අදින් වසර දහයකට පමණ ඉහතදී ‘මා කවුදැ‘යි කිසිවකු මගෙන් විමසන ලද්දේ නම් මා කලාකරුවකු යැයි මහත් අභිමානයෙන් කියනු ඇත. ඒ මා කලාකරුවකු යයි සමාජය විසින් හඳුනනු ලැබ සිටි නිසා යයි වරදවා නොසිතන්න. ඒ මා ගැන මා සිතා සිටි ආකාරයයි; මා ගැන මවිසින්ම තනා ගෙන සිටි පිළිරුව යි. එහෙත් අද මා වඩාත් කැමැති වන්නේ සාමාන්‍ය මිනිසකු ලෙස මා හඳුන්වා දීමටයි. ඒ මා තුළ ඇති යම් නිහතමානීකමක් පෙන්වීමට නොවේ. සැබැවින් ම සාමාන්‍ය මිනිසකු වීම අද කාලයේ ඉතාම අමාරු වැඩක් නිසාය. කවියක් වුව සාර්ථක වන්නේ වචන අඩුවෙන් ම යොදන කල්හි ය. සිත්තරකු තුළ ඇති දක්ෂතාව දැක ගත හැක්කේ ඔහු වර්ණ යොදන තැනදීට වඩා වර්ණ නොයොදන තැනදීය. නිහඬ බව ප‍්‍රතිනිර්මාණය කළ හැකි තැන උසස්ම සංගීතය බිහිවන්නේ යයි අසා ඇත්තෙමි.
‘මරණය‘ වෙනදාට වඩා ළංව දැනෙන වසංගත කාලයක් උදා වී ඇති බැවින් අපට ජීවිතයත් ලෝකයත් පිළිබඳ ව නැවත සිතන්නට අවස්ථාවක් ලැබී තිබේ. විඤ්ඤාණවාදීහු (‘විඤ්ඤාණය/ මනස ප‍්‍රාථමික වන අතර භෞතිකය ද්විතියික වේ ය’ යන මතය දරන්නන්* මනස තුළ වන රෝග බිය දුරුකර ගැනීමෙන් මේ ව්‍යසනයෙන් ගැළැවිය හැකි යයි සිතති. ඒ වෙනුවෙන් ඔවුහු තම ඇදැහීම් අනුව යමින් විවිධ දේ කරති; දෙවියන් යදිති; පිරිත් සජ්ජායනා කරති. විඤ්ඤාණවාදියකු නොවන මට නම් සිතෙන්නේ රෝග බිය නැතිවිය හැක්කේ රෝගකාරකය භෞතිකව තුරන් කරගැනීමෙන් බවයි. එසේ සිතන නිසා මා භෞතිකවාදියකු ලෙස කිසිවකු හඳුන්වන්නේ නම් එහි වරදක් නැත. එහෙත් වැදගත් වන්නේ තමා හෝ අනෙකා කුමන වාදියකුදැ‘යි ලේබලයක් අලවා ගැනීම නොවේ; මේ මොහොතේ සිදුවන දෙය පිළිබඳ සවිඥානික වීමයි. මේ මොහොතේ පහසුවෙන් වටහා ගත හැකි එක් සම්මුති සත්‍යයක් නම්, වසංගතය පරාජය කළ හැකි කුඩාම අවිය පවා විද්‍යාව සහ තාක්ෂණයට අයත් බවයි. දෙවියන්ට හෝ යකුන්ට හෝ කළ හැකි දෙයක් නොමැති බව ඇස් පනා පිට ඔප්පු වී ඇත. දෙවියන් යැදීමෙන්, පිරිත් පැන් ඉසීමෙන් වසංගතය තුරන් කිරීමට අංශුමාත‍්‍ර හෝ උපකාරයක් සිදු නොවූ බව ඒ ක‍්‍රියාවල නිරත වූවෝ පවා දනිති.
අල්පේච්ඡු, සරල පැවැත්ම සාමාන්‍ය මිනිසකු වීමට ඇති ක‍්‍රමයකි. සාමාන්‍ය මිනිසකුට ලොව හැම දෙයටම වඩා මනුෂ්‍යත්වය උසස් බව වටහා ගැනීම අපහසු නැත. කලාව, දේශපාලනය, ආගම ආදී මේ කිසිවක් කිසි ලෙසකින් වත් මනුෂ්‍යත්වයට වඩා උසස් වන්නේ නැත. මේ වසංගත කාලයේ පවා මිනිස් ජීවිත රැුකගැනීමට වැඩියෙන් දේශපාලනය, කලාව, ආගම ආදියෙහි පැවැත්ම ගැන අවධානය යොමු කරන්නන් සිටින බව පෙනේ. ඔවුන් උසස් මනස් ඇත්තන් ලෙස මට නම් සැලැකිය නොහැකිය.
මේ වසංගත කාලයේ ඔහේ කල්පනා කරමින් සිටින විට මට නම් මතක් වන්නේම අතීතය පුරා අප කර ඇති අනුවණකම් ය. මනුෂ්‍ය ජාතිය විසින් අතීතය පුරා කර ඇති නුවණක්කාරකම් අල්පය; අනුවණකම් වැඩිය. අපි මතක ඇති කාලයක සිට අධිපරිභෝජනවාදී ලෝකයක් නිර්මාණය කිරීමේ තරගයක නියැලී සිටිමු; එය දියුණුව ලෙස සිතා සිටිමු. අපි සුවිසල් නගර තැනුවෙමු; ගුවන් තොටුපලවල් තනුවෙමු; වරායවල් තැනුවෙමු; තම ජාතියම වනසා ගන්නා අවි ආයුධ තැනුවෙමු; එහෙත් දියුණු යැයි කියාගන්නා රටවල් පවා මනුෂ්‍ය වර්ගයාගේ ආරක්ෂාව ගැන කල්පනා කර නොතිබුණු බව පෙනේ. අපි සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ යහ පැවැත්ම ගැන අවශ්‍ය පමණ අවධානය යොමු කොට නොතිබුණි; ආහාර හා ඖෂධ වල ප‍්‍රමිතිය ගැන ප‍්‍රමාණවත් තරම් සිතා නොතිබුණි. එනිසා ලෝකයටම මහත් දුෂ්කර කාලයකට මුහුණදීමට සිදු වී තිබේ.
මගේ පුද්ගලික ජීවිතය දෙස බැලූ විටද වඩාත් ඉස්මතු වී පෙනෙන්නේ මවිසින් කර ඇති අටෝරාශියක් වූ අනුවණකම් ය. එහෙත් කවුරුන් හෝ මගෙන් ඇසුවහොත් ‘කරපු මෝඩකම් ගැන පසුතැවෙන්නේද’ කියා මගේ පිළිතුර ‘නැත’ යනුයි. ඒ ඒවා මෝඩකම් ලෙස මවිසින් නොසලකන නිසා නොව මගහැර යා නොහැකි ව මා පසු කර ආ අනිවාර්ය මං සලකුණු බව දන්නා නිසාය. යෞවනෝදයත් සමඟ ඇරඹි කාලය පුරා මවිසින් කරන ලද බොහෝ අනුවණකම් ‘බුද්ධියට‘ එරෙහිව යමින් ‘හදවත‘ කියන්නක් වෙතම දැඩිව ඇහුන්කම් දීම නිසා සිදු වූ සොඳුරු අනුවණකම් ය. ඒවායින් මටම හැර වෙනත් කිසිවකුට හානියක් සිදු නොවූ හෙයිනි, අදටද පසු තැවීමක් නැත්තේ.
මට දැන් පෙනෙන ආකාරයට මවිසින් කර ඇති සියලූ මෝඩකම්වල පොදු සාධකය වන්නේ ‘ප‍්‍රතිරූප ගොඩනැඟීම‘ යි. ප‍්‍රතිරූප යනු සැබැවින්ම පවත්නා දෙය නොවේ; අප මනසින් නිර්මාණය කරගන්නා දෙයකි. ඊට වඩාත් රුකුල් දෙන්නේ බුද්ධිය නොව හදවත යි. ප‍්‍රතිරූප ගොඩනැගෙන්නේ දයාව, ආදරය, ශ‍්‍රද්ධාව, වෛරය, ක්‍රෝධය වැනි හැඟීම් පෙරටුව ගමන් කොට බුද්ධිය නොසලකා හැරීමෙනැ‘යි සිතේ. ‘මෝහය‘ කියා කියන්නේ ද මෙයට විය යුතුය. තරුණ වයසේදී ඇති වන ‘විරුද්ධ ලිංගික පේ‍්‍රමය‘ බොහෝවිට මේ ප‍්‍රතිරූප තැනීමේ අනුවණකම නිසා අප අයාලේ ගෙන යයි. එවිට අප සිහි මඳව මෙන් හැසිරෙමු. ජෛව විද්‍යාත්මකව නම්, මේ යොවුන් සිරුරේ ලිංගික හෝමෝන ඇසුරේ සිදුවන රසායනික ක‍්‍රියාවන්හි ප‍්‍රතිඵල ය. ඇතැම්විට අයාලේ ගිය සිත ආපසු ප‍්‍රකෘති ස්වභාවයට පැමිණෙන්නේ ගොඩනඟා ගත් ප‍්‍රතිරූප බිඳවැටුණු පසුවය. එවිට එයට අපට උපකාර වන්නේ නොසලකා හළ බුද්ධියයි.
මෙසේ බලන විට බුද්ධිය සහ හදවත යනු එකිනෙකට ප‍්‍රතිවිරුද්ධව ක‍්‍රියාත්මක වන ශරීරාංග දෙකක් වැනිය. දයාව, ආදරය, ශ‍්‍රද්ධාව, වෛරය, ක්‍රෝධය ආදී හැඟීම් හදවත හා සම්බන්ධ බව ඉහතදී කීවෙමි. සාමාන්‍ය ජනවහරේත් සාහිත්‍ය භාෂාවේදීත් අපට ‘හදවත‘ මෙසේ මුණගැසුණද ජෛව විද්‍යාත්මකව ගත් කළ හදවත යනු ජීවය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය ඔක්සිජන් පරිවහනය කරන රුධිරය සිරුර පුරා බෙදා හරින මධ්‍යස්ථානයයි. ඇතැම් මනුෂ්‍ය හැඟීම් ස්තුට ගෙනදෙන අතර ඇතැම් ඒවා වේදනාව ගෙන දෙයි. ඉවසිය නොහැකි තරමේ වේදනාවක් දැනුණු විටෙක හදවත රිදෙන්නාක් මෙන් අපට දැනේ. ‘සිත‘ පවතින්නේ හදවත ඇසුරේ යයි විශ්වාසයක් අප අතර ඇත්තේ මේ නිසා විය හැකිය. නො එසේව හැඟීම් සහ හදවත අතර ඍජු සම්බන්ධයක් ඇතැයි සිතිය නොහැකිය. නූතන විද්‍යාව තවම ‘සිත‘ කියා අවයවයක් මිනිස් සිරුර තුළ හඳුනාගෙන නැත. සිත නම් වූ අවයවයක් වෙනුවට සිතීමේ ක‍්‍රියාවලියක් ගැන පමණකි තවමත් අපට කතා කළ හැක්කේ. සිතීමේ ක‍්‍රියාවලියටද කෙළින්ම සම්බන්ධ වන්නේ මිනිස් හිස් කබල තුළ පිහිටා ඇති මොළය නැමැති අවයවයයි. ඇත්ත වශයෙන්ම කියන්නේ නම් බුද්ධිමත් ක‍්‍රියාවලට සේම හැඟීම් හා සම්බන්ධ මෝඩකම්වලටද එක සේ දායකවන්නේ මොළය නැමැති අවයවයයි. මොළයේ අර්ධගෝල දෙකක් ඇති අතර ඒ ඒ අර්ධගෝලයට වෙන් වෙන් ව කාර්ය නියමව ඇති බව ජෛව විද්‍යාත්මක සොයාගැනීම්වලින් තහවුරු වී තිබේ. හැඟීම් නැතහොත් ‘සොඳුරු අනුවණකම්‘ භාරව සිටින්නේ දකුණු අර්ධ ගෝලයයි. නිර්මාණශීලී හැකියාවන්ට වගකිව යුත්තේද මොළයේ මේ අර්ධ ගෝලයමැ යි. තර්කනය, විචක්ෂණශීලී බව හා ගණිත ගැටළු විසඳීම වැනි හැකියාවන් පාලනය කරන්නේ වම් අර්ධ ගෝලයයි. සෑම මිනිසකුගේ ම මොළය සෑදී ඇත්තේ මේ අර්ධ ගෝල දෙකිනි. එහෙත් ඒවා ක‍්‍රියාත්මක වන ආකාරය හැම පුද්ගලයකුගේම එක හා සමාන නොවේ. සමාජයක් තුළ ජීවත් වීමේදී මේ විවිධත්වය තෙරුම් ගැනීම අතිශය වැදගත් වේ.
කොතරම් සොඳුරු වුවද අතීතයේ අප විසින් කරන ලද අනුවණකම් අද නොකරන්නේ වයසින් මුහුකුරා යද්දී මොළයේ වම් අර්ධ ගෝලය බලවත් වී අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නට අපට කියා දෙන හෙයින් විය යුතුය. මා නම් අතීතයෙන් උගත් බලවත් ම පාඩම නම් හැකිතාක් ප‍්‍රතිරූප ගොඩනඟා ගැනීමෙන් වැළැකී සිටිය යුතු බවයි. අද මම රුව පමණක් දකිමි; පිළි රූ නොතනමි. මුහුකුරා යනවිට හදවතක් නැති මිනිසකු විය යුතු යයි ඉන් අදහස් නොකරමි. බුද්ධියට ඇහුම්කන් දීමෙන් හදවත පරිස්සම් කර ගත හැකිය. පහතින් දැක්වෙන්නේ ප‍්‍රතිරූප බිඳ වැටුණු අතීතයේ එක්තරා දිනෙක මවිසින් ලියැවුණු කවකි.
රුව සොයන පිළිරුව
නොවිණි නම් රුව
කාගෙද මේ පිළිරුව
ඉරි තැලී
කෙඳිරිලි හඬ නඟන
සෙවූ මුත් හැම තැන
හමු නොවේ දැන්
ඒ රුව
කෙලෙස මම තැනුවෙම්ද මෙය
මටම අමතකයි එය
කුටියේ උස්ම තැන
තබා ගෙන
මා තැනූ
පිළිරුව
දැන් මා පෙළන
ඉරි තැලී
කෙඳිරිලි හඬ නඟන!
(වැසුණු දොරටු, 2017)
ප‍්‍රදීප් සාරංග කුමාර
No comments:
Post a Comment