AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න
Showing posts with label ඇහිපිල්ලමෙන් ලියන සෙල්ලිපිය. Show all posts
Showing posts with label ඇහිපිල්ලමෙන් ලියන සෙල්ලිපිය. Show all posts

Monday, June 1, 2020

ඇහිපිල්ලමෙන් ලියන සෙල්ලිපිය

සඳුදා
ජයලත් මනෝරත්න ගැන වැඩසටහනක් ටී.වී එකේ ගියා. අපි හැමෝම ඒක බැලූවේ ආසාවෙන්. එතුමා ගැන දන්නෙ නැති
ගොඩක් දේවල් දැනගත්තා. තාත්තයි අම්මයි දෙන්නම වැඩසටහන යනකොට ඒකේ කියන දේවල් ගැන අතුරු කතාවලට යනවා.
‘තල මමලා පිපිලා නේද අපි දෙන්නා ජෝන් ද සිල්වා එකේදී බැලූවේ’
‘ගුරුතරුව බලන්න ගියේ ලොකු දුව බඬේ තියන්’
වැඩසටහන ඉවර වෙලා තාත්තා නින්දට ගියේ වැඩසටහනේ් ගියපු සින්දු කෑල්ලක් මුමුණ මුමුණ.
‘දත ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
කසාදෙ නම් කසාදෙ හරි තිත්ත බෙහෙතකි’
‘තිත්ත නම් මොකටද මාව බැඳගත්තේ. වෙන ගෑණියෙක් බැඳගන්න තිබුණනේ’
තාත්තා මනෝරත්න ගැන හිත හිත සින්දුව කිව්වට අම්මා හිතලා තියෙන්නෙ තාත්තා ගැන.

බදාදා
කොරෝනා නිසා කලිඟු අයියාට හරියට වැඩ. දවසට තුන්පාරක්වත් අපේ ගෙවල් පැත්තෙ එන්න කොරෝනා උදව් කරනවා. උදේම එන්නේ අලූත්ම තත්වෙ ගැන අම්මට අප්ඬේට් එකක් දෙන්න.
‘‘වැඬේ නැගලා යනවා නැන්දෙ. මැරිච්ච ගාණ 100 පැන්නා දැන් ටිකකට කලින්’’
දවල් වෙලා ආපහු එන්නෙ අලූත් නිවුස් එකක් අරන්.
‘‘ඉවරයි නැන්දෙ අපි ඔක්කොම ඉවරයි.. ලංකාවෙනුත් එක්කෙනෙක් හෙයාගෙන. එයා සති දෙකක් තිස්සේ ලංකාව වැටේ ඇවිදලා’’
වෙනදට දවසට තුන්පාරක් මේ විදියට ගෙදර ආපු කළිඟු අයියා කවදාවත් නැතුව අද මහ? ගෙදර ආවා.
‘‘නැද්දෙ හෙට උදේ එළියට බහිනවා නම් මේවා දාගෙන යන්න. තත්වෙ එච්චරටම දරුණුයි. ෆාමසිවල බඩු ඉවරයි. නැන්දලා මතක් වෙලා මේ ටික ගත්තෙ’’
මාස්ක් 10ක් අම්මගේ අතේ තියලා කලිඟු අයියා ගෙදරින් එළියට බැස්සෙ මද්දුම බණ්ඩාර වගේ ආඩම්බරයෙන්.
‘‘හොඳ කොල්ලා. ඒ කොල්ලට අපි ගැන මතක් වෙන ටික මේ ගෙදර මහ එකාට මතක් වෙන්නෙ නෑනේ’’
අන්තිමට මාස්ක් එකත් නතර වුණේ තාත්තා ළඟ.

බ‍්‍රහස්පතින්දා
කලිඟු අයියා දීපු මාස්ක් එක දාගෙන උදේම එළියට බැස්සෙ කොරෝනා ගැන බයකින් නෙමෙයි. මාස්ක් එක ඇතුළෙන් මට දැනුණෙම කළිඟු අයියගේ සුවඳ. අද දවසම මේ සුවඳ මගේ ළඟ තියාගන්න ඕනෙ නිසා. පන්තියේ කොල්ලො විහිළු කරද්දිත් මම මාස්ක් එක ගැලෙව්වෙම නෑ.

සිකුරාදා
පන්ති ඇරලා ගෙදර එන්න බස් එකේ නගින්න යනකොට කවදාවත් නැතුව නජිත් මට කතා කරා. ඒ කතා කරපු විදියෙ මොකක්දෝ අමුත්තක් තිබුණු නිසා මම නැවතුණා. පන්ති එන්න පටන් ගත්ත මුල් දවස්වල ඉඳලා මම නජිත්ව දන්නවා. හැබැයි වචන 10කට 15කට වඩා අපි කතා කරලා නෑ. අදත් කතා කරේ වචන දෙක තුනයි.
‘‘මම දැන් මැසෙජ් එකක් එවනවා. බලලා රිප්ලයි එකක් දාන්න’’
බස් එකට නැගලා වාඩි වුණා විතරයි. මැසේජ් එක ආවා. ඔව් ඒක තමයි මැසේජ් එක.
‘‘මං ඔයාට කැමතියි. ඔයා මොකද කියන්නෙ...?’’
දෙපාරක් හිතන්නෙ නැතුව මම රිප්ලයි එක යැව්වා. ‘සොරි.’
මැසේජ් එව එව ඉන්නෙ නැතුව නජිත් කෙළින් මගෙන් ඒ ප‍්‍රශ්නෙ ඇහුවා නම් සමහරවිට මගේ උත්තරේ මේක නොවෙන්න තිබුණා.
- මානවිකා

Wednesday, May 13, 2020

ඇහිපිල්ලමෙන් ලියන සෙල්ලිපිය


සඳුදා ?
අද තාත්තට නත්තල්. ගේට්ටුවෙන් ඇතුළතට ආවෙම එයාත් එක්ක මඟට ආපු පීටර් අංකල්ට අමුතු විදියට සමුදීලා.
‘‘ජේසු පිහිටයි මචං..’’
ඒක ඇහුණු ගමන් අම්මා සාලෙට ආවේ ටිකක් විතර පරල වෙලා.
‘‘මේ මිනිහා ඒ පාර ආගමත් මාරු කරලද...?’’
තාත්තා එහෙම තමයි ඕන වෙලාවක ඕන ආගමක් එයාට ඔට්ටුයි. වෙලාවකට මට හිතෙනවා එයාට කිසිම ආගමක් නෑ කියලා. තව වෙලාවකට මට හිතෙනවා. එයා හැම ආගමේ ම කියලා.
ගේට්ටුව ළඟ ඉඳලා සාලෙට වෙනකම් වෙරිගතිය හංගගෙන පරිස්සමට අඩිය තියාගෙන ආවට. සාලෙ ඇතුළෙ ඇවිදිනකොට ඒ පරිස්සම ආරක්ෂා කරගන්න තාත්තට බැරිවුණා.
‘‘සුබා සැන්ටා ක්ලෝස් වුණා සුබා....’’

අඟහරුවාදා
අලූත් අවුරුද්දට පන්ති පටන් ගත්තේ අද. පාරට බැහැපු වෙලාවෙ ඉඳලා බලන බලන හැම තැනම අලූත් ඇ`දුම්. මං හිතන්නෙ මම විතරයි පරණ ඇ`දුමක් ඇදගෙන එළියට බැහැලා තියෙන්නෙ. බස් එකේ මගේ ළඟින්ම වාඩි වුණු පිරිමි ළමයා ඇඳලා හිටියෙත් අලූත් ටී ෂර්ට් එකක්. එයා සීට් එකට හේත්තු වුණෙත් හරිම පරිස්සමට. අලූත් ඇඳුම් ඇ`දපු හැමෝම ඒවා ආරක්ෂා කරගන්නත් හරි පරිස්සම්. අලූතෙන් ලැබෙන හැමදේම එහෙමද...?
‘‘කාර් එකක දොර ඇරලා නෝනව බස්සන මහත්තයෙක් ඉන්නවා නම් අපිට ඒකෙන් තේරුම් ගන්න තියෙන්නෙ එක්කො කාර් එක අලූත්. නැත්තම් නෝනා අලූත්.’’
ටිකක් පරණ කතාවක් වුණත් සර්ගෙ කටින් මේක ආපහු ඇහෙනකොට පරණ ඇ`දුමක් ඇ`දගෙන ආපු එකේ අප්සට් එක හිතින් ගියා.

සිකුරාදා
අද පන්ති ඇරිලා ගෙදර එනකොට කලිඟු අයියත් මාත් එක්ක බස් එකේ ආවා. ඔස්ටේ‍්‍රලියාවේ පිච්චිලා මැරිච්ච සත්තු ගැන කලිඟු අයියා කතා කරේ පුදුම වේදනාවකින්. ඉඳලා ඉඳලා කතා කරන්න හම්බවෙන විනාඩි කීපයෙත් අපි ගැන කතා නොකර රටේවත් නැති සත්තු ගැන කතා කරන එකට මට නම් කේන්තියි.
‘‘අපරාදේ මමත් කැන්ගරුවෙක් හරි කෝල බෙයෙක් හරි වුණා නම් ඉවරයි’’
‘‘ඇයි...?’’
‘‘එහෙම වුණා නම් ඔයා මං ගැනත් දුක් වෙයි’’

සෙනසුරාදා
පන්ති ඇරිලා ගෙදර එනකොට ආච්චි අම්මා සාලෙ ඉන්නවා. මේ ලොකෙ මම දකින්න ආස කරන මූණුවලින් එකක් තමයි මේ. මාව දැක්ක ගමන් ආච්චි අම්මා හැමදාම කියන දේ මං දන්නවා.
‘‘මැරෙන්න කලින් බලලා යන්න ආවා’’
අපි කොච්චර එපා කිව්වත් එයා දැන් ජීවත් වෙන්නෙ මරණෙත් එක්ක.
‘‘කවදාහරි අපිටත් මෙහෙම දවසක් එයි නේද අම්මේ’’
‘‘දැන් කියලා වෙනසක් තියෙනවද...? ආච්චි මරණෙත් එක්ක ජීවත් වෙනවා. අපි ජීවිතෙත් එක්ක මැරෙනවා.’’
අපේ අම්මා කතා කරේ දාර්ශනිකයෙක් වගේ. කොහොමටත් නැන්දම්ම ගෙදර එන දවස්වලට අපේ අම්මාගේ දාර්ශනික කතා ටිකක් වැඩියෙන් ඇහෙනවා කියලා තාත්තා කියන කතාව ඇත්ත කියලත්
හිතෙනවා.

ඉරිදා
අපේ ගෙදර ආවම ආච්චි අම්මගේ නවාතැන වෙන්නෙ මගේ කාමරේ. එයා එක්ක එකම ඇ`ද දෙකට බෙදාගෙන නිදාගන්න මම ආසයි. ආච්චි ඉන්නකොට මුළු ගෙදරම තෙල් බෙහෙත් සුවඳයි.
‘‘මෙහෙ වරෙන් ඔය කොණ්ඩෙට තෙල් ටිකක් දාන්න.’’
මේ මම ආස තවත් වැඩක්. ඔලූවට තෙල් දාලා එයා නිකන් ඉන්නෙ නෑ. සනීපෙට මසාජ් කරනවා. අද නම් හැබැයි වෙනදා දැනෙන සනීපෙ මට අමතක වෙලා ගියා.
‘‘තාම කොල්ලෙක් එහෙම හොයා ගත්තෙ නැද්ද...?’’
ආච්චි පොල්ලෙන් ගැහුවා වගේ ඒ ප‍්‍රශ්නෙ අහනකොට මට හිත කිව්වෙම කළිඟු අයිය ගැන කියපන් කියලා. ඒත් කට ඒකට ඉඩ දුන්නෙ
නෑ.
‘‘මේ විභාග අස්සෙ මොන කොල්ලොද ආච්චි අම්මෙ’’
- මානවිකා

අග්නි තුරුණු වියමන Facebook Page 

ඇහිපිල්ලමෙන් ලියන සෙල්ලිපිය

සඳුදා
රටේ තියෙන ඕනම පිස්සුවක් කළිඟු අයියට බෝවෙන්න වැඩිකාලයක් යන්නෙ නෑ. මේ දවස්වල එයාට තියෙන්නෙ තාප්පවල චිත‍්‍රඅඳින පිස්සුව. ඊයේ හවස පන්ති ඇරිලා මම එනකොට මාව හම්බවෙන්න ආවේ ඇඟපුරාම සායම් ගාගෙන. පන්සලට හැරෙන හන්දියේ බස්හෝල්ට් එකක ලොකු සිංහ කොඩියක් ඇඳලා. සිංහයට වඩා කේසර කලිඟු අයියගේ මුණේ.
‘‘ඔයාගෙ ගෙදරින් මට කැමති වුණ දවසට මං ඔයගේ ලොකු චිත‍්‍රයක් අපේ තාප්පෙ අඳිනවා.’’
මේක තමයි අලූත්ම පොරොන්දුව.
‘‘චිත්‍රෙ අඳින්න කලින් තාප්පයක් හදාගන්න. අනුන්ගේ තාප්පවල මගේ චිත්‍රෙ අඳිනවට අපෙ අම්මලා කැමති වෙන එකක් නෑ.’’

බඳදා
තාත්තා ගෙදර එනකොට අදත් 10යි. 6 පහුවෙලා ගෙදර එනවා කියන්නේ එයා එන්නෙ වැනි වැනී. වැනි වැනි එන දවසට අපි ඔක්කොම ඇස් ලොකු කරගෙන එයාට රැුව්වට. හැමෝම හිත යටින් තාත්තා එදාට කියන කතා අහන්න ආසයි. ගෙට අඩිය තියෙනකොටම අම්මා පළවෙනි වෙඩි මුරේ පත්තු කරා.
‘‘ඔය ඔය සිහියක් නෑ.. අතුගලා එළියට දාපු කෙස් ගුලියක් පාගෙන ඇවිත්’’
අම්මා දෙන මාතෘකාව දිගේ ඉස්සරහට යන එක තමයි තාත්තගේ විනෝදය.
‘‘කෙස්.. ඔයා දන්නවද සීලා කෙස් ගැන.... පේ‍්‍රමයයි වෛරයයි අතරෙ වෙනස කෙස් ගහකට සමයි... එතකොට මෝඩකමයි අවංක කමයි අතර තියෙන්නෙත් කෙස් ගහක වෙනසක්. අද මම තවත් එකක් හොයාගත්තා. බීමයි වෙරිවීමයි අතර තියෙන්නෙත් කෙස් ගහක දුරක්.’’
මොනවා වුණත් මම අපේ තාත්තගේ නව සොයා ගැනීම්වලට ආසයි.

සෙනසුරාදා
පන්ති යන්න එළියට බැස්සෙම ලස්සන බලාපොරොත්තුවක් අතේ තියාගෙන. ඉඳලා හිටලා තමයි මෙහෙම දවසක් එන්නෙ.
‘‘හෙට කලිඟුටවත් කියන්න ඕනේ මේ පොල් ටික කඩලා දාන්න කියලා. නැත්තම් ඔය ටික අපේ ඔලූවටම වැටෙනකම් දන්නෙ නෑ’’
අම්මගෙ ආරාධනාවෙන්් කලිඟු අයියාට අපේ ගෙවල් පැත්තට එන්න ලැබෙනවා කියන්නෙ සෑහෙන්න සුබ ලකුණක්. මං ඒ බලාපොරෙත්තුව අතේ තියාගෙන එතනින් මාරුවෙනකොට. අම්මගේ සංවාදෙ තව ටිකක් දුර ගියා.
‘‘කොහෙද ඉතින් මිනිහෙක් හිටියට හදිසියකට ගහකටවත් නග්ගන්න බෑනේ’’
ඔය වගේ බැරිකම් කියනකොට තාත්තා දෙන සුපුරුදු උත්තරේ මං දන්නවා. කොච්චර දැනගත්තත් ඒක තාත්තගේ කටින් අහනකොට අලූත් රහක් දැනෙනවා.
‘‘ගස් නඟින්න පුළුවන්ද කියලා ඇහුවේ නෑනේ. කෝච්චිය තියෙන්නෙ කීයට ද කියලා විතරනේ ඇහුවේ’’
අම්මයි තාත්තයි ගෙදරින් පැනලා ආවේ කෝච්චියෙ.

සෙනසුරාදා ?
ගෙදර ආවෙම වැස්සෙ තෙමීගෙන. කාලෙකින් වහින වැස්සට වෙනදට ආස වුණාට අද නම් පොඞ්ඩක්වත් ආස නෑ. පොල් ගහ තෙමන්නෙ නැතුව ඉක්මණට පායන්න.

ඉරිදා
මේ වගේ දවස් නම් දිනපොතකට නෙමෙයි මළ පොතකටවත් ඕනෙම නෑ.
‘‘කළිඟු පුතේ අද එන්න එපා.’’
මම වැස්සට වෛර කරා. ගහ තෙමුණට සාප කරා. ඒත් වැස්ස නෙමෙයි වැරදි කාරයා.
‘‘නෑ පුතේ ඊයේ හුළඟට පොල් වල්ල බිම වැටිලා.’’

   

 මානවිකා