AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

පුරාවත - සීතාවක රාජසිංහ නම් ආදරවන්තයා

යුරෝපීය ජාතියක් එතෙක් පෙරදිග රටකදී ලද දරුණුතම පරාජය මුල්ලේරිය වෙල්
යායේදී
පරංගිනට අත් කරදුන් සීතාවක රාජසිංහයන් ලංකා ඉතිහාසයට එක්ව ඇත්තේ අද්විතීය රණ සූරයෙක් ලෙසිනි. සතුරා ඉදිරියේ කෲරත්වය පැතිරූ ඔහු සීතාවක රාජ මාලිගයේ සිහසුන මත ඔටුණු පැලඳ රාජ ලීලාවෙන් විරාජමාන වූ අවස්ථා විරල බැව් ඉතිහාසයේ කියවෙයි. කටේ කිරි සුවඳ යන්නටත් පෙර ජාතිය රකිනු වස් අසිපත සියත දැරූ ඔහුගේ ජීවිතය ගෙවී ගියේ විටෙක කොළඹ කොටුවේ පෘතුගීසීන්ට එරෙහි සටන් පෙරමුණු වලය. තවත් විටෙක බලකොටු සටන් කඳවුරු තුලය. අවසානයේ ඔහු අවසන් ගමන් යන්නේද විමලධර්මසූරිය රජුන් සමඟ සටන් කොට පසුබා යද්දී ය. එවන් දරුණු යුද සෙනවියෙක් තුලත් පේ‍්‍රමයක් හට ගැනීම පුදුමයක් නොවන ලෝක ඉතිහාසය පුරාවටම උදාහරණ සපයයි.
රාජසිංහ රජුගේ සිත් දිනූ පෙම්වතිය දොඩම්පේ ගණිතයා නමින් ප‍්‍රකටව සිටි ජ්‍යොතිෂවේදියාගේ දියණියයි. නමුත් සාමාන්‍ය සම්ප‍්‍රදාය වුණේ රාජ්‍යත්වයේ උරුමකරු කීරවැල්ලේ පරපුරේ කුමරියක් සරණ පාවා ගැනීම ය. සීතාවක රාජසිංයන් හට වෙනත් රජ බිසවක් හෝ අන්තඃපුරයක් තිබූ බව ඉතිහාසයේ සඳහන් නොවේ. දිගින් දිගට බිහිසුණු සටන් බිම් වල ජීවිතය ගෙවමින් සිටි ඔහුට ඒ සඳහා කාලයක් නොවන්නට ද ඇත.
දොඩම්පේ ගණිතයා එකල රාජ සභාවේ දෛවඥ යා වූ හෙයින් රජු රාජ මාලිගය තුල කතා කල නොහැකි බොහෝ දෑ කතා බස් කරනු වස් දොඩම්පේ පිහිටි ඔහුගේ නිවස වෙත ගොස් ඇත. දොඩම්පේ ගම්මානය කැළණි ගෙඟ් ශාඛාවක් වූ සීතාවක ගඟ අසබඩ පිහිටි ගඟකි. රජු තම ගමනාගමන කටයුතු සඳහා බොහෝ විට මේ නදිය යොදාගෙන ඇත. ඔහු ඒ සඳහා යොදාගෙන ඇත්තේ රාජකීය අඟුලකි.
දිනක් දොඩම්පේ ගණිතයා හමුවන්නට ගඟ දිගේ යාත‍්‍රා කරද්දී අඟුල ගෙඟ් එක් ස්ථානයකදී තවදුරටත් ඉදිරියට හෝ පසුපසට ගත නොහැකි ලෙස ගලන ජලයේ නැවතුණි.. රාජ පුරුෂයන් වහා ගඟ දියට බැස යාත‍්‍රාව සිරවී ඇත්දැයි බැලූ මුත් එවන්නක් සිදුවී නොමැති බවද සහතික කොට ගෙන ඇත.
මේ අවස්ථාවේ රජු ඉවුරේ වූ වනස්පතියක් අසල දැල් වෙන පහන් ආලෝකයක් දැක, එය පුද පූජා පවත්වන තැනක් බව දැන හැකි පමණ ගරු සත්කාර සිදු කර ඇත. ඒත් සමගම අඟුල යලිත් ගමන් කරන්නට පටන් ගැනුණි.. ඒ නිසාම රජු මේ ස්ථානය අනුහසින් පිරි තැනක් බව වටහා ගෙන ඇත.
දිගු කලක් මෙසේ දොඩම්පේ ගණිතය හමු වන්නට යද්දී ඔහුගේ රූමත් දියණිය වූ මල්වතී පිළිබඳ රජුගේ සිතෙහි ආදරයක් හටගෙන ඇත. නමුත් රජු මේ වනවිට සිය ජීවිතයේ හැට වන වියට පා තබමින් සිටි අයෙකි. මල්වතී කුමරිය දහ අට වන වියේ පසු වූ භද්‍ර යෞවනියකි. ඇය කෙරෙහි රජුගේ ඥාති මුණුබුරෙකු වූ රාජසූරිය කුමරුන්ද කැමැත්තෙන් පසුවී ඇත. දොඩම්පේ ගණිතයා තම දියණිය, වියපත් රජුට පවා දීමට වඩා මතු රජවන රාජසූරිය කුමරුන්ට සරණපාවා දීමට කැමැත්තෙන් සිටි බවක් කියැවේ.
රජු හා විවාහ වූ මල්වතී කුමරිය බොහෝ විට තම ගම්මානය අසල වූ රාජසිංහ රජුගේ අඟුල ගලන ජලය මත පා වුණු ස්ථානයේ ඇති පුදබිමට යාම සිරිතක් කොට ගෙන ඇත. මහ දරුණු යුද්ධයන් මැද රජු ද ඇතැම් විට දේවිය සමඟ ආශිර්වාදය පතා එහි යන්නට ඇත. මේ අතර දේවිය ගැබ් ගන්නේ රජුට මෙන්ම රට වාසීන්ටද අනාගතය පිළිබඳ අලූත් බලාපොරොත්තුවක් ඇති කරමිනි. එහෙත් කිසිවෙකුත් නොසිතූ ලෙසින් දරුවා උපතේදී මිය යයි. ඇතමුන් මෙය රජවාසල කුමන්ත‍්‍රණයක් ලෙසද හඳුන්වා දෙයි. කෙසේ හෝ රජ කිරුළ උරුම තම පුතුගේ වියෝව සීතාවක රාජසිංහයන් වැනි තද හිතක් ඇති පියෙක් අපහසුවෙන් හෝ දරා ගත්තද, මව වූ මල්වතී කුමරියට එය දරගත නොහැකි විය. දිගින් දිගටම දරුවා අහිමි සොවෙන් කල් ගෙවූ ඇය නොබෝ දිනකින් රෝගීව මරණයට පත් විය.
සීතාවක රාජසිංයන් හා මල්වතී කුමරිය එකිනෙකා ආදරය කලා දැයි දන්නේ ඔවුනොවුන් පමණකි. එහෙත් සීතාවක රාජසිංහයන් ඒකපාර්ශ්විව හෝ මල්වතී කුමරියට ආදරය කර ඇත. එය සහතික කල හැකි ඓතිහාසික සාධක ඔහුගේ අචල ආදරය පරිද්දෙන් අදටත් නොවෙනස්ව පවතී. ගැබ් ගත් කුමරියට ශ‍්‍රීපාදස්ථානය වන්දනා කරන්නට ආශාවක් පහළ වී ඇත. නමුත් රටේ තිබුණු වියවුල් සහගත ස්වභාවය සේම, දේවියගේ සෞඛ්‍යය තත්වය සලකා රජුගෙන් එයට ඉඩක් නොවුණි.
දේවිය වෙනුවෙන් රජු සිරිපා අනුරුවක් ඉදි කරන්නට කටයුතු කළේ ය. එය පිහිටියේ දෙහි ඕවිට තිඹිරිපොළ ගම්මානයේ සීතාවක ගඟ අසබඩ වූ ගල් තලාවක් මුදුනේ ය. අදටත් මේ සිරිපතුල් සටහන එහි දක්නට හැකිය. එකල එය වටා මන්දිරයක් ඉදිකර තිබූ බවට ද සිතියහැකි නෂ්ටාවශේෂ එහි වෙයි. රජු දේවිය මියගිය සොවින් තමන් හා දේවිය නිතර ආගිය පුදබිම පත්තිනි දේවියට කැප කර එහි රාජකීය දෙවොලක් ඉදි කලේ ය. පත්තිනි දේවිය අචල ආදරයේ දිව්‍යමය සංකේතයක් බඳු වීමද විශේෂත්වයකි.
අවිස්සාවේල්ල අමිතිරිගල මාර්ගයේ ගුරුගල්ල පාලම අසල සීතාවක රාජසිංහයන්ගේ ආදරයේ සදාතනික සිහිවටනය බදු මැදගොඩ පත්තිනි දෙවොල පිහිටා ඇත. රාජකීය නියෝගයෙන් එය මල්වතී බිසවගේ මරණයෙන් තෙමසක් ගතවන්නට පෙර වික‍්‍රමසිංහ මුදලිගේ මැදිහත්වීම මත ඉදිවූවකි. එහි බිසවගේ මෙන්ම රජුගේද ආභරණ එකම පූජා මණ්ඩපයක තැන්පත් කල බව කියවෙයි.
ඉන්දියාවේ මුන්ටාස් දේවිය උදෙසා සාජහාන් රජු ඉදිකල ටජ්මහල සේම සීතාවක රාජසිංහයන් ඉදිකල මෙම දෙවොල ඉතිහාසයට එක්වී හමාර ය. ටජ්මහල සේ දැවැන්ත නිර්මාණයක් නොවූවද එයද ප‍්‍රතාපවත් නරපතියෙකු තම ආදරය උදෙස ඉදිකල උත්තුංග නිර්මාණයකි.
කෝකිල ගිහාන් විතානතන්ත‍්‍රී 

No comments:

Post a Comment