AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

මගදි මුණගැහුණා මගහැරුණ ආදරේ - 07

අසංක සායක්කාර ලියන ආදරණීය නවකතාව...
මේවා පටු මාවත් ද මෝඩයෝ? කන්ටේනරුත් යන්න පුළුවන්...” 
“ඇඬෙනවා” නූපා මොහොතක් බාසුරුගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන හිටියා. කඳුළු එනකොට බාසුරුගෙ ඇස් තව ටිකක් පුංචි වෙනවා. පුංචි ඇස්වලට නූපා ආසයි. ඒත් ඒ ඇස් ඇතුළෙ කඳුළු පිරෙනවට ආස නෑ.
“ඔය කඳුළු පිහිදගන්න”
නූපා තමන්ගේ ඔඩොක්කුවේ තිබ්බ ලේන්සුව බාසුරුට දික් කරේ පරණ පුරුද්දට. ලේන්සුව අතට ගන්න මොහොතේ නූපගේ ඇගිලි තුඩු බාසුරුගේ ඇගිලි ස්පර්ශ කරා. ඒ මොහොත නිමේෂයකිනුත් අඩකින් එකක් තරමට පුංචියි. ඒත් ඇඟිලි ගැටුණු තිගැස්ම දෙන්නගෙම හිත් අස්සෙ වොට් 33000කට වැඩි කම්පනයක් ඇති කළා.
“අපරාදේ මට ඒ ටික බලන්න බැරිවුණා. බැලුවා නම් මටත් අඬන්න තිබුණා”
උපාහස ලකුණක් මුහුණේ තියාගෙන නූපා එහෙම කිව්වට ඇත්තටම ෆිල්ම් එක ඉවර වෙනකම් බැලුවා නම් බාසුරුට කළින් අඬන්නේ නූපා. චිත්‍රපටයක විතරක් නෙමෙයි පොතක, සින්දුවක සංවේදී තැනක් නූපට දරන්න අමාරුයි. චිත්‍රපටි පොත් සින්දු නිසා තමන් ඉදිරියේ නූපගේ ඇස් තෙත්වුණු වාර ගණන එක ළඟ ඡේදනය වෙන මොන්ටාජ් රූප පෙළක් වගේ බාසුරුගේ ඔලුවෙ මැවුණා. ඒ එක රූපයක් ළඟ බාසුරු නතර වුණේ ඉබේම. ඒක චිත්‍රපටයක්. නූපත් එක්ක තනිවෙලා බලපු පළවෙනි චිත්‍රපටය. එච්.ඩී ප්‍රේමරත්නගේ සප්ත කන්‍යා.
“සප්ත කන්‍යා ෆිල්ම් එක ආයිත් හොල්වලට ඇවිල්ලා. වැඩි දවස් තියෙන එකක් නෑ. සතියකින් විතර ගලවයි.”
දවසක් කැම්පස් එකේ දී මේ උණුසුම් ආරංචිය බාසුරු නූපගේ කනේ තිබ්බෙ උදේ නුගේගොඩ හරහා එන වෙලාවේ දැකපු කටවුට් එක නිසා. කමල් අද්දරආරච්චියි සංගීතයි ඉන්න ඒ කටවුට් එක එල්ලලා තිබුණේ නුගේගොඩ - පරණ කැස්බෑව පාරට මුණදාපු ෆිල්ම් හෝල් එකේ ඉස්සරහා.
“මොකක්ද සප්ත කන්‍යා...? මට මතක නෑනේ ඒ ෆිල්ම් එක”
චිත්‍රපටි බලන්න ආස වුණාට නූපාට ලොකු ෆිල්ම් පිස්සියක් නෙමෙයි.
“මතක නැද්ද දැන් අවුරුදු කීපයකට කලින් ආවෙ. කමලුයි සංගීතයි ඉන්න ෆිල්ම් එක... අර ලස්සන සින්දු ටිකක් තියෙන්නෙ...”
චිත්‍රපටියෙ සින්දු ටික මතක් කරද්දී බාසුරුගේ ඔලුවට මුළින්ම ආවේ උන්මාද වූ ප්‍රේමාදරේ.
“ආ.. ඒකද... අනේ මං ආස සින්දුවක්..”
“එහෙනම් යමු 10.30 බලමු.”
බාසුරුගේ යෝජනාවට නූපා කැමති වුණේ අදිමදි කිරීම් මැද. දෙන්නගේ ප්‍රේම කතාවෙ තිබ්බ අලුත්කම විසින් ඒ අදිමදි කිරීම පෙරට ගෙනාවා. ඒ ගිය ගමන පියවරෙන් පියවරට බාසුරුට මතකයි. විජේරාම ඉඳලා 138 බස් එකේ ඇවිත් ජම්බුගස්සමුල්ල හන්දියෙන් බැහැලා පාර පැනලා ජම්බුගස්මුල්ල හරස් පාර දිගේ පරණ කැස්බෑව පාරට යන එක තමයි බාසුරුගේ සැලැස්ම.
ටික දුරක් පයින් ගියත් ඒ ගමන කාටවත් එක මොහොතකවත් විඩාවක් ගෙනාවෙ නෑ. ජම්බුගස්මුල්ල හරස් පාර ජනාකීර්ණ නුගේගොඩ තිබුණු තරමක හුදෙකලා මාවතක්. ඒ මාවත දිගේ දෙන්නා ඇවිදගෙන ගියේ අත්පටලන්.
“පටුමාවත් වල දූවිලි අතරේ අපගේ ඉපරැණි පියසටහන් ඇත. කියලා අපිට කියන්න වෙන්නේ මේ පාරවල් ගැන තමයි” බාසුරු එහෙම කිව්වෙ අමරදේවගේ සින්දුවේ වචන මුමුණමින්.
“මේවා පටු මාවත් ද මෝඩයෝ.... කන්ටේනරුත් යන්න පුළුවන්”
මේ ආදර කතාවේ කෙටි පටුන් ලියවුණේ දොලමත දිදුලන පෙණ පිඩු අතරෙ නෙමෙයි අඳුරු ෆිල්ම් හෝල් ඇතුළෙ. ඇත්තටම ඒක කෙටි කෙටිම පටුනක්. ඒ අඳුරු ෆිල්ම් හෝල් එක ඇතුළෙ දෙන්නා තනිවුණේ මේ විදියට නරඹන පළමු සහ එකම චිත්‍රපටය මේක කියලා නොදැන.
සිනමා ශාලාව ඇතුළෙ වැඩිවෙලාවක් දැහැන්ගත වෙන්න දෙන්නටම බැරිවුණා. ඒ දැහැන් තමන් වෙතම හරවා ගත්ත බාසුරුත් නූපත් තමන්ගේ ලෝකයේ ආදර විමුක්තිය හෙව්වා. ඒ ආදර විමුක්තිය මැද්දෙ පසුබිමෙන් ‘සප්ත කන්‍යාවේ’ ලස්සන ආදර ගීතයක් ඇහෙනවා. ඒවා බාසුරු නූපා ආදර කතාව වෙනුවෙන් ලියවුණු ගීත වගේ. නූපා ආස වුණේ ‘උන්මාද වූ ප්‍රේමාදරේට. බාසුරු ආස වුණේ ‘රූකාන්තගේ සුවඳ දැනී දැනෙනවා’ එකට.
එක මොහොතක නූපා බාසුරුගේ උරහිසේ ඔලුව තියාගෙන සිනමා දැහැනෙ. බාසුරුගේ අකීකරු වමත නූපගේ ඔලුව අතගාමින් ඒ සිනිදු මුහුණේ ස්පර්ශය විඳිනවා. එකපාරටම අතසීතල වෙලා ගියේ නූපගේ ඇස්වලින් වැටුණූ කඳුළු බින්ඳු නිසා.
“නූපා ඇයි මේ අඬන්නේ”
“පව්නේද...?”
ඒ වෙනකොට නූපා හිටියෙ සප්ත කන්‍යා දැහැනෙ සංගීතා කමල් ආදර කතාව මැද.
* * * *
සියලු දැහැන් බිඳ වැටුණේ ගුවන් යානයේ නියමු කුටියෙ ඉඳලා ලැබෙන නිවේදනයෙන්.
“ඊළඟ හෝල්ට් එක බහිනවා කියන්නෙ...?”
“අනේ මෝඩයෝ...එහෙනම් නැගිටලා බෙල් එක ගහන්න”
පැය 12කට ආසන්න කාලයක් ගතවුණත් තවමත් ගමනේ විඩාවක් දෙන්නගෙම හිත්වල නෑ. නූපා තමන් අසල තියෙන කවුළුවේ ආවරණය මෑත් කරා. දැන් වීදුරුවෙන් අනන්තය පේනවා. හාත්පස ඝණ අන්ධකාරය මැද ඈතින් පේන විදුලි ආලෝක යාය ජනිත කරන්නේ තරමක භයංකාර සුන්දරත්වයක්.
“ලස්සනයි නේද...?”
“ඔය පේන්නේ ලන්ඩන් හන්දිය”
බාසුරුගේ විහිළුවට නූප හිනාවුණේ ටිකක් සද්දෙට. ඒ වෙනකොට ගුවන් මගීන් හැම කෙනෙක් වගේම ගමනාන්තය පිලිගන්න නොසන්සුන් වෙමින් හිටියෙ. යාබද අසුනක හිටපු මඟියෙක් නූපා දිහා උනන්දුවෙන් බැලුවෙ ඒ හිනාවෙ සද්දෙ නිසා.
“මෝඩකතා කියන්නෙ නැතුව ඉන්නවද...? අර මිනිස්සුත් බලනවා.”
“මිනිස්සු බලන්නෙ මගේ කතා දිහා නෙමෙයි ඔයාගෙ හිනාව දිහා”
තවත් විනාඩි කිහිපයකින් පසු කාත් කවුරුත් නොදන්න රටක දින හතක් තනිවෙන්න නියමිත දන්නා හඳුනන යුවළ මතුපිටින් කුමන කතාවක නියැලුණත් යටි සිතින් හිටියෙ ඒ තිගැස්මෙ.
ගුවන්යානය හීත්රෝ ගුවන් තොටුපලේ නතර වෙනකොට මගීන් හුගදෙනෙක් තම තමන්ගේ අතේ ගෙනයා හැකි බෑග් වල තිබුණු ජැකට් ඇඟලා ගන්න පටන් ගත්තා. ඒ වෙනකොට එළියෙ උෂ්ණත්වය -2යි.
“ජැකට් දාගෙනම යමු. එළියෙ ඉන්න බැරුව ඇති”
බාසුරු එසේ කියමින් සිය බෑගයේ තිබුණු ජැකට් එක එළියට ගැනීමට උත්සාහ කළත් නූපා එවැනි උත්සාහයක නියැලුණේ නැහැ.
“ඇයි ජැකට් දාගන්නෙ නැද්ද...?”
“මගේ ජැකට් එක අනිත් බෑග් එකේ”
“එහෙනම් මේක ඔයා දාගන්න”
“එපා බාසුරු ඔයා දාගන්න... මම එළියට ගිහින් දාගන්නම්”
නූපා සීතලේ සිටිය දී තමාට පමණක් ජැකට් දාගැනීමට බාසුරු උත්සාහ කළේ නැහැ.

මතු සම්බන්ධයි






No comments:

Post a Comment