්න තීරණය කරනවා.
ඔහුට පහසුවෙන් රයිගම මාලිගයට ඇතුල් වෙන්න හැකි වෙන්නෙ සේනාවේ බහුතරය බේරුවලට ගොස් සිටි නිසා. මේ අතර ඔවුන් මාලිගය අත් පත් කරගන්නවා. එහිදී වීර අලකේශ්වර සහ ඔවුගේ පවුල ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට ඔහු සමත් වෙනවා. ඒ අතර සිංහල සේනාව පෙරළා පැමිණ මාලිගය වට කරගන්නවා.
එහිදී ඇති වෙන්නෙ දැවැන්ත සටනක්. වෙඩි බලය සහ තුවක්කු හිමි චීන ජාතිකයන් සටන අතරතුර වීර අලකේශ්වර පැහැරගෙන යාමට සමත් වෙනවා. ලංකාව ඇතුලෙ පළවෙනි වතාවට වෙඩි උණ්ඩ වලින් මිනිස් ඝාතන සිද්ද වෙන්නෙ මේ අවස්ථාවෙදි. මෙහිදී අලකේශ්වර පවුලෙ බොහෝ දෙනෙක් ඝාතනයට ලක් වුණා ඒ වගේම වීර අලකේශ්වර සිරකරුවෙක් විදිහට චීනයට රැගෙන යන්න චෙංහෝ සමත් වෙනවා.
සාමාන්‍යයෙන් මෙවැනි යුද සිරකරුවන්ට මරණ දඩුවම පැමිණවීම සාමාන්‍ය සම්ප්‍රදාය වුණත් යොංගල් අධිරාජ්‍යයා හමුවට පමුණවපු වීර අලකේශ්වරට ජීවිත දානය හිමි වෙනවා. නමුත් ඔහුට යලි මෙරටට පැමිණීමට අවසර හිමි වූ බවක් කිසිදු තැනක සඳහන් වන්නේ නැහැ. චීන වාර්තා වල වීර අලකේශ්වර හඳුන්වන්නෙ යාලීකුනායිර් නමින්. රයිගම පාලනය මේ අවස්ථාවේ ආරාජිකත්වයට පත් වෙනවා.
එහිදී වීදාගම ඝනානන්ද පිරිවෙනේ පරිවෙනාධිපති ධූරය දැරූ වීදාගම මහා මෛත්‍රීය හිමියන් රාජ්‍යය පාලනය උන්වහන්සේ අතට ගන්නවා. ඉන් පසු පිරිවෙනෙහි සිටි ජයමහලෑන කුමාරයා රයිගම රාජ්‍යත්වයට පත් කරන්න උන්වහන්සේ සමත් වෙනවා. ඒ චීන අධිරාජ්‍යයාගේ ආශිර්වාදය ද සමගින්. ක්‍රි.ව. 1415 දි 6 වන වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ අග රජු බවට පත් වෙලා ලංකාව අවසන් වරට ඒක් සේසත් කරන්නට මේ කුමරු සමත් වෙනවා.
චෙං හෝ චීන ඉතිහාසයේ ලියවුණු අති දක්ෂ සෙනවියෙක්. අධිරාජ්‍යයාට ඔහුව හමුවන්නෙ ඉස්ලාම් ලබ්දික වහලෙක් විදිහට. එකල පැවති සම්ප්‍රදාය අනුව ඔහු අධිරාජ්‍යයාගේ සේවයට එක් කර ගන්නෙ ලිංග ඡේදනය කිරීමෙන් පසුව. චෙං හෝ ලංකාවට එන විටත් බේරුවල මුස්ලිම් ප්‍රජාව ජීවිත් වෙලා තියෙනව. ඔහුට ඔවුන්ගේ සහය ලද බවත් සිතන්න පුළුවන්. භාෂා තුනකින් ලියවුණු සෙල්ලිපියෙ එක් එක් භාෂ වලින් සඳහන් වෙන කරුණු අනෙක්වාට පරස්පරයි.
චීන බසින් මෙරට ශ්‍රී පාදස්ථානය, දෙවිනුවර දෙවොල ඇතුලු ආගමික ස්ථාන වෙත කෙරුණු පූජාවක් ගැන සඳහන් වුණත්, එහිම පර්සියන් බසින් සඳහන් වෙන්නෙ චෙං හෝ අල්ලාහ් දෙවියන් වෙනුවෙන් ප්‍රදානයක් සිදු කල බවක්. චීනය තම අරමුණු වෙනුවෙන් අද වගේම එදත් කෙතරම් සූක්ෂම වුණාද කියන දේ තේරුම් ගැනීමට එයම ප්‍රමාණවත්.
මූලාශ්‍ර -
රාජාවලිය - මහාචාර්ය ඒ.වී. සුරවීර සංස්කරණය
ලක් ඉතිහාසයෙන් වසං වූ චීන මෙහෙයුම - වෛද්‍ය අජිත් අමරසිංහ



ගැන්ස්ටර් රැප් හීනයක තනි වූ අපේ දරුවන්

ජීවත්වීම කියන මේ වෙහෙසකර ගමනේ මිනිසුන් වශයෙන් අපි බොහෝදෙනෙක්ට සතුටින්,හිතේ
සැහැල්ලුවෙන් කාලය ගත කරන්න ලැබෙන අවස්ථා බොහෝම අඩුයි.විශේෂයෙන්ම ලංකාව වගේ තවමත් දියුණු වෙමින් පවතින රටක ජනතාවට සතුට,සැනසීම කියන්නේ හරිම මිල අධික දෙයක්.සරලවම කියනවා නම් සල්ලි තමයි ජිවීතේ සතුට කියන තැනට අපි බොහෝදෙනෙක් පත් වෙලා තියනවා.ඒ කතාව සම්පුර්ණ වශයෙන් සත්‍යයක් නොවුණත් සල්ලි නැති වුවහොත් බොහෝ දේ අපිට මඟහැරෙනවා.ඒ තරම් අති ධාවනකාරී සමාජයක තමයි අපි මේ හැල්මේ දුවන්නේ අපි ඉලක්ක සපුර ගන්න.කොහොමවුනත් අපි හැමෝම වගේ ජිවීතේ එක් කාලයක බොහෝ සතුටින් සැහැල්ලුවෙන් වගකීමකින් තොරව කාලය ගත කරපු දවස් අතීතයේ තිබුණා.ඒ තමයි ”ළමා කාලය” එහෙමත් නැත්නම් පාසල් කාලය.ඒ කාලයේ අපි හැමෝටම කිසිම බරපතලකමක් දැනුනේ නෑ.කුඩා කාලයේ ශිෂ්‍යත්ව විභාගය හැරුණාම අපිට අපොස සාමාන්‍ය පෙළ විභාගය තෙක්ම මුළු කාලයම ගත වුනේ කෙළිදෙලෙන්.
ළමා කාලයේ මිහිර උපරිම වශයෙන් ලැබු අවසාන පරම්පරාව විදියට මට හිතෙන්නේ 85-95 දශකය අතර ඉපදුණු පිරිසයි.රටේ පැවති විනාශකාරී තත්වය 90 දශකයේ මුල් වසර කිහිපය වන විට අවසන් වු අතර රටේ තත්වය තරමක් සාමකාමී බවට පත් වුණා. තාක්ෂණය එතරම් දියුණුවක් නොතිබු ඒ සමයේ කුඩා දරුවන් වූ අපි සෑම සවසකම වාගේ එකතු වුණා.ක්‍රිකට් ගැසීමේ ඇතුළු විවිධ ක්‍රීඩා වල ඒ කාලයේ දරුවන් නිරත වුණා.නිවෙස් අසල තිබෙන කුඩ වනරොදවල් වලට ඇතුළු වී එහි තිබෙන දං, බෝවිටියා උගුරැස්ස ආදී විවිධ පළතුරු කැඩීම ආදි විවිධ ක්‍රියාකාරකම් සතියේ සෑම දිනකම නිරත වීමට අවස්ථාව ලැබුණා.වර්ෂාව කාලයේ දි වුවත් දරුවන් කලේ යහළුවන් සමඟ එකතු වී කෙසෙල් කොට වලින් පාරු සෑදීම ආදි හිතුවක්කාර එහෙත් සුන්දර දේවල් ය.නැතිනම් කුඩා මාළු පැටවුන් අල්ලා පොකුණු සෑදීම ආදී නිර්මාණශීලිත්වය වැඩි කරන ක්‍රියාකාරකම් වලින් එකල ළමුන්ගේ මනස පිරී තිබුණි. ජූලි, අගෝස්තු මාස වල මුළු අහසම දරුවන්ගේ සරුංගල් වලින් වර්ණවත් වුණි. මෙවැනි ක්‍රියාකාරකම් වලින් ඔවුන්ට ලැබුනේ සතුට පමණක් නොවේ. ක්‍රිකට් වැනි ක්‍රීඩාවලින් ඔවුන් කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් කටයුතු ඉගෙන ගනියි. කැලෑ රොදකට ඇතුල්වීම යනු කුඩා දරුවන්ව අමුතුම ලොවකට රැගෙන යාමකි. කුරුල්ලන්ගේ නාදයන් ඇසීම,බිම වැටි ඇති පිහාටු එකතු කිරීමට හුරුවීම වැනි දේ වලින් ඔවුන් පරිසරයට ආදරය කිරීමට හුරුවුණී.පරිසරයට ආදරය කරනා දරුවෙකු කිසිවිටෙක සමාජයට වෛර කරන්නෙකු වන්නේ නැත.එමෙන්ම නිතරම ඇළ දොළෙහි පීනන,තරඟයට බයිසිකල් පදින,දුවන පනින ළමුන් සෑමවිටම නිරෝගීව ජීවත් වේ.මෙවැනි දරුවන් පොතපතින් ඉගෙන ගන්නා බොහෝ දෑ ඊට පෙර පරිසරයෙන්ම ඉගෙන ගෙන ගනී.එම නිසා ඔවුන්ගේ දැනුම ද ස්වාභාවිකවම වර්ධනය වන්නේ ප්‍රයෝගික දැනුමත් සමඟිනි. මෙය ඔවුන්ගේ අනාගතයට මහත් පිටුවහලක් වූයේ ළමා කාලයේ දීම ජිවීතයට ශක්තිමත් පදනමක් ඔවුන් නොදැනීම වැටි ඇති බැවිනි.මහ පොළව මත ජීවත් වෙමින් මිත්‍රත්වය,මිනිස්කම්, ස්වභාවධර්මය ඉගෙන ගන්නා දරුවෙකු බොහෝවිට අධ්‍යාපනය සාර්ථක කරගනී.ඉගෙනීම අපහසු වූවත් තමන් දක්ෂ වෙනත් හැකියාවකින් හෝ ජිවීතය සරු කරගැනීමට ඔවුන්ට හැකියාවක් ඇත ඒ දවස දෙමව්පියන්ට ද දරුවන් නොමඟට යොමුවේ යැයි බියක් දැනුනේ නැත.මන්ද දරුවන් නිරත වූ කටයුතු වලින් ඔවුන්ට මෙන්ම සමාජයටද හානියක් නොවන බව මව්පියන් දැන සිටියහ.
ඒ කාලයේ දුරකතනයක් තිබුණේ එහෙමත් නිවෙසකය.මුල් කාලයේ රූපවාහිනියටත් වඩා බොහෝ නිවෙස් වල තිබුණේ ගුවන්විදුලිය වූ අතර දරුවන්ට රටේ ලෝකයේ නවතම තොරතුරු දැන ගැනීමට හැකි මාධ්‍ය වූයේ ‘විජය, මිහිර ආදි ළමා පුවත්පත්ය. රූපවාහිනියේ පවා විකාශනය වූයේ හරවත් වැඩසටහන් මෙන්ම ටෙලි නාට්‍යයන්ය. ටයිටස් තොටවත්තයන් මුල් කරගෙන අතුල රන්සිරිලාල් වැනි මහත්වරුන් අතින් දොස්තර හොඳ හිත, පිස්සු පූසා, ටිං ටිං වැනි කාටුන් ද රොබින්හුඞ් ආදී විදේශීය කතා මාලාවන් ද මෙරට දරු පරපුරට දායද ලෙස ලැබුණි. දඬුබස්නාමානය, දූ දරුවෝ, ඇල්ල ලඟ වලව්ව වැනි නාට්‍ය නැරඹීමට මුළු පවුලම එකතු වූහ. ඇතැම්විට ඔවුන් රෑ කෑම වේල ගත්තේ මෙවැනි කතා නරඹමිනි.පවුලක ඇතිවන ගැටළු,ඒවා සුහද විසඳා ගන්නා ආකාරය,පවුලක ඇති වටිනාකම,කෙතරම් ගැටුම් ඇතිවුවත් සහෝදර බැඳීම්වල ඝනකම ආදී කරුණු දරුවන් මේවායින් ලබාගත්තේය. එම නිසාම දරුවන් දෙමව්පියන් අතර ඇති බැඳීම තවත් තර වූවා මිසක් ලිහිල් වූයේ නැත.
එහෙත් මේ ගතවු පසුගිය දශක දෙස බලන විට අපිට පෙනෙන්නේ අපගේ ඊලඟ පරම්පරාවන් ඉතා වේගයෙන් තාක්ෂණය සමඟ බද්ධ වන බවත් ඒත් සමඟම මේ කුඩා දරුවන්ට ඔවුන්වම අහිමි වී යන බවයි.
මේ දියුණු තාක්ෂණයත් සමඟ ලාංකීය සමාජයේ වටිනාකම් මිනිස්කම් බොහෝ අඩුවී යද්දී අපගේ දරු පරපුර ද තාක්ෂණයේ ගොදුරු බවට පත්වී අවසන්ය.ඒ කාලයේ පරිගණකයක් පවා හිමි වූයේ තරමක් ආර්ථික වශයෙන් ශක්තිමත් වු පවුලක දරුවන්ට හෝ නැතිනම් තරුණ පරම්පරාවටයි.බොහෝ දෙනෙක් ගේ ආසාව වූයේ මවුන්ටන් බයිසිකලයක් නැති නම් කතා පොතක් වැනි දේවල් ය .එහෙත් දැන් දරුවන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය වන්නේ ”ස්මාර්ට් ෆෝන්” එකක්ය.අපගේ අම්මලා දරුවන්ට රැගෙන දෙන්නේ දහස් ගණන් වටිනා දුරකතනය.ඒත් සමඟම ඔවුන්ට නොමිලේ විනාශකාරී බොහෝ දෑ ලැබේ.ෆෙස්බුක් පටන් නිල් චිත්‍රපටි අඩංගු වෙබ් අඩවි පවා ඔවුන් ගේ දෑත තුල ඇත.දරුවන් සෑමවිටම විමසිලිමත් ය. කුතුහලයෙන් යුක්තය.ඉතින් තමන්ට ආගන්තුක කිසිවක් ලැබුණු විගස ඔවුන් ඒ ගැන සොයා බැලීමට පෙළඹෙති.එය අවසන් වන්නේ කොතැනින් දැයි කිව නොහැකිය.දරුවන් නොමඟට යොමුවීම සාමාන්‍ය කරුණකි. දුරකතනයටම, පරිගණකයටම ඇබ්බැහි වන දරුවාට ළමා කාලයේ බොහෝ දෑ මඟ හැරේ. පරිගණක ක්‍රීඩා යනු සැබෑ ලෝකය නොවන බවට ඔහුට අමතකව යයි. දවස පුරාවටම ඔහු කාලය ගත කරන්නේ පරිගණකය ඉදිරිපිට හෝ දුරකතනය ඔබමින් ඇඳ මතට වී ය.එබැවින් ඔහුට අහිමි වන්නේ මුලින්ම යහපත් ශරීර සෞඛ්‍යයයි.තරබාරුකම දරුවාට ලබෙන මුල්ම තෑග්ගයි. අනතුරුව ළමයෙකුට අවශ්‍යම වන යහළුකම් ඔහුට නැතිවී යයි.මන්ද මිතුරන් සමඟින් කාලය ගත කිරීමට ඇති කාලය ඔවුන්ට මේ තාක්ෂණික මෙවලම් නිසා නැතිවී යාම ඛේදනීය කරුණකි.මිතුරන් නැතිවීම යනු ජිවීතයේ තවත් වටිනා දේ නොදැනීම මඟහැරී යාමකි.යමක් බෙදා හදා ගැනීමේ වටිනාකම,ජය පරාජය සමසේ විඳදරා ගැනීමට පුරුදු වීම ඉන් කිහිපයකි.එහෙත් ඒවා මඟහැරියාමෙන් ඔවුන්ට ලැබෙන්නේ ආත්මාර්ථකාමීත්වය, තනිකම මෙන්ම කල්යත්ම ඇති වන මානසික පීඩනය වැනි අහිතකර ප්‍රතිඵලයන් ය.ඉන්පසුව සමාජයට ලැබෙන්නේ දක්ෂ බුද්ධිමත් සමාජශීලි දරුවෙක් වෙනුවට මුළුගැන්වුණු,නිතරම නිවස තුලම රැඳී සිටීමට හුරු වු ළමයෙකුය.එවැනි අයට වැඩිවියට පත් වූ විට සමාජයේ දී ගැටළුවක් ඇතිවු විට පවා කලබලයකින් තොරව නිරාකරණය කරගන්නා ආකරය නොදනී.අතීතයේ සිටි ළමුන් ඉගෙනීම අතින් පසුබාන විට වෙනත් දක්ෂතාවයකින් හෝ ඉදිරියට යාමට සමත් වූහ. එහෙත් දැන් සිටිනා බොහෝ දරුවන් වයසට වඩා තරබාරු නිතරම ආවේගශීලිව කටයුතු කරනා ආකාරය දකින්නට ඇත.ඇතැම් දරුවන් ඔවුන් තුල සැඟවී ඇති හැකියාව කුමක්දැයි කියා පවා නොදනී.මේ අයහපත් තත්වයට මූලික වශයෙන්ම මඟ පාදන්නේ ළමුන්ට අනවශ්‍ය ජංගම දුරකතන මෙන්ම පරිගණකයි.
අනෙක් පසින් ජන මාධ්‍ය ද සෘජුවම දරුවන් පත්ව ඇති මේ ව්‍යසනයට වගකිව යුතුව ඇත.විද්‍යුත් මාධ්‍ය වල විකාශනය වෙමින් පවතින ඉන්දියන් කාටූන් වල පටන් මෙගා නාටක පමණක් නොව ඇතැම් නිවේදක නිවේදිකාවන් අපරාධ සම්බන්ධ පුවත් ද රූපවාහිනිය ඉදිරියේ සිනාමුසු මුහුණින් වීරකමක් ලෙස ඉදිරිපත් කරන ආකාරය ද ළමා මනස දූෂණය වීමට ප්‍රමාණවත්ය.දරුවන් ඉගෙන ගන්නේ,සිතට ගන්නේ,මතක තබා ගන්නේ ඔවුන්ට ඇසෙන පෙනෙනා දේවල් ය.ඉතින් අපි ඔවුන්ට දෙන්නේ කුණු නම් දරුවන් තමන්ගේ ඔළු පුරව ගන්නේ කුණු වලින් පමණි.වර්තමානයේ සිටින ළමා පරපුර අතීතයේ ජීවත් වූ වීරයින්,දස මහ යෝධයින් ගැන දන්නේ නැත.ඔවුන්ගේ වීරයින් බවට පත්ව ඇත්තේ ”සුපර් ශිවා, බෙන් ටෙන්” වැනි කාටුන් චරිතය.
අපගේ සංගීත කලාව තුල ඇති ළමා ගීත නොදන්නා දරුවන් දැන් මාධ්‍යයෙන් ඇසෙන මල් සිංදු නම් කටපාඩමින් කීමට සමත්ය. අද බොහෝ දරුවන්ට අඹ ගසකට පොල්ලකින් ගසා අඹ කැඩීමට හැකියාවක් නැත.ශක්තියක් නැත. වෙසක් කුඩූවක් සෑදීම වැනි දක්ෂතාවයන් අල්පය.ඔවුන් සිටින්නේ වෙනමම ලෝකයක් තුලය. එහි රැප් කරති. ෆෙස්බුක් ලයිව් පැමිණ සමාජයට කුණුහරුප කියමින් පිහි පෙන්වමින් වීරයින් වීමට උත්සහ දරති.මේ ලිපිය ලිවීමට හේතු වූයේද පසුගිය මාසයේ කුඩා දරුවන් කිහිපදෙනෙක් නිසා බුකියේ හුවමාරු වූ වීඩියෝ කිහිපයක් නිසාවෙනි.ඒ එම දරුවන් සමාජයේ අවධානය ගැනීමට නැතිනම් වීරයෙක් වීමට දරනා උත්සහයන්ය.ඔවුන් ඉගෙන ගෙන ඇත්තේ ඒවා වීර ක්‍රියාවන් ලෙසයි.ඒ කාලයේ අපි වසරක් වැඩිමහල් සහෝදරයෙකුට පවා කතා කලේ අයියා කියමිනි.ඒ ඔවුන් කෙරෙහි තිබු ගෞරවයයි.එසේ කතා කිරීමට අපට උගන්වා තිබුණි.එහෙත් දැන් දරුවන් ඔවුන්ට වඩා බොහෝ වැඩිමහළු අයට පවා කතා කරන්නේ ”මචං,බං,බොලං ආදී වචන වලිනි.ඒ ඔවුන් හුරුවී තිබෙන ආකාරයයි.එය වීරකමක්,එසේ කිරීමෙන් තමනුත් වැඩිහිටියන් බවට පත්වේයැයි සිතති.ඇතැම් දෙමව්පියන් ගේ වගකීම් විරහිත හැසිරීම් ද දරුවන් මේ තත්වයට පත්වීමට ප්‍රධානම හේතුවයි.දරුවන්ට ලබාදීමේ ලබාදිය යුත්තේ මොනවාද නොදිය යුත්තේ මොනවාදැයි පළමුව මව පියා තේරුම් ගත යුතුව ඇත.දරුවාගේ මුල්ම පාසල වන්නේ නිවසයි.එම නිසා පළමුව කල යුත්තේ නිවස තුල යහපත් පරිසරයක් නිර්මාණය කිරීමයි.සමාජයෙන්,පොලිසියෙන් දරුවන්ට දඩුවම් කිරීමට පළමුව මවුපියන් විසින් දඬුවම් කර හෝ ඔවුන්ව නිවැරැදි කල යුතුව ඇත.මන්ද දරුවන්ගේ වැරදි වලට මුලින්ම බැණුම් අසන්නේ අම්මා බැවිනි.
නැතහොත් දරුවන් මේ ආකාරයෙන් ජිවීතයේ ඉදිරියට ගියහොත් ඔවුන් අනාගතයේ කුමන තත්වයට පත්වේදැයි කිව නොහැකිය.එමෙන්ම මේ විනාශකාරී රැල්ලට වැඩි වශයෙන් ගොදුරු වී සිටින්නේ සමාජයේ පහළ මධ්‍යම පාන්තික දරුවන් බව ඔවුන්ගේ හැසීරිම්,නිවෙස් අනුව පැහැදිලිව පෙනේ.මේ දරුවන්ට ජිවීතය ජය ගැනීමට ඇති පහසුම මාර්ගය ඉගෙනීම පමණි.එය මඟහැරී ගොස් මොවුන් සමාජයට බරක්,පිළිලයක් වූ පසු දුක් වී පුනරුත්ථාපනය ට යොමු කිරීමට වඩා ඔවුන් දරුවන්ව සිටින අවධියේ ඔවුන්ගේ දුෂණය වූ මනස පිරිසිදු කිරීම ආරම්භ කල යුතුව ඇත.මන්ද වැඩිහිටියෙකුට වඩා දරුවෙකු යහමඟට ගැනීම පහසු බැවිනි.
මේ ලිපිය අවසන් කරන්නේ ඇතැම් සමාජ මාධ්‍ය වල පිළිකුල් සහගත හැසිරීම ගැන කණගාටුවට පත් වෙමිනි.ඉහත සඳහන් කල කුඩා දරුවන් දෙදෙනා ගේ වීඩියෝ දෙක තම ෆෙස්බුක් ගිණුම් තුල නැත්නම් ෆෙස්බුක් පිටු තුල පල කරමින් එය මහා වීර ක්‍රියාවක් ලෙස විස්තර කරමින් එයට සහයෝගය දක්වනවා යැයි පින්තූර නිර්මාණයන් කරමින් කරනා මේ නොහොබිනා වැඩ ගැන ඒ අදාල පුද්ගලයින් තමා ගැනම ලැජ්ජා විය යුතුය. ඔවුන්ගේ ක්‍රියාවලියෙන් මේ නොදරුවන් තවත් උද්දාමයට පත්ව කටයුතු කරනු ඇත.මේ පුද්ගලයින් ”රීච්” වැඩි කරගනිමින් මුදල් සොයනා විට දරුවන් මේ කාලකණ්ණි ෆැන්ටසියේ අතරමංව දුක් විඳවන දිනය ඉතා ඉක්මනින් උදා වනු ඇත.
ඒ දිනය රටක් වශයෙන් අපි මීටත් වඩා අසරණ වන දිනයක් වන බවට කිසිම සැකයක් නොමැත.එදිනට එය විනාශ කිරීමට සිදුවන සටන අපි අද කොරොනා වලින් මිදීමට කරනා සටනටත් වඩා බොහෝ අසීරු වනු ඇත.එම නිසා අනාගතයේ දුක් වීමට ඉඩ නොතබා හැකි ඉක්මනින් අපගේ දරුවන්ට සමාජයේ ඇත්ත ස්වරූපය මෙන්ම ඉගෙනීමේ වටිනාකම පැහැදිලි කර දී ඔවුන්ව දෙපයින් සිටුවීමේ කාර්යයට අත ගැසිය යුතුව ඇත.විශාල ගසක් පොරොවෙන් කපනවාට වඩා එය කුඩා පැළයක් නියපොත්තෙන් කැඩීම පහසුය.මේ ගෙවෙන්නේ ඒ පැළ අවධියයි.එය තේරුම් ගැනීම දෙමව්පියන්ගේ මෙන්ම සමාජයේ අනිවාර්යය වගකීමකී.එවිට ”සෙල්ලක්කාර මලියා,නදීර මැක්ස්” වැනි සිඟිති පතාලයකින් තොර සැබෑ ලාංකික බුද්ධිමත් දරු පිරිසක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව,හැකියාව නිරායාසයෙන්ම ලැබෙනු ඇත.

 








බොලිවුඩයේ නිල නොලත් කිං ඛාන් ඉර්ෆාන්

යුබෝවන් සහෝදරයිනි සහ සහෝදරියනි, මම ඉර්ෆාන්. මම ඔබ සමඟ සිටියත් ඔබ සමඟින්
නොමැත.මේ චිත්‍රපටය මට ගොඩක් විශේෂ චිත්‍රපටයක්.අපි මේ චිත්‍රපටය හැදුවේ බොහොම ආදරෙන්.මට ලොකු උවමනාවක් තිබුනා ඒ ආදරයෙන්ම මේ චිත්‍රපටය ප්‍රවර්ධනය කරන්න. නමුත්, අනවශ්‍ය අමුත්තෙක් මගේ ශරීරය ආක්‍රමණය කරගෙන. මේ දවස් වල එයත් එක්ක සටන් කරනවා.බලමු මොකක් වෙයිද කියලා.මොනදේ උනත් මම හැම දෙයක්ම ඔයාල එක්ක බෙදාගන්නවා.
කතාවක් තියෙනවා , “When life gives you lemons, you make lemonade.” කියනකොට හරිම රසවත්. නමුත් ඔබට අතලොස්සක් දෙහි ලැබුනොත් එය මිරිකන එක එතරම් පහසු නෑ.ධනාත්මකව සිතනවා හැරෙන්නට අපිට වෙන විකල්පයක් නැහැ.මේ වගේ අවස්ථාවක දෙහි යුශ හදනවද නැද්ද කියන එක තියෙන්නෙ ඔබේ අතේ.මේ වගේ සිතුවිල්ලකින් තමයි අපි මේ චිත්‍රපටය හැදුවෙ. මම හිතනවා මේ චිත්‍රපටය ඔබේ ජීවිතයට යමක් දෙයි , ඔබව හිනස්සවයි , ඔබව අඩවයි . සමහර විට නැවතත් හිනස්සයි.විදින්න ටේ්‍රලරය. හැමෝම ඇවිත් චිත්‍රපටය බලන්න. ඒ වගේම රැදී සිටින්න මම එනකන්!
- ඉර්ෆාන් ඛාන්

අන්න ඒ විදියට ඔහු එනකන් රැඳී සිටින්න කියපු ඉර්ෆාන් ඛාන් ආයෙ ආවෙ නෑ.. මේ ඔහු රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වනAngrezi Medium (2020) පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීමත් සමග ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තැබූ සංවේදී සටහන. මේ සටහනෙන් පිළිබිඹු වෙන්නේ ඉර්ෆාන් ඛාන් තමන්ගේ ජීවිත ගමන එතරම් දිගු නොවන බව වටහාගෙන තිබූ බව. අර දෙහි කතාව කියන්නේ ඒකයි. ඔහුට අවශ්‍ය උනා ඒ දෙහි ගෙඩි කීපයෙන් ඉක්මනටම දෙහි යුෂ හදන්න. ඔහු යන්න කලින් හදල ගියපු දෙහි යුෂය තමයි අංග්‍රේසි මීඩියම් කියන්නෙ.
ඉර්ෆාන්ට යන්න කලින් තව එකම එක වතාවක් හෝ චිත්‍රපටයක රඟපෑමේ උවමනාවක් තියන්න ඇති. ඔහු මේ චිත්‍රපටය නිමැවීමත් සමග ම සැනසුම් සුසුම් හෙලන්න ඇති. නමුත් මෙතරම් ඉක්මනට අවසන් සුසුමත් හෙලාවියැයි ඔබ අප කිසිවෙකු බලාපොරොත්තු නොවූ හද ප්‍රකම්පනය කරවන සිද්ධිය මේ වෙනවිට සිදුවී අවසන්...
මේ ඒ විශිෂ්ඨ රංගධරයා වෙනුවෙන් ලියැවෙන සටහනක්,
සහබ්සාදේ ඉර්ෆාන් අලි ඛාන් උපත ලබන්නේ 1967 වර්ෂයේ ජනවාරි මස හත් වනදා රාජස්තාන්හිදී ය. ඒ රාජස්තානයේ පඨාන් මුස්ලිම් පවුලේ අලුත්ම සාමාජිකයෙක් ලෙස ය. ඔහුගේ පියා එහි ටයර් ව්‍යාපාරිකයෙක් විය. තරුණ ඉර්ෆාන් ඛාන් අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු විය.CK Nayudu කුසලානයේ අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට වරම් ලද ඔහු එහිදී ඉන්දීය පළමු පෙළ මට්ටමේ ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබීමට පවා සාධනීය ක්‍රීඩකයෙක් විය. නමුත්, ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට තිබූ මුදල්මය අවහිරතාවයන් හේතුවෙන් ඉර්ෆාන් ක්‍රිකට් ගමනේ ද වැඩි දුරක් ගමන් කලේ නැත.
ඉර්ෆාන් ඛාන්ට රංගනය පිළිබඳව කැමැත්තක් ඇතිවන්නේ ජෝද්පුර් හි වේදිකා ශිල්පියෙකු වු ඔහුගේ මාමා කෙනෙකු නිසාවෙන් ය. ජායිපූර්හිදී ඔහු එවැනිම ශිල්පීන් මුණ ගැසෙන අතර ඔවුන් සමග වේදිකා ශිල්පියෙක් ලෙස රංගන ජීවිතය ආරම්භ කරන්නේ ය. එපමණක් නොව, ඉතා හොඳ අධ්‍යාපන මට්ටමක් සහිත ඉර්ෆාන් ඛාන් තම ඵ් උපාධියද ජායිපූර්හිදී ම අවසන් කරන්නේ ය. ඉනික්බිතිව ඔහු ඉන්දීය නළු නිළියන්ගේ තෝතැන්නක් බඳු වූ National school of Dramas (NDA ) හා සම්බන්ධ වන්නේ 1984 දී ය.
එම කාලසීමාවේදී මුම්බායි නගරයට බට ඉර්ෆාන් ඛාන්, වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන්නෙකු ලෙස රැකියාවක්ද කලේ ය. එ සමයෙහි ඔහුගේ රංගන පරමාදර්ශය වන රාජේශ් ඛන්නාගේ නිවසේ ද වායු සමීකරණ අලුත්වැඩියා කටයුතු සිදුවන්නේ දෛවෝපගත ලෙස ය.
NDA හි උපාධිය අවසන් කල ඉර්ෆාන් ඛාන් 1988 දී මීරා නායර් අධ්‍යක්ෂණය කරන ලද salaam Bombay චිත්‍රපටයේ රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා කර ගත්තේය. එය ඔහු දායක වූ මුල් ම චිත්‍රපටය ය. නමුත්, ඉර්ෆාන්ගේ චරිතය චිත්‍රපටයේ දැකගන්නට නොලැබෙන්නේ එය සංස්කාරකවරයාගේ කතුරට හසුවීමේ ප්‍රතිඵලයක් ලෙස ය. නමුත් මීරා නායර් විසින් ම 2006 දී අධ්‍යක්ෂණය කරන The Namesake චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ඉර්ෆාන් ඛාන්ට හිමිවන්නේ දෛවෝපගත ලෙස ය. එය ඉර්ෆාන් ඛාන්ගේ ප්‍රබලම රංගන අවස්ථාවලින් එකක් ලෙස ඉතිහාසයට එක් වී හමාර ය.
මුල් අවධියේදී ටෙලි නාට්‍ය කීපයකම රංගනයෙන් දායක වූ ඉර්ෆාන් සැමවිට බලා සිටියේ සිනමාවේ තම ස්ථානය එනතෙක් ය. සලාම් බොම්බේ හිදී චරිතය සංස්කරණ කටයුතුවලදී ඉවත් වූවත්, ඉන්පසු විචාරක පැසසුම් ලැබූ සුවිශේෂී චිත්‍රපටයක් වන Kamla ki maut (1989) චිත්‍රපටය හරහා මුල් වතාවට රිදී තිරයේ පෙනී සිටීමේ අවස්ථාව උදා කර ගත්තේ ය.ඉන්පසු එලෙසම විචාරක පැසසුම් ලැබූDoctor ki maut (1990) සහ Such a long Journey (1998) චිත්‍රපටවල චරිත නිරූපණය කලේ ය.
නමුත් ඔහු ඉන්දියාව තුල නළුවෙකු ලෙස ඉතාමත් හොඳින් ස්ථාවර වීම ආරම්භ කරන්නේ 2003 හි දී ය. 2003 දී ඔහු නිරූපණය කල Haasil චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතය සඳහා අති විශාල විචාරක පැසසුමට පාත්‍ර විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2004 Film Fare Awards හි දී හොඳම ප්‍රතිවීර චරිතය වෙනුවෙන් සම්මානයටද පාත්‍ර විය. එතැන් පටන් ප්‍රධාන මෙන්ම උප ප්‍රධාන චරිත ද රැසක් ඔස්සේ බොලිවුඩය තුල පෙර නොවූ විරූ ගමනක් යන්නට මේ අතිදක්ෂ නළුවා සමත් විය. Maqbool යනු ඉර්ෆාන්ගේ අප සඳහන් කල යුතු ම චිත්‍රපටවලින් එකකි. මෙය විශාල් භාරද්වාජ් විසින් විලියම් ශේක්ස්පියර්ගේ මැක්බෙත් නාට්‍යය ඇසුරු කරගෙන නිමැවූ විශිෂ්ඨ නිර්මාණයකි. සුපුරුදු පරිදිම ඉර්ෆාන් ඛාන්ගේ ඉහළ රංගනයක් මෙහිදීද දැක බලාගත හැකි ය. 2007 තිරගත වූ Life in a metro චිත්‍රපටය ඉර්ෆාන්ගේ තවත් සාර්ථක චිත්‍රපටයක් ය. මෙහිදී ඉර්ෆාන් ඛාන් සහ කොංකොනා සෙන්ගේ චරිත විශේෂයෙන් කතාබහට ලක් වූ අතර ඔවුන් දෙදෙනා තිරය මත කෙතරම් පෑහෙනවාද යන්න කතාබහක් පවා නිර්මාණය කිරීමට ඒ රංගනය ප්‍රමාණවත් විය. අවසානයේ Film fare සම්මාන උළෙලේ හොඳම සහය නළුවා සහ හොඳම සහය නිළිය යන සම්මාන ද්විත්වයටද වග කීමට ඔවුන් දෙදෙනා සමත් විය.
ඉන්දීය චිත්‍රපට ඔස්සේ දැක්වූ අති ප්‍රභල රංගන කෞෂල්‍යය නිසා ම ඉර්ෆාන් ඛාන් සඳහා ජාත්‍යන්තර සිනමාවෙන් ද ආරාධනා පිට ආරාධනා ලැබෙන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉර්ෆාන් ඛාන් මිය යනවිට ලෝක පූජිත නළුවෙකු ව සිටියේ ය. A mighty heart" The darjeeling limited එලෙස ඔහු රඟපෑ ඇමරිකානු චිත්‍රපට දෙකකි. ඔහු රඟපෑ ප්‍රථම විදේශීය චිත්‍රපටය ලෙස හැඳින්වෙන්නේ 2001 දී තිරගත වූ The warrior නම් බි්‍රතාන්‍ය චිත්‍රපටය ය. The amazing Spider man (2012),Life of PI (2012), Jurrasic world (2015), ලෝ ප්‍රකට නළු ටොම් හෑන්ක්ස් සමග Inferno (2016) යනු ඔහු චරිත නිරූපණය කල අතිශය ජනප්‍රිය හොලිවුඞ් නිර්මාණ කීපයකි. මෙම චිත්‍රපටවල සිදුකල රංගනයන් වෙනුවෙන් ඔහු ලොව පුරා තමන්ගේ රසිකයින් නිර්මාණය කිරීමට සමත් විය. නමුත් ඔහු සෑමවිටම ඉන්දීය සිනමාවට මුල්තැන දුන් අයෙක් ය. ඊට හොඳම උදාහරණය Piku වෙනුවෙන්The martian o ,The lunchbox වෙනුවෙන් Christopher Nolan ගේ Intersteller වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වීමට ලැබූ අවස්ථා ප්‍රතික්ෂේප කිරීම ය. මේ සියල්ල කතා කරන අතරතුරේ Slumdog millionaire (2008) ගැන කතා නොකර සිටින්නේ කෙසේ ද? එම වසරේAcademy awards හි Best Picture ලෙස සම්මාන ලබන්නේ එම චිත්‍රපටය ය. ඉර්ෆාන් ඛාන් ද එහි පොලිස් නිලධාරියෙකුගේ චරිතය නිරූපණය කරමින් Academy award සම්මානයක පහස ලබන්නට අවස්ථාව උදා කරගත්තේය. එමෙන් ම 2010 දී in treatment නම් ඇමරිකානු රූපවාහිනී කතාමාලාවේ ද ඔහුව දැකගන්නට ලැබිණි.
ඉන්දියාවේ පසුකාලීනව සම්බන්ධ වූ චිත්‍රපට විමසීමේදී ඉර්ෆාන්ගේ රංගන දිවියේ උපරිමය විඳගත හැකි ය. 2011 වසරේ Paan singh tomar චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් දැක්වූ අති විශිෂ්ඨ රංගන ප්‍රතිභාව වෙනුවෙන් හොඳම නළුවා සඳහා වන ජාතික චිත්‍රපට සම්මානය හිමි කර ගැනීමට ඔහු සමත් විය. ඉන්පසු 2013 වසරේදී ඔහුගේ රංගන දිවියේ ඉහලින්ම තැබිය හැකි උපරිම රංගනයක් ඔහු ඉදිරිපත් කරන්නේ The lunchbox හරහා ය. එය ජාත්‍යන්තර පැසසුම් පවා ලද ඉන්දීය සිනමා ඉතිහාසයේ ඉහල නිර්මාණයක් ලෙස සැලකීමට පැකිලිය යුතු නැත. එය ඉර්ෆාන්ගේ ස්වභාවික රංගන කුසලතාව මැනවින් ප්‍රකට කරවන අවස්ථාවකි. ඉන්පසුව ඔහු රංගනයෙන් දායක වූ Piku (2015) සහ Talvar (2015) වැනි චිත්‍රපට ගැන කීමට ඇත්තේ ද එයම ය. ඉර්ෆාන් ඛාන් සහය චරිත ඔස්සේ නැවතත් තිරය මත පතිත වන්නේ 2014 දී Gunday සහ Haider චිත්‍රපට ඔස්සේ ය. මින් Haider ඉහළ විචාරක පැසසුම් ලද චිත්‍රපටයක් වන අතර, එය ද විශාල් භාරද්වාජ් විසින් ශේක්ස්පියර් ගේ නාට්‍යයක් වන Hamlet ඇසුරින් නිමැවූවකි.
මීට අමතරව ශාරුක් ඛාන් හා Billu Barber (2009), ඔහුට පසු දින මෙලොවින් සමුගත් Rishi kapoor සමග D-Day (2013), මලයාලම් නිළි Parvathy සමග arib Qarib Single (2017), ඓශ්වර්‍යා රායි සමග Jazbaa (2017), මලයාලම් නළු දුල්කර් සල්මාන් සමග Karwaan (2018) යන සිනමාපටවලටද ඔහු දායක විය. එමෙන්ම 2016 වසරේ තිරගත වූ Madaari චිත්‍රපටය ඔහුගේ සිනමා දිවියේ තවත් හොඳම රංගනයක් ලෙස සඳහන් කල හැකිය.
ඔහුගේ අවසන් චිත්‍රපටය වූ Angrezi medium හි පළමු කොටස,Hindi medium (2017) ඔහුගේ චිත්‍රපට අතරින් ඉහලම ආදායමක් ලැබූ ඉන්දීය චිත්‍රපටය ලෙස ඉතිහාසගත ය. කෙසේ හෝ ඉර්ෆාන් ගැන තනි ලිපියකින් ලියා අවසන් කිරීම කල නොහැක්කකි. රංගන විශ්වකෝෂයක් බඳු වූ ඒ මිනිසාව පුවත්පත් පිටුවකට කැටි කිරීම අතිශය අපහසු ය.
ඉර්ෆාන් යනු බොලිවුඩය බිහිකල ස්වාභාවිකම නළුවෙකි. කිසිඳු ආයාසයකින් තොරව තම චරිතය නිරූපණය කරන ඔහු කෙතරම් ස්වාභාවිකද කියතොත් එය සාමාන්‍ය මිනිසෙකුගෙ සාමාන්‍ය හැසිරීම දෙසට කැමරාවක් එල්ල කලාක් මෙන් හැඟීමක් අප සිත් තුලට ඇතුලු කරවීමට සමත් ය. වරෙක විචාරකයෙකු සඳහන් කර තිබූ ආකාරයට ‘ඉර්ෆාන්ගේ ඇස් ඔහුගේ වචනවලටත් වඩා හයියෙන් කතා කරනවා’ යන්න සත්‍යයක් ම බව විස්වාස ය. මන්ද ඔහුගේ හැඟීම් නිරූපණයන් ඒ තරම්ම ස්වභාවික ය.
ඉර්ෆාන් ඛාන් හෙවත් බොලිවුඩයේ නිල නොලත් කිං ඛාන් මිය යාම ලෝක මට්ටමේ චිත්‍රපට රසිකයන්ගේ සිත්වලට සිදු කල බලපෑම සුලුපටු නොවේ. ඉර්ෆාන් කෙරේ රසිකයින් තුල තිබූ ආදරය හරි පුදුමාකාරය. හරියටම පියෙකු තුල තම දරුවාට ඇති ආදරය සේ ය. එය හිත ඇතුලේ සඟවාගෙන කල ආදරයක් ය. ඒ ආදරය දෝර ගලන්නේ ඔහුගේ මරණයත් සමග ය. ඒ සමග රසිකයින් ඔවුන්ගේ ආදරය නම් ජල කඳ ගලා යාමට සොරොව්ව විවර කළෝය. ඔවුන් ඉර්ෆාන් ට මෙතරම් ආදරය කල බවට ඔවුන්වත් නොදැන සිටින්නට ඇත. මේ ලියන මා අයිති වන්නේ ද ඒ කුලකයටම ය. නමුත් ඒ සොරොව් ඔවුන් ජීවත් වද්දීම ඇරෙන්නට තිබුණ ඒවාය.
ආයෙ එන්නම් කියපු ඉර්ෆාන් ඛාන් ආයේ එන්නේ නැති බව දැන් ස්ථිරය. ඔහුගේ රංගන දිවියේ හොඳම කාල සීමාවේදී ඔහුට සියල්ල හැර දමා යන්නට සිදු විය. මවගේ මරණයෙන් දින තුනක් ඇතුලත ඔහු ද මේ ලොව හැර ගියේ දෛවෝපගත ලෙස ය. ඔහු නැතත්, ඔහුගේ නිර්මාණයන් සැමදා මේ මහ පොළොව මත හුස්ම ගනු ඇත. ඉර්ෆාන්, ඔබට සුභ ගමන්!

 











ජීවිතේ කියන්නෙ චොක්ලට් පෙට්ටියක්...

‘Life is like a box of chocolate. You never know what you’re gonna get.’ 
මේජීවිත ගමන යද්දි අපි හැමෝටම අමාරු කාල පරිච්ඡේද පහුකරන්න වෙනවා, අනපේක්ෂිතව සහ කොන්දේසි විරහිතව. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. සමහරු කටු ඇනෙන පොළොවක කිසිම ආවරණයක් නැති දෙපයින් ඇවිදින අතරේ තවත් සමහර අයට දරාගන්න බැරි හුදෙකලාවක, තනිකමක අතරමං වෙන්න සිද්ධ වෙනවා. ඒ මදිවට කප්පරක් කුණාටු, සුලිසුළංවලටත් නොහිතන තැන්වලදි හදිසියේම නිරාවරණය වෙන්න අපට සිද්ධවෙනවා. හරියටම කිව්වොත් අභියෝග, කරදර, බාධක එක්ක ගලන ගඟක් වගේ; එකක් ඉවරවෙද්දි තව ප්‍රශ්නයක් අපේ ඉස්සරහ. සමහර තැන්වල හුස්මක් කටක් ගන්නවත් ඉඩක් නැතුව එක දිගට හැලහැප්පීම් ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. නරකම දේ තමයි, ඒ ගොඩක් කුණාටු පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනවලින් තොරව හදිසියේම අපේ ජීවිත ඇතුළට කඩාගෙන වැටෙන ඒවා වීම.
අසීමිතව දේවල් දරාගන්න හුරු වුණු ධෛර්යසම්පන්න සංචාරකයෙකුට හැර වෙන කෙනෙකුට එහෙම ගමනක් යන එක එච්චර ලේසි වෙන්නෙ නැහැ. කෙළවරක් නැති කඩාවැටීම් මැද පවා ගමනාන්තය ගැන බලාපොරොත්තුවක් තමන් ඇතුළෙ අවුළුවාගන්න එක ඒ වගේ සංචාරකයෙකුගෙ පුරුද්දක්. පාර නොපැහැදිළි තැන්වල, ඉදිරිය ගැන අදහසක් නැති නැවතුම්වල පවා එහෙම ඇවිලෙන බලාපොරොත්තු අපට කොඳුරලා කියනවා ගමන අතනෑර හිඳීමේ වැදගත්කම ගැන. ජීවත් වෙනවා කියන්නෙ අන්න ඒ ධෛර්යසම්පන්න මුහුණදීමට. ඒක කොන්දේසි විරහිත එකඟ වීමක්. අපි කවුරුවත් දන්නෙ නෑ ඊළඟට මොකද වෙන්නෙ කියලා.
1994 තිරගත වුණු Forrest Gump කියන ඉංග්‍රීසි චිත්‍රපටිය ඇතුළේ මේ කතාකරන්න යන කාරණය ගැන හරිම ලස්සන පැහැදිලිකිරීමක් මුණගැහෙනවා. My mama always said, ‘Life is like a box of chocolate. You never know what you’re gonna get.’˜ ඇත්තටම අපි ගෙවමින් ඉන්න මේ අවිනිශ්චිත ජීවිතේ ගැන ඊට වඩා සරල පැහැදිලිකිරීමක් තියෙන්න පුළුවන්ද? ජීවිතේ කියන්නෙත් හරියට චොක්ලට් පෙට්ටියක් වගේ දෙයක්. ඔයා කවදාවත් දැනගන්නෙ නෑ ඊළඟට ඔයාට ලැබෙන්නෙ මොනවද කියලා.
ඒත් ගොඩක් අය එහෙම එක දිගට එන කඩාවැටීම් සහ ප්‍රශ්න දරා ගන්න තරම් ශක්තිමත් අය නෙමෙයි. එහෙම වෙලාවට එයාල කරන්නෙ ගමන සහමුලින්ම අතෑරල දාන එක. හැම බලාපොරොත්තුවකටම, හැම හීනයකටම අර කුණාටුවලට අහුවෙලා ගහගෙන යන්න ඉඩ දෙන එක. වඩාත් පැහැදිලිව කිව්වොත්, තව දුරටත් කිසිම අරමුණක් එක්ක නොරැඳී වෙන දෙයක් වෙන්න ඇරලා බලාගෙන ඉඳීම. ඒ මොහොතේ එකම විසඳුම විදියට පෙනුණත්, දරා ගැනීමේ උපරිමයට ආව මොහොතක සිද්ධවෙන ඒ වගේ අත්හැරීම් ගොඩක් වෙලාවට කෙළවර වෙන්නෙ දීර්ඝකාලීන පසුතැවීම් සහ විඳවීම්වලින්.
ඇත්තටම ජීවිතේ කියන්නෙ එහෙම අතෑරල දාන්න තරම් නොවටිනා දෙයක් ද?
අර්නස්ට් හෙමිංවේ ගෙ ‘මහල්ලා සහ මුහුද’ (The Old Man and the Sea) ගොඩක් අය කියවල ඇති. තවම කියෙව්වෙ නැත්නම් නොවැරදීම හොයාගෙන කියවන්න වටින පොතක් ඒක. ඒ කෙටි නවකතාව ඇතුළෙ අපට මුණගැහෙනවා ප්‍රචණ්ඩ මුහුදක අවාසනාව එක්ක හුදෙකලා වුණු ධෛර්යසම්පන්න මහළු මනුස්සයෙක්. එයාගෙ නම සන්තියාගෝ. දවස් අසූ හතරක් තිස්සේ මුහුද මේ මහළු ධීවරයට දරුණු විදියට පිටුපානවා. හැබැයි සන්තියාගෝ, අසූ පස්වෙනි දවසෙත් තමන්ගෙ පුංචි යාත්‍රාව දියත් කරන්නෙ බලාපොරොත්තු ගැන දැඩි විශ්වාසයක් එක්ක. කිසිම වාසියක් නොලබා, ‘අවාසනාව’ කියන වචනයට පර්යාය පදයක් වෙමින් ගෙවුණු කාලය අවසානයේ මුහුද තමන්ගෙ මේ අතීත මිත්‍රයා දිහා බලන්න තීරණය කළත් අවාසනාව ඒ මොහොතේ පවා සන්තියාගෝව අත්හරින්න කැමති වෙන්නෙ නැහැ. ගැඹුරු, රළු මුහුදක තමන්ට පාලනය කරගන්න අසීරු දැවැන්ත මාළුවෙක් එක්ක හුදෙකලා වුණු සන්තියාගෝ එතන ඉඳලා මුහුණදෙන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ප්‍රශ්න ගොඩකට. හැබැයි මොන තරම් දුෂ්කර වුණත්; අත්හරින්න හේතු සිය දහස් ගණනක් මිනී මෝරු වගේ දත් විළිස්සගෙන තමන් ඉස්සරහට ආවත්, එයා අන්තිම මොහොත දක්වාම තමන්ගෙ සටන අත්හරින්නෙ නැහැ. අවසානය මොකක් වුණත් එච්චර ශක්තිමත්ව අන්තිම තත්පරය දක්වා සටන් කරපු ඒ මහළු මනුස්සයගෙ හිතේ හයිය ගැන ‘මහල්ලා සහ මුහුද’ කියවලා ඉවර වෙද්දි අපට දැනෙන්නෙ පුදුමාකාර ගෞරවයක්.
ගෙවෙන හැම තත්පරයක් පාසාම අපටත් සිද්ධවෙනවා සන්තියාගෝ වගේ,
කිසි දෙයක් අතනෑර මේ සටන ඉස්සරහට
ගෙනියන්න. අවසානය ගැන අදහසක් තිබුණත් නැතත් පුළුවන්තරම් බලාපොරොත්තු සහගතව ජීවිතේට මුහුණ දෙන්න. හොඳ යාත්‍රිකයෙක් කියන්නෙ කවදාවත් මුහුදක් දැකලා අඩියක් පස්සට තියන කෙනෙක් නෙමෙයි. ඒ වගේම හොඳ යාත්‍රාවක් කියන්නෙත් වරායක මලකඩ බැඳි බැඳී තියෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒවා අයිති මුහුදට. කුණාටු, සැඩපහරවල් මොන තරම් රළු වුණත් ඒකෙ වෙනසක් වෙන්නෙ නැහැ.
ඒ විතරක් නෙමෙයි, සමහර වෙලාවට අපි හිතනවා අනිත් කෙනාගෙ ගමන අපට වැඩිය ලේසියි, ඒ අය අපට වඩා වාසනාවන්තයි කියලත්. ඒක සාමාන්‍ය දෙයක්. හැමෝටම ලේසියෙන් යන්න පුළුවන් පැහැදිලි ගමනාන්තයක් දීලා, ලෝකයේ තියෙන බරපතලම ප්‍රශ්නවලින් පිරුණ, දුෂ්කර පාරක් සහ නොපැහැදිළි ගමනාන්තයක් අපට ලබා දීම ගැන දෛවය එක්ක අපි නිතරම කේන්ති ගන්නවා. ඒත් ඇත්තටම ඒක අපි හිතින් මවාගත්ත දෙයක්. කිසිම කෙනෙක් කිසිම ආකාරයකින් අපට වැඩිය වාසනාවන්ත අය නෙමෙයි. අපි නොදන්න, අපේ ළඟ නැති කිසිම මාර්ගෝපදේශනයක් හෝ මාලිමාවක් ඒ අය ළඟ තියෙන්න විදියක් නැහැ. කොටින්ම ඒ අය ඔයා ගැන හිතනවා ඇත්තෙත් ඒ විදියටමයි. මොකද හැමෝම දන්නෙ තමන්ගෙ ගමන සහ ඒ ගමනේ අමාරුකම් ගැන විතරයි. මේක කිසි කෙනෙක් ළඟ මාලිමාවක් හෝ සිතියමක් නැති, බොරුවළවල් සහ ගිරි දුර්ඝවලින් පිරුණු පාරක යන්න නියමිත ගමනක්.
ඉදිරිය පැහැදිළි නැති වෙන්න පුළුවන්. කුණාටු, සුළිසුලං එන්න පුළුවන්. ඒ වගේම කාත් කවුරුවත් ළඟපාතක නැතුව තනි වෙන්නත් පුළුවන්. හැබැයි ඒ එකක්වත් ගමන අතරමග අතෑරල දාන්න තරම් හොඳ හේතුවක් වෙන්නෙ නැහැ. මතක තියාගන්න, පරදින එක නෙමෙයි අමාරුම දේ. පරාජය ඇස් පනාපිට පේන්න තියෙන මොහොතක වුණත් ධෛර්යසම්පන්නව සටන් කරන එක. දිනුම, පැරදුම මොකක් වුණත් වැදගත් වෙන්නෙ ශක්තිමත්ව සහ ඉවසීමෙන් ඒ සටන එක්ක ඉඳීම.
කිසිම ඇවිළීමක් නැති හීතලම හීතල අයිස් කුට්ටියක් වෙනුවට හැම තත්පරයක් පාසාම උණුසුම් බලාපොරොත්තුවකින් ඇවිළෙන හදවතක් තිබීම තමයි ඒ වගේ දුෂ්කර ගමනක් යද්දි ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ. ගමන දුෂ්කර වීමෙන් සිද්ධවෙන්නෙ ඔයා තව තවත් දක්ෂ සංචාරකයෙක් වෙන එක. අන්න ඒ කාරණය තේරුම් ගත්ත දවසට, ලේසියෙන් දිනාගන්න පුළුවන් අරමුණුවලට වඩා සියදහස් ගුණයක් වටින ගමනාන්තයක් ඔයා වෙනුවෙනුත් බලාගෙන ඉඳියි.






මගදි මුණගැහුණා මගහැරුණ ආදරේ - 07

අසංක සායක්කාර ලියන ආදරණීය නවකතාව...
මේවා පටු මාවත් ද මෝඩයෝ? කන්ටේනරුත් යන්න පුළුවන්...” 
“ඇඬෙනවා” නූපා මොහොතක් බාසුරුගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන හිටියා. කඳුළු එනකොට බාසුරුගෙ ඇස් තව ටිකක් පුංචි වෙනවා. පුංචි ඇස්වලට නූපා ආසයි. ඒත් ඒ ඇස් ඇතුළෙ කඳුළු පිරෙනවට ආස නෑ.
“ඔය කඳුළු පිහිදගන්න”
නූපා තමන්ගේ ඔඩොක්කුවේ තිබ්බ ලේන්සුව බාසුරුට දික් කරේ පරණ පුරුද්දට. ලේන්සුව අතට ගන්න මොහොතේ නූපගේ ඇගිලි තුඩු බාසුරුගේ ඇගිලි ස්පර්ශ කරා. ඒ මොහොත නිමේෂයකිනුත් අඩකින් එකක් තරමට පුංචියි. ඒත් ඇඟිලි ගැටුණු තිගැස්ම දෙන්නගෙම හිත් අස්සෙ වොට් 33000කට වැඩි කම්පනයක් ඇති කළා.
“අපරාදේ මට ඒ ටික බලන්න බැරිවුණා. බැලුවා නම් මටත් අඬන්න තිබුණා”
උපාහස ලකුණක් මුහුණේ තියාගෙන නූපා එහෙම කිව්වට ඇත්තටම ෆිල්ම් එක ඉවර වෙනකම් බැලුවා නම් බාසුරුට කළින් අඬන්නේ නූපා. චිත්‍රපටයක විතරක් නෙමෙයි පොතක, සින්දුවක සංවේදී තැනක් නූපට දරන්න අමාරුයි. චිත්‍රපටි පොත් සින්දු නිසා තමන් ඉදිරියේ නූපගේ ඇස් තෙත්වුණු වාර ගණන එක ළඟ ඡේදනය වෙන මොන්ටාජ් රූප පෙළක් වගේ බාසුරුගේ ඔලුවෙ මැවුණා. ඒ එක රූපයක් ළඟ බාසුරු නතර වුණේ ඉබේම. ඒක චිත්‍රපටයක්. නූපත් එක්ක තනිවෙලා බලපු පළවෙනි චිත්‍රපටය. එච්.ඩී ප්‍රේමරත්නගේ සප්ත කන්‍යා.
“සප්ත කන්‍යා ෆිල්ම් එක ආයිත් හොල්වලට ඇවිල්ලා. වැඩි දවස් තියෙන එකක් නෑ. සතියකින් විතර ගලවයි.”
දවසක් කැම්පස් එකේ දී මේ උණුසුම් ආරංචිය බාසුරු නූපගේ කනේ තිබ්බෙ උදේ නුගේගොඩ හරහා එන වෙලාවේ දැකපු කටවුට් එක නිසා. කමල් අද්දරආරච්චියි සංගීතයි ඉන්න ඒ කටවුට් එක එල්ලලා තිබුණේ නුගේගොඩ - පරණ කැස්බෑව පාරට මුණදාපු ෆිල්ම් හෝල් එකේ ඉස්සරහා.
“මොකක්ද සප්ත කන්‍යා...? මට මතක නෑනේ ඒ ෆිල්ම් එක”
චිත්‍රපටි බලන්න ආස වුණාට නූපාට ලොකු ෆිල්ම් පිස්සියක් නෙමෙයි.
“මතක නැද්ද දැන් අවුරුදු කීපයකට කලින් ආවෙ. කමලුයි සංගීතයි ඉන්න ෆිල්ම් එක... අර ලස්සන සින්දු ටිකක් තියෙන්නෙ...”
චිත්‍රපටියෙ සින්දු ටික මතක් කරද්දී බාසුරුගේ ඔලුවට මුළින්ම ආවේ උන්මාද වූ ප්‍රේමාදරේ.
“ආ.. ඒකද... අනේ මං ආස සින්දුවක්..”
“එහෙනම් යමු 10.30 බලමු.”
බාසුරුගේ යෝජනාවට නූපා කැමති වුණේ අදිමදි කිරීම් මැද. දෙන්නගේ ප්‍රේම කතාවෙ තිබ්බ අලුත්කම විසින් ඒ අදිමදි කිරීම පෙරට ගෙනාවා. ඒ ගිය ගමන පියවරෙන් පියවරට බාසුරුට මතකයි. විජේරාම ඉඳලා 138 බස් එකේ ඇවිත් ජම්බුගස්සමුල්ල හන්දියෙන් බැහැලා පාර පැනලා ජම්බුගස්මුල්ල හරස් පාර දිගේ පරණ කැස්බෑව පාරට යන එක තමයි බාසුරුගේ සැලැස්ම.
ටික දුරක් පයින් ගියත් ඒ ගමන කාටවත් එක මොහොතකවත් විඩාවක් ගෙනාවෙ නෑ. ජම්බුගස්මුල්ල හරස් පාර ජනාකීර්ණ නුගේගොඩ තිබුණු තරමක හුදෙකලා මාවතක්. ඒ මාවත දිගේ දෙන්නා ඇවිදගෙන ගියේ අත්පටලන්.
“පටුමාවත් වල දූවිලි අතරේ අපගේ ඉපරැණි පියසටහන් ඇත. කියලා අපිට කියන්න වෙන්නේ මේ පාරවල් ගැන තමයි” බාසුරු එහෙම කිව්වෙ අමරදේවගේ සින්දුවේ වචන මුමුණමින්.
“මේවා පටු මාවත් ද මෝඩයෝ.... කන්ටේනරුත් යන්න පුළුවන්”
මේ ආදර කතාවේ කෙටි පටුන් ලියවුණේ දොලමත දිදුලන පෙණ පිඩු අතරෙ නෙමෙයි අඳුරු ෆිල්ම් හෝල් ඇතුළෙ. ඇත්තටම ඒක කෙටි කෙටිම පටුනක්. ඒ අඳුරු ෆිල්ම් හෝල් එක ඇතුළෙ දෙන්නා තනිවුණේ මේ විදියට නරඹන පළමු සහ එකම චිත්‍රපටය මේක කියලා නොදැන.
සිනමා ශාලාව ඇතුළෙ වැඩිවෙලාවක් දැහැන්ගත වෙන්න දෙන්නටම බැරිවුණා. ඒ දැහැන් තමන් වෙතම හරවා ගත්ත බාසුරුත් නූපත් තමන්ගේ ලෝකයේ ආදර විමුක්තිය හෙව්වා. ඒ ආදර විමුක්තිය මැද්දෙ පසුබිමෙන් ‘සප්ත කන්‍යාවේ’ ලස්සන ආදර ගීතයක් ඇහෙනවා. ඒවා බාසුරු නූපා ආදර කතාව වෙනුවෙන් ලියවුණු ගීත වගේ. නූපා ආස වුණේ ‘උන්මාද වූ ප්‍රේමාදරේට. බාසුරු ආස වුණේ ‘රූකාන්තගේ සුවඳ දැනී දැනෙනවා’ එකට.
එක මොහොතක නූපා බාසුරුගේ උරහිසේ ඔලුව තියාගෙන සිනමා දැහැනෙ. බාසුරුගේ අකීකරු වමත නූපගේ ඔලුව අතගාමින් ඒ සිනිදු මුහුණේ ස්පර්ශය විඳිනවා. එකපාරටම අතසීතල වෙලා ගියේ නූපගේ ඇස්වලින් වැටුණූ කඳුළු බින්ඳු නිසා.
“නූපා ඇයි මේ අඬන්නේ”
“පව්නේද...?”
ඒ වෙනකොට නූපා හිටියෙ සප්ත කන්‍යා දැහැනෙ සංගීතා කමල් ආදර කතාව මැද.
* * * *
සියලු දැහැන් බිඳ වැටුණේ ගුවන් යානයේ නියමු කුටියෙ ඉඳලා ලැබෙන නිවේදනයෙන්.
“ඊළඟ හෝල්ට් එක බහිනවා කියන්නෙ...?”
“අනේ මෝඩයෝ...එහෙනම් නැගිටලා බෙල් එක ගහන්න”
පැය 12කට ආසන්න කාලයක් ගතවුණත් තවමත් ගමනේ විඩාවක් දෙන්නගෙම හිත්වල නෑ. නූපා තමන් අසල තියෙන කවුළුවේ ආවරණය මෑත් කරා. දැන් වීදුරුවෙන් අනන්තය පේනවා. හාත්පස ඝණ අන්ධකාරය මැද ඈතින් පේන විදුලි ආලෝක යාය ජනිත කරන්නේ තරමක භයංකාර සුන්දරත්වයක්.
“ලස්සනයි නේද...?”
“ඔය පේන්නේ ලන්ඩන් හන්දිය”
බාසුරුගේ විහිළුවට නූප හිනාවුණේ ටිකක් සද්දෙට. ඒ වෙනකොට ගුවන් මගීන් හැම කෙනෙක් වගේම ගමනාන්තය පිලිගන්න නොසන්සුන් වෙමින් හිටියෙ. යාබද අසුනක හිටපු මඟියෙක් නූපා දිහා උනන්දුවෙන් බැලුවෙ ඒ හිනාවෙ සද්දෙ නිසා.
“මෝඩකතා කියන්නෙ නැතුව ඉන්නවද...? අර මිනිස්සුත් බලනවා.”
“මිනිස්සු බලන්නෙ මගේ කතා දිහා නෙමෙයි ඔයාගෙ හිනාව දිහා”
තවත් විනාඩි කිහිපයකින් පසු කාත් කවුරුත් නොදන්න රටක දින හතක් තනිවෙන්න නියමිත දන්නා හඳුනන යුවළ මතුපිටින් කුමන කතාවක නියැලුණත් යටි සිතින් හිටියෙ ඒ තිගැස්මෙ.
ගුවන්යානය හීත්රෝ ගුවන් තොටුපලේ නතර වෙනකොට මගීන් හුගදෙනෙක් තම තමන්ගේ අතේ ගෙනයා හැකි බෑග් වල තිබුණු ජැකට් ඇඟලා ගන්න පටන් ගත්තා. ඒ වෙනකොට එළියෙ උෂ්ණත්වය -2යි.
“ජැකට් දාගෙනම යමු. එළියෙ ඉන්න බැරුව ඇති”
බාසුරු එසේ කියමින් සිය බෑගයේ තිබුණු ජැකට් එක එළියට ගැනීමට උත්සාහ කළත් නූපා එවැනි උත්සාහයක නියැලුණේ නැහැ.
“ඇයි ජැකට් දාගන්නෙ නැද්ද...?”
“මගේ ජැකට් එක අනිත් බෑග් එකේ”
“එහෙනම් මේක ඔයා දාගන්න”
“එපා බාසුරු ඔයා දාගන්න... මම එළියට ගිහින් දාගන්නම්”
නූපා සීතලේ සිටිය දී තමාට පමණක් ජැකට් දාගැනීමට බාසුරු උත්සාහ කළේ නැහැ.

මතු සම්බන්ධයි