AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

දෝංකාරය - කයිවාරු

ට කිහිප දෙනෙක් කියලා තියෙනවා youtube channel එකක් පටන් ගන්න කියලා, පත්තර
වලින් interview ඉල්ලපු අවස්ථා විතරක් නෙවෙයි පත්තර වලට කොලම් එකක් ලියන්න කියලා ආරාධනා ආපු අවස්ථා එහෙමත් තියෙනවා, ඔය හැම වෙලාවෙම විතරක් නෙවෙයි මං කතා කරන්න ඕන ඇතැම් අවස්ථා වලදි පවා මොනවා හරි ඒ වෙලාවට හරි යන එකක් කියලා ශේප් වෙන එක තමයි මගේ ක්‍රමය උනේ. ඇත්තම කතාව එහෙම මට හිතෙන හිතෙන ඒවා ප්‍රසිද්ධියේ කියන්න තියෙන ලැජ්ජා ව සහ බය තමයි ඔය අවස්ථා ප්‍රතික්ෂේප කරන්න හේතු උනේ. මොකද මං හොඳාකාරවම දන්නවා මට වඩා දන්න මිනිස්සු අටෝරාසියක් ලෝකෙ ඉන්නවා කියලා, එහෙම මිනිස්සු ඉඳිද්දි කොහොමද මං පොර ටෝක් දෙන්නෙ කියලා ඉහ වහා ගිය ලැජ්ජා වක් තමයි තාමත් මගෙ ඔලුවෙ තියෙන්නේ.

හැබැයි මට දැන් පේන්නේ එහෙම ලැජ්ජා බය තියෙන්නේ මට විතර ද මන්දා. මෙලෝ තේරුමක් නැතුව හැමෝම හිතෙන හිතෙන හැමදේම, හැමතැනම කියනවා, තමන් කියන්නෙ ඔප්පු කරපු දෙයක් ද, නැත්නම් මොකක් හරි පිලිගත් මත වාදයක් ද, නැත්නම් තමන් ගෙ මනෝ විකාරයක් ද කියලා වත් අඩුම ගානෙ කියනවා නම් යම් වැදගත් කමක් එයි කියලා මට හිතෙන්නේ .
දේශපාලනඥයෝ, මාධ්‍යවේදීන්, පැවිදි උතුමන්ලා, ගිහි උතුමන්ලා, දොස්තරලා, ගුරුවරු, නලුවො, ගායකයො, ක්‍රීඩකයෝ, ඩ්‍රයිවර් අන්කල්ලා, කොන්දොස්තර මල්ලිලා, ත්‍රීවිල් කොල්ලො, නර්ස් ඇන්ටිලා යනාදී සියල්ලෝම මේ වෙන කොට දේශන දෙන්න පටන් අරගෙන තියෙන්නේ, මං මේ කියන්නෙ කොරෝනා තත්ව යටතේ ඇතිවුන ඒවා නෙවෙයි ඊට කලින් ඉඳල එහෙම තමයි සිද්ධ උනේ. කොරෝනා තත්ව යටතේ ඒ පිලිබඳ දැනුවත් පුද්ගලයන් කරන ප්‍රකාශ හෝ ඕනෑම කරුණ ක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයන් කරන ප්‍රකාශ එක්ක මේක පටලවා ගන්න එපා. මං මේ කියන්නෙ තමන්ට මෙලෝ අදාලත්වයක් නැති දේවල් ගැන දේශන පැවැත්වීම ගැන.
ඉතින් අර වගේ මටත් කයිවාරු ගහන්න ආපු අවස්ථා මඟහැරපු එක ගැන මට පුදුම සංතෝසයක් තියෙන්නේ. ඇයි දෙයියනේ හැමෝම කතා කරන එකේ ඕවා අහගෙන ඉන්නත් කවුරු හරි ඉන්න එපැයි. ඉතින් ඒ දුර්ලභ අවස්ථාව ලබා ගන්න මං අර සුලභ තත්ත්වය මග හැරපු එක ගැන මං සතුටු වෙන්න ඕන නැද්ද?
අපි ඉස්කෝලෙ යන කාලෙ අපි හිටපු සංගමයක සාමාජිකයන් අතුරින් එක් අයෙක් හැරෙන්න අනිත් හැමෝටම විවිධ තනතුරු තිබ්බා. එකම එක කෙනයි තනතුරක් නැතුව හිටියේ මිනිහා පුදුම ආඩම්බරයෙන් හිටියෙ ඒ සම්බන්ධයෙන්, අනිත් අය තමන් ගෙ තනතුර ලියලා අත්සන් කරද්දි එයා ඔයැ member කියලා අත්සන් කරනවා. මටත් ඒ වගේ හැඟීමක් තමයි දැන් තියෙන්නේ.
මහ සභා මැද නොවුනට දෙන්නා තුන් දෙනා එකතු වෙන තැන් වල අපිත් ලොකු කතා කියවනවා, හැබැයි ඒවා නිකන් gossip විතරයි කියලා අපි දැනගෙන ඉන්න ඕන. අනික මං හිතන විදියට ම අනිත් අයත් හිතන්න ඕන, මේක තමයි නිවැරැදි ම ක්‍රමය කියලා හිතෙන එක ම මං හිතන්නේ රෝගී තත්ත්වයක් කියලා. ඒ වගේම සමාජය ට උපදෙස් දෙන්න තමන් ට තියෙන සුදුසු කම මොකක් ද කියලා පෙරලා තමන් වම ප්‍රශ්න කරන්න හික්මීමක් තියෙන්න ඕන කියලා මට හිතෙන්නේ. නැත්නම් අඩුම ගානෙ කයිවාරුව ඉවර වෙලා මේ මට හිතෙන හැටි මේක ට වෙනස් අදහස් අනිත් අයට තියෙන්න පුළුවන් කියලා කියන්න නිහතමානී කමක් වත් තියෙන්න ඕන.
කොහොම හරි හැමෝම කතා කරන්න ගත්තා ට පස්සෙ වචන වලට තියෙන වටිනාකම, ගෞරවය විතරක් නෙවෙයි වචන වලින් නිර්මාණය වන සුන්දරත්වය හා ආදරයත් නැති වෙලා යනවා. දැන් ඒක වෙලා තියෙන්නේ, ඒකයි කතා කරන මිනිස්සු මහ කන්දරාවක් හිටියට කවුරුවත් ඒවා අහන්නෙ නැත්තෙ, නැත්නම් ගනං ගන්නෙ නැත්තෙ, ඉතින් කතා කරන මිනිස්සු ත් තේරුම් ගන්න ඕන කතා කලා ට මුකුත් වෙන්නෙ නෑ කියන එක.
ඒක නිසා දැන් ඉතිරි වෙලා තියෙන්නේ ආයෙ කවදාහරි දවසක වචන වලට වටිනාකමක් එන කල්, ගෞරවයක් එන කල්, නිශ්ශබ්ද ව ඉන්න එක. එහෙම දවසක් කවදා වත් එන්නෙ නැත්නම් සදාකාලිකව ම නිශ්ශබ්ද ව හිටියත් කමක් නෑ කියලා මට හිතෙන්නේ. එතකල් මොකද කරන්න ඕන කියලා කවුරු හරි ඇහුවොත් උත්තරේ හරි සරලයි. එතකල් නෙවෙයි ඊට පස්සෙත් කරන්න ඕන වැඩ කරන එක, ඔයා ට මට ජීවත් වෙන්න පුළුවන් බිමක් හැදෙන්න මොනවා මොනවා හරි වැඩ කරන එක. ඊට පස්සෙ කතා කරන්න සුදුසු දවසක් ආවත් ඔයාට තේරෙයි කතා කරන්න ඕන නෑ, කරන්න ඕන වැඩ කරන එක කියලා.
ඔව්... මේ මට හිතෙන හැටි. වෙන කෙනෙකුට වෙන අදහසක් තියෙන්න පුළුවන් . මං ඒකට ගරු කරනවා. ඔයා ගෙ අදහස අහං ඉන්නත් මං කැමතියි. හැබැයි මට කම්මැලි හිතුනොත් මං නැඟිටලා යනවා. දිගටම අහගෙන හිටියම එහෙම වෙනවා. මොකද එකම දේ නම් කියන්නෙ, මං ඕක අනේක වාරයක් අහලා තියෙනවා නම්, මං අහගෙන ඉන්න එකේ තේරුමක් නෑ. අනික කතා කරන එක ඔයාගෙ අයිතියක් වගේම නැඟිටලා යන එක මගේ අයිතියක්. මං කියන දේවල් සම්බන්ධයෙනුත් ඒක එහෙම තමයි.
කාලිංග බණ්ඩාර

No comments:

Post a Comment