AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

මගදි මුණගැහුනා මගහැරුණු ආදරේ - 01 (05 කොටස)

”මන්ද බලා හිඳිනේ තව පෙම්බර මා සාමිනේ”
කෑම කාලා ඉවරවෙනකම් භූමිතෙල් සුවඳින් මිදෙන්න බාසුරුට බැරිවුණා. මනස කෙතෙරම් ප‍්‍රබෝධයෙන් පසුවුණත් නූපගේ ඇස් දෙක මේ වෙලාවේ නින්ද හොයනවා. ඇය තමන්ගේ ආසනය තරමක් පසුපසට ඇලකරගෙන ඒ සඳහා පසුබිම සකසා ගත්තා.
‘‘කාපු ගමන් නිදියන්නද හදන්නෙ....?’’
‘‘මේ දවස් ටිකේ ම හරි හමන් නින්දක් නෑ.’’
‘‘ඇයි ඒ තරම් වැඩද...?’’
‘‘සතියක් ගෙදර නැති නිසා බබාලට කන්න කෑම හදන්නයි.. ඒ ගොල්ලො සතියෙම අඳින ඇදුම්ටික හදලා තියන්නයි... ඒවා ඔක්කොම කරලා ආවේ. ඔෆිස් එකේ වැඩත් එක්ක ඒවට වෙලාව හොයගන්නේ ?.’’
නූපාගේ කතාව ඇතුළෙන් බාසුරු නිගමන කීපයකට ආවා.
‘‘බබාලා ඒ කියන්නෙ ළමයි දෙන්නෙක්. නැත්තම් තුන්දෙනෙක්ද... තුන්දෙනාම කෙල්ලොද... නැත්තම් තුන්දෙනාම කොල්ලොද... නෑ. සමහරවිට ළමයි දෙන්නයි.. කෙල්ලයි කොල්ලයි’’
බාසුරු හිත ඇතුළෙ මේ ගැන සංවාදය දිගටම කෙරීගෙන ගියත් ඔහු ඒ ප‍්‍රශ්නය නූප ඉදිරියට අතරින්න පමා කළා.
‘‘එහෙනම් නිදාගන්න..’’
‘‘ඔයා නිදාගන්නෙ නැද්ද...?’’
‘‘මට නිදිමතක් නෑ. මම ෆිල්ම් එකක් බලනවා.’’
නුපා අසුන මත දිගාවුණේ ලොකු නින්දකට ඇස් දෙකට ඉඩදීලා. ඒත් ඒක හිතපු තරම් ලේසි වුණේ නෑ. ඇස් දෙක පියාගත්ත මොහොතේ ඉඳලා අතීත මතක ගොන්නක් නූපගේ ඇස්පියන් යට පතිත වෙන්න ගත්තා.
නූපගේ නින්ද බාසුරු වෙත ගෙනාවේ එක විදියක සහනයක්. ඇස් ඇරගෙන හිටපු නූපා දිහා බලනවට වඩා ඇස්වහන් ඉන්න නූපා දිහා බලාගෙන ඉන්න එක බාසුරුට ලේසියි. තමන්ගේ ආසනය ඉදිරිපිට ඇති ටච් ස්ක‍්‍රීන් එකේ චිත‍්‍රපටයක් තෝරගෙන එය නැරඹීමට අලස ව සූදානම් වුණූ බාසුරු ඇස් වහන් ඉන්න නූපා දිහා ඇස් පිරෙනකම් බලාගෙන ඉන්න පටන් ගත්තා. ළාවට තවරා තිබුණු අයි ෂැඩෝ තීරුව පියාගත් ඇහිපියන් උඩ මතුවෙලා පේනවා. ඊට ඉහළින් කවාකාරව පිහිටි සිහින් ඇහිබඹ නූපාගේ රූපයට එක් කළේ අභිමානනීය ලාලිත්‍යයක්. ඒ ඇහිබඹ පවත්වාගෙන ගිය පිළිවෙළට බාසුරු හැමදාම ආසා කළා. එක දශමකින් ඒ පිළිවෙළ එහා මෙහා නොයන්නට නිසි කලට වේලාවට ඇහිබඹ සකස් කිරීමට නූපා ඒ දවස්වල ඉඳලම මහන්සි වුණු අයුරු බාසුරුට මතකයි.
ඇහිබඹ දිගේ ඇස් දෙක නළලට ළං වෙන එක නවත්තන්න බාසුරුට බැරිවුණා. වාත්තුකළ නළල් තිරූවෙ සැරිසරන බාසුරු නූපා ගැන තමන් ලියපු පළවෙනි කවිය ළඟ නතර වුණා.

පළමු හාදුව
ගලයි දස අත අඳුර
පසුවෙයි අවට නියෝන් එළි
ගැහෙයි ගත ඒසී හීතලෙන්
දවයි සිත ආදර උණුසුමෙන්
ඒ සිනිඳු නළල් තල මත
තබා මා රළු දෙතොල
සටහන් කළා
අප පේ‍්‍රමයේ
පළමු හාදුව
ඒ කවිය ලියවුණු රාත‍්‍රිය අහම්බය විසින් උදාකර දුන් තිළිණයක් විදියටයි බාසුරුත් නූපත් ඒ දවස්වල සැලකුවේ.
ඇල්පිටියෙ ඉඳලා කැම්පස් ආපු සිකාගේ අම්මා නැතිවුණේ ඇක්සිඩන්ට් එකකින්. සිකා කා අතරත් ජනප‍්‍රිය කොල්ලෙක්. මේ මළගෙදර මඟහැරලා ඉන්න බැච් එකේ කවුරුත් උත්සාහ කළේ නෑ. මළගෙදර යන්න වෙනම බස් එකක් සූදානම් කරත් බාසුරුටයි නූපාටයි තවත් කිහිපදෙනෙකුට ඒ බස් එක මඟඇරුණේ දර්ශනය විෂය උගන්නපු සර්ගේ අකාරුණික ලෙක්චර් එක නිසා. ඒක කට් කරන්නම බැරි ලෙක්චර් එකක්.
කැම්පස් එකේ බස් එක පාන්දරින් ඇල්පිටිය බලා පිටත් වුණත් බාසුරු නූපා සහ තවත් හත් දෙනෙක් ඒ ගමන් පිටත් වුණේ දවල් වෙලා.
‘අපි පාරේ බස් එකේ ගිහින්... අපේ උන් ගියපු බස් එකේම එමු.’
ඒ අමුණින් ගමන පිටත් වුණත් ප‍්‍රතිඵලය හිතුවට වඩා වෙනස් වුණා. විවිධ බාධක මැද බාසුරුලා ඇල්පිටියෙ මළගෙදරට යනකොට හොඳටම හවස් වෙලා. හැබැයි ඒ වෙනකොට කැම්පස් එකෙන් ගියපු බස් එක නැවත කොළඹ එන්න පිටත් වෙලා.
‘‘දැන් උඹලට ආපහු යන්න වෙන්නෙ නෑ. මේ ටයිම් එකට බස් නෑ. ඔහොම ඉඳලා හෙට උදේ පලයන්’’
සිකාගේ උපදෙස ඒක.
‘‘හෙට උදේ මගේ ප‍්‍රැක්ටිකල් එක. 8 වෙනකොට මම කැම්පස් එකේ ඉන්න ඕනේ.’’
නූපා අද ?ම නැවත කොළඹ යායුතු අවශ්‍යතාව දැඩිව කියා සිටියා.
‘‘එහෙනම් කරන්න තියෙන්නෙ එක වැඩයි. මම ගාල්ලට යන කාවහරි සෙට් කරලා දෙන්නම් උඹලා ගාල්ලට ගිහින් නැගපන්. ?වෙනකම් කොළඹ බස් තියෙනවා.’’
මළගෙදරට ආපු මරුති වර්ගයේ කාර් එකක් අන්තිමට නූපාලගේ පිහිටට ආවා. ඒත් තවත් ප‍්‍රශ්නයක්. කාර් එකේ ඉඩ තියෙන්නෙ එක්කෙනෙකුට විතරයි. අමාරුවෙන් දෙන්නෙක් දාගන්න පුළුවන්. ඒ අවස්ථාව නූපටත් බාසුරුටත් උදාකරලා දීපු අනිත් පිරිස හෙට උදේ මළගෙදරින් පිටත් වෙන්න එකඟ වුණා.
මරුතියෙන් ගාල්ලට ඇවිත් ගාල්ලෙන් කොළඹ යන ඒසී බස් එකකට නූපලා ගොඩවුණා. ඒකත් මාතර ඉඳලා එන බස් එකක්. බස් එකේ හිස් වෙලා තිබුණේ එක ආසනයයි. එකත් ජම්පින්. නූපව එතනින් වාඩිකරපු බාසුරු ඒ අසලින් හිටගත්තා. අම්බලන්ගොඩින් එකම පවුලේ පස්දෙනෙක් බස් එකෙන් බැස්සට පස්සෙ තමයි නුපටයි බාසුරුටයි එකළඟ ආසන දෙකක වාඩිවෙන්න අවස්ථාව ලැබුණේ. ඒක හරි අමුතු රාත‍්‍රීයක්. අහම්බය විසින් දෙදෙනාව ළං කර රාත‍්‍රියක්. හාත්පස අඳුර බින්ඳෙ බස්රථය ඉදිරියට ඇදෙනකොට දෙපසින් පහුවෙන නියෝන් එළි විතරයි. දෙදෙනා අසුන් ගෙන සිටි ආසනයට ඉහළින් බස් රථයේ අකාරුණික ඒසී කවුළුවෙන් සීතල වා දහරා නොකඩවා පිටාරා ගලනවා.
‘‘පුදුම සීතලක්නේ’’
ඒ සීතල මෙතෙක් අප‍්‍රකාශිතව ගලාගෙන ගිය බාසුරු නූපා පේ‍්‍රම වෘතාන්තයට ප‍්‍රකාශිත ආරම්භයක් ලබා දුන්නා. බාසුරු මුළින් උත්සාහා කරේ ඒසී එක අඩුකරන්න. ඒත් ඒක නිෂ්පල උත්සාහයක්.
‘‘අඩු කරන්න බෑනේ මේක කැඩිලද කොහෙද. වාහන්න බෑ’’
බාසුරු නූපාට ඒසී කවුළුවේ දෝෂය පැහැදිලි කරද්දි නූපා බාසුරු දිහා බලාගෙන හිටියෙ වෙනමම බැල්මකින්. ඒ බැල්ම වචනවලට හැරිලා ගීතවත්ව බාසුරුගේ හිත ඇතුළෙ ප‍්‍රතිවාදනය වුණා.
‘මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලාහිඳිනේ තව පෙම්බර මා සාමිනේ’
තවත් පමා නොවුණු බාසුරු තමන්ගේ සුරත නිපූගේ කරට උඩින් දමමින් නූපව ළං කරගත්තා.
* * *
‘ෆිල්ම් එක බලනවා කියලා නේද කිව්වෙ’’
හදිසියේ නින්දෙන් ඇහැරුණූ නූපා ඇහිපියන් අරින කොට දැක්කෙ තමන් දිහා ඇහිපිය නොහෙලා බලාගෙන ඉන්නෙ බාසුරුව.
මතු සම්බන්ධයි
නවකතාව -  අසංක සායක්කාර

අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය

1 comment: