AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

මගදි මුණගැහුණා මගහැරුණ ආදරේ - 06

අසංක සායක්කාර ලියන

ආදරණීය නවකතාව...


යා තාමත් ෆිල්ම් බලලා අඬනවද...?”   

නූපාගේ ප‍්‍රශ්න කිරීමත් එක්ක බාසුරුට දැනුණේ සියුම් ලැජ්ජාවක්. වචනවලින් උත්තර නොදුන්න බාසුරු ළා සිනාවක් පාමින් නූපගෙන් ඇස් ඉවතට ගත්තා. බාසුරුගේ මූණේ ඇඳුණු ඒ හිනාව නූපගේ ඇස් තව තවත් කුල්මත් කරා.
‘‘මං ආසම ඔය හිනාවට.’’
නූපා පළවෙනි වතාවට බාසුරුගේ හිනාව බාසුරු ඉදිරියේ වර්ණනා කළේ මළගෙදර ගමනෙ ගිහින් ඇවිත් දෙවැනි දවසෙ.
ඔපන් තියටර් එක අසලම තිබ්බ සමර් හට් එකේ දෙන්න වාඩි වෙලා හිටියෙ සම්මත පෙම්වතුන් වාඩි වෙන ඉරියව්වෙන්. අතොරක් නැති ආල කතා මැද බාසුරු හිනාවෙන හැටි නූපා බලාගෙන හිටියෙ වශීවෙලා.
‘‘ඇයි ඔහොම බලන්නෙ...?’’
‘‘එපා ද...?’’
‘‘එකපාර ඔහොම බලනකොට ටිකක් අමාරුයි වගේ...’’
බාසුරුව තව තවත් අමාරුවේ දාන අටියෙන් නූපා එක එල්ලේ බාසුරුගේ ඇස් දිහා ම බැලූවා. බාසුරු ඒ නයනාලම්භනය දරාගන්න අපහසුවෙන් ලැජ්ජාශීලී සිනාවක් පාමින් ඇස් ඉවතට ගත්තා.
‘‘මං ආසම ඔය හිනාවට’’
* * *
නුපා අවදියෙන් නිසා තවත් ඒ දිහා බලන්න උත්සාහ නොකළ බාසූරු ෆිල්ම් එකක් බලන්න අපහසුවෙන් හිත හදාගත්තා.
‘‘මොකක්ද බලන ෆිල්ම් එක.’’
‘‘නෝට් බුක්’’
‘‘නෝට් බුක්...? හොඳයි ද...?’’
‘‘ලස්සනයි. ඔයා බලලා නැද්ද....?’’
‘‘බලමු එහෙනම්..’’
‘‘දැන් නිදිමතයි කිව්වා නේද...?’’
‘‘නින්ද යන්නෙ නෑ’’
තරමක කොමල ලීලාවෙන් එසේ කියූ නූපා සිය ආසනය ඉදිරියේ ඇති ටච් ස්ක‍්‍රීනයට අත තබමින් නෝට් බුක් චිත‍්‍රපටය තෝරන්න පටන් ගත්තා. නූපාගේ ඇඟිලි ඇස් අස්සෙ හිරවුණේ බාසුරුත් නොදැනම.
මේ ඇඟිලි හරි විශේෂයි. ඇඟිලි විතරක් වෙනම බැලූවොත් කිසිලෙසකින්වත් නර්තන ශිල්පිනියකට ඔබින බවක් දිස් වන්නේ නැහැ. නර්තන ශිල්පිනියන්ට ඔබින්නෙ සිහින් දිගැටි ඇඟිලි. ඒත් නූපගේ ඇඟිලි එච්චර දිග නෑ. නමුත් ඒ ඇඟිලිවල මොකක්දෝ බුහුටි සුන්දරත්වයක් තැවරිලා තිබුණා. මේ නිසාම නූපගේ සම්පූර්ණ රූපයට ඇඟිලිවලින් එක් කළේ චමත්කාරයක්. මේ බුහුටි ඇඟිලි අතර බාසුරුගේ ඇඟිලි පැටලිලා තිබුණු යුගය නැවත නැවත බාසුරුගෙ හිත ඇතුළෙ හෝල්මන් කරනවා.
‘‘අන්න ඔයාගෙ ආසම ලෙක්චර් ඇතුළට ආවා’’
‘‘කවුද...’’
‘‘වෙන කවුද ඉතින් සිතුමිණ සර්’’
‘‘අප්පෝ ඔව් ඔව්... හරි ආසයි එයාට...’’
‘‘නූපා ඇත්තටම ඇයි ඔයා සිතුමිණ සර්ට ඔච්චර අකමැති’’
‘‘අකමැති බෙර ගහන්න දෙන නිසා.’’
කෙතරම් නර්තනයට පෙම්බැන්ඳත් නූපා බෙර වාදනයට ඒ තරම් ආස කළේ නෑ. බාසුරු මුළින් හිතාගෙන හිටියෙ ඒකට හේතුව සිතුමිණ සර්ගේ චර්යාව කියලා. ඒත් ඇත්ත ඒක නෙමෙයි.
‘‘බෙරගහලා ගහලා දැන් අත් දෙකත් ගොරෝසු වෙලා. මට බයයි කරගැටත් එයි කියලා’’
නූපගේ දෑතේ සුමටබව නැතිවී යාම ගැන බාසුරුත් බය වුණා. එතැන් පටන් සිතුමිණ සර් ගැන බාසුරුගෙ හිතෙත් අකමැත්තක් ලියන්න පටන් ගත්තා.
* * *
නූපා අතැඟලි වෙනදාට වඩා මහත් වී ඇති බව බාසුරුගේ නිරීක්ෂණයට හසුවුණා. එදා වගේම දෑතේ සුමටබව විඳගන්න ඇති ආශාව ඔහු මැඩගත්තේ ඉතාම අසීරුවෙන්. ඒ අසීරුව තරමක් පහසු කළේ ඇගේ වමතේ වෙඳගිල්ල දරා සිටි මඟුල් මුද්ද. කුඩා මැණික් ගල් ඔබ්බවා නිර්මාණය කළ ඇති මේ මුදුව දකින ඕනෑම අයෙකුට එය ඉතා වටිනා ආභරණයක් බවට නිගමනය කරන්න ස්වර්ණාභරණ ගැන ගැඹුර අවබෝධයක් අවශ්‍ය නැහැ. එහි ඇති අලංකාර කැටයම්වල සියුම් ලක්ෂණ බාසුරුගේ හිත ගත්තත් එවැනි මුද්දක් නූපගේ වෙදැඟිල්ල දරා සිටීම ඔහුගේ සිත ගත්තේ නැහැ.
‘‘ඔයාගේ අතට ගැලපෙන්නේ චූටි ගලක් තියෙන හිනී මුද්දක්.’’
‘‘එහෙනම් ඉතින් එහෙම එකක් හදලා දෙන එකයි ඇත්තෙ’’
‘‘ඊළඟ පාර මහපොල 2500 දුන්නම හදලා දෙන්නම්’’
මහපොල 2500න් බාසුරු කරන වැඩ තොගය ගැන හොඳින් අවබෝධයෙන් සිටි නූපා කිසිම දිනක බාසුරුගෙන් එවැනි තිලිණියක් බලාපොරොත්තු වුණේ නෑ. නූපා කිසිදාක බලාපොරොත්තු නොවන වග බාසුරුත් හොඳ හැටි දැනසිටියා.
චිත‍්‍රපටය පටන් අරන් ටික වෙලාවක් යනකොට බාසුරු නූපගෙන් මිදිලා චිත‍්‍රපටයේ ආදර කතාව මැදට ගියා. නූපත් කිසිහැලහොල්මක් නැතුව කතාව මැද. බාසුරු යටි ප‍්‍රාර්ථනා කරන්නේ කතාව අවසානයේ පෙම්වතා සහ පෙම්වතියගේ නැවත හමුවීමේ අසිරිමත් මොහොත ඉක්මණින් නූපගේ ඇසට අභිමුඛ කරන්න. ඔහුගේ යටි සිත මේ සිදුවීම් දෙකේ එක්තරා සාම්‍යයක් ගලපමින් හිටියෙ.
කතාව එච්චර දුර එන්න කලින් නූපා ඇස් පියාගත්තෙ විඩාවට අවනත වෙමින්.
‘‘නිදාගන්න එපා නූපා. තව ටිකකින් ෆිල්ම් එකේ හොඳම හරිය ඒක බලලා ඉන්න’’
එහෙම කියන්න කොච්චර වුවමනාව තිබුණත් බාසුරු ඒ වචන ටික හිරකරගෙන නූපගේ නින්දට අවසර දුන්නා. එතැන් පටන් බාසුරුගේ ඇස් දෙක නූපා ලගත් චිත‍්‍රපටය ළඟත් වරින් වර දෝලනය වුණා.
නෝට් බුක් චිත‍්‍රපටයේ ඒ අසිරිමත් මොහොත සියවතාවකට වඩා නරඹා ඇති බාසුරුට හැමදාම ඒ ජවනිකාව අලූත්. ඔහු මේ ජවනිකාවට මෙතරම් පේ‍්‍රම කරන්නෙ කවදා හෝ එහි පේ‍්‍රමවන්තයා බාසුරුත් පේ‍්‍රමවන්තිය නූපාත් වෙනු දැකීමේ ආසවෙන්.
වෙනදා මේ ජවනිකාව නරඹනවිට නූපා හිටියෙ බාසුරුගේ ඔලූවෙ. ඒත් අද ඇය තමන්ගේ අසුනට යාබද අසුනෙ. ඇත්තටම මේක දෛවෝපගතයි. බාසුරු ඒ දෛවයට ඉඩ දෙමින් ජවනිකාවට ඇස් සූදානම් කරා. හැමදාම වගේ ඒ ආදර ජවනිකාව අවසන් වුණේ බාසුරුගේ ඇස් අගට කඳුළු පුරවලා. හැමදාම මේ ජවනිකාව අවසන් වෙන නිමේෂයේ බාසුරුට ඈතින් යාන්තමට අමරදේවගේ කටහඬ ඇහෙනවා.
‘ආදර හැගුම් ආදර හැඟුම්’
හොඳ නින්දකින් මොහොතකට ඇස් ඇරිය නූපා එක්වරම දැක්කේ බාසුරුගෙ ඇස්වලින් කඳුළු ගලනවා.
‘‘ඔයා තාමත් ෆිල්ම් බලලා අඬනවද...?’’

මතු සම්බන්ධයි


No comments:

Post a Comment