AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

ඇහිපිල්ලමෙන් ලියන සෙල්ලිපිය

සඳුදා
ජයලත් මනෝරත්න ගැන වැඩසටහනක් ටී.වී එකේ ගියා. අපි හැමෝම ඒක බැලූවේ ආසාවෙන්. එතුමා ගැන දන්නෙ නැති
ගොඩක් දේවල් දැනගත්තා. තාත්තයි අම්මයි දෙන්නම වැඩසටහන යනකොට ඒකේ කියන දේවල් ගැන අතුරු කතාවලට යනවා.
‘තල මමලා පිපිලා නේද අපි දෙන්නා ජෝන් ද සිල්වා එකේදී බැලූවේ’
‘ගුරුතරුව බලන්න ගියේ ලොකු දුව බඬේ තියන්’
වැඩසටහන ඉවර වෙලා තාත්තා නින්දට ගියේ වැඩසටහනේ් ගියපු සින්දු කෑල්ලක් මුමුණ මුමුණ.
‘දත ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
කසාදෙ නම් කසාදෙ හරි තිත්ත බෙහෙතකි’
‘තිත්ත නම් මොකටද මාව බැඳගත්තේ. වෙන ගෑණියෙක් බැඳගන්න තිබුණනේ’
තාත්තා මනෝරත්න ගැන හිත හිත සින්දුව කිව්වට අම්මා හිතලා තියෙන්නෙ තාත්තා ගැන.

බදාදා
කොරෝනා නිසා කලිඟු අයියාට හරියට වැඩ. දවසට තුන්පාරක්වත් අපේ ගෙවල් පැත්තෙ එන්න කොරෝනා උදව් කරනවා. උදේම එන්නේ අලූත්ම තත්වෙ ගැන අම්මට අප්ඬේට් එකක් දෙන්න.
‘‘වැඬේ නැගලා යනවා නැන්දෙ. මැරිච්ච ගාණ 100 පැන්නා දැන් ටිකකට කලින්’’
දවල් වෙලා ආපහු එන්නෙ අලූත් නිවුස් එකක් අරන්.
‘‘ඉවරයි නැන්දෙ අපි ඔක්කොම ඉවරයි.. ලංකාවෙනුත් එක්කෙනෙක් හෙයාගෙන. එයා සති දෙකක් තිස්සේ ලංකාව වැටේ ඇවිදලා’’
වෙනදට දවසට තුන්පාරක් මේ විදියට ගෙදර ආපු කළිඟු අයියා කවදාවත් නැතුව අද මහ? ගෙදර ආවා.
‘‘නැද්දෙ හෙට උදේ එළියට බහිනවා නම් මේවා දාගෙන යන්න. තත්වෙ එච්චරටම දරුණුයි. ෆාමසිවල බඩු ඉවරයි. නැන්දලා මතක් වෙලා මේ ටික ගත්තෙ’’
මාස්ක් 10ක් අම්මගේ අතේ තියලා කලිඟු අයියා ගෙදරින් එළියට බැස්සෙ මද්දුම බණ්ඩාර වගේ ආඩම්බරයෙන්.
‘‘හොඳ කොල්ලා. ඒ කොල්ලට අපි ගැන මතක් වෙන ටික මේ ගෙදර මහ එකාට මතක් වෙන්නෙ නෑනේ’’
අන්තිමට මාස්ක් එකත් නතර වුණේ තාත්තා ළඟ.

බ‍්‍රහස්පතින්දා
කලිඟු අයියා දීපු මාස්ක් එක දාගෙන උදේම එළියට බැස්සෙ කොරෝනා ගැන බයකින් නෙමෙයි. මාස්ක් එක ඇතුළෙන් මට දැනුණෙම කළිඟු අයියගේ සුවඳ. අද දවසම මේ සුවඳ මගේ ළඟ තියාගන්න ඕනෙ නිසා. පන්තියේ කොල්ලො විහිළු කරද්දිත් මම මාස්ක් එක ගැලෙව්වෙම නෑ.

සිකුරාදා
පන්ති ඇරලා ගෙදර එන්න බස් එකේ නගින්න යනකොට කවදාවත් නැතුව නජිත් මට කතා කරා. ඒ කතා කරපු විදියෙ මොකක්දෝ අමුත්තක් තිබුණු නිසා මම නැවතුණා. පන්ති එන්න පටන් ගත්ත මුල් දවස්වල ඉඳලා මම නජිත්ව දන්නවා. හැබැයි වචන 10කට 15කට වඩා අපි කතා කරලා නෑ. අදත් කතා කරේ වචන දෙක තුනයි.
‘‘මම දැන් මැසෙජ් එකක් එවනවා. බලලා රිප්ලයි එකක් දාන්න’’
බස් එකට නැගලා වාඩි වුණා විතරයි. මැසේජ් එක ආවා. ඔව් ඒක තමයි මැසේජ් එක.
‘‘මං ඔයාට කැමතියි. ඔයා මොකද කියන්නෙ...?’’
දෙපාරක් හිතන්නෙ නැතුව මම රිප්ලයි එක යැව්වා. ‘සොරි.’
මැසේජ් එව එව ඉන්නෙ නැතුව නජිත් කෙළින් මගෙන් ඒ ප‍්‍රශ්නෙ ඇහුවා නම් සමහරවිට මගේ උත්තරේ මේක නොවෙන්න තිබුණා.
- මානවිකා

No comments:

Post a Comment