AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

නාසිසස් සහ අපි...

"සේරම නාසිසම් වෙලා තියෙන්නෙ බං. හැම එකාම හිතාගෙන ඉන්නෙ මුලූ ලෝකෙම උගේ දිහා බලං ඉන්නවා කියලා...”

මේක මම කාලයක් තිස්සෙ ලොකු ගෞරවයකින් සහ ආදරයකින් බැඳිල ඉන්න මංජුල වෙඩිවර්ධන කියන වැඩිහිටි ලේඛක සහෝදරයා කියපු කතාවක්. දවසින් දවසම ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග‍්‍රෑම් වගේ අන්තර්ජාල අවකාශ අස්සට ගාල්වෙවී, පින්තූර සහ ස්ටේටස්වලින් ඉඩ අහුරගෙන ගත කරන අපේ එදිනෙදා ජීවිතේ ගැන කතා කරපු දිගක් පළලක් නැති දීර්ඝ දුරකථන සංවාදයක් අතරෙදියි හදිසියේම ඒ ‘නාසිසම්’ කතාව ඇදිල ආවෙ.
‘නාසිසම්’ ගැනවත්, ‘නාසිසස්’ ගැනවත් මේ වගේ පුංචි තීරුවකින් සවිස්තරාත්මකව කතා කරන්න යන එක බොරු වැඩක්. මොකද ඕනම කෙනෙකුට අන්තර්ජාලය හරි පුස්තකාලයක් හරි ටිකක් ඇවිස්සුවොත් ඒ ගැන ඕන තරම් තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ නිසා වතුරෙ දැකපු තමන්ගෙම පිළිබිඹුව එක්ක ආත්ම ස්නේහයෙන් බැඳිලා ගං ඉවුරේ මලක් වෙන්න සිද්ධ වුණු නාසිසස් කියන රූමත්, කඩවසම් ග‍්‍රීක තරුණයා ගැනවත්, ඒ වගේ චරිත ලක්ෂණ ගැන පැහැදිලි කරන ‘නාසිසම්’ :බ්රජසිිසිප* කියන මනෝ විශ්ලේෂණ සංකල්පය ගැනවත් මම දීර්ඝ විස්තරයක් ලියන්නෙ නැහැ. පුංචි හෝම්වර්ක් එකක් විදියට කැමතිනම් ඒ ගැන ටිකක් හොයාගෙන කියවන්න.
මේ සටහන ඒ අතීත කතාවෙන් මෙහා පැත්තෙ තියෙන, අපි හැමෝම හැම තත්පරයක් පාසාම අත්විඳිමින් ඉන්න ඇත්තක් ගැන කතාවක්. වඩාත් පැහැදිලිව කිව්වොත්, තමන් අනිත් හැමෝටම වැඩිය ඉහළින් ඉන්න බව හිතාගෙන පිස්සු නටන අයගෙ ඒ ‘නාසිස්ටික්’ හැසිරීම් ගැන කතාවක්.
ඇත්තටම මිනිස්සු සමහර දේවල් කරන්නෙ ඒ දේවල් කරන්න තියෙන ඇත්තම වුවමනාවක් නිසාද? මේ කාරණය අපි අපෙන්ම අහල බැලූවොත් ගොඩක් වෙලාවට ලැබෙන්නෙ ”නැහැ” කියන උත්තරය. ඒකට හේතුව තමයි, මේ වෙනකොට අපි කරන්න ඕන මොනවද, නොකරන්න ඕන මොනවද කියලා තීරණය කරන්නෙ අපට එලියෙන් තියෙන ලෝකය විසින් වීම. ඒ ලෝකය හිතන පතන විදිය ගැන අපි හරි සංවේදීයි. ”මෙහෙම ඇන්දොත් බලන අය මොනවා හිතයිද?” ”මෙහෙම කිව්වොත් අහන අය මොනවා හිතයිද?” වගේ ප‍්‍රශ්න ගැන අපි සෑහෙන්න හිතනවා. කොටින්ම, අපි ජීවත් වෙන්නෙ බාහිර ලෝකය විසින් අපිව විනිශ්චය කරන වටපිටාවක. ඒ විනිශ්චය අපි හැම මොහොතකම බලාපොරොත්තු වෙනවා. අපිව වඩාත් ලස්සනට ඒ බාහිර ලෝකයට පේන දේවල් කරන්නයි අපි කැමති.
මේක තනිකරම ”මම” කියන කාරණය එක්ක බැඳිච්ච දෙයක්. අපි හිතනවා ලෝකයම අපි දිහා බලාගෙන ඉන්නවා කියලා. අපේ ඉන්ස්ටර්ග‍්‍රෑම් පින්තූර දිහා, ෆෙස්බුක් ස්ටේටස් දිහා, අපි යන එන තැන්, කන බොන දේවල් දිහා හැමෝම බලාගෙන ඉන්නවා ඇතියි කියල අපි හැම තත්පරයක් පාසාම විශ්වාස කරනවා. හරියට සීසීටීවී කැමරා දාහක් විතර එක සැරේ අපේ පැත්තට එල්ලවෙලා තියෙනවා වගේ. හැංගෙන්න, පැනලා යන්න කිසිම ඉඩක් නෑ.
මුලූ ලෝකයම අපි ඊළඟට කරන්නෙ මොකක්ද කියලා ගොඩක් උනන්දුවෙන් බලාගෙන ඉන්න බව දැනෙද්දි අපි කරන්නෙ ඒකට ගැලපෙන්න අපේ හැම හැසිරීමක්ම; කෙස් ගහේ ඉඳලා නියපොත්ත දක්වා හැම දෙයක්ම සකස් කරගැනීම. හරියට, හතර පැත්තෙන්ම විවෘත වුණු දැවැන්ත වේදිකාවක් උඩ ජීවත් වෙනවා වගේ. වටපිටාවේ ඉන්න සිය දහස් ගාණක් මිනිස්සුන්ට අපිව පේනවා. ඒක ගැලවෙන්න අංශු මාත‍්‍රයකවත් ඉඩක් නැති අවධානයට ලක්වීමක්. එහෙමයි අපි හිතන්නෙ.
ඒත් ඇත්තටම ඒක එහෙමද? අපි අවට ඉන්න හැමෝම බලාගෙන ඉන්නෙ අපි අපේ ඊළඟ පින්තූරය, ස්ටේටස් එක අප්ලෝඞ් කරනකල් ද? අපේ වීඩියෝ එකක්, පින්තූරයක් අන්තර්ජාලයට ලීක් වෙනකල් ද? එහෙමත් නැත්නම් අපි එදිනෙදා කරන කියන ඉතාම සාමාන්‍ය දේවල් පවා දැනගැනීමේ දැඩි පිපාසයකින්ද අපේ වටපිටාවෙ ඉන්න මිනිස්සු ජීවත් වෙන්නෙ?
පැහැදිලිවම නැහැ. ඒක අපි අපේ හිතින් හදාගත්ත මනස්ගාතයක් විතරයි. ලෝකය එහෙම කවුරුවත් වෙනුවෙන් නවතින්නෙ නැහැ. කවුද කැමති තමන්ගෙ වැඩ පාඩු කරගෙන තව කෙනෙකුට අවධානයක් දෙන්න.
එයාලගෙ උනන්දුව ඔයා අල්ලලා තියාගන්න තාක් ඒ හැමෝම ඔයා දිහා බලාගෙන ඉඳීවි. හැබැයි ඔයාට ඒක කරන්න බැරි වෙච්ච දවසට කවුරුවත් ඔයා ගැන හොයන්නෙ නෑ. එයාල ඊළඟ මාතෘකාව ගැන උනන්දු වෙනවා. එච්චරයි. මතක තියාගන්න, ලෝකය අපි වෙනුවෙන් බලාගෙන ඉන්නෙ නෑ. ඒක හරිම වේගයෙන් කැරකෙනවා.



සෞම්‍ය සඳරුවන් ලියනගේ










අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය

No comments:

Post a Comment