----- නාට්‍ය පිස්සුව
ඒ අපට ‘නාට්‍ය පිස්සුව’ වැළැදී තිබුණු කාලයයි. මගේ නව යොවුන් වියේ මා වඩාත් ම ප්‍රීතියෙන් සිහිපත් කරන කාලය ද එයයි. ඒ කල අපට ම කියා ‘කල්ලියක්’ තිබිණ. ඒ පාසල් නාට්‍ය සංගමය වටා එකතු වුණු කුඩා කණ්ඩායමකි. පාසල් රගහලත් පස්මහල් ගොඩනැගිල්ලක ඉහළ ම මහලෙහි වූ කුඩා සංගම් කාමරයක් පාසල තුළ අපේ තිප්පලවල් විය. පාසලෙන් පිටත දී පාසල අවට රගහල්, කුඩා ආපනශාලා, සයිවර් කඩ මෙන් ම නගර මධ්‍යයේ වූ මහජන උද්‍යානය ද අප කල්ලි ගැසුණු තැන් විය. නාට්‍ය පිස්සුව යනු හුදු නාට්‍ය ම පමණක් නොවේ. ඒ ඇසුරෙහි වූ ‘රස්තියාදුවට’ අපි වඩාත් ප්‍රිය කළෙමු. එය සො`දුරු, සංස්කෘතික රස්තියාදුවකි.
මේ පිස්සුවේ මුල්ම රෝග බීජය මා තුළට ඇතුළු වූයේ දහයේ පන්තයේ පමණ සිටියදීය. ‘ලෝක ජල දිනය’ වෙනුවෙන් පවත්වන ලද විවෘත කෙටි නාට්‍ය තරගයක් සදහා මවිසින්ම යොමු කරන ලද අත් පිටපතක් ඊළග වටය සදහා තෝරා ගැනීමත් සමග එය සිදු විය. තෝරා ගැනුණු අත් පිටපත ඊළග වටයේ දී නිෂ්පාදනය කොට රග දැක්විය යුතු විය. එය කෙසේ කළ යුතු දැයි නිශ්චිත අදහසක් නැතිව සිටින අතරතුර මට පාසල් නාට්‍ය සංගමයේ සභාපති හමුවුණේය. අත්පිටපතේ කතාව ඔහුට කී විට ‘හා මල්ලි අපි ඒක කරමු’ කියා වහා ම ඔහු මා සංගමයට බදවා ගත්තේය. ඉන්පසු තවත් මිතුරන් කීපදෙනෙකු ද ම විසින් සංගමය වෙත කැදවා ගෙන ආ පසු වැඩය ආරම්භ විය. අපි ඉතා අඩු වියදම් නිෂ්පාදනයක් ලෙස අත්පිටපත රංග ගත කළෙමු. එය විනාඩි 20-25 ත් අතර කාලයක් දිව ගිය නිෂ්පාදනයක් විය. නිෂ්පාදක සභාපති අයියාය. රචනයට අමතරව මම වේදිකා පසුතල නිර්මාණයෙනුත් රංගනයෙනුත් දායක වුණෙමි. අපේ නාට්‍ය අප සියල්ලෝම සතුටට පත් කරමින් අවසන් වටයට තේරුණේය. අවසන් වටයට තේරුණු නාට්‍ය අට අතර අද මහත් ජනප්‍රියත්වයට පත් ව සිටින රංගවේදීන් වන සරත් කොතලාව, ජයනි සේනානායක ආදීන් රග පෑ නාට්‍යය ද විය. අපේ නාට්‍ය මුල් නාට්‍ය තුන අතරට නොතේරුණු නමුත් අවසන් වටයේ හොදම නාට්‍ය අට අතරට පැමිණී ම අප ලද ජයග්‍රහණයක් ලෙස පෙනිණ. මෙයින් පසු වැළැදුණු නාට්‍ය පිස්සුව සිරුර තුළ බොහෝ ඔඩු දිව ගියේ ය. ඒ පිස්සුව කෙතරම් වී ද යත් පාසලේ අධ්‍යාපනයට වැඩි තැනක් නාට්‍ය සංගමයට අපෙන් ලැබී තිබිණ. ඊළග නිලවරණයේදී එහි ලේකම් ධූරයට මා පත්වීම පනින රිලවුන්ට ඉණිමං බැදීමක් සේ විය.
අලූත් සභාපතිත් මමත් ඉතා කුළුපග මිතුරන් බවට පත්වීමු. ඔහු මටත් පෙර සිට නාට්‍ය සංගමයේ ක‍්‍රියාකාරී සාමාජිකයෙකි. ජල දිනයට ඉදිරිපත් කළ නාට්‍යයේ ප්‍රධාන නළුවා ද ඔහුය. මේ සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටි එහි ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටි කාලයයි. බොහෝ සිසුන් මේ කාලය ඉදිරි අධ්‍යාපන අපේක්‍ෂාවන් ඉලක්ක කොට ප්‍රයෝජනයට ගන්නා විට නාට්‍ය පිස්සුවෙන් පෙළුණු අපි වෙනදා වගේම පාසලට පැමිණ නාට්‍ය සදමින්, බලමින් කාලය ගත කළෙමු. නාට්‍ය තරගයක් සදහා නාට්‍යයක පුහුණුවීම් කරමින් සිටින අතරතුර ඉතා අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය. සිංහල දෙමළ ජනවාර්ගික යුද්ධය දරුණුව පැවැති කාලයක් වූ මෙකල කොළඹ නගරයේ නිතර එල්.ටී.ටී.ඊ.ය විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කෙරිණ. අපේ සභාපති මිතුරා මෙබදු එක් බෝම්බයකට හසු වී තුවාල ලබා දිවි ගලවා ගත්තේ, පුහුණුවීම් මගහරින සාමාජිකයකු බෙල්ලෙන් කුදලාගෙන එන්නට ගිය ගමනක් නිසාය. ඔහුගේ එක් ඇසකටත් නාසයටත් බෝම්බයෙන් හානි විය. ඔහුගේ නාට්‍ය පිස්සුව එයින් හොද වේ යයි සිතුව ද එය එසේ වූයේ නැත. ඉක්මණින් සුව වූ ඔහු නැවත ‘පිස්සුව’ට එකතු විය. අපි දෙදෙනා එකතු වී සංගමයේ කටයුතු නතර වුණු තැනින් නැවත පටන් ගන්නේ කෙසේ දැයි කතිකා කළෙමු. එහි ප්‍තිඵලයක් ලෙස අපි තීරණය කළේ ඒ වසරේ ළමා නාට්‍ය උළෙලේ හො`දම නාට්‍ය ලෙස තේරුණු ළමා නාට්‍යය විදුහල් රගහලේ රංගගත කරවීමටයි. එයින් පාසල තුළ ‘නාට්‍ය’ සම්බන්ධයෙන් උද්යෝගයක් ඇති කරවීමත් සංගමයේ මූල්‍ය ශක්තිය වැඩි කර ගැනීමත් අපේ අරමුණු විය. මූලික කටයුතු සියල්ල ඉතා හොදින් සිදුවිය. නාට්‍යයේ නිෂ්පාදන කණ්ඩායම සමග කතිකා කොට අවශ්‍ය මූලික වියදම් ගණනය කළෙමු. ප්‍රවේශපත්‍ර අලෙවියත්, අනුග්‍රාහක භවතුන් සොයා ගැනීමත් හැර ඒ වියදම් සොයා ගැනීමට වෙනත් ක්‍රමයක් අපට නැත. මෙය ළමා නාට්‍යයක් බැවින් පාසල තුළ ප්‍රදර්ශනයටත් පාසල් සිසුන් අතර ප්‍රවේශපත්‍ර අලෙවියටත් ඉහළින් ම අවසර ලැබෙනු ඇතැයි අපි සිතුවෙමු. එහෙත් සිදු වූයේ අනෙකකි. පාසල තුළ නාට්‍යය ප්‍රදර්ශනයට අවසර ලැබුණු මුත් පාසල් සිසුන් අතර ප්‍රවේශපත්‍ර අලෙවියට විදුහල්පතිතුමාගෙන් අවසර නොලැබිණ. එය අපූරු අවසර දීමකි. නාට්‍ය්‍ය ප්‍රදර්ශනය කළ හැකිය, එහෙත් මුදල් අය කළ නොහැකිය. පාසලෙන් පිටත දී ළමා නාට්‍යයකට ප්‍රවේශ පත්‍ර විකුණා ගැනීම ඉතා අපහසු දෙයක් බව අපට වැටහුණි. දැන් සියල්ල සංවිධානය කර අවසානය. නාට්‍ය ප‍්‍රදර්ශනය වන දිනය අත ළගය. නාට්‍ය කණ්ඩායමට මුදල් ගෙවන්නේ කෙසේ ද? වැඩය අත්හැර පියවරක් හෝ පසු පසට ගැනීමට අපි කිසිවකුත් සූදානම් වූයේ නැත. පාඩුව දරාගන්නට සිතාගෙන අපි නාට්‍යය වේදිකාගතකර වූයෙමු. අපි අපට හැකි පමණින් පෞද්ගලික මුදලින් සම්මාදම් වුණෙමු. මගේ බැංකු පොතේ සුළු මුදලක් විය. දෙමව්පියන්ට හොරා එය බැංකුවෙන් ගෙන සභාපති අත තැබීමි. සභාපති මිතුරා සිය වයලීනය විකුණා මුදල් ගෙනැවිත් තිබිණි. පාසලෙන් පිටත ප්‍රවේශ පත්‍ර විකුණා ලබා ගත් සුළු මුදලක් අප ළග තිබිණි. එසේ එකතු වූ මුදල් යන්තමින් නාට්‍ය කාණ්ඩායමට ගෙවීමට ප්‍රමාන වත් විය. එතැන් සිට විදුහල්පතිතුමා නාට්‍ය සංගමයේ ප්‍රධාන හතුරා බවට පත් විය. පාසල් සිසුන්ට නාට්‍යයය පෙන්වූයේ නොමිලේය. විදුහල්පතිතුමා සිතා සිටියේ අප ඔහුට හොරා ප්‍රවේශ පත්‍ර විකුණා මුදල් ඉපැයූ බවය.
මේ වන විට නාට්‍ය සංගමය පාසලේ අතිශය ජනප්‍රිය සංගමයක් විය. පාසල තුළ විවිධ සමිති, සංගම් විසින් පවත්වන ලද උළෙලවන් සදහා නාට්‍ය ඉදිරිපත් කරන ලෙස නිතර අපට ආරාධනා ලැබිණ. එතැනින් නතර නොවූ ඒ ආරාධනා දිවයිනේ සහෝදර පාසල් වෙතින් ද ලැබෙන්නට විය. වැඩිපුර ම ඒ ආරාධනා ගලා ආවේ බාලිකා පාසල්වලින් බව ද කිව යුතුය. බාලිකා පාසල්වලින් ලද ඇරැයුම් පිළිගැනීමට අප ද දෙවරක් නොසිතු බව නොසගවා කියමි. නාට්‍ය සංගමය වෙත මේ වන විට පාසල තුළ ක‍්‍රියාකාරී වූ මිතුරෝ රැසක් ආකර්ෂණය වී සිටිය හ. එය අප පාසලේ කලා පුනරුදයක් පැවැති සමයක් විය. එය සංගීතය, ක්‍රීඩාව , සාහිත්‍යය, සන්නිවේදනය ආදී සෑම කේෂ්ත්‍රයකට ම පාහේ පාසල තුළ අති දක්ෂයින් බිහි වී සිටි යුගයක් විය.
අපේ නිල කාලය තුළ නාට්‍ය සංගමයේ උත්කර්ෂය වූයේ ‘පස්දින නාට්‍ය වැඩමුළුව’ පැවැත්වීම යි. එය දිවයිනේ නන් දෙසින් එන නාට්‍ය හිතැති සහෝදර සිසු සිසුවියන් එක් කොට නොමිලේ පවත්වන්නකි. එයට ද එරෙහි ව ආ ප්‍රධානම සතුරා වූයේ විදුහල්පතිතුමාය. අනුග්‍රාහක භවතුන් වෙත යැවෙන ලිපි වෙනුවෙන් අත්සන් තැබීමට විදුහල්පතිතුමන් අකමැති වන බව ඉ`දුරාම දැන සිටි අපට තිබුණු එකම සහනය වූයේ අනුකරණය කිරීමට අපහසු නොවන අත්සනක් ඔහු සතු වීම ය.
පස්දින නාට්‍ය වැඩමුළුව අති සාර්ථක අන්දමින් පැවැත්විණි. වැඩමුළුව මෙහෙයවූයේ ප්‍රසන්නජිත් අබේසූරිය රංගවේදියාය. ඊට අමතරව ඩග්ලස් සිරිවර්ධන, ගිහාන් ප‍්‍රනාන්දු ආදී රංගවේදීන් ද අපට නාට්‍යවේදය හා රංගවේදය ඉගැන්වූහ. ඒ සියල්ලට වඩා අප අතර වැඩුණු සහෝදරකම, කණ්ඩායම් හැගීම් අප තුළ ප්‍රබල පරිවර්තනයක් ඇති කළේය. වැඩමුළුවේ දින පහ අවසන් වන විට අලූත් ප්‍රේම සම්බන්ධතා පවා ඇති වී තිබුණි. ඒ වන විට නාට්‍ය පිස්සුවේ උච්චතම ස්ථානය වෙත අප ළං ව සිටි බව කිව යුතුය. සභාපති මිතුරාත් මමත් මේ ස`දහා කෙබදු ප්‍රමුඛස්ථානයක්දී තිබුණේ ද යත් උසස් පෙළ පළමු වසරේ සිටි අප ඒ අතරවාරයේ පැවැත්වුණු වාර විභාගයට වාඩු වූයේ ද නැත. පන්ති කාමරය විසින් අප ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ද අප විසින් පන්ති කාමරය ප්‍රතික්ෂේප ප කරනු ලැබුවේ ද යන්න තවමත් මා පිළිතුරු සොයන ප්‍රශ්නයකි .
නාට්‍ය පිස්සුවෙන් කාලය ගෙවී යද්දී උසස් පෙළ විභාගය ද අත ළගටම ආවේය. විභාගය යනු මග හැර යා නොහැකි කඩඉමක් බව තේරෙන විට ඊට සූදානම් වීමට තරම් කාලයක් ඉතිරි වී නොතිබුණි. විෂයයන් තුන අසමත් නොවී බේරුණේ යන්තමිනි. ප්රතිඵල අසා සිනා පහළ කරගත් ගුරුතුමෙකු මට කීවේ ‘‘තමුසෙට ඉතින් නාට්ටි පිස්සුවනේ තිබුණෙ’’ කියා ය. කෙසේ වෙතත්, පාසලෙන් අස් වී යන තුරුත් නාට්‍ය පිස්සුව එලෙසම තිබිණි. හුදු මිත්‍රත්වයක් , ආස්වාදයක් රසිකත්වයක් පමණක් තිබුණු ඒ පිස්සුව කෙරෙහි අදට ද ඇති වන්නේ ආදරයකි, ගෞරවයකි. ඒ පිස්සුව තුළ වෘත්තිමය හෝ මූල්‍යමය හෝ වන වෙනත් ආත්මාර්ථකාමී අරමුණු කිසිවක් නොවිණ. පාසල් වියෙන් පසු වැඩි කලක් ඒ පිස්සුවට ඒ අයුරින් ම පැවැතීමට නොහැකි වූයේ ඒ තුළට යට කී ආත්මාර්ථකාමී අරමුණු කාන්දු වන්නට පටන් ගත් නිසා යයි සිතමි. ‘‘නාට්‍යය’’ සම්බන්ධ වන තැනෙක අදට ද මිතුරකු හෝ දෙන්නකු සිටිනවා විය හැකිය. එහෙත් එදා අප වි`දි ඒ ‘නාට්‍ය පිස්සුව’ එතැන අද තිබෙනවා විය නොහැකිය. සභාපති මිතුරාත් මමත් අනෙක් බොහෝ දෙනෙකුත් නාට්‍ය පිස්සුවෙන් අත් මිදුණා විය යුතුය. අද අපි නාට්‍යානුසාරී ලෝකයේ වෙනත් භූමිකා රග දක්වමින් සිටින්නෝ වෙමු.
No comments:
Post a Comment