ඔහුට මේ නැව් පන්තියේ පැමිණීම කලින්ම ආරංචි වෙළා තිබුණා. ඒනිසාම ඔහු බේරුවලට එන්නෙ දැවැන්ත සේනාවකුත් එක්ක. මේ නැව් පන්තිය මුහුදු සේද මාවත දිගේ පැමිණෙන්නක්. එවකට චීනය මිං රාජවංශයේ යොංගල් අධිරාජ්‍යයා විසින් පාලනය කළා. ඒ අතර දකුණු ඉන්දීය රාජ්‍යයන් සමඟ වෙළඳ සබඳතා පවත්වාගෙන යන්න ඔවුන්ට අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලය, ඔහුගේ දක්ෂතම සෙනවියා චෙං හෝ, නැව් තුන්සීයක නැව් පන්තියක් සමඟ ඉන්දියන් සයුරට එවීම.
එය මෙතෙක් ලෝකයේ භාවිතා වුණ නෞකා මෙන් දෙගුණයක් විශාල නෞකාවන්ගෙන් සමන්විත වුණා. ඒ වගේම ඔවුන් ඉන්දියන් සාගරයට යාත්‍රා කලේ හිස් අතින් නෙමෙයි. ඉන්දියාවේ සහ මෙරට පූජ්‍යස්ථාන රැසකට පූජා භාණ්ඩත් ඔවුන් රැගෙන පැමිණියා.
ක්‍රි.ව. 1911 වසරෙ ගාල්ල නගරයෙ කාණුවක බෝක්කුවකට තිබුණ වෙනස් විදිහෙ ගල් කුට්ටියක් ගැන එවකට ප්‍රාදේශීය ඉංජිනේරු එච් එෆ් ටොමලීන් මහතාට ආරංචි වෙනවා. එහි වටිනාකම හඳුනාගත් ඔහු එය සංරක්ෂණයට පියවර ගන්නවා.
ඒ අන් කිසිවකුත් නොවේ ක්‍රි.ව.1405 වසරේ මෙරටට පැමිණි චෙංහෝ තම ගමන පිළිබඳ සටහන් තබා ගිය භාෂා තුනකින් ලියවුණු සෙල්ලිපිය. එහි චීන, දෙමළ වගේම පර්සියන් බසිනුත්, මෙරට ශ්‍රී පාදස්ථානයට මෙන්ම දෙවිනුවර උපුල්වන් දෙවොලට සිදු කල පූජාවන් ගැන සඳහන් වෙනවා. මේ අනුව චෙං හෝ බේරුවලට යාත්‍රා කරන්නට පෙර ලංකාවෙ දකුණු වෙරළට ගොඩ බසින්නට ඇති බව සිතන්න පුළුවන්.
චෙං හෝ බේරුවලට යාත්‍රා කරන්නෙ වීර අලකේශ්වරයන් සමඟ වෙළඳාම පිළිබඳ එකඟතාවක් ඇති කරගන්න අදහසින්. නමුත් රයිගම වීර අලකේශ්වර ඔහුට මිත්‍රත්වයේ දෑත් දිගු කරන්න කැමති වෙන්නේ නැහැ. මහ සේනාවක් සමඟ බේරුවලට පැමිණි වීර අලකේශ්වර දකින චෙං හෝ ආපසු හැරී යන්නට තීරණය කරනවා. ඒ එවර ඔහුගේ චාරිකාවේ මූලික අරමුණ ඉන්දියාවෙ කැලිකට් වරාය නිසා වන්නට පුළුවන්.
නමුත් චෙංහෝ, වීර අලකේශ්වර තමන්ට කල අභියෝගය අමතක කරන්නේ නැහැ. ක්‍රි.ව. 1411 වසරෙ ඔහු නැවතත් ලංකාවට එන්න තීරණය කරනවා. ඒ අනුව ඉන්දියාවෙ කැලිකට් වලට යාත්‍රා කරන ඔහු පෙරළා මව් රටට යාත්‍රා කරන අතර බේරුවලට සේන්දු වෙනවා. මෙවර වීර අලකේශ්වරයන් ගෙන් ඔවුන්ට ලැබෙන්නෙ අනපේක්ෂිත ප්‍රතිචාරයක. ඒ තම මාලිගයට පැමිණෙන ලෙස කෙරෙන ආරාධනයක්.
චෙං හෝ හමුදාවද රැගෙන රයිගම වෙත ගමන් කලා, නමුත් මේ අතර වීර අලකේශ්වර තවත් කුමන්ත්‍රණයක් දියත් කර තිබුණ. ඒ රහස් සේනාවක් යවා බේරුවල වරායේ නවතා තිබූ චීන නෞකා මංකොල්ලකෑමට. රයිගමට යන අතර චෙං හෝට මේ කුමන්ත්‍රණය පිළිබඳ ආරංචි වෙනවා. ඔහු සේනාවෙන් කොටසක් බේරුවලට යවා ඉතිරි පිරිස සමඟ රයිගමට යන්න තීරණය කරනවා.
ඔහුට පහසුවෙන් රයිගම මාලිගයට ඇතුල් වෙන්න හැකි වෙන්නෙ සේනාවේ බහුතරය බේරුවලට ගොස් සිටි නිසා. මේ අතර ඔවුන් මාලිගය අත් පත් කරගන්නවා. එහිදී වීර අලකේශ්වර සහ ඔවුගේ පවුල ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට ඔහු සමත් වෙනවා. ඒ අතර සිංහල සේනාව පෙරළා පැමිණ මාලිගය වට කරගන්නවා.
එහිදී ඇති වෙන්නෙ දැවැන්ත සටනක්. වෙඩි බලය සහ තුවක්කු හිමි චීන ජාතිකයන් සටන අතරතුර වීර අලකේශ්වර පැහැරගෙන යාමට සමත් වෙනවා. ලංකාව ඇතුලෙ පළවෙනි වතාවට වෙඩි උණ්ඩ වලින් මිනිස් ඝාතන සිද්ද වෙන්නෙ මේ අවස්ථාවෙදි. මෙහිදී අලකේශ්වර පවුලෙ බොහෝ දෙනෙක් ඝාතනයට ලක් වුණා ඒ වගේම වීර අලකේශ්වර සිරකරුවෙක් විදිහට චීනයට රැගෙන යන්න චෙංහෝ සමත් වෙනවා.
සාමාන්‍යයෙන් මෙවැනි යුද සිරකරුවන්ට මරණ දඩුවම පැමිණවීම සාමාන්‍ය සම්ප්‍රදාය වුණත් යොංගල් අධිරාජ්‍යයා හමුවට පමුණවපු වීර අලකේශ්වරට ජීවිත දානය හිමි වෙනවා. නමුත් ඔහුට යලි මෙරටට පැමිණීමට අවසර හිමි වූ බවක් කිසිදු තැනක සඳහන් වන්නේ නැහැ. චීන වාර්තා වල වීර අලකේශ්වර හඳුන්වන්නෙ යාලීකුනායිර් නමින්. රයිගම පාලනය මේ අවස්ථාවේ ආරාජිකත්වයට පත් වෙනවා.
එහිදී වීදාගම ඝනානන්ද පිරිවෙනේ පරිවෙනාධිපති ධූරය දැරූ වීදාගම මහා මෛත්‍රීය හිමියන් රාජ්‍යය පාලනය උන්වහන්සේ අතට ගන්නවා. ඉන් පසු පිරිවෙනෙහි සිටි ජයමහලෑන කුමාරයා රයිගම රාජ්‍යත්වයට පත් කරන්න උන්වහන්සේ සමත් වෙනවා. ඒ චීන අධිරාජ්‍යයාගේ ආශිර්වාදය ද සමගින්. ක්‍රි.ව. 1415 දි 6 වන වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ අග රජු බවට පත් වෙලා ලංකාව අවසන් වරට ඒක් සේසත් කරන්නට මේ කුමරු සමත් වෙනවා.
චෙං හෝ චීන ඉතිහාසයේ ලියවුණු අති දක්ෂ සෙනවියෙක්. අධිරාජ්‍යයාට ඔහුව හමුවන්නෙ ඉස්ලාම් ලබ්දික වහලෙක් විදිහට. එකල පැවති සම්ප්‍රදාය අනුව ඔහු අධිරාජ්‍යයාගේ සේවයට එක් කර ගන්නෙ ලිංග ඡේදනය කිරීමෙන් පසුව. චෙං හෝ ලංකාවට එන විටත් බේරුවල මුස්ලිම් ප්‍රජාව ජීවිත් වෙලා තියෙනව. ඔහුට ඔවුන්ගේ සහය ලද බවත් සිතන්න පුළුවන්. භාෂා තුනකින් ලියවුණු සෙල්ලිපියෙ එක් එක් භාෂ වලින් සඳහන් වෙන කරුණු අනෙක්වාට පරස්පරයි.
චීන බසින් මෙරට ශ්‍රී පාදස්ථානය, දෙවිනුවර දෙවොල ඇතුලු ආගමික ස්ථාන වෙත කෙරුණු පූජාවක් ගැන සඳහන් වුණත්, එහිම පර්සියන් බසින් සඳහන් වෙන්නෙ චෙං හෝ අල්ලාහ් දෙවියන් වෙනුවෙන් ප්‍රදානයක් සිදු කල බවක්. චීනය තම අරමුණු වෙනුවෙන් අද වගේම එදත් කෙතරම් සූක්ෂම වුණාද කියන දේ තේරුම් ගැනීමට එයම ප්‍රමාණවත්.
මූලාශ්‍ර -
රාජාවලිය - මහාචාර්ය ඒ.වී. සුරවීර සංස්කරණය
ලක් ඉතිහාසයෙන් වසං වූ චීන මෙහෙයුම - වෛද්‍ය අජිත් අමරසිංහ
No comments:
Post a Comment