AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

ජීවිතේ කියන්නෙ චොක්ලට් පෙට්ටියක්...

‘Life is like a box of chocolate. You never know what you’re gonna get.’ 
මේජීවිත ගමන යද්දි අපි හැමෝටම අමාරු කාල පරිච්ඡේද පහුකරන්න වෙනවා, අනපේක්ෂිතව සහ කොන්දේසි විරහිතව. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. සමහරු කටු ඇනෙන පොළොවක කිසිම ආවරණයක් නැති දෙපයින් ඇවිදින අතරේ තවත් සමහර අයට දරාගන්න බැරි හුදෙකලාවක, තනිකමක අතරමං වෙන්න සිද්ධ වෙනවා. ඒ මදිවට කප්පරක් කුණාටු, සුලිසුළංවලටත් නොහිතන තැන්වලදි හදිසියේම නිරාවරණය වෙන්න අපට සිද්ධවෙනවා. හරියටම කිව්වොත් අභියෝග, කරදර, බාධක එක්ක ගලන ගඟක් වගේ; එකක් ඉවරවෙද්දි තව ප්‍රශ්නයක් අපේ ඉස්සරහ. සමහර තැන්වල හුස්මක් කටක් ගන්නවත් ඉඩක් නැතුව එක දිගට හැලහැප්පීම් ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. නරකම දේ තමයි, ඒ ගොඩක් කුණාටු පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනවලින් තොරව හදිසියේම අපේ ජීවිත ඇතුළට කඩාගෙන වැටෙන ඒවා වීම.
අසීමිතව දේවල් දරාගන්න හුරු වුණු ධෛර්යසම්පන්න සංචාරකයෙකුට හැර වෙන කෙනෙකුට එහෙම ගමනක් යන එක එච්චර ලේසි වෙන්නෙ නැහැ. කෙළවරක් නැති කඩාවැටීම් මැද පවා ගමනාන්තය ගැන බලාපොරොත්තුවක් තමන් ඇතුළෙ අවුළුවාගන්න එක ඒ වගේ සංචාරකයෙකුගෙ පුරුද්දක්. පාර නොපැහැදිළි තැන්වල, ඉදිරිය ගැන අදහසක් නැති නැවතුම්වල පවා එහෙම ඇවිලෙන බලාපොරොත්තු අපට කොඳුරලා කියනවා ගමන අතනෑර හිඳීමේ වැදගත්කම ගැන. ජීවත් වෙනවා කියන්නෙ අන්න ඒ ධෛර්යසම්පන්න මුහුණදීමට. ඒක කොන්දේසි විරහිත එකඟ වීමක්. අපි කවුරුවත් දන්නෙ නෑ ඊළඟට මොකද වෙන්නෙ කියලා.
1994 තිරගත වුණු Forrest Gump කියන ඉංග්‍රීසි චිත්‍රපටිය ඇතුළේ මේ කතාකරන්න යන කාරණය ගැන හරිම ලස්සන පැහැදිලිකිරීමක් මුණගැහෙනවා. My mama always said, ‘Life is like a box of chocolate. You never know what you’re gonna get.’˜ ඇත්තටම අපි ගෙවමින් ඉන්න මේ අවිනිශ්චිත ජීවිතේ ගැන ඊට වඩා සරල පැහැදිලිකිරීමක් තියෙන්න පුළුවන්ද? ජීවිතේ කියන්නෙත් හරියට චොක්ලට් පෙට්ටියක් වගේ දෙයක්. ඔයා කවදාවත් දැනගන්නෙ නෑ ඊළඟට ඔයාට ලැබෙන්නෙ මොනවද කියලා.
ඒත් ගොඩක් අය එහෙම එක දිගට එන කඩාවැටීම් සහ ප්‍රශ්න දරා ගන්න තරම් ශක්තිමත් අය නෙමෙයි. එහෙම වෙලාවට එයාල කරන්නෙ ගමන සහමුලින්ම අතෑරල දාන එක. හැම බලාපොරොත්තුවකටම, හැම හීනයකටම අර කුණාටුවලට අහුවෙලා ගහගෙන යන්න ඉඩ දෙන එක. වඩාත් පැහැදිලිව කිව්වොත්, තව දුරටත් කිසිම අරමුණක් එක්ක නොරැඳී වෙන දෙයක් වෙන්න ඇරලා බලාගෙන ඉඳීම. ඒ මොහොතේ එකම විසඳුම විදියට පෙනුණත්, දරා ගැනීමේ උපරිමයට ආව මොහොතක සිද්ධවෙන ඒ වගේ අත්හැරීම් ගොඩක් වෙලාවට කෙළවර වෙන්නෙ දීර්ඝකාලීන පසුතැවීම් සහ විඳවීම්වලින්.
ඇත්තටම ජීවිතේ කියන්නෙ එහෙම අතෑරල දාන්න තරම් නොවටිනා දෙයක් ද?
අර්නස්ට් හෙමිංවේ ගෙ ‘මහල්ලා සහ මුහුද’ (The Old Man and the Sea) ගොඩක් අය කියවල ඇති. තවම කියෙව්වෙ නැත්නම් නොවැරදීම හොයාගෙන කියවන්න වටින පොතක් ඒක. ඒ කෙටි නවකතාව ඇතුළෙ අපට මුණගැහෙනවා ප්‍රචණ්ඩ මුහුදක අවාසනාව එක්ක හුදෙකලා වුණු ධෛර්යසම්පන්න මහළු මනුස්සයෙක්. එයාගෙ නම සන්තියාගෝ. දවස් අසූ හතරක් තිස්සේ මුහුද මේ මහළු ධීවරයට දරුණු විදියට පිටුපානවා. හැබැයි සන්තියාගෝ, අසූ පස්වෙනි දවසෙත් තමන්ගෙ පුංචි යාත්‍රාව දියත් කරන්නෙ බලාපොරොත්තු ගැන දැඩි විශ්වාසයක් එක්ක. කිසිම වාසියක් නොලබා, ‘අවාසනාව’ කියන වචනයට පර්යාය පදයක් වෙමින් ගෙවුණු කාලය අවසානයේ මුහුද තමන්ගෙ මේ අතීත මිත්‍රයා දිහා බලන්න තීරණය කළත් අවාසනාව ඒ මොහොතේ පවා සන්තියාගෝව අත්හරින්න කැමති වෙන්නෙ නැහැ. ගැඹුරු, රළු මුහුදක තමන්ට පාලනය කරගන්න අසීරු දැවැන්ත මාළුවෙක් එක්ක හුදෙකලා වුණු සන්තියාගෝ එතන ඉඳලා මුහුණදෙන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ප්‍රශ්න ගොඩකට. හැබැයි මොන තරම් දුෂ්කර වුණත්; අත්හරින්න හේතු සිය දහස් ගණනක් මිනී මෝරු වගේ දත් විළිස්සගෙන තමන් ඉස්සරහට ආවත්, එයා අන්තිම මොහොත දක්වාම තමන්ගෙ සටන අත්හරින්නෙ නැහැ. අවසානය මොකක් වුණත් එච්චර ශක්තිමත්ව අන්තිම තත්පරය දක්වා සටන් කරපු ඒ මහළු මනුස්සයගෙ හිතේ හයිය ගැන ‘මහල්ලා සහ මුහුද’ කියවලා ඉවර වෙද්දි අපට දැනෙන්නෙ පුදුමාකාර ගෞරවයක්.
ගෙවෙන හැම තත්පරයක් පාසාම අපටත් සිද්ධවෙනවා සන්තියාගෝ වගේ,
කිසි දෙයක් අතනෑර මේ සටන ඉස්සරහට
ගෙනියන්න. අවසානය ගැන අදහසක් තිබුණත් නැතත් පුළුවන්තරම් බලාපොරොත්තු සහගතව ජීවිතේට මුහුණ දෙන්න. හොඳ යාත්‍රිකයෙක් කියන්නෙ කවදාවත් මුහුදක් දැකලා අඩියක් පස්සට තියන කෙනෙක් නෙමෙයි. ඒ වගේම හොඳ යාත්‍රාවක් කියන්නෙත් වරායක මලකඩ බැඳි බැඳී තියෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒවා අයිති මුහුදට. කුණාටු, සැඩපහරවල් මොන තරම් රළු වුණත් ඒකෙ වෙනසක් වෙන්නෙ නැහැ.
ඒ විතරක් නෙමෙයි, සමහර වෙලාවට අපි හිතනවා අනිත් කෙනාගෙ ගමන අපට වැඩිය ලේසියි, ඒ අය අපට වඩා වාසනාවන්තයි කියලත්. ඒක සාමාන්‍ය දෙයක්. හැමෝටම ලේසියෙන් යන්න පුළුවන් පැහැදිලි ගමනාන්තයක් දීලා, ලෝකයේ තියෙන බරපතලම ප්‍රශ්නවලින් පිරුණ, දුෂ්කර පාරක් සහ නොපැහැදිළි ගමනාන්තයක් අපට ලබා දීම ගැන දෛවය එක්ක අපි නිතරම කේන්ති ගන්නවා. ඒත් ඇත්තටම ඒක අපි හිතින් මවාගත්ත දෙයක්. කිසිම කෙනෙක් කිසිම ආකාරයකින් අපට වැඩිය වාසනාවන්ත අය නෙමෙයි. අපි නොදන්න, අපේ ළඟ නැති කිසිම මාර්ගෝපදේශනයක් හෝ මාලිමාවක් ඒ අය ළඟ තියෙන්න විදියක් නැහැ. කොටින්ම ඒ අය ඔයා ගැන හිතනවා ඇත්තෙත් ඒ විදියටමයි. මොකද හැමෝම දන්නෙ තමන්ගෙ ගමන සහ ඒ ගමනේ අමාරුකම් ගැන විතරයි. මේක කිසි කෙනෙක් ළඟ මාලිමාවක් හෝ සිතියමක් නැති, බොරුවළවල් සහ ගිරි දුර්ඝවලින් පිරුණු පාරක යන්න නියමිත ගමනක්.
ඉදිරිය පැහැදිළි නැති වෙන්න පුළුවන්. කුණාටු, සුළිසුලං එන්න පුළුවන්. ඒ වගේම කාත් කවුරුවත් ළඟපාතක නැතුව තනි වෙන්නත් පුළුවන්. හැබැයි ඒ එකක්වත් ගමන අතරමග අතෑරල දාන්න තරම් හොඳ හේතුවක් වෙන්නෙ නැහැ. මතක තියාගන්න, පරදින එක නෙමෙයි අමාරුම දේ. පරාජය ඇස් පනාපිට පේන්න තියෙන මොහොතක වුණත් ධෛර්යසම්පන්නව සටන් කරන එක. දිනුම, පැරදුම මොකක් වුණත් වැදගත් වෙන්නෙ ශක්තිමත්ව සහ ඉවසීමෙන් ඒ සටන එක්ක ඉඳීම.
කිසිම ඇවිළීමක් නැති හීතලම හීතල අයිස් කුට්ටියක් වෙනුවට හැම තත්පරයක් පාසාම උණුසුම් බලාපොරොත්තුවකින් ඇවිළෙන හදවතක් තිබීම තමයි ඒ වගේ දුෂ්කර ගමනක් යද්දි ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ. ගමන දුෂ්කර වීමෙන් සිද්ධවෙන්නෙ ඔයා තව තවත් දක්ෂ සංචාරකයෙක් වෙන එක. අන්න ඒ කාරණය තේරුම් ගත්ත දවසට, ලේසියෙන් දිනාගන්න පුළුවන් අරමුණුවලට වඩා සියදහස් ගුණයක් වටින ගමනාන්තයක් ඔයා වෙනුවෙනුත් බලාගෙන ඉඳියි.






No comments:

Post a Comment