AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

සෙමින් සෙමින් නැගී සිටින කළු තුරඟුන් ජැමෙයිකාව

ව සියවස ආරම්භයේම ලෝක වාසින්ට ගිම්හාන ඔලිම්පික් උළෙලක උද්වේගකර
තරඟකාරිත්වයක් අත්විඳීමට අවස්ථාව ලැබුණි.ඒ 2000 වර්ෂයේ සුන්දර කැන්ගරු
දේශයේ දී ය. මේ ඔලිම්පික් උළෙලට ඇමරිකාව පැමිණෙන්නේ 1996 ඇට්ලන්ටා හි දී ලබාගත් රන් පදක්කම් දහතුන තවත් විශාල කරගැනීමේ බලාපොරොත්තුවෙනි. ඇට්ලන්ටාහි දී මයිකල් ජොන්සන් මීටර් 200,400 රන් පදක්කම් ලබද්දී ඩෙරික් ඇඞ්කින්ස් සහ ඇලන් ජොන්සන් පිළිවෙලින් මීටර් 400 සහ 110 කඩුලු පැන දිවීමේ රන් පදක්කම් දිනාගනිද්දී ඔවුන්ට රන් පදක්කම් අහිමි වන්නේ මීටර් 100 කේවල සහ සහය දිවීමේ තරඟ වලයි. එසේ වුවත් මීටර් 400 සහය දිවීමේ තරඟයේ දී යළිත් රන් පදක්කම තමන් සතු කරගැනීමට මයිකල් ජොන්සන් ඇතුළු ඇමරිකානුවන් සමත් වූහ.මීටර් 100 පිරිමි රන් පදක්කම අහිමි වූවත් කාන්තා රන් පදක්කම ඇමරිකාවට හිමි කරදීමට ගෙයිල් ඩෙවර්ස් සමත් වූවාය.සහය දිවීමේ කාන්තා තරඟ වල ද රන් පදක්කම් දිනා ගත්තේ එක්සත් ජනපදයයි.
1999 වසරේ දී මීටර් 100 ලෝක වාර්තාව තමන් සතු කරගත් මොරිස් ග්‍රීන් සමඟින් සිඞ්නි ඔලිම්පික් ගම්මානයට පැමිණෙන ඇමරිකාව මෙවර සිටියේ නවක දක්ෂයින් රැසක් තම කණ්ඩායමේ පිරිවරාගෙනයි. මොරිස් ග්‍රීන් එවකට ලෝක වාර්තාව තබන්නේ තත්පර 9.79 කාලයක් වාර්තා කරමිනි. ඇමරිකාවේ කැන්සාස් හී උපත ලැබූ මොරිස් ග්‍රීන් ඇමරිකානු මළල ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන නමක් තබන්නේ ඔලිම්පික් පදක්කම් හතරක් සහ ලෝක ශූරතා උළෙලවල් දී පදක්කම් පහක් ලබාගනිමිනි. සිඞ්නි ධාවන පථයේ මීටර් 100 රන් පදක්කම ග්‍රීන් විසින් දිනා ගනු ලබන්නේ තත්පර 9.88 ක කාලයක් වාර්තා කරමිනි. එහිදි දෙවන ස්ථානය ලබන්නේ ටි්‍රනිඩෑඞ් සහ ටොබැගෝ දූපත් නියෝජනය කරමින් පැමිණි අටෝ බෝල්ඩන් විසිනි. එමෙන්ම එහි ලෝකඩ පදක්කම හිමි කරගන්නේ බාබඩෝස් හී තොම්ප්සන් විසිනි. එමෙන්ම පීඩනය දරාගත නොහැකිව ඝානා ධාවකයාගේ වැරදි ආරම්භය ද මේ තරඟය අතරතුරදී කැපී පෙනුණි.
සිඞ්නි ඔලිම්පික් හී මීටර් දෙසීය කෙරෙහි ද බොල්ඩන් රන් පදක්කමක් බලාපොරොත්තුවෙන් සිටි අතර තවමත් ටි්‍රනිඩෑඞ් හී ජාතික වාර්තාව සතු වන්නේ ඔහුටයි. නමුත් අනපේක්ෂිත ලෙස ඔහුගේ රන් පදක්කම් බලාපොරොත්තුව ගිලිහි ගොස් ඔහුට ලැබෙන්නේ ලෝකඩ පදක්කමයි. එහි රන් පදක්කම හිමි කරගන්නේ ග්‍රීසියේ කොන්ස්ටටීනෝස් කෙන්ටෙරිස් හටයි.රිදී පදක්කම හිමි කරගන්නේ මහා බි්‍රතාන්‍යයේ ඩැරන් කැම්බෙල් ය. මේ තරඟය මීටර් 100 තරඟයටත් වඩා ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර කොන්ස්ටටීනෝස් ගේ විප්ලවය ගැන විචාරකයන් ඇතුළු සෑමදෙනාම විමතියට පත් වෙද්දී අටෝ බෝල්ඩන් ගේ බලාපොරොත්තු කඩවීම හොඳින්ම දැක ගැනීමට හැකිවිය. කොන්ස්ටටීනෝස් තරඟය තත්පර 20.09 ට අවසන් කරද්දී බෝල්ඩන් තරඟය නිම කර තිබුණේ තත්පර 20.20 කාලයක දී ය.
මොරිස් ග්‍රීන් සහ ඇටෝ බෝල්ඩන් ගැන විශේෂයෙන්ම සඳහන් කලයුතුය.ග්‍රීන්ට මූලික අධ්‍යයන කටයුතු වලින් අනතුරුව කැන්සාස් විශ්ව විද්‍යාලයෙන් ක්‍රීඩා ශිෂ්‍යත්වයක් හිමි වන්නේ ඔහු පාසලේ දී මළල ක්‍රීඩා මෙන්ම ඇමරිකන් පාපන්දු වලට දක්වන හැකියාව නිසාවෙනි.1995 දී අන්තර්ජාතික තරඟ බිමට පැමිණෙන ඔහුගේ මුල්ම තරඟාවලිය වන්නේ ගොතන්බර්ග් හී පැවති ලෝක ශූරතාවලියයි. නමුත් සුදුසුකම් ලබාගැනීමේ තරඟයේ දී පරාජයට පත්වී තරඟාවලියෙන් ඉවත් වීමට ඔහුට සිදු වනවා. එසේම 1996 ඇට්ලන්ටා වලදී ද ඔහුට සිදුවන්නේ බංකුවේ සිට තම සඟයින් තරඟ කරන අයුරු නැරඹීමටයි. අනතුරුව ඔහු ජොහ්න් ස්මිත්ගේ පුහුණුකාරිත්වය යටතේ ඉදිරියට යන්නට පටන් ගන්නවා. අනතුරුව ඇතන්ස් හී පැවති ලෝක ශූරතාවයෙහි මීටර් 100 තරඟයෙන් ජයගැනීමෙන් පසුව ග්‍රීන් ගේ කාලය ආරම්භ වී තිබුණා. පෙර සඳහන් කල පරිදිම 1999 ලෝක ශූරතාවලියේ දී යලිත් රන් පදක්කම හිමි කරගන්නා මේ විශිෂ්ඨ ධාවකයා සමු ගන්නා විට ඔහුගේ නම ඉදිරියේ ඔලිම්පික් රන් පදක්කම් දෙකක් සහ ලෝක ශූරතා රන් පදක්කම් පහක් සටහන් වී තිබුණා.
ග්‍රීන් ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූයේ බටහිර ඉන්දීය කුඩා දූපතක සිට පැමිණි අටෝ බෝල්ඩන් ය. ටි්‍රනිඩෑඞ් හී උපත ලබන ඔහු අධයාපනය ලබන්නේ නිව් යෝර්ක් හී වන අතර 1992 කණිෂ්ඨ ලෝක ශූරතාවලියේ මීටර් 100,200 රන් පදක්කම් දිනන ඔහු, ජේෂ්ඨ ලෝක ශූරතාවලියේදී ද රන් පදක්කම් ලැබු ක්‍රීඩකයින් ස්වල්පය අතරින් එක් අයෙකු වේ. කෙසේ නමුත් ඔහු දැඩි බලාපොරොත්තු තබන සිඞ්නි හී මීටර් 200 ඉසව්ව මෙන්ම 100 ඉසව්ව තුල ද රන් පදක්කම දිනා ගැනීමට නොහැකි වීම ඔහුගේ බලාපොරොත්තු කඩවීමක් ලෙස හැඳින්විය හැකි අතර ලෝක ශූරතා හතරකට සහභාගී වන ඔහුට දිනාගැනීමට හැකි වන්නේ එක් රන්පදක්කමක් පමණි. කෙසේ වුවත් පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ දි මීටර් 100 රන් පදක්කම දිනා ගැනීමට ඔහුට හැකිවනවා. 2002 වසරේදී බීමත් රියදුරෙකු විසින් සිදු කරනු ලබන අනතුරක් නිසා බෝල්ඩන් දරුණු ලෙස තුවාල ලබනවා. එම නිසාම ඔහුට පෙර මෙන් දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වන අතර එම නිසාම 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලේදී සාර්ථක වීමට ඔහුට හැකියාවක් ලැබෙන්නේ නෑ.
යලිත් අපි සිඞ්නි ඔලිම්පික් උළෙල වෙත යොමු වෙමු.ඇට්ලන්ටා වල ශූරයා වූ මයිකල් ජොන්සන් හට මෙවර රන්පදක්කමක් ලබාගැනීමට හැකි වන්නේ මීටර් 400 ඉසව්වේ දී පමණි.එහිදි පළමු ස්ථාන දෙකම ඇමරිකාවට හිමි වන අතර එම නිසාම ඔවුන් මීටර් 400 සහය දිවීමේ රන් පදක්කම කෙරෙහි ද වැඩි බලාපොරොත්තුවක් තබා තිබුණු අවසන් මහා තරඟයේ දී ඔවුනට රන් පදක්කම හිමිවු අතර “අන්තෝනියෝ පෙට්ටිග්‍රෙව්” තහනම් උත්තේජක භාවිතා කිරීම නිසා ඔවුන්ට යළිත් පදක්කම් සියල්ලම ඔලිම්පික් කමිටුවට භාරදීමට සිදුවිය. මයිකල් ජොන්සන් මීටර් 400 ඔලිම්පික් උළෙලකදී පිට පිට දෙවන වරටත් දිනාගමින් නව ඉතිහාසයක් නිර්මාණය කරන්නේ ඔලිම්පික් ඉතිහාසය තුළ මීටර් 400 තරඟය සඳහා රන් පදක්කම් දෙකක් ලබාගත් පළමු ධාවන ශූරයා බවට පත්වෙමිනි. සිඞ්නි ඔලිම්පික් උළෙලේදී ඔහු වාර්තා කරනු ලබන කාලය වන්නේ තත්පර 43.85 කි.මෙහිදි ජොන්සන්ට එතරම් තරඟයක් නොවු අතර රිදී සහ ලෝකඩ පදක්කම් ලැබු ඔහුගේ සඟයා වන ඇල්වින් හැරිසන්ට සහ ජැමෙයිකාවේ හෝට්න්ට ඔහු අසලටවත් පැමිණීමට අවස්ථාවක් ලැබුණේ නැත.
2000 ඔලිම්පික් උළෙල කොහොමත් ඇමරිකාවට එතරම් සුබ නොවීය. තරගාවලිය අතරවාරයේ ඔවුන්ගේ අණසක ගෙන ගියත් තහනම් උත්තේජක ගැටළු නිසා අවසානයේ ඔවුන්ට ලැබුණේ අපකීර්තියක් පමණි. මේරියන් ජොන්ස්ටත් ආන්තෝනියෝ ට හිමිවු දඬුවම අත්වුවාය. අවසානයේ ඇමරිකාවට හිමි වුයේ පදක්කම් 7 ක් පමණි. කෙසේ නමුත් මළල ක්‍රීඩා ඉසව්වල මුල් තැන තබා ගැනීමට ඔවුනට හැකිවූ නමුත් එහි වටිනාකම අඩුවූයේ තහනම් උත්තේජක සිදුවීම් නිසාවෙනි. එහිදි සඳහන් කලයුතුවම ඇත්තේ මේරියන් ජෝන්ස් විසින් දිනා ගනු ලබන රන් පදක්කම් තුනක් ඇතුළු මුළු පදක්කම් පහක් ඇයට අහිමි වීමයි.
ඇමරිකාවේ තත්වය එසේ වන විට ජැමෙයිකාව තම දක්ෂතා ක්‍රමයෙන් දක්වමින් ඉදිරියට පැමිණෙමින් සිටියේය. එහිදි ඔවුන්ට එක් රන් පදක්කමක් හෝ හිමි කරගැනීමට නොහැකි වුවත් රිදී පදක්කම් හයක් සහ ලෝකඩ පදක්කම් තුනක් ජැමෙයිකාව සතු වූහ. ජැමෙයිකා ක්‍රිඩකයින් පදක්කම් දෙකක් පමණක් හිමි කරගන්ද්දී පදක්කම් හතක් තමන් සතු කරගැනීමට ජැමෙයිකානු කළු වෙළඹුන් සමත් වූහ. ග්‍රෙග් හෝට්න් මීටර් 400 ලෝකඩ පදක්කම හිමි කරගනිද්දී ඔහු නියෝජනය කල ජැමෙයිකානු පිරිමි කණ්ඩායම මීටර් 4ං400 සහය දිවීමේ තරඟයේ රිදී පදක්කම ලබාගත්හ. ටන්‍යා ලොරන්ස් මීටර් 100 රිදී පදක්කම දිනා ගනිද්දී ලොරීන් ග්‍රැහැම් මීටර් 400 කාන්තා තරඟයේ රිදී පදක්කම තමන් සතු කරගත්තාය. එමෙන්ම බේවර්ලි මැක්ඩොනල්ඞ් මීටර් 200 තරඟයේ ලෝකඩ පදක්කම හිමි කරගන්නා විට මීටර් 400 කඩුලු පැන දිවීමේ කාන්තා තරඟයේ දෙවන ස්ථානය ලබාගැනීමට ඩීආන් හෙම්මින්ස් සමත් වූවාය. එහි විශේෂත්වය වූයේ 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේදී ඇය මෙම ඉසව්වේ රන් පදක්කම හිමි කරගැනීමයි.
මර්ලෙන් ජොයිස් ඔටේ යන නාමය කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ සිඞ්නි ගිම්හාන ඔලිම්පික් උළෙලේදී ය. 1996 ඔලිම්පික් උළෙලේදී දී මීටර් 100, 200 යන ඉසව් දෙකෙහිම රිදී පදක්කම් හිමිකරගන්නා මර්ලෙන් ඔටේගේ සුවිශේෂීත්වය වන්නේ ලෝක මළල ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම කාලයක් ක්‍රීඩා කල තැනැත්තිය වූයේ ඇයයි. එමෙන්ම ඔටේ විසින් ඔලිම්පික් උළෙලවල් හතක් නියෝජනය කරන්නේ රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් හයක් තමන් සතු කරගනිමිනි. ඔටේට සුදුසුකම් ලැබීමේ තරඟ වලින් පළමු තිදෙනා අතරට පත්වීමට හැකියාවක් ලැබුණේ නැති අතර ඇය විසින් ඉල්ලීමක් කරනවා “පෙටා ගයේ ඩව්ඩි” නම් ක්‍රීඩිකාව වෙනුවට තමන්ව ඉදිරිපත් කරන ලෙස. එයට බොහෝ දෙනෙකුගේ විරෝධය එල්ල වන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ජැමෙයිකාවට ඒ පිළිබඳව තම පිළිකුල පල කරන අතර සිඞ්නි ඔලිම්පික් ගම්මානය තුලද මෙම සිදුවීම විශාල ආන්දෝලනයකට ලක්වෙනවා. කෙසේවෙතත් ඔටේට මීටර් සියයේ තරගයේ දී හිමිවන්නෙත් සිව්වැනි තැන. ඒ වුනත් මේරියන්ගේ සිදුවීම නිසා වසර නවයකට පසුව ඇය ලෝකඩ පදක්කමට හිමිකම් කියනවා. එමෙන්ම මීටර් සියය කාන්තා සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත් වන ඇය අනෙකුත් සමාජිකාවන් සමඟ ජැමෙයිකාවට රිදී පදක්කම හිමි කරදෙනවා. එහිදි එම කණ්ඩායමට එවකට තරුණ ක්‍රීඩිකාවක් වු වෙරොනිකා කැම්බල් ද ඇතුළත් වූ අතර ඉදිරියේදී ඇය ගැන වෙනම පරිච්ඡේදයක් ලිය වෙනු ඇති. මර්ලෙන් ඔටේ යනු ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් හිමි කරගත් ක්‍රීඩිකාවයි. 2002 වසරේ සිට සොල්වෙනියාව නියෝජනය කරමින් තරඟ වදින ඇයට එරට වෙනුවෙන්, 2012 සමුගන්නා තෙක්ම හිමි කරදීමට සමත් වන්නේ එක් ජාත්‍යන්තර පදක්කමක් පමණි.ඒ 2003 ලෝක ගෘහස්ත මළල ක්‍රීඩා ශූරතාවලීයේ දී ය.
කෙසේ නමුත් 2000 ඔලිම්පික් උළෙලේදී ලැබු පන්නරය නිසා ජැමෙයිකාව තම ඉදිරි අනාගතය වෙනුවෙන් විශාල ඉදිරි පියවරක් තබනවා. එහිදි ඔවුන් අලුත් පුහුණුවීම් රටා මෙන්ම වෙනස් ආකාරයේ සැලැස්මක් ක්‍රියාවට නංවනවා. එහිදි මූලිකත්වය ගන්නේ පැරණි ලෝක ශූරයෙකු වන ඩෙනිස් ජොන්සන් විසින්. ජැමෙයිකාව ලෝකයේ පාසල් අතර තිබෙන හොඳම මංතීරු සහිත පිටි නිර්මාණය කරනවා. ඩෙනිස් ජොන්සන් විසින් ඔහු ඇමරිකාවේ දී ඉගෙන ගත් දෑ ජැමෙයිකාව වෙනුවෙන් අත්හදා බලනවා. එමෙන්ම ශිෂ්‍යත්ව ලබා දී ඇමරිකාවට යවන බොහෝ සිසුන් යළි නොපැමිණෙනවා මෙන්ම ඔවුන් වෙනත් රටවල් වෙනුවෙන් ක්‍රීඩා කරන අයුරු ද ඔවුන් දකිනවා. ඒ නිසාම ඔවුන් තම පහසුකම් තව පුළුල් කරන්නේ ජැමෙයිකා තාක්ෂණික විදුහලේ වසර දෙකක පාඨමාලාවක් ලබාදෙමින්. පසුව එය UTECH බවට පත් වූ අතර එහි ක්‍රීඩා පහසුකම් මෙන්ම අධ්‍යාපනික කටයුතු ඇමරිකාවේ තරමටම හොඳින් පවත්වාගෙන යාමට කටයුතු කලා. එහිදි පුහුණුකරුවන් ඉතාමත් වැදගත් චරිතයක් මෙම මෙහෙයුම් දී රඟපෑවා.ඔවුන් තවමත් මෙම භූමිකාවෙහි කටයුතු කරමින් ඉන්නවා. එහිදි ජැමෙයිකාව විසින් බිහි කල පළමු විශිෂ්ඨයා බවට පත්වීමට අසාෆා පවෙල් පත් වුනා. නමුත් තවමත් ලෝක මළල ක්‍රිඩාව ආධිපත්‍ය හිමිකරගෙන සිටින්නේ එක්සත් ජනපදයයි. මයිකල් ජොන්සන්, මොරිස් ග්‍රීන් ගේ සමුගැනීමෙන් පසුව ජස්ටින් ගැට්ලින් සමඟින් ටයිසන් ගේ ඇමරිකානු මළල ක්‍රිඩාවේ ශක්තිය බවට පත් වුණා. ඔවුන් සමඟින් අසාෆා පවෙල්ගේ ගැටීම සහ වෙරොනිකා කැම්බල්ගේ නැඟි සිටීමත් ජැමෙයිකානු කාන්තා ආධිපත්ය විකාශනය වන අයුරු ඉදිරියේදී කතා කරමු.

 






No comments:

Post a Comment