AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

සුනිල් මාධව පේ‍්‍රමතිලක මතක දිගහැරුම - 04

මාධව අරක්කු ටිකක් කටේ තියන එකක් නෑ... 
නන්දය මාධවට ආගන්තුක තැනක් බවට පත් වූයේ කෙටි කාලයකට පමණි. තමන්ගේ පියා ඉගෙනගත් පාසල වන නිසාවෙන් ඔහුට මේ තුළ පුදුමකාර හුරුබවක් දැනුණි.
මීමන තුළ වූ පොත් කියවීමේ පුරුද්ද ඒ අයුරින්ම මාධවට ද දායද වී තිබූ නිසා ඔහු ඉඩ ලැබෙන සෑම අවස්ථාවක දී ම පොත් කියවන්නට යොමු විය. ඒ අවධියේ ඔහුගේ වීරයා වූයේ ඩීමන් ආනන්ද ය. ඩීමන් ආනනදගේ පොත්පත් මාධව කියවූයේ මහත් ආශාවකිනි. මේ ආශාව විසින් ම ඔහුව තවත් පොත් පත් කියවීමට යොමු කළේ ය. ඉගෙනීමට ද අති දක්ෂයෙකු වූ මාධව වඩාත් ම ආශා කළේ ඉංග්‍රීසි සාහිත්‍යයට ය.
මාධව ඉගෙන ගත් පන්තියට ඉංග්‍රීසි සාහිත්‍යය ඉගැන්වූයේ ජේ.බී. ලැනරෝල් ය. ඔහු වේ වන විට මුළු ආනන්දයට ම ආනන්දජනක ගුරුවරයෙක් බවට පත් ව සිටියේ ය. ශේක්ස්පියරගේ කෘතීන් හා බටහිර කවි ඔහු ඉදිරිපත් කළේ රඟපාමිනි. මේ නිසා ලැනරෝල් ගේ දේශනයට මාධව වඩාත් ප්‍රිය කළ අතර එයින් ලද උත්තේජනය හමුවේ වැඩිවැඩියෙන් ලෝක සාහිත්‍යය කියවීමට ද ඔහු උත්සාහ කළේ ය.
විද්‍යාලයීය නේවාසිකාගාර ජීවිතයට ටික කලෙකින් අනුවර්තනය වූ මාධව පසුව එයට දැඩි ලෙස ඇලුම් කළේ ය. මුලින් මුලින් නේවාසිකාගාර ජීවිතය
ඔහු ට ආගන්තුක වූ නමුත් පසුව ඔහුට එය සාමාන්‍ය ජීවිතයේ ම කොටසක් බවට පත්විය. පාසැලට පැමිණ දින කිහිපයකින් ම ඔහු ඒ කඩඉම පසු කළේ ය. මාධව කෙටි කලෙකින් පාසල තුළ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණි. එයට බලපෑ ප්‍රධාන හේතුවක් තිබිණි. ඒ වෙනකක් නොව ඔහු තුළ වූ අසාධාරණය නොඉවසන ගුණයයි. නේවාසිකාගාරය තුළත් පාසල තුළත් ඇති වුණ බොහෝ කළකෝලහලවල දී ඉස්මතු වූ ප්‍රධාන චරිත අතර මාධව සිටියේ ඉදිරියෙනි. විශේෂයෙන්ම නේවාසිකාගාර තුළ වූ පොදු ප්‍රශ්න පිළිබඳ ගැටුම්වලදී ඔහු ගුරුවරුන් සේම පරිපාලන නිලධාරීන් සමඟ ද බහින් බස් වීම් ඇතිකර ගත්තේ ය. මේ නිසා ගුරුවරුන් අතරත් පරිපාලන නිලධාරීන් අතරත් මාධව ප්‍රසිද්ධ වූයේ ‘ගෝරී දාගන්න ළමයා’ යන අන්වර්ථයෙනි.
නේවාසිකාගාරයේ සිට සෑම සතිඅන්තයේ ම ගෙදර යාම මාධවගේ සිරිතකි. සෑම සතිඅන්තයකම මීමන ඒ සඳහා පැමිණෙන බැවින් මාධව මුළින් මුළින් ඒ දිනය උදාවනතුරු පුලපුලා බලා සිටියේ ය. එහෙත් දැන් දැන් ඔහුට අවශ්‍ය වූයේ වැඩිකාලයක් නේවාසිකාගාරයේ
රැඳෙන්නට ය. එහෙත් ඒ බව තාත්තාට හෙළි නොකිරීමට වගබලා ගත්තේ ය. කෙසේ වුවද මීමන එය අවබෝධ කරගත්තේ ඉවෙන් මෙනි. මාධව සමඟ ගෙදර ගිය මොහොතක ඔහු ඒ බව ඇඞ්ලින්ට වක්‍රාකාරයෙන් කියුවේ ය.
“ඉස්සර නම් මෙයා ඇඬුවේ අපිව දාලා හොස්ටල් යන්න බෑ කියලා. ඒත් දැන් අඬන්නේ හොස්ටල් එක දාලා ගෙදර එන්න බෑ කියලා”
එතරම් හිතට නොගෙන මීමන එම ප්‍රකාශය කළ ද එහි වූ කරුණුවලට එරෙහිවීමට මාධව උත්සාහ නොකළේ ය. මක් නිසා දයත් එම කාරණා තුළ පුදුමාකාර සත්‍යයක් අඩංගුව තිබූ බැවිනි.
තම යහළුවන් සමඟ එක් ව නේවාසිකාගාරයේ ඕනෑතරම් දඟවැඩ කිරීමට මාධව ආශා කළේ ය. දිනක් මිතුරන් සමඟ එකතුව ඔහු පාසැල් වත්තෙන් කෙසෙල් කැනක් කැපුවේ ය. පළමු දවසේ මෙම කටයුත්ත සිද්ධ වූයේ ඉතා සූක්ෂමවත් දැඩි බියත් මැද්දේ ය. එහෙත් පසුව එය ද සාමාන්‍ය අංගයක් බවට පත් විය.
ක්‍රීඩාව සඳහා ද මාධවගේ තිබුණේ පුදුමාකාර උනන්දුවකි. ඔහුගේ ජනප්‍රියම ක්‍රීඩාව වූයේ ක්‍රිකට් ය. ඒ හැරෙන්නට මළල ක්‍රීඩා සම්බන්ධයෙන් ද ඔහුට හොඳ උනන්දුවක් තිබිණි. මේ සියලු කරුණු පෙරදැරි කර ගනිමින් නේවාසිකාගාර ජීවිතයට ඇලුම් කළ මාධව ඉරිදාට ගෙදර ගියේ තරමක ශෝකී මනසකිනි.
මෙසේ ගිය දිනක තාත්තා සිය මිතුරන් කිහිපදෙනෙකු සමඟ මධුපානොත්සවයක් සංවිධානය කර තිබිණි. තාත්තාගේ බීම පිළිබඳ ව මාධව සිටියේ බොහෝ කලකිරීමෙනි. ඔහු එයට එරෙහිව තාත්තාටත් අම්මාටත් කරුණු කීවේ ය. එහෙත් එදින තත්වය ඊට වඩා බොහෝ සේ වෙනස් වී ඇත. තාත්තා සංවිධානය කළ සාදය ජයට කෙරීගෙන යද්දී මාධව අම්මා අසලට ළං විය.
“අම්මේ මොකක්ද මේ වැඬේ.... බොනවා බොනවා ඉවරයක් නෑ.”
“මොනවා කරන්නද ඒක එයාගෙ හැටිනෙ...”
අම්මාගේ කියමනත් සමඟ මාධවගේ කෝපය ඉහවහා ගියේ ය. ඔහු අසල තිබූ මේසයට වේගයෙන් ගසා කාමරයට වැදුණේ ය. දැන් දැන් තම පුතු තුළින් එල්ල වන විරෝධයන්ගේ තරම තේරුම් ගත් ඇඞ්ලින් මාධව ඔහුගේ වයසේ සිටින අනෙක් දරුවන්ට වඩා විශේෂ බව තේරුම් ගත්තා ය.
පාසැල් නිවාඩුවට ගෙදර පැමිණි දිනක මාධවට හදිසි කාරණාවක් සඳහා නිවසින් බැහැරව යාමට සිදුවිය. ටික මොහොතක් ගිය පසු මාධව යළි නිවසට පැමිණියේ ය. මෙවර ඔහු තුළින් විද්‍යමාන වූයේ කේන්තියෙන් දිදුලන දෑසකි. නිවසට ගොඩ වූ මාධව තම කමිසය ගලවා විසිකර දැමී ය. ඇඞ්ලින් වහා මාධවගෙන් ඒ පිළිබඳ කරුණු විමසා සිටියා ය.
“මොකද පුතේ වෙලා තියෙන්නෙ...?”
“අද බස් එකේ එද්දි මිනිහෙක් බස් එක ඇතුළෙ සිගරට් බොනවා. මගේ ඇඟට තමයි දුම් ටික ඔක්කොම ආවේ. මට ඒ වෙලාවෙ ෂර්ට් එක ගලවලා දාන්න තරම් කේන්තියක් ආවේ. බස් එකේ නිසා නිකන් හිටියෙ”
සුරාවට එරෙහිව මාධව මෙසේ විරෝධය පළකිරීම ගැන ඇඞ්ලින් තුළ වූයේ පුදුමාකාර සන්තෝසයකි. ඇය නිතර සිය ඥාතීන් සමඟ ද ඒ බව උදම් ඇනුවා ය.
“මට විස්වාසයි ලොකු පුතා කවදාවත් අරක්කු ටිකක් කටේ තියන එකක් නෑ.”
පාසල් සමය තුළ මාධව මුහුණ දුන් පළමු අභියෝගාත්මක විභාගය වූයේ සිනියර් පෙප් විභාගයයි. ඔහු එයට සාර්ථකව මුහුණ දී ඉන් සමත් වූ බැවින් ජේ්‍යෂ්ඨ පන්තිවලට ඇතුළු වීමට භාග්‍ය උදාවිය. මීමනගේ එකම සිහිනය වූයේ මාධව කෙදිනක හෝ වෛද්‍යවරයෙක් වනු දැකීමයි. ඒ නිසා ජේ්‍යෂ්ඨ පන්තිවල දී විද්‍යා විෂය හදාරන ලෙසට මාධවට ගෙදරින් යෝජනා ඉදිරිපත් විය. ඒ සඳහා මාධවගේ විරුද්ධත්වයක් නොවූ බැවින් එතැන් පටන් වෛද්‍යවරයකු වීමේ සිහිනය තුරුළු කර ගනිමින් මාධව සිය අධ්‍යාපන කටයුතු සිදු කළේ ය.
ආනන්දයේ ජේෂ්ඨ පන්තිවලට ඇතුළු වන විට මාධව පිළිබඳව බෝහෝ ගුරුවරුන් තුළ වූයේ මොහු ගණන්කාරයෙකු වන බවට වූ හැගීමකි.
“අපරාදෙ හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයා. නිකන් අනන්මනන් නිසා නාස්ති වෙනවා”
මතු සම්බන්ධයි
අසංක සායක්කාර

No comments:

Post a Comment