AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

පතන වෙනස අපිම වෙමු!

සිද්ද වුණා අපිට හිතපුම නැති විදියකට ඉන්න! 

කවුරු හිතුවද මෙහෙම වෙයි කියල අපිට!
එක එක ව්‍යසන වෙයි කියලා ඔලූවෙ තිබ්බා. ගෝලය උණුසුම් වෙලා ග්ලැසියර දිය වෙයි, පෙලක් රටවල් ගිලෙයි. ගිනි කදු පුපුරයි. සුනාමි භූමි කම්පා ඇති වෙයි.
ඒත් මෙහෙම එකක් නං කවුරුත් හිතුවෙ නෑ.

අපි කිසිම දවසක හිතුවෙ නැති විදියට අපේ දෛනික පුරුදු, හැසිරීම්, කන බොන හැටි වෙනස් කරන්න සිද්ද වෙලා. වෙනස් වුණේ නැත්තං, ගන්නෙ මාරාන්තික අවදානමක්. වෙනසට පුරුදු වෙන්න බැරි අයව කුදලං ගිහිං හිරේ දාන, දැඩි දඩුවම් දෙන තැනටම තත්ත්වය සංකීර්ණ වෙලා.
සමහර විට මේ දැන්වත් වෙනස් වෙන්න! කියලා අපිට ස්වභාව ධර්මයෙන් ලැබිච්ච අනතුරු සංඥාවක් වෙන්න ඇති. කොරෝනාවක් පොරෝගෙන මේ ආවේ මහා පණිවුඩකාරයා වෙන්නත් ඇති.
මේක සමහරු මේ දවස්වල තදින්ම කියන අදහසක්.
කොරෝනා වසංගතය නිමා වන දාක, කොරෝනාව එන්න කලින් තිබූ ලෝකය දකින්න ලැබෙන එකක් නෑ කියල ඇතැම් දාර්ශනිකයො, චින්තකයො කියනවා. ලෝකයේ සිස්ටම්ස් සියල්ල වෙනස් වේවි, මිනිස්සු ස්වභාව ධර්මය ගැන, පරිසරය ගැන, සතා සීපාවා ගැන හිතපු විදිය, සහෝදර මනුෂ්‍යයො එකිනෙකා ගැන දක්වපු සැලකිල්ල, ආකල්ප, විශ්වාස වෙනස් වේවි වගේ දේවල් ගැන පුළුල් කතා බහක් ඇති වෙලා තියෙනවා. මේ ගැන එක එක තලවල වාද විවාද කෙරෙනවා.
කොහොම වුණත් ‘වෙනස’ කියන්නෙ අපි හැමෝම හැමදාම කතා කරන දෙයක්. හැම තිස්සෙම අපි වෙනසක් පතනවා. වෙනසක් ඉල්ලා සිටිනවා. වෙනසක් වෙනුවෙන් හඬ නගනවා. අරගල කරනවා. මරාගන්නවා. රටේ දේශපාලන ක‍්‍රමය වෙනස් විය යුතුයි කියලා අපි හිතනවා. නීති පද්ධතිය වෙනස් විය යුතුයි කියලා අපි හිතනවා. රටේ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් විය යුතුයි කියලා අපි හිතනවා. ස්වභාවික සම්පත් විනාශය නැති කළ යුතුයි කියලා අපි හිතනවා. පරිසර ¥ෂණය නැති විය යුතුයි කියලා අපි හිතනවා. පොලීසිය මිට වඩා මානුෂික විය යුතුයි කියලා අපි හිතනවා, පාරවල් වල ට‍්‍රැෆික් තත්ත්වය වෙනස් විය යුතුයි කියලා අපි හිතනවා. මිනිස්සු මීට වඩා විනය ගරුක විය යුතුයි කියලා අපි හිතනවා. කොටින්ම අපේ රට සහ සමස්ත ලෝකය මීට වඩා ගොඩාක් වෙනස් වෙනවනං හොඳයි කියලා අපි හිතනවා.
අපි පතන මේ වෙනස්කං කරන්නේ කවුද? ආණ්ඩුව, රාජ්‍යය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, මහා පරිමාණ සමාගම්, පරිසර සංවිධාන, සෞඛ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන ආයතන, දේශපාලන පක්ෂ, විමුක්ති සංවිධාන, ආගමික නායකයො, දාර්ශනිකයො, චින්තකයො? හුඟක් අය හිතන හැටියට ඔය කවුරු කවුරු හරි නේද මේ වෙනස් කිරීමේ කාර්යයට බර තියන්න ඕනේ? එතකොට මේක ඇතුළෙ තනි තනි අපි ඉන්නෙ කොහෙද? අපිට තියෙන්නෙ ඒ කියාපු අය මොන මොන ක‍්‍රමවලින් හරි ඒ කියාපු හොද වෙනස්කං ටික කරනකං පරණ පුරුදු විදියටම අපේ වැඩ කරගෙන යන එකද? අපි මේක ඇතුළෙ නිශ්ක‍්‍රිය බලා ඉන්නන් විතරක්ද?
මේකට දෙන්න තියෙන උත්තරේ ඒ තරං සරල නෑ කියලා මං දන්නවා. ලෝකයේ දේශපාලනික, දාෂ්ටිවාදීමය සහ සමාජ ව්‍යුහාත්මක වෙනස්කම් සැලසුම් කිරීමේදී සහ ක‍්‍රියාත්මක කිරීමේදී මේ කියපු ආයතන සහ යාන්ත‍්‍රණයන්ට විශාල වැඩ කොටසක් පැවරෙන බව ඇත්ත. නමුත්, වෙනස්කං ඉල්ලන, පතන පුද්ගලයො විදියට අපිත් ලෝකය වෙනස් කිරීමේ ක‍්‍රියාවලියට අතිශයින් සක‍්‍රිය ලෙස දායක විය යුතු නැද්ද? වෙනත් වචන වලින් කියනවනං අපි බලාපොරොත්තු වන වෙනස අපි තුළින්ම පටන් ගත යුතු නැද්ද? ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි අපි තුළ වෙනස් වෙන්න උත්සහ කළ යුතුයි නේද? මහත්මා ගාන්ධි තුමා කිව්වා ‘Be the change you wish to see in the world’ කියලා. ‘ඔබ ලෝකයේ දකින්නට පතන වෙනස ඔබම වෙන්න’.
පුංචියට වෙනස් වෙන්න උත්සහ කරමුද?
රටේ ලෝකේ කෙසේ වෙතත් අපේ හැටි, අපේ පුරුදු, අපේ විදි, අපේ ක‍්‍රම, අපේ සිස්ටම් වෙනස් කරන එකම සෑහෙන්න අමාරු දෙයක්! පොඩි දෙයක් හරි වෙනස් කරන්න යෝජනා කරාම, අනේ ඒ මං පුරුදු වෙලා තියෙන විදිය, ඉස්සර ඉදන්ම කරන විදිය, දැං ඒවා ඇගට ජීරණය වෙලා අප්පා වගේ දේවල් කියවෙනවා නොදැනුවත්වම. ඇඳේ නිදාගන්නෙ කොයි ඇලේට හැරිලද, ?ට කන්නෙ බත් ද පාං ද වගේ තමන්ට අතිශයින්ම පෞද්ගලික පුරුදු නෙමෙයි, සමස්ත රටට ලෝකෙට, මනුෂ්‍ය සංහතියේ පැවැත්මට, පරිසරයට සම්බන්ධ අපේ සමහර පුරුදු වෙනස් කර ගැනීම මහත් ඵල මහානිසංස ලබා දෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට, අපි දත් මදින කොට වතුර කරාමෙ වහන එක, අත සෝදන කොට සබන් ගාලා අතුල්ලන අතරේ පයිප්පෙ වහන එක (මේක වැලමිටෙන් කරන්න පුළුවන්), නාද්දි ඇෙඟ් සබන් ගාලා ඉවර වෙනකං ෂවර් එක වහන එක, පිඟානක්, වළදක් සෝදද්දි ඒක අතුල්ලන අතරෙදි ටැප් එක වහන එක වගේ පුරුදු වලින් වතුර කියන විරල සම්පත විශාල වශයෙන් නාස්ති වෙන එක වළක්වන්න පුළුවන්ලූ. මං මෑතකදි කියවපු We are What We do (Change the World for Ten Bucks) කියන පොතේ තිබුණා, හතර දෙනෙක් ඉන්න පවුලක හතර දෙනාම දත් මදිද්දි ටැප් එක ඇරං හිටියොත් මිනිත්තුවකට වතුර ලීටර් 9 ක් නාස්ති වෙනවයි කියලා! හැමෝම මිනිත්තුවකින් දත් මැදලා ඉවර කරනවා කියලා උපකල්පනය කරලා දැං ගාණ හදන්න අවුරුද්දකට. වතුර බිල නෙමෙයි ලොකුම ප‍්‍රශ්නෙ. සල්ලි කොච්චර තිබ්බත්, වතුර නැති ලෝකෙක ඉන්න බෑනේ!
දැනටමත් මේ පුරුද්ද ඇති කරගෙන නැති අය ඉන්නවනං අද ඉදලා මේ වෙනස ඇති කරගන්න උත්සහ කරන්න. අමාරු වෙයි එකපාරට. ඒත් තමන්ට නැවත නැවත කීමෙන්, බල කිරීමෙන්, මතක් කිරීමෙන් ඒ වෙනස පුරුද්දක් කර කරගන්න පුළුවන්.
ඒ පොතේම තිබුණා, තේ හදනකොට හදන කෝප්ප ගාණට ඇති වෙන්න විතරක් කේතලේට වතුර දාන්න කියලා. ඔයාලාගෙන් හුගක් අය දැනටමත් මේවා කරනවා ඇති. ඒකත් පරිසරයට ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් පුරුද්දක්. පොලීතීන් බෑග් පාවිච්චිය අත් හරින එක අපිට සොබා දහම වෙනුවෙන් ඇති කරගන්න පුළුවන් ලොකු වෙනසක්. සාමාන්‍යයෙන් අපේ රටේ එක මනුස්සයෙක් විවිධ අවශ්‍යතා සදහා අවුරුද්දකට පොලතීන් බෑග්400 ට වඩා පාවිච්චි කරනවා. අපි අවුරුද්දේ හැමදාම කඬේ හරි සුපර් මාකට් හරි ගියොත් වරකට එක සිලි සිලි බෑග් එකක් ගෙදර ගෙනාවත් එතනම 365 ක්. ඇඳුං, සපත්තු, පොත්, සෙල්ලං බඩු, මොනව ගත්තත් පොලීතීන් බෑග් තමයි. අපේ රටේ එහෙමත් තැනක විතරයි කඩදාසි බෑග් දෙන්නෙ. පොලීතීන් බෑග් එකක් සම්පූර්ණයෙන් දිරන්න අවුරුදු 500ක් යනවා. අපිට කඬේ යනකොට, රෙදි බෑග් එකක්, පන් කූඩයක් ගෙනියන විදියට පුරුද්ද වෙනස් කළොත්, වාහනේ නිතරම කූඩයක් තියාගත්තොත් වගේ පුරුදු ඇති කරගත්තොත්, මහා පරිසර විනාශයකට අපේ දායකත්වය අවම කරන්න පුළුවන්. මගදි තිබහ හැදුණ ගමන් කඬේකට ගිහින් ප්ලාස්ටික් වතුර බෝතල් ගන්නෙ නැතුව හැමතිස්සෙම තමන් ළග බෝතලයක් තියා ගැනීමේ වෙනස ඇති කරගැනීමත් ලොකු පිනක්. කඩදාසිවල දෙපැත්තම පාවිච්චි කිරීමත් ඉතා හොද පුරුද්දක්.
පුංචි සරළ වෙනස්කං. නමුත් ලොවක් වෙනස් කළ හැකි විසල් යහපත් ප‍්‍රතිඵල.
ගන්නවා මිස දෙන්නෙ මොනවද හිතමු?
මදි නොකියන්න වෙලා තියෙන මේ කාලේ අපි හැමෝම වාඩි වෙලා මොහොතක් කල්පනා කරමු එක දෙයක් ගැන. මනුස්සයෙක් විදියට මම කොයිතරං සම්පත් ප‍්‍රමාණයක් පාවිච්චි කරනවද? මං පාවිච්චි කරන මගේ බඩු ටික හදන්න ස්වභාවික සම්පත් කොපමණක් පාවිච්චි වෙලා තියෙනවද? දැං ඔය ඉන්න ගෙදර, වාඩි වෙලා ඉන්න පුටුව හරි දිගාවෙලා ඉන්න ඇඳ හරි, ඇඳං ඉන්න ඇඳුං, සපත්තු, බෑග්, මේස, පොත් රාක්ක, ගෙදර තියෙන යන්ත‍්‍ර සූත‍්‍ර, යන වාහන, කන කෑම, බොන බීම, වතුර, හුස්ම ගන්න ඔක්සිජන්, ෆෝන්, කොම්පියුටර්, අයි පෑඞ්, ඔරලෝසු, කරාබු, ..........මේ දේවල් හදන්න ගස් කීයක් කපන්න ඇතිද? කොච්චරක් පොළව හාර හාර එක එක දේවල් අදින්න ඇතිද? එහෙම බැලූවාම අපි ස්වභාවික සම්පත් අපමණ ප‍්‍රමාණයක් විනාශ කරනවා අපේ පැවැත්ම වෙනුවෙන්. අපි තව කාලයක් ජීවත් වෙන නිසා අපේ ජීවිත කාලය තුළ අපි මහා බඩු ගොඩක් පාවිච්චි කරන්න නියමිතයි. හරි. දැන් අනිත් පැත්තට හිතමු. අපි ආපහු ස්වභාව ධර්මයට දීලා තියෙන්නේ මොනවාද?
මේක ඇඟ හිරිවැටෙන ප‍්‍රශ්නයක් වුණා මට.
ලෝකයේ ගෙවෙන සෑම මිනිත්තුවකදිම වැසි වනාන්තරවල ගස් දහස් ගණනක් පොරෝ පහරින් ඉදිරී වැටෙනවා. අපි අපේ අතින් ගස් කීයක් වවලා තියෙනවද? ගස් කීයක් උස් මහත් වෙනකං බලාගෙන තියෙනවද? ගස් වවන්න ඉඩක් නෑ කියලා හිත හදා නොගෙන, මා විසින් සූරා ගන්නා පරිසර සම්පත් වෙනුවෙන් මට කළ හැකි අල්ප මාත‍්‍රයක හෝ දෙයක් කරන්නට අදිෂ්ටාන කර ගැනීමයි වැදගත්. අර කලින් කියපු පුරුදු වෙනස් කරගැනීමෙන් අපට ඒක ආරම්භ කළ හැකියි. යහපත් ලෝකයක්, සුරක්ෂිත ජීවිතයක් පතන අපි හැමෝම ඒ වෙනස්කම් ඇති කරගත යුතුයි. දෙයක් පොඞ්ඩක් පළුදු වෙච්ච ගමන් විසි කරලා අලූතෙන් එකක් ගැනීමේ පුරුද්ද වෙනස් කිරීම, පරණ බඩු නැවත නැවත පාවිච්චි කිරීම, අවම පරිභෝජනය වැනි දියුණු ආකල්පමය වෙනස්කම් ඇති කරගැනීම තුළින් අපට මනුෂ්‍යයන් විදියට සොබා දහමට අංශුවකින් හෝ ණය ගෙවිය හැකියි.
මේ විදියට යහපත් ලෝකයක් වෙනුවෙන් අපට තනි තනිව වෙනස් කර ගතහැකි පුරුදු බොහොමයක් තිබෙනවා. පොඞ්ඩක් හිතලා බැලූවොත් අපිට දීර්ඝ ලැයිස්තුවක් හදාගන්න පුළුවන් වේවි. මේවාට අමතරව, යහපත් සාමකාමී සැනලිසිදායී මිනිස් සම්බන්ධතා වෙනුවෙන් අපගේ ගති ස්වභාවයන් වෙනස් කරගැනීමත් ඉතා වැදගත්. එකිනෙකාට කතා කරන විදිය, ඇහුම්කන් දෙන විදිය, විරුද්ධ අදහසක් පල කරන විදිය, ආවේගයක් ආ විට හැසිරෙන විදිය, අනෙකාගේ ආත්ම ගරුත්වය, පුද්ගල නිදහසට ගරුකරන විදිය, අපට නුහුරු සංස්කෘතීන් ඉවසීමේ සහ අගය කිරීමේ පුරුද්ද, සියළු දෙනා කෙරෙහි සමාන කොට සැලකීම... ආදී වශයෙන් වෙනස් කර ගත හැකි, දියුණු කරගත හැකි බොහෝ දේ තියෙනවා විය හැකියි. අප කිසිවෙකුත් පරිපූර්ණ නැති නිසා හැමෝටම යහපත් අතට වෙනස් කර ගත හැකි බොහෝ දේ ඇති . බොහෝ විට ඒ වෙනස්කම් අපි අනෙකා තුළින් බලාපොරොත්තු වෙන ඒවායි. ඉතිං ඉස්සෙල්ලම ඒ වෙනස අපිම වෙමු.
පශ්චාත් කොරෝනා ලෝකය වඩා සුරක්ෂිත සහ පිරිසිදු ස්වාභාවික පරිසරයක්, වඩා කාරුණික මනුෂ්‍ය ප‍්‍රජාවක් බිහි කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඒ අපේක්ෂාව උදෙසා වන වෙනස අපිම වෙමු.

No comments:

Post a Comment