AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

නැවතත් ව්‍යසනයක්

දිගින් දිගටම අපිට කතා කරන්න වෙන්නේ ව්‍යසන ගැන. ගිය සතියේ අග්නි කතුවැකියෙන් අපි අවධාරණයට ලක් කළේ ඇමරිකාව













සහ ඉරානය අතර ඇතිවීමට ගිය භයානක යුද තත්වය ගැන. වාසනාවකට තාවකාලිකව ඒ යුද උණුසුම නතර කරගැනීමට ලෝකය සමත් වුණා. ඒ දෙපාර්ශවය වෙතම එල්ල වූ දැවැන්ත බලපෑම නිසා. ලෝක යුද උණුසුමෙන් තාවකාලිකව අත්මිදිලා සැනසුම් සුසුම් හෙළන්න අපිට අවකාශ ලැබුණේ නෑ. තවත් ව්‍යසනයක් අපේ දොරකොඩට ම ඇවිල්ලා. මෙවර ව්‍යසනය පැමිණෙන්නෙ වසංගතයක් ස්වරූපයෙන්.

චීනයෙන් ඇරඹුණු කොරෝනා වෛරසය ගැන දැන් මුළු ලෝකයම දැනුවත්. දැනුවත් වගේම මුළු ලෝකයම ඒ ගැන බියෙන් පසුවන්නේ. චීනයේ වුහාන් ප‍්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් මෙම වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ චින බලධාරීන් වුහාන් ප‍්‍රාන්තය වසා දැමුවා. ඒ කියන්නෙ ප්‍රාන්තයෙන් එළියට කිසිවෙකුට ගමන් කරන්න නොහැකි ලෙසත් අත්‍යාවශ්‍ය සේවාවන් හැර වෙනත් කිසිදු හේතුවකට බාහිරින් කිසිවෙකුට ප්‍රාන්තයට ඇතුළු විය නොහැකි ලෙසත් ප‍්‍රාන්තය අවට ආරක්ෂාව දැඩි කළා. එහෙත් චීනය ස්තාලය වසා දැමුවේ පරක්කු වෙලා. අශ්වයා ඒ වන විටත් දුවලා ඉවරයි. කොරෝනා වෛරසය මේවන විට ලෝකයේ සියලූම මහද්වීප තුළට ඇතුළු වී අවසන්. මේ සටහන තබන මොහොත වන විට ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ශරීර ගත වූ එක් චින ජාතික කාන්තාවක් සොයා ගෙන තිබෙන අතර කොරෝනා යැයි සැකකෙරන තවත් 17 රෝහල් ගත කරලා තියෙනවා.
චීනය මීට මොහොතක පෙර ලෝකයට පවසා සිටියා මේ වන විට කොරෝනා වෛරසය චීනය පුරාව ව්‍යාප්තව ඇති බව. කොරෝනා වෛරසය ඇති වුණේ කුමානාකාරයෙන්ද යන්න තවමත් නොවිසඳුණු රහසක්. වව්ලන්ගෙන්, නයින්ගෙන් හෝ වෙනත් ක්ෂීර පායි සතෙකුගෙන් මෙය ඇතුළු වන්නට ඇති බවයි වැඩිම විශ්වාසය. ඇතැම් තැනක මෙය මිනිසා විසින්ම නිර්මාණය කළ වෛරසයක් බවටත් විවිධ කතා පැතිරෙනවා. කොහොමවුණත් මේ කතාවල සත්‍ය අසත්‍යතාව තීරණය කරන්න තවම කල් වැඞී.
මොන ආකාරයෙන් මේ වෛරසය නිර්මාණය වුණත් මේ මොහොතේ මේ වෛරසයෙන් ගැලවෙන එක ලේසී නෑ. මේ වෛරසයට මුහුණ දෙන්න ඒ ඒ රටවල මිනිස්සු පෙළ ගැසෙන ආකාරය අනුව අපිට ලෝකය ගැනත් මිනිසා ගැනත් විශේෂ නිරීක්ෂණයන් කිහිපයක් කරගන්න පුළුවන්. චීනය මේ අර්බුදයේ බරපතලකම තේරුම් අරගෙන වුහාන් ප‍්‍රාන්තය වසා දමා දින 6ක් ඇතුළත රෝගීන් 1000කට ප‍්‍රතිකාර කළ හැකි රෝහලක් නිර්මාණය කිරීම ඇත්තෙන්ම ඓතිහාසක තීන්දුවක්. ඒ විතරක් නෙමෙයි බොහෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ස්වෙච්ඡුාවෙන්ම මේ වසංගත අවස්ථාවේ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම වෙනුවෙන් පෙරට එනවා.
ලෝකයේ තත්වය එසේ වද්දී ලංකාව මේ වෛරසය අබිමුව හැසිරෙන්නේ සාමුහික වගකීමකින් නොවේ. වෛරසය ලංකාවට පැමිණි බව නිලවශයෙන් තහවුරු වූ පළමු නිමේෂයේම සෞඛ්‍ය බලධාරීන් තමන් ඒ වෙනුවෙන් සේවය කරන්නේ නම් ඒ සඳහා අමතර දීමනා ඉල්ලා සිටින තත්වයක් නිර්මාණය වුණා. ඒත් එක්කම මුඛවාඩම් හෙවත් මාස්ක් පැලදීම සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රියාවක් බවට පැතිර යාමත් සමඟ මුඛවාඩම් හිඟයක් රටපුරා නිර්මාණ වුණා. අනික් පැත්තෙන් මුඛවාඩම්වල මිල අධික ලෙස ඉහළ ගියා. මේ අවස්ථාව දඩමීමා කරගෙන ආරථික වාසියක් ලබා ගැනීමේ මුවාවෙන් ඇතැම් වෙළෙන්දෝ හැසිරුණූ ආකරය ඉතාම පහත්.
ඒත් එක්කම ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය මේ මොහොතේ හැසිරෙන්නෙ වගකීම් විරහිතව. වෛරසයෙන් ආරක්ෂාවීමට ගත යුතු ක‍්‍රියාමර්ග වෙනුවට බොහෝ මාධ්‍ය සිදුකරන්නේ සුපුරුදු පරිදි භීතිය වැපිරීම. මේ තුළින් සැබෑ තොරතුරු මිනිසුන් අතරට යාම වෙනුවට ව්‍යාජ භීතියක් සමාජ ගත වෙනවා. අග්නි පාඨක ඔබෙන් අපි ඉල්ලා සිටින්නේ මේ නිර්මාණය කරන ව්‍යාජ භීතියේ ගොදුරක් නොවෙන ලෙස. මෙවැනි මොහොතක හැකි තරම් සෞඛ්‍ය බලධාරීන්ගේ නිල දැනුම්වත් කිරීම් පමණක් පිළිගන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ඒ පුද්ගලයන් ලබා දෙන හිතලූ උපදෙස් ගැන අවධානය යොමු නොකරන්න. අනවශ්‍ය ලෙස කලබල නොවීමට වගබලා ගන්නා අතරම අවශ්‍ය ආරක්ෂාව අතපසු නොකිරීමටත් වගබලාගන්න.

No comments:

Post a Comment