AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

බොලිවුඩයේ නිල නොලත් කිං ඛාන් ඉර්ෆාන්

යුබෝවන් සහෝදරයිනි සහ සහෝදරියනි, මම ඉර්ෆාන්. මම ඔබ සමඟ සිටියත් ඔබ සමඟින්
නොමැත.මේ චිත්‍රපටය මට ගොඩක් විශේෂ චිත්‍රපටයක්.අපි මේ චිත්‍රපටය හැදුවේ බොහොම ආදරෙන්.මට ලොකු උවමනාවක් තිබුනා ඒ ආදරයෙන්ම මේ චිත්‍රපටය ප්‍රවර්ධනය කරන්න. නමුත්, අනවශ්‍ය අමුත්තෙක් මගේ ශරීරය ආක්‍රමණය කරගෙන. මේ දවස් වල එයත් එක්ක සටන් කරනවා.බලමු මොකක් වෙයිද කියලා.මොනදේ උනත් මම හැම දෙයක්ම ඔයාල එක්ක බෙදාගන්නවා.
කතාවක් තියෙනවා , “When life gives you lemons, you make lemonade.” කියනකොට හරිම රසවත්. නමුත් ඔබට අතලොස්සක් දෙහි ලැබුනොත් එය මිරිකන එක එතරම් පහසු නෑ.ධනාත්මකව සිතනවා හැරෙන්නට අපිට වෙන විකල්පයක් නැහැ.මේ වගේ අවස්ථාවක දෙහි යුශ හදනවද නැද්ද කියන එක තියෙන්නෙ ඔබේ අතේ.මේ වගේ සිතුවිල්ලකින් තමයි අපි මේ චිත්‍රපටය හැදුවෙ. මම හිතනවා මේ චිත්‍රපටය ඔබේ ජීවිතයට යමක් දෙයි , ඔබව හිනස්සවයි , ඔබව අඩවයි . සමහර විට නැවතත් හිනස්සයි.විදින්න ටේ්‍රලරය. හැමෝම ඇවිත් චිත්‍රපටය බලන්න. ඒ වගේම රැදී සිටින්න මම එනකන්!
- ඉර්ෆාන් ඛාන්

අන්න ඒ විදියට ඔහු එනකන් රැඳී සිටින්න කියපු ඉර්ෆාන් ඛාන් ආයෙ ආවෙ නෑ.. මේ ඔහු රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වනAngrezi Medium (2020) පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීමත් සමග ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තැබූ සංවේදී සටහන. මේ සටහනෙන් පිළිබිඹු වෙන්නේ ඉර්ෆාන් ඛාන් තමන්ගේ ජීවිත ගමන එතරම් දිගු නොවන බව වටහාගෙන තිබූ බව. අර දෙහි කතාව කියන්නේ ඒකයි. ඔහුට අවශ්‍ය උනා ඒ දෙහි ගෙඩි කීපයෙන් ඉක්මනටම දෙහි යුෂ හදන්න. ඔහු යන්න කලින් හදල ගියපු දෙහි යුෂය තමයි අංග්‍රේසි මීඩියම් කියන්නෙ.
ඉර්ෆාන්ට යන්න කලින් තව එකම එක වතාවක් හෝ චිත්‍රපටයක රඟපෑමේ උවමනාවක් තියන්න ඇති. ඔහු මේ චිත්‍රපටය නිමැවීමත් සමග ම සැනසුම් සුසුම් හෙලන්න ඇති. නමුත් මෙතරම් ඉක්මනට අවසන් සුසුමත් හෙලාවියැයි ඔබ අප කිසිවෙකු බලාපොරොත්තු නොවූ හද ප්‍රකම්පනය කරවන සිද්ධිය මේ වෙනවිට සිදුවී අවසන්...
මේ ඒ විශිෂ්ඨ රංගධරයා වෙනුවෙන් ලියැවෙන සටහනක්,
සහබ්සාදේ ඉර්ෆාන් අලි ඛාන් උපත ලබන්නේ 1967 වර්ෂයේ ජනවාරි මස හත් වනදා රාජස්තාන්හිදී ය. ඒ රාජස්තානයේ පඨාන් මුස්ලිම් පවුලේ අලුත්ම සාමාජිකයෙක් ලෙස ය. ඔහුගේ පියා එහි ටයර් ව්‍යාපාරිකයෙක් විය. තරුණ ඉර්ෆාන් ඛාන් අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු විය.CK Nayudu කුසලානයේ අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට වරම් ලද ඔහු එහිදී ඉන්දීය පළමු පෙළ මට්ටමේ ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබීමට පවා සාධනීය ක්‍රීඩකයෙක් විය. නමුත්, ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට තිබූ මුදල්මය අවහිරතාවයන් හේතුවෙන් ඉර්ෆාන් ක්‍රිකට් ගමනේ ද වැඩි දුරක් ගමන් කලේ නැත.
ඉර්ෆාන් ඛාන්ට රංගනය පිළිබඳව කැමැත්තක් ඇතිවන්නේ ජෝද්පුර් හි වේදිකා ශිල්පියෙකු වු ඔහුගේ මාමා කෙනෙකු නිසාවෙන් ය. ජායිපූර්හිදී ඔහු එවැනිම ශිල්පීන් මුණ ගැසෙන අතර ඔවුන් සමග වේදිකා ශිල්පියෙක් ලෙස රංගන ජීවිතය ආරම්භ කරන්නේ ය. එපමණක් නොව, ඉතා හොඳ අධ්‍යාපන මට්ටමක් සහිත ඉර්ෆාන් ඛාන් තම ඵ් උපාධියද ජායිපූර්හිදී ම අවසන් කරන්නේ ය. ඉනික්බිතිව ඔහු ඉන්දීය නළු නිළියන්ගේ තෝතැන්නක් බඳු වූ National school of Dramas (NDA ) හා සම්බන්ධ වන්නේ 1984 දී ය.
එම කාලසීමාවේදී මුම්බායි නගරයට බට ඉර්ෆාන් ඛාන්, වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන්නෙකු ලෙස රැකියාවක්ද කලේ ය. එ සමයෙහි ඔහුගේ රංගන පරමාදර්ශය වන රාජේශ් ඛන්නාගේ නිවසේ ද වායු සමීකරණ අලුත්වැඩියා කටයුතු සිදුවන්නේ දෛවෝපගත ලෙස ය.
NDA හි උපාධිය අවසන් කල ඉර්ෆාන් ඛාන් 1988 දී මීරා නායර් අධ්‍යක්ෂණය කරන ලද salaam Bombay චිත්‍රපටයේ රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා කර ගත්තේය. එය ඔහු දායක වූ මුල් ම චිත්‍රපටය ය. නමුත්, ඉර්ෆාන්ගේ චරිතය චිත්‍රපටයේ දැකගන්නට නොලැබෙන්නේ එය සංස්කාරකවරයාගේ කතුරට හසුවීමේ ප්‍රතිඵලයක් ලෙස ය. නමුත් මීරා නායර් විසින් ම 2006 දී අධ්‍යක්ෂණය කරන The Namesake චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ඉර්ෆාන් ඛාන්ට හිමිවන්නේ දෛවෝපගත ලෙස ය. එය ඉර්ෆාන් ඛාන්ගේ ප්‍රබලම රංගන අවස්ථාවලින් එකක් ලෙස ඉතිහාසයට එක් වී හමාර ය.
මුල් අවධියේදී ටෙලි නාට්‍ය කීපයකම රංගනයෙන් දායක වූ ඉර්ෆාන් සැමවිට බලා සිටියේ සිනමාවේ තම ස්ථානය එනතෙක් ය. සලාම් බොම්බේ හිදී චරිතය සංස්කරණ කටයුතුවලදී ඉවත් වූවත්, ඉන්පසු විචාරක පැසසුම් ලැබූ සුවිශේෂී චිත්‍රපටයක් වන Kamla ki maut (1989) චිත්‍රපටය හරහා මුල් වතාවට රිදී තිරයේ පෙනී සිටීමේ අවස්ථාව උදා කර ගත්තේ ය.ඉන්පසු එලෙසම විචාරක පැසසුම් ලැබූDoctor ki maut (1990) සහ Such a long Journey (1998) චිත්‍රපටවල චරිත නිරූපණය කලේ ය.
නමුත් ඔහු ඉන්දියාව තුල නළුවෙකු ලෙස ඉතාමත් හොඳින් ස්ථාවර වීම ආරම්භ කරන්නේ 2003 හි දී ය. 2003 දී ඔහු නිරූපණය කල Haasil චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතය සඳහා අති විශාල විචාරක පැසසුමට පාත්‍ර විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2004 Film Fare Awards හි දී හොඳම ප්‍රතිවීර චරිතය වෙනුවෙන් සම්මානයටද පාත්‍ර විය. එතැන් පටන් ප්‍රධාන මෙන්ම උප ප්‍රධාන චරිත ද රැසක් ඔස්සේ බොලිවුඩය තුල පෙර නොවූ විරූ ගමනක් යන්නට මේ අතිදක්ෂ නළුවා සමත් විය. Maqbool යනු ඉර්ෆාන්ගේ අප සඳහන් කල යුතු ම චිත්‍රපටවලින් එකකි. මෙය විශාල් භාරද්වාජ් විසින් විලියම් ශේක්ස්පියර්ගේ මැක්බෙත් නාට්‍යය ඇසුරු කරගෙන නිමැවූ විශිෂ්ඨ නිර්මාණයකි. සුපුරුදු පරිදිම ඉර්ෆාන් ඛාන්ගේ ඉහළ රංගනයක් මෙහිදීද දැක බලාගත හැකි ය. 2007 තිරගත වූ Life in a metro චිත්‍රපටය ඉර්ෆාන්ගේ තවත් සාර්ථක චිත්‍රපටයක් ය. මෙහිදී ඉර්ෆාන් ඛාන් සහ කොංකොනා සෙන්ගේ චරිත විශේෂයෙන් කතාබහට ලක් වූ අතර ඔවුන් දෙදෙනා තිරය මත කෙතරම් පෑහෙනවාද යන්න කතාබහක් පවා නිර්මාණය කිරීමට ඒ රංගනය ප්‍රමාණවත් විය. අවසානයේ Film fare සම්මාන උළෙලේ හොඳම සහය නළුවා සහ හොඳම සහය නිළිය යන සම්මාන ද්විත්වයටද වග කීමට ඔවුන් දෙදෙනා සමත් විය.
ඉන්දීය චිත්‍රපට ඔස්සේ දැක්වූ අති ප්‍රභල රංගන කෞෂල්‍යය නිසා ම ඉර්ෆාන් ඛාන් සඳහා ජාත්‍යන්තර සිනමාවෙන් ද ආරාධනා පිට ආරාධනා ලැබෙන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉර්ෆාන් ඛාන් මිය යනවිට ලෝක පූජිත නළුවෙකු ව සිටියේ ය. A mighty heart" The darjeeling limited එලෙස ඔහු රඟපෑ ඇමරිකානු චිත්‍රපට දෙකකි. ඔහු රඟපෑ ප්‍රථම විදේශීය චිත්‍රපටය ලෙස හැඳින්වෙන්නේ 2001 දී තිරගත වූ The warrior නම් බි්‍රතාන්‍ය චිත්‍රපටය ය. The amazing Spider man (2012),Life of PI (2012), Jurrasic world (2015), ලෝ ප්‍රකට නළු ටොම් හෑන්ක්ස් සමග Inferno (2016) යනු ඔහු චරිත නිරූපණය කල අතිශය ජනප්‍රිය හොලිවුඞ් නිර්මාණ කීපයකි. මෙම චිත්‍රපටවල සිදුකල රංගනයන් වෙනුවෙන් ඔහු ලොව පුරා තමන්ගේ රසිකයින් නිර්මාණය කිරීමට සමත් විය. නමුත් ඔහු සෑමවිටම ඉන්දීය සිනමාවට මුල්තැන දුන් අයෙක් ය. ඊට හොඳම උදාහරණය Piku වෙනුවෙන්The martian o ,The lunchbox වෙනුවෙන් Christopher Nolan ගේ Intersteller වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වීමට ලැබූ අවස්ථා ප්‍රතික්ෂේප කිරීම ය. මේ සියල්ල කතා කරන අතරතුරේ Slumdog millionaire (2008) ගැන කතා නොකර සිටින්නේ කෙසේ ද? එම වසරේAcademy awards හි Best Picture ලෙස සම්මාන ලබන්නේ එම චිත්‍රපටය ය. ඉර්ෆාන් ඛාන් ද එහි පොලිස් නිලධාරියෙකුගේ චරිතය නිරූපණය කරමින් Academy award සම්මානයක පහස ලබන්නට අවස්ථාව උදා කරගත්තේය. එමෙන් ම 2010 දී in treatment නම් ඇමරිකානු රූපවාහිනී කතාමාලාවේ ද ඔහුව දැකගන්නට ලැබිණි.
ඉන්දියාවේ පසුකාලීනව සම්බන්ධ වූ චිත්‍රපට විමසීමේදී ඉර්ෆාන්ගේ රංගන දිවියේ උපරිමය විඳගත හැකි ය. 2011 වසරේ Paan singh tomar චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් දැක්වූ අති විශිෂ්ඨ රංගන ප්‍රතිභාව වෙනුවෙන් හොඳම නළුවා සඳහා වන ජාතික චිත්‍රපට සම්මානය හිමි කර ගැනීමට ඔහු සමත් විය. ඉන්පසු 2013 වසරේදී ඔහුගේ රංගන දිවියේ ඉහලින්ම තැබිය හැකි උපරිම රංගනයක් ඔහු ඉදිරිපත් කරන්නේ The lunchbox හරහා ය. එය ජාත්‍යන්තර පැසසුම් පවා ලද ඉන්දීය සිනමා ඉතිහාසයේ ඉහල නිර්මාණයක් ලෙස සැලකීමට පැකිලිය යුතු නැත. එය ඉර්ෆාන්ගේ ස්වභාවික රංගන කුසලතාව මැනවින් ප්‍රකට කරවන අවස්ථාවකි. ඉන්පසුව ඔහු රංගනයෙන් දායක වූ Piku (2015) සහ Talvar (2015) වැනි චිත්‍රපට ගැන කීමට ඇත්තේ ද එයම ය. ඉර්ෆාන් ඛාන් සහය චරිත ඔස්සේ නැවතත් තිරය මත පතිත වන්නේ 2014 දී Gunday සහ Haider චිත්‍රපට ඔස්සේ ය. මින් Haider ඉහළ විචාරක පැසසුම් ලද චිත්‍රපටයක් වන අතර, එය ද විශාල් භාරද්වාජ් විසින් ශේක්ස්පියර් ගේ නාට්‍යයක් වන Hamlet ඇසුරින් නිමැවූවකි.
මීට අමතරව ශාරුක් ඛාන් හා Billu Barber (2009), ඔහුට පසු දින මෙලොවින් සමුගත් Rishi kapoor සමග D-Day (2013), මලයාලම් නිළි Parvathy සමග arib Qarib Single (2017), ඓශ්වර්‍යා රායි සමග Jazbaa (2017), මලයාලම් නළු දුල්කර් සල්මාන් සමග Karwaan (2018) යන සිනමාපටවලටද ඔහු දායක විය. එමෙන්ම 2016 වසරේ තිරගත වූ Madaari චිත්‍රපටය ඔහුගේ සිනමා දිවියේ තවත් හොඳම රංගනයක් ලෙස සඳහන් කල හැකිය.
ඔහුගේ අවසන් චිත්‍රපටය වූ Angrezi medium හි පළමු කොටස,Hindi medium (2017) ඔහුගේ චිත්‍රපට අතරින් ඉහලම ආදායමක් ලැබූ ඉන්දීය චිත්‍රපටය ලෙස ඉතිහාසගත ය. කෙසේ හෝ ඉර්ෆාන් ගැන තනි ලිපියකින් ලියා අවසන් කිරීම කල නොහැක්කකි. රංගන විශ්වකෝෂයක් බඳු වූ ඒ මිනිසාව පුවත්පත් පිටුවකට කැටි කිරීම අතිශය අපහසු ය.
ඉර්ෆාන් යනු බොලිවුඩය බිහිකල ස්වාභාවිකම නළුවෙකි. කිසිඳු ආයාසයකින් තොරව තම චරිතය නිරූපණය කරන ඔහු කෙතරම් ස්වාභාවිකද කියතොත් එය සාමාන්‍ය මිනිසෙකුගෙ සාමාන්‍ය හැසිරීම දෙසට කැමරාවක් එල්ල කලාක් මෙන් හැඟීමක් අප සිත් තුලට ඇතුලු කරවීමට සමත් ය. වරෙක විචාරකයෙකු සඳහන් කර තිබූ ආකාරයට ‘ඉර්ෆාන්ගේ ඇස් ඔහුගේ වචනවලටත් වඩා හයියෙන් කතා කරනවා’ යන්න සත්‍යයක් ම බව විස්වාස ය. මන්ද ඔහුගේ හැඟීම් නිරූපණයන් ඒ තරම්ම ස්වභාවික ය.
ඉර්ෆාන් ඛාන් හෙවත් බොලිවුඩයේ නිල නොලත් කිං ඛාන් මිය යාම ලෝක මට්ටමේ චිත්‍රපට රසිකයන්ගේ සිත්වලට සිදු කල බලපෑම සුලුපටු නොවේ. ඉර්ෆාන් කෙරේ රසිකයින් තුල තිබූ ආදරය හරි පුදුමාකාරය. හරියටම පියෙකු තුල තම දරුවාට ඇති ආදරය සේ ය. එය හිත ඇතුලේ සඟවාගෙන කල ආදරයක් ය. ඒ ආදරය දෝර ගලන්නේ ඔහුගේ මරණයත් සමග ය. ඒ සමග රසිකයින් ඔවුන්ගේ ආදරය නම් ජල කඳ ගලා යාමට සොරොව්ව විවර කළෝය. ඔවුන් ඉර්ෆාන් ට මෙතරම් ආදරය කල බවට ඔවුන්වත් නොදැන සිටින්නට ඇත. මේ ලියන මා අයිති වන්නේ ද ඒ කුලකයටම ය. නමුත් ඒ සොරොව් ඔවුන් ජීවත් වද්දීම ඇරෙන්නට තිබුණ ඒවාය.
ආයෙ එන්නම් කියපු ඉර්ෆාන් ඛාන් ආයේ එන්නේ නැති බව දැන් ස්ථිරය. ඔහුගේ රංගන දිවියේ හොඳම කාල සීමාවේදී ඔහුට සියල්ල හැර දමා යන්නට සිදු විය. මවගේ මරණයෙන් දින තුනක් ඇතුලත ඔහු ද මේ ලොව හැර ගියේ දෛවෝපගත ලෙස ය. ඔහු නැතත්, ඔහුගේ නිර්මාණයන් සැමදා මේ මහ පොළොව මත හුස්ම ගනු ඇත. ඉර්ෆාන්, ඔබට සුභ ගමන්!

 











No comments:

Post a Comment