AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

දෙකයි දෙකයි 5 යි Two & Two

ස්කෝලෙක පන්තිකාමරය කියන්නේ මොනවගේ තැනක් ද? ඉගැන්වීම කියන්නේ කොයිවගේ දෙයක් ද? ඉගැන්වීම
කියන්නෙ විෂයය ම පමණක් ද? ‘ටූ ඇන්ඞ් ටූ’(Two & Two) කියන චිත‍්‍රපටය ඒක ප‍්‍රශ්න 'Must See' කරනවා. නමිනුත් හදුන්වන මේකෙ විශේෂයක් තියෙනවා. ඒ තමයි කෙටි චිත‍්‍රපටයක් වීම.

ඒ නිසා මේ 'Two & Two' ට යොමු වෙන්න කළින් ”කෙටි චිත‍්‍රපටයක් කියන්නේ මොකක් ද?” කියලා කෙටියෙන් පැහැදිළි කර ගනිමු.
සාමාන්‍යයෙන් ධාවන කාලය විනාඩි 40 ක් නොඉක්මවන, එහෙමත් නැත්නම් විනාඩි 40 කට අඩු ධාවන කාලයක් සහිත චිත‍්‍රපටි, ‘කෙටි චිත‍්‍රපටි’ හෙවත් ෂෝට් ෆිල්ම්ස් කියන කැටගරි එකට සම්මත ලෙස අයිති වෙනවා. මේක වෙනම සිනමා ප‍්‍රවර්ගයක් ලෙස අදවන විට ලෝකය පුරා විශේෂ අවධානයක් තියෙන, ඉතිහාසයක් සහිත කලාවක්. කෙටි චිත‍්‍රපටයක් කියන්නේ දිගු කතාවක් කෙටි කර කීම නෙවෙයි. වෙනම ප‍්‍රකාශන ස්වරූපයක්. එක් යුගයක ලංකාවෙ අලූත් අධ්‍යක්ෂවරයෙක් දිගු චිත‍්‍රපටයක් නිර්මාණය කරන්න කළින් කෙටි චිත‍්‍රපටයක් කළ යුතුයි කියලා නියමයක් තිබුණා. ඒක කළාට පසුව තමයි දිගු චිත‍්‍රපටයක් කරන්න චිත‍්‍රපටි සංස්ථාවෙන් අවසර ලැබුණේ. ඒ නීතිය නැති වුණත් අදත් දිගු චිත‍්‍රපටයකට පෙරහුරුවක් වශයෙන් කෙටි චිත‍්‍රපට හදන තරුණ අධ්‍යක්ෂවරු ඉන්නවා. ස්වයං අධ්‍යයනයක් වශයෙන් ඒක වැදගත් තමයි. හැබැයි කෙටි චිත‍්‍රපටය වෙනම ප‍්‍රකාශන මාධ්‍යයක් ලෙස තෝරාගත් අධ්‍යක්ෂවරු ලෝකෙ පුරාම දකින්න පුළුවන්. ඒ එක්කම දිගු චිත‍්‍රපට හදන ගමන්, ඒ ඔස්සේ නමක් දිනාගන්න ගමන් කෙටි චිත‍්‍රපටයකට උචිත ප‍්‍රස්තූතයන් කෙටිචිත‍්‍රපටයක් ලෙසින්ම එළිදක්වන ලෝකේ ප‍්‍රධාන පෙළේ අධ්‍යක්ෂවරුත් ඉන්නවා. උදාහරණයකට පෝලන්ත සිනමාකරුවෙක් වන, ඇතැම්විට එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඇමරිකාව වෙනුවෙනුත් චිත‍්‍රපටි කරන රෝමන් පොලොන්ස්කි ව දක්වන්න පුළුවන්. The Tenant,Tess,The Ninth Gate,Venus in Fur,The Pianist,Oliver Twist වැනි දිගු චිත‍්‍රපට නිර්මාණය කළ ඔහු කෙටි චිත‍්‍රපටත් නිර්මාණය කරනවා. ලංකාවේ විමුක්ති ජයසුන්දරත් දිගු චිත‍්‍රපට කරන අතර කෙටි චිත‍්‍රපටත් කරන අධ්‍යක්ෂවරයෙක්. අශෝක හදගමත් මෑතකදි කෙටි චිත‍්‍රපටයක් කළා.
අපි ඔබට සමීප කරවන ‘ටූ ඇන්ඞ් ටූ’ කෙටි චිත‍්‍රපටය ඉරානයේ නිර්මාණය වෙච්ච එකක්. ඉරානය කියන්නේ අද ලෝක සිනමාවේ කතා බහට ලක්වූ සිනමාකරුවන් බිහි වූ රටක්. උදාහරණයකට අබ්බාස් කියරොස්තාමි, ජපාර් ෆනාහි, මජීඞ් මජිඩි වැනි අය දක්වන්න පුළුවන්. මේ අයගේ චිත‍්‍රපට ‘කාන්’, ‘වැනිස්’, ‘බර්ලින්’ වැනි ජාත්‍යයන්තර මට්ටමේ ප‍්‍රධාන සිනමා උළෙලවල සම්මානිත වුණා.
‘ටූ ඇන්ඞ් ටූ’ අධ්‍යක්ෂණය කළේ බාබාක් අන්වරි (Babak Anvari)' පර්සියන් භාෂාවෙන් තමයි චරිත එකිනෙකා හා කතා කරන්නේ. ධාවන කාලය මිනිත්තු හතයි. ඉංගී‍්‍රසි උපසිරැුසි සහිතව දැන් මේක ඔබට යූ-ටියුබ් ඔස්සේ බලන්නත් හැකියාව තියනවා. ‘ටූ ඇන්ඞ් ටූ’ 2011 බැෆ්ටා (65th British Academy Film Awards) උළෙලේ හොදම කෙටි සිනමා පටය සදහා වූ සම්මානයටත් නිර්දේශ වුණා. මේකෙ අන්තර්ගතය විවාදාත්මකයි.
චිත‍්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වාම ගලා යන්නෙ පන්තිකාමරයක් ඇතුළෙ සිද්ධවෙන දෙයක්. සාමාන්‍යයෙන් පීරියඞ් එකේ ගුරුවරයා පන්තියට එන්න කළින් කතා කර කර ඉන්නවනෙ ළමයි. එහෙමයි පටන් ගන්නේ. ඔන්න ගුරුවරයා එනවා පන්තියට. පන්තිය මීයට පිම්බා වගේ එකපාරටම නිහඩ වෙනවා. ළමයි නැගී හිටලා අචාර කළාට පස්සේ ගුරුවරයා අත්ඔරලෝසුවේ වෙලාව බලන්නෙ මොකක් හරි වැදගත් මොහොතක් ළං වෙන බව නිසා වගේ. ඔන්න ඒ මොහොත. ඉන්ටකොම් පද්ධතියෙන් විදුහල්පතිවරයා සිසුන්ව අමතනවා. පාසලේ කිසියම් වෙනස්කම් සිදුවන බවත්, ඊට අනුව ගුරුවරයාගේ උපදෙස් පිළිපදිමින් හැසිරිය යුතු බවටයි ඒ නිවේදනයෙන් කියවෙන්නේ. ඊට පස්සෙ වෙන්නෙ හරි අමුතු දෙයක්. 2 යි 2 යි එකතු කළ විට ලැබෙන උත්තර 5 බව ගුරුවරයා උගන්වනවා." 2+2 = 5 බව” ශබ්ද නගා කට පාඩම් කළ යුතු බවට අණ කරනවා. එහෙත් අත ඔසවා නැගී සිටින එක් ශිෂ්‍යයෙකු එය එසේ නොවන බවත 2+2 = 4 වශයෙන් නිවැරදි විය යුතු බවත් කියනවා. ගුරුවරයා තදින් පවසන්නේ එසේ නොවන බව සහ 2+2 = 5 ලෙස පිළිගත යුතු බවයි.
ළමයා එය පිළි නොගන්නා බැවින් ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් කැදවන ගුරුවරයා ඔවුන්ට එම ප‍්‍රශ්නයම යොමු කරනවා. ඒ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ 2+2 = 5 යැයි කියන්නේ එක හඩින්. පිළිනොගන්නා ශිෂ්‍යාට ගුරුවරයාගේ අණ ලැබෙන්නේ 2+2 = 5 කියනඑක කළුලෑල්ලේ සටහන් කරන මෙන්. නමුත් ළමයා ලියන්නේ 2+2 = 4 යි කියලාම යි. ඒ මොහොතේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ විසින් ඔහුට අභිනයෙන් වෙඩි තබන අතර සමීප රූපයක්ව පෙන්වන කළු ලෑල්ලේ 4 ඉලක්කම මත ලේ පැල්ලමක් විසිරීයනු දැක්වෙනවා. ඒ එක්කම මැරී වැටී ඇති බව පෙනෙන සිසුවාගේ සිරුර රැගෙන ජ්‍යෙෂ්ඨ පිරිස පන්ති කාමරයෙන් පිටවී යන්නෙ ගුරුවරයාගේ අණට නතුවයි. ඔන්න ආයෙත් ගුරුවරයාගේ ඉගැන්වීම. " 2+2 = 5 යි” ඔහු කියනවා. එයම ශබ්ධ නගා කියන ලෙසත් පොත්වල ලියාගන්නා ලෙසත් ළමයින්ට ඔහු අවධාරණය කරනවා... "2+2 = 5 යි” "2+2 = 5 යි” " 2+2 = 5 යි” "2+2 = 5යි” ළමයි එයම එක හඩින් උච්චාරණය කරනවා. ලියාගන්නවා.
මතු පිටින් අපිට මෙහෙම පෙන්වන ‘ටූ ඇන්ඞ් ටූ’, අයිඩියලොජි එකක් ඉගැන්වීමත් එක්ක පොඩිකාලෙම අපේ මනසට ඇතුළ් කරන ක‍්‍රියාවලිය හැම විටම අහිංසක නැති බව අවධාරණය කරමින් අපිව හිතන්න පොළොඹ වන්නේ ඊට එහා තැනකටයි. වැදගත්ම දේ තමයි මේ අන්ධකාරය මැදම පුංචි ආලා්ක ධාරාත් ඉද හිට හෝ මතු වීම. ඒක අවබෝධයක් එක්ක සිද්ධ වෙන, මහා ප‍්‍රවාහයකට හසු නොවන අපූර්වත්වයක්. එහෙම වෙන්නෙ කොහොමද? මහා ගංවතුරක් ඇවිත් අපිව ආපස්සට වේගෙන් තල්ලූ කරදිදි උඩුගං බලා යන්නෙ කොහොම ද? එහෙම හෙට දවස ගැන කුඩා නමුත් සුබවාදී ඉගියක් චිත‍්‍රපටය අවසානයෙදි අපිට හම්බවෙනවා. ඉතිං පහුගිය සටහනේ වාගෙම තීරණාත්මක අවසන් රූප-රාමුව මෙතන ලියන්නේ නැහැ. ඔබත් ‘ටූ ඇන්ඞ් ටූ’ බලන්න. ඒක මුණගැහෙයි . ඒ වගේම ”කවදා හරි කෙටි චිත‍්‍රපටයක් කරන්න ඕන” වගේ හැගීමක් තියෙනවානම් Two & Two ඒ වෙනුවෙනුත් හොද උත්තේජකයක් වෙයි.

No comments:

Post a Comment