AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

රූප එක්ක හිත යන දුර

බොහෝ අයට පුළුවන් තමන් එදිනෙදා දකින දේ ගැන ලස්සණට හිතන්න. ඒ වගේම, උපමා
විශේෂණ ආදිය පාවිච්චි කරලා කවුරුහරි එක්ක කියන්නත් පුළුවන්. ඒත් ඒක ඒ විදියටම තවත් අර්ථවත් කරලා වෙනකෙනෙකුට ඇස්දෙකින් දකින්න පෙන්වන්න පුළුවන් ද? එතනදි තමයි අපිට ‘කලාව’ ඕන වෙන්නේ. අන්න ඒ හැකියාව වැඩියෙන්ම තියෙන මාධ්‍යයක් තමා ‘සිනමාව’ කියන්නේ.

“කෙනෙක් හිතන විදිය” රූපයට නගලා පෙන්වන්න සිනමාව කියන ආර්ට්එකට ලොකු හැකියාවක් තියෙනවා. යම්කිසි දෙයක් උකහා ගන්න කැමරාව තියන තැන (කෝණය), එහෙම තියලා රූපගත කරද්දි ආලෝකය සහ අඳුර හසුරුවා ගැනීම, ගන්න දර්ශන එකට පෙළගස්වලා පසුබිම් හඬ හා සංගීතය, එහෙමත් නැත්නම් නිහඬතාව වගේ දේවල් උචිත පමණට යොදලා ඉදිරිපත් කිරීම හරි අපූරු වැඩක්. පියවි ලෝකයේ යථාවක් විදියටම සිද්ධ නොවෙන දෙයක් වුණත් අපිට සිනමාවෙන් එහෙම පෙන්වන්න පුළුවන්. අතීත වර්ථමාන විතරක් නෙවෙයි පරිකල්පනය තුළ ගොඩනගන අනාගත සිදුවීම් වුණත් ඇහැට පෙනෙන්න සලස්වන්න පුළුවන්. එහෙම පෙන්වීම තුළින් අපි ඇතුළෙ භාවයන් නැගෙන ස්වභාවය සහ සංවේදී ස්වරූපය අනෙක් කලාවන්ට සාපේක්ෂව වෙනස්. සිනමාවෙදි ඇස හිමි අපිත් වෙලාවකට තිරයට අනුගත සහභාගීකරුවන්. ඒ තිරය නතුවෙන්නෙ අපේ දැක්මට නිසා.
ඉතින් මේ ටික ලිව්වෙ ‘සිනමා කවුළුවෙන්’ අද අපි කතා කරන ‘ලිලා’ (Lila) චිත්‍රපටයට පූර්විකාවක් ලෙසයි. ලිලා කියන්නෙ කෙටි චිත්‍රපටයක්. මේක නිර්මාණය කරලා තියෙන්නෙ කා(ර්)ලෝස් ලස්කානෝ (Carlos Lascano) කියන ආජන්ටිනා ජාතික අධ්‍යක්ෂවරයා. ලස්කානෝ අතිදක්ෂ සජීවිකරණ ශිල්පියෙක්, සංස්කරණ ශිල්පියෙක් වගේම චිත්‍ර ශිල්පියෙකු ද වෙනවා. 2005 වර්ෂයේ එම අංශ වලින් ඔහු දායක වුණ ‘zThe Legend of the ScarecrowZ ’ චිත්‍රපටය ලෝක සිනමා උළෙල 20ක පමණ සම්මානයට පාත්‍ර වුණා. ‘ලිලා’ චිත්‍රපටයත් ඔහු එම සියලු අංශ වලින් දායක වුණ චිත්‍රපටයක්. වැඩි දුරට කියනවනම් ද්විමාන සජීවිකරණයෙන් (2D) අපිව අතිශය විචිත්‍ර ලෝකයකට ගෙන යන එකක්. නමුත් මේක මුලුමනින්ම සජීවිකරණ මාදිලියේ නිර්මාණයක් නෙවෙයි. සජීවිකරණය, සිතුවම් සහ සැබෑ මිනිස් රංගනය යොදාගෙන හදපු ‘මිශ්‍ර මාධ්‍ය’ (Mixed Media) භාවිතාවක් අඩංගු චිත්‍රපටයක්.
‘ලිලා’ කේන්ද්‍ර වෙන්නෙ කුඩා දැරියක වටා. මුලින්ම අපි දකින්නනෙ ඇය කඩදාසියක් මත චිත්‍රයක් අඳින සමීප රූප පෙළක්. ඇය අඳින්නෙ දීප්තිමත් රතු පාටක් තියෙන මලක්. ඇය තමන් කටුසටහන් අඳින පොතත් අරන් කාමරයෙන් පිට වී යනකොට අපි දකින්නෙ අසල මල් බඳුනේ තියෙන ඇත්ත මල. ඒකත් රතු පාට මලක්. හැබැයි මේ ඇත්ත මල චිත්‍රයේ තිබුණු මල තරම් දීප්තිමත් නෑ. අඳුරු, මැලවුණ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ දර්ශනේට ඡේදනය වෙන්නෙ දැරිය පාර දිගේ තනිව ඇවිදගෙන යන රූප පෙළක්.
ඊට පස්සෙ අපි ඇයව දකින්නෙ කෝපිහලක වීදුරුව තුළින්. ඈ කොලයක යමක් ඇඳලා ඒක වීදුරුවෙ අලවලා ඒ දිහා බලනවා. කඩදාසිය තියෙන්නෙ අපට පිටුපාලා නිසා ඇඳලා තියෙන්නෙ මොකක් ද කියලා පෙනෙන්නෙ නෑ. ඒතනදි සිනමා කරුවා අපිට සමීපව දකින්න සලස්වල තියෙන්නෙ ඇයගෙ මුහුණ ඒ චිත්‍රය එක්ක කරන ප්‍රති ක්‍රියාව. ඒක එක්ක විඳින හැඟීම. සම්පූර්ණ චිත්‍රපටය පුරා වැඩි පුරම අපි දකින්නෙ ඇය චිත්‍ර අඳිමින් ඒවා එක්ක මනසින් කරන ගණුදෙනුව. ඇත්තමට චිත්‍රය හා ඇගේ ඇසුර, යථාර්ථයේ පවතින තත්ත්වයෙන් මිදී තමන් විසින් නිර්මාණය කරන ලෝකයක් හා එකතු වීමක්. චිත්‍රපටයේ සජීවිකරණය භාවිතා කරලා තියෙන්නෙ අන්න ඒ, ඇගේ ඇත්තලෝකයේ නැති, චිත්‍රයෙන් ඈ පරිකල්පනය අවස්ථා චලන රූපිකව අපිට පෙන්වන්නයි. ඒක බොහෝ ලස්සන ෆැන්ටසි ලෝකයක්. හැබැයි චිත්‍රපටවල අපිට දැකල පුරුදු මායාරූපි අද්භූත ලෝකයක් නෙවෙයි. පියවි ලෝකයේ විවිධ අඩුපාඩු හෝ හිස්තැන් සහිතව දකින දේ තමන් කැමති ලෙස පරිකල්පන ලෝකයක සම්පූර්ණකොට දැකීමක්. ඒ විදියට පාරේ හමුවෙන කම්කරුවෙක් රජ පෙළපතක කුමාරයෙක් වැන්නෙක් ලෙසත්, හිස් සඳළුතලා, මලින් පිරුණු අලංකාර තැන් ලෙසත් සජීවිකරණය වෙන්නෙ හරිම විචිත්‍ර ආකාරයෙනුයි. ඒ එක්කම තමන්ට දකින්න ලැබෙන අයගේ හුදෙකලා ජීවිතවල හිස් බව ඇයගේ චිත්‍ර ඇතුළෙ ආදරය කරන කෙනෙක්ගෙන් පිරවෙනවාත් දකින්න පුළුවන්.
ඇත්තටම අපිට සැබෑ ජීවිතයේදී හමු නොවන අය මෙහෙම පරිකල්පනය තුළ හමු වීමට හැකි වීම චිත්‍රපටයේ අවසානයේ දී අපේ ඇහැට කඳුළක් නැගෙන තරම් සංවේදී කාරණාවක් වෙනවා. එහෙම වෙන්නෙ චිත්‍ර අඳින දැරිය දෙමාපියන් අහිමිව තනිවූ කෙනෙක් බව දනවමින් ඇය සජීවි චිත්‍රයක් තුළ මව සහ පියාගේ ආදරය ලබනවා දකිද්දියි. එතනදි අපි මුල් රූප රාමු අතරෙ මල් බඳුනක දැක්ක මැලවුණු ඇත්ත මලටත් අර්ථයක් එනවා.
මෙහෙම හිතට ආදරය හැඟෙන, ඇහැට කඳුළක් නැගෙන ‘ලිලා’ (Lila) ඔබටත් YouTube නරඹන්න පුළුවන්.





No comments:

Post a Comment