AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

ගැන්ස්ටර් රැප් හීනයක තනි වූ අපේ දරුවන්

ජීවත්වීම කියන මේ වෙහෙසකර ගමනේ මිනිසුන් වශයෙන් අපි බොහෝදෙනෙක්ට සතුටින්,හිතේ
සැහැල්ලුවෙන් කාලය ගත කරන්න ලැබෙන අවස්ථා බොහෝම අඩුයි.විශේෂයෙන්ම ලංකාව වගේ තවමත් දියුණු වෙමින් පවතින රටක ජනතාවට සතුට,සැනසීම කියන්නේ හරිම මිල අධික දෙයක්.සරලවම කියනවා නම් සල්ලි තමයි ජිවීතේ සතුට කියන තැනට අපි බොහෝදෙනෙක් පත් වෙලා තියනවා.ඒ කතාව සම්පුර්ණ වශයෙන් සත්‍යයක් නොවුණත් සල්ලි නැති වුවහොත් බොහෝ දේ අපිට මඟහැරෙනවා.ඒ තරම් අති ධාවනකාරී සමාජයක තමයි අපි මේ හැල්මේ දුවන්නේ අපි ඉලක්ක සපුර ගන්න.කොහොමවුනත් අපි හැමෝම වගේ ජිවීතේ එක් කාලයක බොහෝ සතුටින් සැහැල්ලුවෙන් වගකීමකින් තොරව කාලය ගත කරපු දවස් අතීතයේ තිබුණා.ඒ තමයි ”ළමා කාලය” එහෙමත් නැත්නම් පාසල් කාලය.ඒ කාලයේ අපි හැමෝටම කිසිම බරපතලකමක් දැනුනේ නෑ.කුඩා කාලයේ ශිෂ්‍යත්ව විභාගය හැරුණාම අපිට අපොස සාමාන්‍ය පෙළ විභාගය තෙක්ම මුළු කාලයම ගත වුනේ කෙළිදෙලෙන්.
ළමා කාලයේ මිහිර උපරිම වශයෙන් ලැබු අවසාන පරම්පරාව විදියට මට හිතෙන්නේ 85-95 දශකය අතර ඉපදුණු පිරිසයි.රටේ පැවති විනාශකාරී තත්වය 90 දශකයේ මුල් වසර කිහිපය වන විට අවසන් වු අතර රටේ තත්වය තරමක් සාමකාමී බවට පත් වුණා. තාක්ෂණය එතරම් දියුණුවක් නොතිබු ඒ සමයේ කුඩා දරුවන් වූ අපි සෑම සවසකම වාගේ එකතු වුණා.ක්‍රිකට් ගැසීමේ ඇතුළු විවිධ ක්‍රීඩා වල ඒ කාලයේ දරුවන් නිරත වුණා.නිවෙස් අසල තිබෙන කුඩ වනරොදවල් වලට ඇතුළු වී එහි තිබෙන දං, බෝවිටියා උගුරැස්ස ආදී විවිධ පළතුරු කැඩීම ආදි විවිධ ක්‍රියාකාරකම් සතියේ සෑම දිනකම නිරත වීමට අවස්ථාව ලැබුණා.වර්ෂාව කාලයේ දි වුවත් දරුවන් කලේ යහළුවන් සමඟ එකතු වී කෙසෙල් කොට වලින් පාරු සෑදීම ආදි හිතුවක්කාර එහෙත් සුන්දර දේවල් ය.නැතිනම් කුඩා මාළු පැටවුන් අල්ලා පොකුණු සෑදීම ආදී නිර්මාණශීලිත්වය වැඩි කරන ක්‍රියාකාරකම් වලින් එකල ළමුන්ගේ මනස පිරී තිබුණි. ජූලි, අගෝස්තු මාස වල මුළු අහසම දරුවන්ගේ සරුංගල් වලින් වර්ණවත් වුණි. මෙවැනි ක්‍රියාකාරකම් වලින් ඔවුන්ට ලැබුනේ සතුට පමණක් නොවේ. ක්‍රිකට් වැනි ක්‍රීඩාවලින් ඔවුන් කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් කටයුතු ඉගෙන ගනියි. කැලෑ රොදකට ඇතුල්වීම යනු කුඩා දරුවන්ව අමුතුම ලොවකට රැගෙන යාමකි. කුරුල්ලන්ගේ නාදයන් ඇසීම,බිම වැටි ඇති පිහාටු එකතු කිරීමට හුරුවීම වැනි දේ වලින් ඔවුන් පරිසරයට ආදරය කිරීමට හුරුවුණී.පරිසරයට ආදරය කරනා දරුවෙකු කිසිවිටෙක සමාජයට වෛර කරන්නෙකු වන්නේ නැත.එමෙන්ම නිතරම ඇළ දොළෙහි පීනන,තරඟයට බයිසිකල් පදින,දුවන පනින ළමුන් සෑමවිටම නිරෝගීව ජීවත් වේ.මෙවැනි දරුවන් පොතපතින් ඉගෙන ගන්නා බොහෝ දෑ ඊට පෙර පරිසරයෙන්ම ඉගෙන ගෙන ගනී.එම නිසා ඔවුන්ගේ දැනුම ද ස්වාභාවිකවම වර්ධනය වන්නේ ප්‍රයෝගික දැනුමත් සමඟිනි. මෙය ඔවුන්ගේ අනාගතයට මහත් පිටුවහලක් වූයේ ළමා කාලයේ දීම ජිවීතයට ශක්තිමත් පදනමක් ඔවුන් නොදැනීම වැටි ඇති බැවිනි.මහ පොළව මත ජීවත් වෙමින් මිත්‍රත්වය,මිනිස්කම්, ස්වභාවධර්මය ඉගෙන ගන්නා දරුවෙකු බොහෝවිට අධ්‍යාපනය සාර්ථක කරගනී.ඉගෙනීම අපහසු වූවත් තමන් දක්ෂ වෙනත් හැකියාවකින් හෝ ජිවීතය සරු කරගැනීමට ඔවුන්ට හැකියාවක් ඇත ඒ දවස දෙමව්පියන්ට ද දරුවන් නොමඟට යොමුවේ යැයි බියක් දැනුනේ නැත.මන්ද දරුවන් නිරත වූ කටයුතු වලින් ඔවුන්ට මෙන්ම සමාජයටද හානියක් නොවන බව මව්පියන් දැන සිටියහ.
ඒ කාලයේ දුරකතනයක් තිබුණේ එහෙමත් නිවෙසකය.මුල් කාලයේ රූපවාහිනියටත් වඩා බොහෝ නිවෙස් වල තිබුණේ ගුවන්විදුලිය වූ අතර දරුවන්ට රටේ ලෝකයේ නවතම තොරතුරු දැන ගැනීමට හැකි මාධ්‍ය වූයේ ‘විජය, මිහිර ආදි ළමා පුවත්පත්ය. රූපවාහිනියේ පවා විකාශනය වූයේ හරවත් වැඩසටහන් මෙන්ම ටෙලි නාට්‍යයන්ය. ටයිටස් තොටවත්තයන් මුල් කරගෙන අතුල රන්සිරිලාල් වැනි මහත්වරුන් අතින් දොස්තර හොඳ හිත, පිස්සු පූසා, ටිං ටිං වැනි කාටුන් ද රොබින්හුඞ් ආදී විදේශීය කතා මාලාවන් ද මෙරට දරු පරපුරට දායද ලෙස ලැබුණි. දඬුබස්නාමානය, දූ දරුවෝ, ඇල්ල ලඟ වලව්ව වැනි නාට්‍ය නැරඹීමට මුළු පවුලම එකතු වූහ. ඇතැම්විට ඔවුන් රෑ කෑම වේල ගත්තේ මෙවැනි කතා නරඹමිනි.පවුලක ඇතිවන ගැටළු,ඒවා සුහද විසඳා ගන්නා ආකාරය,පවුලක ඇති වටිනාකම,කෙතරම් ගැටුම් ඇතිවුවත් සහෝදර බැඳීම්වල ඝනකම ආදී කරුණු දරුවන් මේවායින් ලබාගත්තේය. එම නිසාම දරුවන් දෙමව්පියන් අතර ඇති බැඳීම තවත් තර වූවා මිසක් ලිහිල් වූයේ නැත.
එහෙත් මේ ගතවු පසුගිය දශක දෙස බලන විට අපිට පෙනෙන්නේ අපගේ ඊලඟ පරම්පරාවන් ඉතා වේගයෙන් තාක්ෂණය සමඟ බද්ධ වන බවත් ඒත් සමඟම මේ කුඩා දරුවන්ට ඔවුන්වම අහිමි වී යන බවයි.
මේ දියුණු තාක්ෂණයත් සමඟ ලාංකීය සමාජයේ වටිනාකම් මිනිස්කම් බොහෝ අඩුවී යද්දී අපගේ දරු පරපුර ද තාක්ෂණයේ ගොදුරු බවට පත්වී අවසන්ය.ඒ කාලයේ පරිගණකයක් පවා හිමි වූයේ තරමක් ආර්ථික වශයෙන් ශක්තිමත් වු පවුලක දරුවන්ට හෝ නැතිනම් තරුණ පරම්පරාවටයි.බොහෝ දෙනෙක් ගේ ආසාව වූයේ මවුන්ටන් බයිසිකලයක් නැති නම් කතා පොතක් වැනි දේවල් ය .එහෙත් දැන් දරුවන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය වන්නේ ”ස්මාර්ට් ෆෝන්” එකක්ය.අපගේ අම්මලා දරුවන්ට රැගෙන දෙන්නේ දහස් ගණන් වටිනා දුරකතනය.ඒත් සමඟම ඔවුන්ට නොමිලේ විනාශකාරී බොහෝ දෑ ලැබේ.ෆෙස්බුක් පටන් නිල් චිත්‍රපටි අඩංගු වෙබ් අඩවි පවා ඔවුන් ගේ දෑත තුල ඇත.දරුවන් සෑමවිටම විමසිලිමත් ය. කුතුහලයෙන් යුක්තය.ඉතින් තමන්ට ආගන්තුක කිසිවක් ලැබුණු විගස ඔවුන් ඒ ගැන සොයා බැලීමට පෙළඹෙති.එය අවසන් වන්නේ කොතැනින් දැයි කිව නොහැකිය.දරුවන් නොමඟට යොමුවීම සාමාන්‍ය කරුණකි. දුරකතනයටම, පරිගණකයටම ඇබ්බැහි වන දරුවාට ළමා කාලයේ බොහෝ දෑ මඟ හැරේ. පරිගණක ක්‍රීඩා යනු සැබෑ ලෝකය නොවන බවට ඔහුට අමතකව යයි. දවස පුරාවටම ඔහු කාලය ගත කරන්නේ පරිගණකය ඉදිරිපිට හෝ දුරකතනය ඔබමින් ඇඳ මතට වී ය.එබැවින් ඔහුට අහිමි වන්නේ මුලින්ම යහපත් ශරීර සෞඛ්‍යයයි.තරබාරුකම දරුවාට ලබෙන මුල්ම තෑග්ගයි. අනතුරුව ළමයෙකුට අවශ්‍යම වන යහළුකම් ඔහුට නැතිවී යයි.මන්ද මිතුරන් සමඟින් කාලය ගත කිරීමට ඇති කාලය ඔවුන්ට මේ තාක්ෂණික මෙවලම් නිසා නැතිවී යාම ඛේදනීය කරුණකි.මිතුරන් නැතිවීම යනු ජිවීතයේ තවත් වටිනා දේ නොදැනීම මඟහැරී යාමකි.යමක් බෙදා හදා ගැනීමේ වටිනාකම,ජය පරාජය සමසේ විඳදරා ගැනීමට පුරුදු වීම ඉන් කිහිපයකි.එහෙත් ඒවා මඟහැරියාමෙන් ඔවුන්ට ලැබෙන්නේ ආත්මාර්ථකාමීත්වය, තනිකම මෙන්ම කල්යත්ම ඇති වන මානසික පීඩනය වැනි අහිතකර ප්‍රතිඵලයන් ය.ඉන්පසුව සමාජයට ලැබෙන්නේ දක්ෂ බුද්ධිමත් සමාජශීලි දරුවෙක් වෙනුවට මුළුගැන්වුණු,නිතරම නිවස තුලම රැඳී සිටීමට හුරු වු ළමයෙකුය.එවැනි අයට වැඩිවියට පත් වූ විට සමාජයේ දී ගැටළුවක් ඇතිවු විට පවා කලබලයකින් තොරව නිරාකරණය කරගන්නා ආකරය නොදනී.අතීතයේ සිටි ළමුන් ඉගෙනීම අතින් පසුබාන විට වෙනත් දක්ෂතාවයකින් හෝ ඉදිරියට යාමට සමත් වූහ. එහෙත් දැන් සිටිනා බොහෝ දරුවන් වයසට වඩා තරබාරු නිතරම ආවේගශීලිව කටයුතු කරනා ආකාරය දකින්නට ඇත.ඇතැම් දරුවන් ඔවුන් තුල සැඟවී ඇති හැකියාව කුමක්දැයි කියා පවා නොදනී.මේ අයහපත් තත්වයට මූලික වශයෙන්ම මඟ පාදන්නේ ළමුන්ට අනවශ්‍ය ජංගම දුරකතන මෙන්ම පරිගණකයි.
අනෙක් පසින් ජන මාධ්‍ය ද සෘජුවම දරුවන් පත්ව ඇති මේ ව්‍යසනයට වගකිව යුතුව ඇත.විද්‍යුත් මාධ්‍ය වල විකාශනය වෙමින් පවතින ඉන්දියන් කාටූන් වල පටන් මෙගා නාටක පමණක් නොව ඇතැම් නිවේදක නිවේදිකාවන් අපරාධ සම්බන්ධ පුවත් ද රූපවාහිනිය ඉදිරියේ සිනාමුසු මුහුණින් වීරකමක් ලෙස ඉදිරිපත් කරන ආකාරය ද ළමා මනස දූෂණය වීමට ප්‍රමාණවත්ය.දරුවන් ඉගෙන ගන්නේ,සිතට ගන්නේ,මතක තබා ගන්නේ ඔවුන්ට ඇසෙන පෙනෙනා දේවල් ය.ඉතින් අපි ඔවුන්ට දෙන්නේ කුණු නම් දරුවන් තමන්ගේ ඔළු පුරව ගන්නේ කුණු වලින් පමණි.වර්තමානයේ සිටින ළමා පරපුර අතීතයේ ජීවත් වූ වීරයින්,දස මහ යෝධයින් ගැන දන්නේ නැත.ඔවුන්ගේ වීරයින් බවට පත්ව ඇත්තේ ”සුපර් ශිවා, බෙන් ටෙන්” වැනි කාටුන් චරිතය.
අපගේ සංගීත කලාව තුල ඇති ළමා ගීත නොදන්නා දරුවන් දැන් මාධ්‍යයෙන් ඇසෙන මල් සිංදු නම් කටපාඩමින් කීමට සමත්ය. අද බොහෝ දරුවන්ට අඹ ගසකට පොල්ලකින් ගසා අඹ කැඩීමට හැකියාවක් නැත.ශක්තියක් නැත. වෙසක් කුඩූවක් සෑදීම වැනි දක්ෂතාවයන් අල්පය.ඔවුන් සිටින්නේ වෙනමම ලෝකයක් තුලය. එහි රැප් කරති. ෆෙස්බුක් ලයිව් පැමිණ සමාජයට කුණුහරුප කියමින් පිහි පෙන්වමින් වීරයින් වීමට උත්සහ දරති.මේ ලිපිය ලිවීමට හේතු වූයේද පසුගිය මාසයේ කුඩා දරුවන් කිහිපදෙනෙක් නිසා බුකියේ හුවමාරු වූ වීඩියෝ කිහිපයක් නිසාවෙනි.ඒ එම දරුවන් සමාජයේ අවධානය ගැනීමට නැතිනම් වීරයෙක් වීමට දරනා උත්සහයන්ය.ඔවුන් ඉගෙන ගෙන ඇත්තේ ඒවා වීර ක්‍රියාවන් ලෙසයි.ඒ කාලයේ අපි වසරක් වැඩිමහල් සහෝදරයෙකුට පවා කතා කලේ අයියා කියමිනි.ඒ ඔවුන් කෙරෙහි තිබු ගෞරවයයි.එසේ කතා කිරීමට අපට උගන්වා තිබුණි.එහෙත් දැන් දරුවන් ඔවුන්ට වඩා බොහෝ වැඩිමහළු අයට පවා කතා කරන්නේ ”මචං,බං,බොලං ආදී වචන වලිනි.ඒ ඔවුන් හුරුවී තිබෙන ආකාරයයි.එය වීරකමක්,එසේ කිරීමෙන් තමනුත් වැඩිහිටියන් බවට පත්වේයැයි සිතති.ඇතැම් දෙමව්පියන් ගේ වගකීම් විරහිත හැසිරීම් ද දරුවන් මේ තත්වයට පත්වීමට ප්‍රධානම හේතුවයි.දරුවන්ට ලබාදීමේ ලබාදිය යුත්තේ මොනවාද නොදිය යුත්තේ මොනවාදැයි පළමුව මව පියා තේරුම් ගත යුතුව ඇත.දරුවාගේ මුල්ම පාසල වන්නේ නිවසයි.එම නිසා පළමුව කල යුත්තේ නිවස තුල යහපත් පරිසරයක් නිර්මාණය කිරීමයි.සමාජයෙන්,පොලිසියෙන් දරුවන්ට දඩුවම් කිරීමට පළමුව මවුපියන් විසින් දඬුවම් කර හෝ ඔවුන්ව නිවැරැදි කල යුතුව ඇත.මන්ද දරුවන්ගේ වැරදි වලට මුලින්ම බැණුම් අසන්නේ අම්මා බැවිනි.
නැතහොත් දරුවන් මේ ආකාරයෙන් ජිවීතයේ ඉදිරියට ගියහොත් ඔවුන් අනාගතයේ කුමන තත්වයට පත්වේදැයි කිව නොහැකිය.එමෙන්ම මේ විනාශකාරී රැල්ලට වැඩි වශයෙන් ගොදුරු වී සිටින්නේ සමාජයේ පහළ මධ්‍යම පාන්තික දරුවන් බව ඔවුන්ගේ හැසීරිම්,නිවෙස් අනුව පැහැදිලිව පෙනේ.මේ දරුවන්ට ජිවීතය ජය ගැනීමට ඇති පහසුම මාර්ගය ඉගෙනීම පමණි.එය මඟහැරී ගොස් මොවුන් සමාජයට බරක්,පිළිලයක් වූ පසු දුක් වී පුනරුත්ථාපනය ට යොමු කිරීමට වඩා ඔවුන් දරුවන්ව සිටින අවධියේ ඔවුන්ගේ දුෂණය වූ මනස පිරිසිදු කිරීම ආරම්භ කල යුතුව ඇත.මන්ද වැඩිහිටියෙකුට වඩා දරුවෙකු යහමඟට ගැනීම පහසු බැවිනි.
මේ ලිපිය අවසන් කරන්නේ ඇතැම් සමාජ මාධ්‍ය වල පිළිකුල් සහගත හැසිරීම ගැන කණගාටුවට පත් වෙමිනි.ඉහත සඳහන් කල කුඩා දරුවන් දෙදෙනා ගේ වීඩියෝ දෙක තම ෆෙස්බුක් ගිණුම් තුල නැත්නම් ෆෙස්බුක් පිටු තුල පල කරමින් එය මහා වීර ක්‍රියාවක් ලෙස විස්තර කරමින් එයට සහයෝගය දක්වනවා යැයි පින්තූර නිර්මාණයන් කරමින් කරනා මේ නොහොබිනා වැඩ ගැන ඒ අදාල පුද්ගලයින් තමා ගැනම ලැජ්ජා විය යුතුය. ඔවුන්ගේ ක්‍රියාවලියෙන් මේ නොදරුවන් තවත් උද්දාමයට පත්ව කටයුතු කරනු ඇත.මේ පුද්ගලයින් ”රීච්” වැඩි කරගනිමින් මුදල් සොයනා විට දරුවන් මේ කාලකණ්ණි ෆැන්ටසියේ අතරමංව දුක් විඳවන දිනය ඉතා ඉක්මනින් උදා වනු ඇත.
ඒ දිනය රටක් වශයෙන් අපි මීටත් වඩා අසරණ වන දිනයක් වන බවට කිසිම සැකයක් නොමැත.එදිනට එය විනාශ කිරීමට සිදුවන සටන අපි අද කොරොනා වලින් මිදීමට කරනා සටනටත් වඩා බොහෝ අසීරු වනු ඇත.එම නිසා අනාගතයේ දුක් වීමට ඉඩ නොතබා හැකි ඉක්මනින් අපගේ දරුවන්ට සමාජයේ ඇත්ත ස්වරූපය මෙන්ම ඉගෙනීමේ වටිනාකම පැහැදිලි කර දී ඔවුන්ව දෙපයින් සිටුවීමේ කාර්යයට අත ගැසිය යුතුව ඇත.විශාල ගසක් පොරොවෙන් කපනවාට වඩා එය කුඩා පැළයක් නියපොත්තෙන් කැඩීම පහසුය.මේ ගෙවෙන්නේ ඒ පැළ අවධියයි.එය තේරුම් ගැනීම දෙමව්පියන්ගේ මෙන්ම සමාජයේ අනිවාර්යය වගකීමකී.එවිට ”සෙල්ලක්කාර මලියා,නදීර මැක්ස්” වැනි සිඟිති පතාලයකින් තොර සැබෑ ලාංකික බුද්ධිමත් දරු පිරිසක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව,හැකියාව නිරායාසයෙන්ම ලැබෙනු ඇත.

 








No comments:

Post a Comment