AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

ලෝක යුද්ධයක් අබියස..?


ලෝකයම ගින්දරවල උණුසුමෙන් රත්වෙන කොට ගල්ෆ් කලාපය හෙවත් මැදපෙරදිග නැවතත් යුද උණුසුමෙන් රත්වෙලා. ඉරානයේ හමුදා ප‍්‍රධානියා ඝාතනය කිරීමත් සමඟ මෝදු වුණු මේ තත්වය ඊළඟ ලෝක යුද්ධයේ ආරම්භය ද කියලා බොහෝ දෙනෙක් සැක පළ කරනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ හිතුවක්කාර තීන්දු තීරණ නිසා ලෝකය මේ සා අනතුරකට ළං වෙන බවයි මැදිහත් විචාරකයන්ගේ මතය. ඉරාන හමුදා ප‍්‍රධානියා ඝාතනය සිදුවන්නෙත් ඔහුගේ නියෝගයකට අනුව. මේ ඝාතනයේ වන්දිය ලේවලින් ගෙවීමට ඇමරිකාවට සිදුවන ඇති බව ඉරානය ප‍්‍රසිද්ධියේ මේ වන විටත් අනතුරු අඟවලා ඉවරයි. ඉරානයේ අනතුරු ඇඟවීම භාරගත් ට‍්‍රම්ප් තවත් ඇමරිකානු හමුදා කාණ්ඩයක් අතිරේක හමුදා ලෙස ගල්ෆ් කලාපයට යොදවන්නත් නියෝග දුන්නා. මේ ලිපිය ලියන මොහොත වන විට ඉරාන අගනුවරින් අහසට නැගුණු යුක්රේන මගී ගුවන් යානයක් කඩා වැටුණු පුවතක් වාර්තා වෙනවා. මෙම අනතුරෙන් සිදුවුණු හානිය හෝ අනතුරට හේතුව තවම වාර්තා වෙන්නෙ නෑ. ඇතැම් විට එම අනතුරත් ඇමරිකන් - ඉරාන ගැටුමේ ප‍්‍රතිඵලයක් විය හැකියි.
ගල්ෆ් කලාපය තුළ යුද්ධයක් ඇති වුව හොත් එය ලෝකයට කරන බලපෑම සුළු පටු නෑ. විශේෂයෙන් ශී‍්‍ර ලංකාවට එහි අහිතකර පළවිපාක භුක්ති විඳින්න සිදුවීමෙන් මිදෙන්න බෑ. ලංකාවට අවශ්‍ය බොරතෙල්වලින් විශාල ප‍්‍රමාණයක් ආනයන කරන්නෙ ඉරානයෙන්. යම් හෙයකින් යුධ තත්වයක් නිර්මාණය වුවහොත් තෙල් ආනයනය බිඳ වැටෙනවා. අනික් පැත්තෙන් අපේ ප‍්‍රධාන අපනයනයක් වන තේ අපනයනයට ද මේ ගැටුම දරුණු බලපෑමක් එල්ල කරනවා. ලංකාවේ සමස්ත තේ අපනයනයෙන් 10%ක් මිල දී ගන්නේ ඉරානය.
එපමණක් නොවේ ගල්ෆ් කලාපය තුළ ජාත්‍යන්තර යුද්ධයක් ඇවිලූණ හොත් එහි සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව අනතුරට පත්වෙනවා. ඔවුන්ව පෙරළා ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගත හොත් ඔවුන් විසින් ශ‍්‍රී ලංකික ආර්ථිකයට ලබා දෙන විදේශ විනිමය නතර වෙනවා. ඒ නිසා කොයි අතින් ගත්තත් මේ යුද්ධයේ බලපෑමෙන් මිදෙන්න අපිට හැකියාවක් නෑ. ලෝක බලවතුන්ට යුද්ධය නතර කරන ලෙසට බලපෑම් කිරීමට අපට ඇති හැකියාව ඉතාම අල්පයි. කළ හැකි එකම දෙය එසේ නොවේවායි ප‍්‍රාර්ථනා කිරීම පමණයි. යුද්ධ කොයි අරමුණින් කොහේ සිදුවණත් ඉන් සිදුවන්නේ විනාශයක්. රත්න ශ‍්‍රී විජේසිංහ කවියා ඒ බව මීට පෙර හරි ලස්සන කිව්වා.
‘යුද්දයේ පළමු වෙඩි උණ්ඩය වඳින්නෙ සාමයේ සුදු පරවියාට’


                                                           
                           අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment