AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

”ඔප්නැංවූ සකලවිධ වටිනාකම් වේදනාවෙන් නිර්මිතය”

ජීවිතේ ලේසි නෑ... 


හීන දකින එක අපි හැමෝම කරන දෙයක්. නින්දෙදි වගේම ඇහැරගෙන ඉඳිද්දිත් අපි හීන දකිනවා ගොඩක් දේවල් ගැන. නින්දෙදි දකින හීන පහුවදා උදේම වියැකිලා යනවා, ආයෙත් මතක් කරගන්න බැරි විදියට. හැබැයි නින්දක් නැතුව, රැුයක්
දවාලක් නැතුව දකින සමහර හීන අපිව හැම තත්පරයක් පාසාම අවදියෙන් තියනවා. ඒ වගේම ගොඩාක් අමාරු තැන්වලදි පවා අතනෑර අපිත් එක්ක ඉන්නවා. මේ සටහන එහෙම නින්දක් නැතුව දකින හීන ගැන. ඒ වගේම ඒ හීන ඇත්ත ජීවිතේ ඇතුළට අරගෙන එන්නෙ කොහොමද කියන කාරණය ගැන.
කෙනෙකුට හිතෙන්න පුළුවන් හීන දකින එක තේරුමක් නැති දෙයක් කියලා. මොකද හීන කියන්නෙම හීන. ඒවා ඇත්ත ජීවිතේ නෙමෙයි. ඉතින් ඒ වෙනුවෙන් අපි අපේ කාලය නාස්ති කරගන්නෙ ඇයි කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා.
ඇත්ත, හීන කියන්නෙ හැබෑ ජීවිතේ නෙමෙයි. හැම හීනයක්ම ඇත්තක් වෙන්නෙත් නැහැ. ඒත් එහෙමයි කියලා අපි හීන නොබලා ඉන්න ඕනද?
හීන දකින එක එච්චර නරක දෙයක් නෙමෙයි. අරමුණක් ගැන හීනයක්, එහෙමත් නැත්නම් බලාපොරොත්තුවක් ළඟ තියාගන්න එක; ඒ හීනය මැරෙන්න නොදී පරිස්සමෙන් නඩත්තු කරන එක ගොඩක් වැදගත් දෙයක්. ඇත්ත ජීවිතේට බයවෙලා හැම දේම අතඇරල දානවට වැඩිය හීනයක් එක්ක හරි දේවල් අල්ලගෙන ඉඳීමයි වටින්නෙ. මොකද යන තැනක් ගැන, කරන කියන දෙයක් ගැන අදහසක් නැතුව අයාලේ යන ගමනක් සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. ඉතින් ඒ නිසා ගමනාන්තයක් ගැන නිශ්චිත ඉලක්කයක් යන්තමට හරි අපේ ළඟ තිබීම වටිනවා. ඒ ගමනාන්තයට ළඟාවීම ගැන හීන දකින එකත් වැරැුද්දක් නෙමෙයි. මොකද එහෙම හීන දකින්නෙ නැතුව, බලාපොරොත්තුසහගත වෙන්නෙ නැතුව ජීවිතය අපිව අරගෙන යන තැනකට යන්න ඉඩ ඇරල ඔහේ බලාගෙන හිටියොත් ඇත්තටම අපි කොහේවත් යන්නෙ නෑ.
හැබැයි එකක්, හීන දැකීමෙන්ම විතරක් හැම දේම සාර්ථක වෙයි කියල අපි හිතුවොත් අන්න එතනදි අපට වරදිනවා. අරමුණට යන ගමන එහෙමම තියෙද්දි ඒ වෙනුවෙන් කිසි දෙයක් නොකර දකින හීනවලින් කිසිම ප‍්‍රයෝජනයක් නැහැ. ඒ හීන උදේ ඇහැරෙද්දි දියවෙලා යන මතකයක් වගේ මැකිල යන්නෙ අපේ ජීවිතවල වටිනාම කාලයත් බිංදුවෙන් බිංදුව හොරකම් කරගෙනමයි.
අපි හීන දැකපු පළියට ඒ හැම හීනයක්ම හැබෑ කරල දෙන්න අපේ දෛවය බැඳිලා නැහැ. ඒ වගේ කිසිම ආයාසයකින් තොරව දේවල් ලබාගන්න අහඹු වාසනාවන්තයො නැතුව නෙමෙයි. ඒත් එහෙම අහම්බයන් වෙන්න තියෙන්නෙ මොන තරම් අඩු ඉඩක් ද? චිත‍්‍රපටිවල, නවකතාවල වගේ හැම දේම හොඳ විදියට සිද්ධ වෙලා කතාව සතුටින් ගලාගෙන යනවට අපි හැමෝම කැමතියි. ඒත් ඇත්ත ජීවිතේ ඒ තරම් කාරුණික නැහැ. ඒක ඇතුළෙ දේවල් ලඟා කරගන්න නම් අපට සිද්ධ වෙනවා අපේම දෛවය එක්ක සටන් කරන්න. අපේම ඉරණමට අභියෝග කරන්න.
අපි හිතාගෙන හිටියට වැඩිය ගොඩාක් අමාරු ගමනක් සමහරවිට අපේ අරමුණු වෙනුවෙන් අපට යන්න සිද්ධ වේවි. ඒත් ඒ ඇත්තට මුහුණ දෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. තමන්ගෙ වටිනාකම වැඩිකරගන්න නම් දියමන්තියකට වුණත් සිද්ධවෙනවා කැපීම්, සීරීම් සහ ඔපදැමීම් කන්දරාවකට මුහුණ දෙන්න. ඒක හිතාගන්නත් බැරිතරම් වේදනාකාරී අත්දැකීමක්. ඒ වගේම, වටිනාකමක් මතුකරගන්න නම් අපටත් සිද්ධවෙනවා බොහොම සීරුමාරුවට අනවශ්‍ය දේවල් අපේ ජීවිතවලින් ඉවත් කරගන්න. ඒක කරද්දි ගොඩක් රිදෙන්න ඉඩ තියෙනවා. ඒත් ගමනාන්තය වෙනුවෙන් ඒ වේදනාව උහුලන්න බැරිනම් හොඳම දේ තමයි අපි ජීවිතේ ගැන හීන නොබලා ඉන්න එක. මොකද ළඟාකරගන්න බැරි හීන ඉතුරුකරන්නෙ පසුතැවීම පිරුණු හිස්කමක් විතරයි.
වැරදියට තේරුම් ගන්න එපා; මේ කියන්නෙ අපි අපේ ගමනාන්තයට යද්දි වටපිටාවෙ තියෙන අනිත් හැම දෙයක්ම අමතක කරල, හැම මනුස්ස සම්බන්ධතාවයක්ම මගහැරගෙන හැඟීම් විරහිතව යන්ත‍්‍රයක් වගේ ඒ ගමන යන්න ඕන කියන එක නෙමෙයි. ඇත්තටම එහෙම යන ගමනක් අවසානයේ මොනවා ලැබුණත් ඒක එච්චර වටින්නෙ නැහැ. කෙනෙක් ගමනාන්තයකට යන්න ඕන ගමනේ තියෙන අසිරියත් විඳගෙන. එහෙම ගමනකින් ජීවිතේට ගොඩාක් දේවල් එකතු වෙනවා. ගමනාන්තය ගැන සිහිය රඳවාගන්න අතරෙම ගමන විඳගන්න එකත් කරන්න පුළුවන් නම් ඒකට තමයි ගමනක් යනවා කියන්නෙ. එහෙම ගමනක් යන කෙනෙක් කවදාවත් අතරමං වෙන්නෙ නෑ. ඒ වගේම කිසිම දවසක තනිවෙන්නෙත් නෑ.
අරමුණක් වෙනුවෙන් හීන දැකීම නරක දෙයක් නෙමෙයි. ඒත් හීනවලට විතරක් බැහැ අපිව ගමනාන්තය දක්වා ගෙනියන්න. ඒ වෙනුවෙන් සැලසුමක් ඕන කරනවා. ඒ වගේම බරපතල කැපකිරීම් ගොඩක් සහ ස්වයං විනයකුත් ඒ ගමන යද්දි අපේ ළඟ තිබීම වැදගත්. මතක තියාගන්න, ජීවිතේ එච්චර ලේසි නැහැ. ඒක සෑහෙන්න අමාරු ගමනක්. යන්න වෙන්නෙ කටු ඇනෙන වේදනාවෙන් සහ දුෂ්කරක‍්‍රියාවන්ගෙන් පිරුණු පාරක.





No comments:

Post a Comment