චිත්රපටියේ නම තමයි ‘සොල්දාදු උන්නැහෙ’. තිරගත වෙන්නෙ 1981 අවුරුද්දේ. ධර්මසේන පතිරාජ කියන කෘතහස්ත නිර්මාණකරුවා තමයි චිත‍්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ.
‘නිදහස’ සහ ‘පරමාධිපත්‍යය’ කියන්නෙ ආයුධ සහ බලය අයිති අයගේ තනි උරුමයක් සහ වරප‍්‍රසාදයක් විතරයි කියලා හොඳින්ම ප‍්‍රකට කරන කලා කෘතියක් විදියට මේ චිත‍්‍රපටය හැඳින්වීමේ වරදක් නැහැ. ගණිකා වෘත්තියට වැටුණු පේ‍්‍රමක්කගෙ, පාදඩ ජීවිතයක් හිමි සයිමන්ගෙ, බේබදු විලීගෙ සහ මානසික ව්‍යාධියකට ගොදුරු වුණු සොල්දාදු උන්නැහේගෙ ජීවිතවල ගෙවෙන දවස් තුනක් ඇසුරින් තමයි අධ්‍යක්ෂවරයා තමන්ගේ සංකීර්ණ සමාජ විවරණය කරන්නෙ. ඒ විවරණය ඇතුළේ ගොඩක් දේවල් හෙළිදරව් වෙනවා. වඩාත් පැහැදිළිව කිව්වොත්, ගොඩක් සමාජ වටිනාකම්, සමාජයේ තියෙන ව්‍යාකූලබව සහ විෂමතාවයන් නිසාම උත්ප‍්‍රාසාත්මකව විකෘති වෙන ආකාරය තමයි ‘සොල්දාදු උන්නැහෙ’ හරහා කතා කරන්නෙ. උදාහරණයක් ගත්තොත්, නිදහස් මන්දිරය ළඟ සිද්ධ වෙන්නේ එතනට ආරෝපණය කරල තියෙන සමාජීය වටිනාකමට හාත්පසින්ම වෙනස් දේවල්. ගණිකා වෘත්තියේ නියැලෙන පේ‍්‍රමක්කාගේ රස්සාව වගේම පික්පොකට් ගහන සයිමන්ගේ රස්සාව කෙරෙන්නෙත් එතන.
ඒ වගේම අපිව පාලනය කරන අය තමන්ගේ අධිපති මතවාදය උත්කර්ෂයට නංවමින්, ඒ හරහා පොදු සමාජයේ දෘෂ්ටිවාදය සංවිධානය කිරීම; තව ටිකක් සරලව පැහැදිළි කරනවා නම්, තමන්ගේ රටවැසියා හිතන ආකාරය මේ වගේ වියයුතුයි කියලා පාලකයා විසින් තීරණය කිරීම ගැන ප‍්‍රබලව කතා කරන චිත‍්‍රපටියක් විදියටත් සොල්දාදු උන්නැහේ හඳුන්වන්න පුළුවනි.
බලය සහ ආයුධ හිමි අය විසින් අභිමානවත් විදියට නිදහස සැමරීමත්, ඒ සැමරුම් ඇතුළෙ තමන්ගෙ යුධ ශක්තිය සහ හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීමත් හරහා කියන්න උත්සාහ කරන ප‍්‍රධානම දේ තමයි පොදු මහජනතාව නිදහස අත්විඳින බව. ඒ වගේම පරමාධිපත්‍යය කියන්නෙ පොදු ජනතාවට අයිති දෙයක් බවත් එයාලා කියනවා නිතර නිතර. හැබැයි ඒ නිදහස, ස්වෛරීභාවය සහ පරමාධිපත්‍යය ඇත්තටම අයිති බලයේ ඉන්න අයට මිසක් පොදු ජනතාවට නෙමෙයි කියලයි ‘සොල්දාදු උන්නැහෙ’ අපට කියන්නෙ.
පරණ අධිරාජ්‍යවාදය වෙනුවට නව යටත් විජිතවාදය ආදේශ වෙලා තියෙන මේ සමාජ ක‍්‍රමය ඇතුළේ පුද්ගල ජීවිත නන්නත්තාර වෙලා තියෙන ආකාරය තේරුම් ගන්න පුළුවන් චරිත කිහිපයක්ම චිත‍්‍රපටය හරහා අපට මුණගැහෙනවා. අධිරාජ්‍යවාදයේ අනිටු ප‍්‍රතිඵලවලින් ඇතිකරපු ව්‍යසනයන්ට ගොදුරු වුණු අයව අධිරාජ්‍යවාදී නීති ඉස්සරහම වැරදිකරුවන් බවට පත් වෙනවා. ඇත්තටම ‘සොල්දාදු උන්නැහෙ’ කියන්නෙ සර්වකාලීන නිර්මාණයක්. ඒ බව අපි මේ ගෙවමින් ඉන්න මොහොත විසින් තව දුරටත් තහවුරු කරන බව රහසක් නෙමෙයි. ඒත් තිරගත වුණු කාල වකවානුවේ මේ චිත‍්‍රපටය හරහා මතුකරපු කරුණු ගැන ප‍්‍රමාණවත් සංවාදයක් ඇතිවුණාද කියන කාරණය නම් ගැටළුවක්.
ධර්මසේන පතිරාජ සිනමා භාවිතාව ඇතුළෙ සිද්ධවුණු සමහර අත්හදාබැලීම් අදටත් අළුත්. ‘සොල්දාදු උන්නැහෙ’ත් එහෙමයි. යුද්ධය අතරමැද මානසික ආබාධයක් හේතුවෙන් ලංකාවට පිටමං කරපු, ලංකාවට ඇවිත් ඉබාගාතේ ඇවිදින සොල්දාදු උන්නැහේ (ජෝ අබේවික‍්‍රම) චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය බවට පත් කිරීම කියන්නෙම ආකෘතික වශයෙන් සහ සිනමා ආඛ්‍යානය පැත්තෙන් අළුත් අත්හදාබැලීමක්. ඒ විතරක් නෙමෙයි, සමකාලීන ජනප‍්‍රිය සිනමාවේ ඉහළින්ම හිටපු තාරකාව; මාලිනී ෆොන්සේකා පේ‍්‍රමක්කාගේ චරිතයට යොදාගැනීමත් ඒ තරම්ම අවදානම්සහගත තීරණයක්. ඇත්තටම ඒවා ඉන්දියානු වට්ටෝරු සිනමාවට විතරක් නෙමෙයි මැදමාවතේ ජනප‍්‍රිය සිනමාවටත් හිතාගන්න බැරි තරම් විප්ලවීය තීරණ. ඒ නිසාම සිංහල සිනමාවේ කඩඉමක් විදියටත් ‘සොල්දාදු උන්නැහෙ’ චිත‍්‍රපටිය හැඳින්වීමේ වරදක් නැහැ.
චිත‍්‍රපටියේ එක තැනක සොල්දාදු උන්නැහේ පේ‍්‍රමක්කාගෙන් ප‍්‍රශ්නයක් අහනවා.
”ඇයි උඹ හිනාවෙන්නෙ... පරමාධිපත්‍යය දන්නැද්ද උඹ?”
එතකොට පේ‍්‍රමක්කා උත්තර දෙනවා මෙහෙම.
”මමනං හිතන්නෙ ඒක මංවත් නොදන්න අලි කුණුහබ්බයක් කියලා...”
පෙබරවාරිය කියන්නෙ ‘නිදහස’ සහ ‘පරමාධිපත්‍යය’ වගේ මාතෘකා ගැන පැල් බැඳගෙන කතා කරන මාසයක්. ඒත් ඇත්තටම අපි නිදහස් ද? මේ පෙබරවාරියේවත් ටිකක් නිදහසේ ඒ ගැන කල්පනා කරල බලමු.
No comments:
Post a Comment