AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

මගදි මුණගැහුනා මගහැරුණු ආදරේ - 02

අසංක සායක්කාර ලියන ආදරණීය නවකතාව...    
”ඔව් මේ රාධාම යි...” 

අවුරුදු 12 කට පස්සෙ ඇහුණු පුරුදු ආමන්ත‍්‍රණයෙන් නූපා තිගැස්සුණා. මේක අදහන්න බැරි හීනයක්. නූපා ගල්ගැහිලා තාමත් බාසුරු දිහා බලාගෙන. බාසුරුත් නිශ්ශබ්දයි. හැබැයි දෙන්නගෙම ඇස් අවුරුදු 12ක ට කලින් කතාවක් වේගයෙන් කියවගෙන ගියා.
‘එක්ස්කියුස් මී මිස්..’’   
ගුවන් යානය ඇතුළෙ එහා මෙහා යුහුසුලූව ගමන් කරන ගුවන් සේවිකාවගේ ගමන් පථය නූපා නිසා ඇහිරිලා. බාසුරුයි නූපයි අතීත පේ‍්‍රම ලෝකයෙන් පියවි ලෝකයට ආවා. සීට් එකෙන් පොඞ්ඩක් පස්සට වෙලා බාසුරු නූපට තමන්ගේ එහා පැත්තෙ සීට් එකේ වාඩි වෙන්න ඉඩ හදලා දුන්නා. බාසුරුගෙ කකුල් දෙකත් ඊට ඉදිරියෙන් තියෙන සීට් එකත් අතරින් නූපා එපා පැත්තට ඇදුණේ දෛවෝපගත කඩුල්ලක් පනින හැගීමෙන්. කොච්චර උත්සාහ කරත් බාසුරුගේ දණහිසේ
නොගැවී දෙපා ඉදිරියට ගෙනි යන්න නූපා අසමත්. ඒ ස්පර්ශය බාසුරුට හුඟක් දෙවල් කිව්වා.
‘‘ඉස්සරට වඩා ඔයා මහත් වෙලා.’’
හිතින් පිටවුණ වචන ටික කටින් පිටකරගන්න තරම් හයියක් බාසුරුට තිබුණේ නෑ. මේ හමුවීම හැබෑවැක් කියලා පිලිගන්න තවම දෙන්නටම බැහැ. හිත් ඇතුළේ ප‍්‍රශ්න පිට ප‍්‍රශ්න. ඒවා එළියට පනින්න ලොකු ලොකු රණ්ඩු. ඒත් මුහුණු හරිම සන්සුන්. නිහඬතාවය බින්ඳෙ නූපා.
‘‘කොහෙද මේ යන්නෙ...?’’
ඒක හරිම මෝඩ ප‍්‍රශ්නයක්. කටුනායක ඉඳලා ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපලට එක එල්ලෙ යන ගුවන් යානයක වාඩි වුණු මඟියෙක්ගෙන් අහන්න පුළුවන් මෝඩම ප‍්‍රශ්නෙ. ඒත් ඒ මෝඩකම නූපට චුට්ටක් වත් දැනුණේ නෑ.
‘මම ඊශ‍්‍රාලෙට යන්න කියලා.... මගින් කොහොමහරි පැනගන්න ඕනේ’
නූපාට තමන් අහපු ප‍්‍රශ්නෙ මෝඩකම තේරුණේ බාසුරුගේ උත්තරෙන්. ඒත් ඒ මෝඩකමට වඩා නූපට දැනුණේ තවමත් වෙනස්වෙලා නැති බාසුරුගේ සදය උපහාස මුසු කතා ලතාව.
‘මෝඩයා’
ලැජ්ජාව වහගන්න නූපාගේ කටින් පැන්න ඒ වචනය අවුරුද 12ක් තිස්සෙ ඈතින් ගෙවුණු දින සති මාස, තප්පරෙන් ළං කරා. පළවෙනි වතාවට නූපගේ කටින් ‘මෝඩයා’ කියලා අහගත්ත දවස බාසුරුට අද වගේ මතකයි.
එතකොට දෙන්නම ජපුරේ ආර්ට් ෆැකල්ටියේ ෆස්ට් ඉයර්. රැුග් සීසන් එක ඉවරවෙච්ච අලූත. නූපා සුලක්ෂණි අමුණුගම කියලා නුවරින් ආපු රත්තරන් පාට හමක් තියෙන කෙල්ලෙක් වටේ කොන්දේසි විරහිතව කොල්ලො රවුම් ගහන කාලෙ. බාසුරු හිටියේ ඒ රවුමේ සෑහෙන්න ඈතින්. වේදිකාවෙන් මහපොළොවට නාට්‍ය උළෙලේ සම්මාන ප‍්‍රධානෝත්සවයට බරපතලම වගකීම් ටිකට කරගැහුවේ ෆස්ට් ඉයර්ස්ලා. දැවැන්ත වේදිකාවේ දැවැන්තම චිත‍්‍රය අඳින්න භාරවුණේ බාසුරුට. නූපා මේ වේදිකාවට ගොඩවුණේ යමුනා ගං තෙර ගීතයට නැටුමක් ඉදිරිපත් කරන කණ්ඩායමේ ආකර්ෂණීයම නළඟන විදියට.
වේදිකාවේ එක පැත්තක බාසුරුලා චිත‍්‍ර අඳිනවා. අනිත් පැත්තේ නූපලා නැටුම් පුරුදු වෙනවා. නූපා නටනකොට බාසුරු චිත‍්‍ර නවත්තලා නැටුම දිහා බලනවා. බාසුරු අඳිනකොට නූපා නැටුම් නවත්තලා චිත්‍රෙ දිහා බලනවා.
‘‘මොකක්ද මේ අඳින්නෙ...?’’
අඩි 40ක් උස වේදිකා පසුතලයකට ගැලපෙන්න අඳින චිත‍්‍රය පුංචි පුංචි කෑලිවලට කඩාගෙන තමයි බාසුරු අඳින්නේ.
‘‘මොකක් වගේ ද පේන්නෙ...?’’
‘‘මට නම් පෙන්නේ ඉබ්බෙක් වගේ...’’
‘‘ඔයා හරි... මේක අඳින්න ගත්ත දවසේ ඉඳලා එක එකා ඇවිත් මොකක්ද අඳින්නෙ කියලා මගෙන් අහනවා. හැබැයි ඔයා විතරයි හරියටම මං අඳින එක කිව්වෙ...’’
‘‘ඇත්තටම ඉබ්බෙක් ද අඳින්නෙ...?’’
‘‘ඔව්.. මේක පොඩි ඇබ්ස්ට‍්‍රැක් මුඞ් එකක් දෙන්න ට‍්‍රයි කරන ආර්ට් එකක්. කකුල් දෙකෙන් හිටගෙන ඉන්න ඉබ්බෙක් සම්මානයක් අත් දෙකෙන් උස්සන් ඉන්නවා.’’
බාසුරු පණ්ඩිතකාමී මූඞ් එකකින් චිත‍්‍රයේ අදහස පැහැදිලි කරත් නූපගේ හිතේ තවත් ප‍්‍රශ්න කෝටියක් ඉතුරුවුණා.
‘‘මොකක්ද ඒකෙන් කියන්න හදන්නෙ...?’’
‘‘හරිම සිම්පල් අයිඩියා එකක්. අපි මේකට යූස් කරේ හාවගෙයි ඉබ්බගෙයි කතාව. හාවෙක් වගේ කලබලේට ගිහින් ගන්න ජයග‍්‍රහණවලට වඩා වටින්නේ ඉබ්බෙක් වගේ හෙමීට ටාගට් එකට ගිහින් ගන්න ජයග‍්‍රහණ.’’
බාසුරුගේ පැහැදිලි කිරීම නූපා ඉහටත් උඩින් පිළිගත්තා. ඒ චිත‍්‍රයේ තියෙන දාර්ශනික හරය ගැන ගැඹුරින් හිතුවා. හොස්ටල් එකේ කෙල්ලොත් එක්ක ඒ ගැන බැ?රුම් ප‍්‍රසාදිත අදහස් පළකරා. ඒත් ඒ ප‍්‍රසාදය රැුදුණේ සම්මාන උත්සවයේ රාත‍්‍රිය වෙනකම් විතරයි.
වේදිකා පසුතලයට චිත‍්‍ර ටික හයිකරේ අන්තිම මොහොතෙ. ඒ වෙනකොට නූපලා නැටුමට මේකප් කරනවා. දවස් ගාණක් නිදිමරාගෙන චිත්‍රෙ ඇඳපු බාසුරු වේදිකාව පහළ පඩිපෙළ ළඟ නිදිකිරනවා. ඇස් දෙක ඉල්ලූවේ නින්ද. හිත ඉල්ලූවේ නැටුම.
දැවැන්ත වේදිකාවේ පාට පාට එළිමැද රත්තරන් පාට නූපා ව පෙනුණේ දෙවඟනක් වගේ. කෙල්ලො තිහක් එකම විදියට ඇඳගෙන එකම නැටුම නැටුවත් බාසුරුගේ ඇස් තිබ්බෙ නූපා ළඟ. ‘යමුනා ගං තෙර තමලූ ලතා සෙවණේ, යොහොඹු කුසුම් යහනේ, රාධා බලාහිඳි.’ කියලා නන්දා මාලනී කියනකොට බාසුරු ඒ ‘රාධා’ නූපම යි කියලා විස්වාස කරා. නැටුම ඉවරවෙලා නූපා පඩිපෙළ බහිනකම් බාසුරු පඩිපෙළ පාමුල නොඉවසිල්ලෙන්. වේදිකාවේ තිබ්බ ආලෝකය පඩිපෙළ ළඟ නෑ. කලූවර කපාගෙන එන රත්රන්පාට ශරීරය හරිම පැහැදිලියි.
‘‘නැටුම මාර ලස්සනයි.’’
බාසුරු තමන්ගෙ අවංක අදහස වචන තුනෙන් කියලා දැම්මා. ඒ වචන තුනට නූපගේ ප‍්‍රතිචාරය ලැබුණේ තනිචනයෙන්.
‘‘මෝඩයා’’
‘‘ඔයා මාර කෙල්ලෙක්නේ.. නැටුම ලස්සනයි කිව්වම මෝඩයා කියනවද...?’’
‘‘මෝඩයා නෙමෙයි කියන්න ඕනේ ඊට වඩා එකක්’’
‘‘ඇයි ඒ...?’’
‘‘අර ඉන්නෙ ඉබ්බෙක්ද මෝඩයෝ...’’
බාසුරුගේ ඇස් දෙක ඉබේම නතර වුණේ වේදිකා පසුතලය ළඟ. රතු කොඩියක් ඔසවන මිනිස් පොකුරක් අඩි 40ක චිත‍්‍රයක් විදියට ලස්සනට ඈතට පෙනුණා. එකපාරට ම බාසුරුගේ මූණට හිනාවක් නැගුණේ නූපාව අන්දපු ඉබි කතාව මතක් වෙලා.
‘‘බාසුරු බෙල්ට් එක දාගන්න...’’
ජපුරෙන් නැවත කටුනායකට එනකොට ගුවන් යානය ගුවන්ගත කරන්න ලෑස්තියි. ගුවන් ගමනෙදි අනුගමනය කළ යුතු දේවල් ගැන උපදෙස් පසුබිමෙන් ඇහෙනවා. මේ කිසිදෙයක් නෑසෙන තරමටම බාසුරු දුරගිහින්. කිසිදෙයක් නොවුණු ගාණට ඔහු වහාම ආසන පටි තද කරගත්තා. ගුවන් යානය අහසට එසවෙනකොට හු`ගදෙනෙක් පුරුද්දට වගේ ඇස් යොමුකරන්නෙ කවුලූ දිහාවට. නූපාත් කවුලූවෙන් එළිය බලාගෙන. ඒත් බාසුරුගෙ ඇස් යොමු වුණේ කවුලූව දිහා බලාගෙන ඉන්න නූපාගෙ දිහාවට.
ඔව් මේ රාධාම යි.

මතු සම්බන්ධයි

අසංක සායක්කාර







  2019 දෙසැම්බර් මැද කළාපය  
  අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment