AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

ඇහිපිල්ලමෙන් ලියන සෙල්ලිපිය


සඳුදා ?
අද තාත්තට නත්තල්. ගේට්ටුවෙන් ඇතුළතට ආවෙම එයාත් එක්ක මඟට ආපු පීටර් අංකල්ට අමුතු විදියට සමුදීලා.
‘‘ජේසු පිහිටයි මචං..’’
ඒක ඇහුණු ගමන් අම්මා සාලෙට ආවේ ටිකක් විතර පරල වෙලා.
‘‘මේ මිනිහා ඒ පාර ආගමත් මාරු කරලද...?’’
තාත්තා එහෙම තමයි ඕන වෙලාවක ඕන ආගමක් එයාට ඔට්ටුයි. වෙලාවකට මට හිතෙනවා එයාට කිසිම ආගමක් නෑ කියලා. තව වෙලාවකට මට හිතෙනවා. එයා හැම ආගමේ ම කියලා.
ගේට්ටුව ළඟ ඉඳලා සාලෙට වෙනකම් වෙරිගතිය හංගගෙන පරිස්සමට අඩිය තියාගෙන ආවට. සාලෙ ඇතුළෙ ඇවිදිනකොට ඒ පරිස්සම ආරක්ෂා කරගන්න තාත්තට බැරිවුණා.
‘‘සුබා සැන්ටා ක්ලෝස් වුණා සුබා....’’

අඟහරුවාදා
අලූත් අවුරුද්දට පන්ති පටන් ගත්තේ අද. පාරට බැහැපු වෙලාවෙ ඉඳලා බලන බලන හැම තැනම අලූත් ඇ`දුම්. මං හිතන්නෙ මම විතරයි පරණ ඇ`දුමක් ඇදගෙන එළියට බැහැලා තියෙන්නෙ. බස් එකේ මගේ ළඟින්ම වාඩි වුණු පිරිමි ළමයා ඇඳලා හිටියෙත් අලූත් ටී ෂර්ට් එකක්. එයා සීට් එකට හේත්තු වුණෙත් හරිම පරිස්සමට. අලූත් ඇඳුම් ඇ`දපු හැමෝම ඒවා ආරක්ෂා කරගන්නත් හරි පරිස්සම්. අලූතෙන් ලැබෙන හැමදේම එහෙමද...?
‘‘කාර් එකක දොර ඇරලා නෝනව බස්සන මහත්තයෙක් ඉන්නවා නම් අපිට ඒකෙන් තේරුම් ගන්න තියෙන්නෙ එක්කො කාර් එක අලූත්. නැත්තම් නෝනා අලූත්.’’
ටිකක් පරණ කතාවක් වුණත් සර්ගෙ කටින් මේක ආපහු ඇහෙනකොට පරණ ඇ`දුමක් ඇ`දගෙන ආපු එකේ අප්සට් එක හිතින් ගියා.

සිකුරාදා
අද පන්ති ඇරිලා ගෙදර එනකොට කලිඟු අයියත් මාත් එක්ක බස් එකේ ආවා. ඔස්ටේ‍්‍රලියාවේ පිච්චිලා මැරිච්ච සත්තු ගැන කලිඟු අයියා කතා කරේ පුදුම වේදනාවකින්. ඉඳලා ඉඳලා කතා කරන්න හම්බවෙන විනාඩි කීපයෙත් අපි ගැන කතා නොකර රටේවත් නැති සත්තු ගැන කතා කරන එකට මට නම් කේන්තියි.
‘‘අපරාදේ මමත් කැන්ගරුවෙක් හරි කෝල බෙයෙක් හරි වුණා නම් ඉවරයි’’
‘‘ඇයි...?’’
‘‘එහෙම වුණා නම් ඔයා මං ගැනත් දුක් වෙයි’’

සෙනසුරාදා
පන්ති ඇරිලා ගෙදර එනකොට ආච්චි අම්මා සාලෙ ඉන්නවා. මේ ලොකෙ මම දකින්න ආස කරන මූණුවලින් එකක් තමයි මේ. මාව දැක්ක ගමන් ආච්චි අම්මා හැමදාම කියන දේ මං දන්නවා.
‘‘මැරෙන්න කලින් බලලා යන්න ආවා’’
අපි කොච්චර එපා කිව්වත් එයා දැන් ජීවත් වෙන්නෙ මරණෙත් එක්ක.
‘‘කවදාහරි අපිටත් මෙහෙම දවසක් එයි නේද අම්මේ’’
‘‘දැන් කියලා වෙනසක් තියෙනවද...? ආච්චි මරණෙත් එක්ක ජීවත් වෙනවා. අපි ජීවිතෙත් එක්ක මැරෙනවා.’’
අපේ අම්මා කතා කරේ දාර්ශනිකයෙක් වගේ. කොහොමටත් නැන්දම්ම ගෙදර එන දවස්වලට අපේ අම්මාගේ දාර්ශනික කතා ටිකක් වැඩියෙන් ඇහෙනවා කියලා තාත්තා කියන කතාව ඇත්ත කියලත්
හිතෙනවා.

ඉරිදා
අපේ ගෙදර ආවම ආච්චි අම්මගේ නවාතැන වෙන්නෙ මගේ කාමරේ. එයා එක්ක එකම ඇ`ද දෙකට බෙදාගෙන නිදාගන්න මම ආසයි. ආච්චි ඉන්නකොට මුළු ගෙදරම තෙල් බෙහෙත් සුවඳයි.
‘‘මෙහෙ වරෙන් ඔය කොණ්ඩෙට තෙල් ටිකක් දාන්න.’’
මේ මම ආස තවත් වැඩක්. ඔලූවට තෙල් දාලා එයා නිකන් ඉන්නෙ නෑ. සනීපෙට මසාජ් කරනවා. අද නම් හැබැයි වෙනදා දැනෙන සනීපෙ මට අමතක වෙලා ගියා.
‘‘තාම කොල්ලෙක් එහෙම හොයා ගත්තෙ නැද්ද...?’’
ආච්චි පොල්ලෙන් ගැහුවා වගේ ඒ ප‍්‍රශ්නෙ අහනකොට මට හිත කිව්වෙම කළිඟු අයිය ගැන කියපන් කියලා. ඒත් කට ඒකට ඉඩ දුන්නෙ
නෑ.
‘‘මේ විභාග අස්සෙ මොන කොල්ලොද ආච්චි අම්මෙ’’
- මානවිකා

අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment