AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

දෝංකාරය - මම කවුද?

ගේ නම, ජීවත් වන පලාත , කරන රැුකියාව වගේ සුළු සුළු කාරණා කීපයක් හැරෙන්නට
ඇත්තටම මම කවුද යැයි සොයා ගැනීම ට විවිධ කාල වලදී, මා විවිධ උත්සාහයන් දරා ඇතිමුත් මට තවමත් නිශ්චිතවම මාව හඳුනා ගැනීම ට ලැබී නැත. කීප වරක් මා එම උත්සාහය අත් හැර දැමීමට පවා සිතූ නමුත් දිගින් දිගටම මා තේරුම් ගැනීමට මම තවමත් උත්සාහ කරමින් සිටිමි. එයින් ලද ප‍්‍රයෝජන ද බොහෝය. එමනිසා පෙර ට වඩා දැන් මා කවුරුදැයි මට අදහසක් ඇත . මට පුළුවන් දේ මෙන්ම බැරි දේ පිළිබඳව ද පෙරට වඩා දැනුමක් ඇත. නමුත් එය තව දුරටත් වර්ධනය විය යුතු බව මම තවමත් සිතමි.

බුදුන් වහන්සෙ පවා දේශනා කර ඇත්තේ අනුන් ගැන සෙවීමට වඩා තමන් ගැන සෙවීම , තමන් සොයා ගැනීමට උත්සාහ කිරීම වඩා වැදගත් බවයි. ලෝකෝත්තර සුවයක් සඳහා එය අත්‍යවශ්‍ය බව පැහැදිලි නමුත් ලෞකික ජීවිතය ට එය අවශ්‍ය දැයි විටෙක අපට සිතෙන්නට පුළුවන. ඔව්, ලෞකික ජීවිතය ට ද එය අත්‍යවශ්‍ය වේ. ඔබ, ඔබ කවුරු දැයි නොදන්නේ නම් ඔබ අතරමං වීම අනිවාර්යයකි.
ඔබට නොහැකි , කිසිඳු ආකාරයකින් නොගැලපෙන වෘත්තින් හි හිර වී, ජීවිත අවුල් වූ මිනිසුන් හා ගැහැණුන් , අනේක විධ වු දෙස් දෙවොල් තියමින් සිටින ආකාරය අනන්තවත් අප දැක ඇත. වෘත්තිමය ජීවිතය පමණක් නොව පවුල් ජීවිතය , සමාජ ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය පවා සහමුලින් අවුල් වීමට තමා කවුරු දැයි නොදැන සිටීම හේතුවිය හැකිය . එමෙන්ම තමන් කවුදැයි තේරුම් ගැනීම තමන් ට අනෙකා තේරුම් ගැනීමට ද උදව්වක් වනු ඇත.
ඉතිහාසය පුරාවට ම තමන් හරියටම කවුදැයි නොදැන , නමුත් විවිධ හේතුන් මත අතිශය ජනකාන්ත වූ මිනිසුන් කාලයත් සමඟ තවත් ඇතමුන් විසින් මෙහෙයවන රූකඩ බවට පත්වී පසුව විහිලූ බවට පත්වූ ආකාරයට උදාහරණ එමට ඇත. එය තමන් කවුදැයි තමන් නොදැන සිටීමේ ප‍්‍රතිඵල යයි. තමන් කවුදැයි තමන් ද නොදන්නා විට, විවිධ පුද්ගලයන් ට ඔබව රැුවටීම පහසුය. මා ද සැලකිය යුතු ලෙස එවැනි රැුවටීම් වලට ලක් වී ඇත. ඇතැම් විට වර්තමාන යේ ද රැුවටෙමින් සිටිනවා වීමට ද ඉඩ ඇත . අඩුම තරමින් පසු කළෙක හෝ ඔවුන් තමන් ව ඔවුන් ගේ කාර්යය සඳහා භාවිතා කල බව නැත්නම් ඔවුන් තමන් ව විකිණූ බව හඳුනා ගැනීම ට තමන් ගැන අවබෝධ කර ගැනීමට ගන්නා උත්සාහ ය උදව්වක් වනු ඇත.
මේ ලෝකය මේ වනවිට වෙළඳ පොළකි. අප සැවොම එහි වෙළෙන්දෝ ය. එමනිසා කොහොමත් අප සැමට සිදුවී ඇත්තේ එක්කො විකුණන්න නැතිනම් විකිනෙන්න පමණයි. එමනිසා තමන් ගැන යම් ප‍්‍රමාණයක හෝ තක්සේරුවක් පවතින්නේ නම්, විකිණෙන හා විකුණන අතරතුර තමන් ගෙ ගඳ තමන් ට ම අප‍්‍රිය නොවන , තමන් ට තමන් ගැන ආදරය හිතෙන ජීවිතයක් ගත කිරීම ට අවස්ථාව ක් ලැබීමට ඉඩ ඇත.
එමෙන්ම පොදු සමාජය තුල ඔබ ජීවත් වන ආකාරය , ඔබ පෙන්නන්න ට හදන ප‍්‍රතිරූපය ඔබේ ඇත්ත ස්වාභාවය ට වඩා බොහෝ සෙයින් වෙනස් නම් ඔබට එය නඩත්තු කිරීම මහා හිසරදයක් වීමට ඉඩ ඇත . නමුත් ඔබ ඔබව නිවැරැුදි ව දන්නේ නම් එය එතරම් අපහසු නොවීම ට ඉඩ ඇත . ඔබ , ඔබව හඳුනන්නේ නැති විට ඔබේ බොරුවට ඔබ ම රැුවටීමට ඉඩ ඇත . එවිට ඔබට වැරදුනේ කොහේද කියාවත් ඔබ ට සොයා ගැනීමට අසීරු වනු ඇත.
එවැනි රඟපෑමකින් තොරව ඔබ ට ඇත්ත ඇති සැටියෙන් ජීවත් වීමට හැකි නම් එය සෑම අතින් ම පහසු බව ඉතා පැහැදිලි ය. නමුත් ඇත්ත ඇති සැටියෙන් ජීවත් වීමට ත් ඔබ විසින් ඇත්ත ඔබ ව යම් ප‍්‍රමාණයකින් හෝ අවබෝධ කරගෙන සිටිය යුතුය.

කාලිංග බණ්ඩාර

No comments:

Post a Comment