AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

සිනමා කවුළුව...

කෞතුකයක දැනෙන ආදරයක සුවද; සිනෙමාවාලා 


අද ඩිජිටල්කරණය වෙලා තිබුණත් සිනමාව චිරාත්කාලයක් පැවතුණේ සෙලියුලොයිඞ් රීල් තාක්ෂණයෙන්. මෙහෙම කිව්වාම තරමක් අපැහැදිලි ඇති. ඒවා මොකටද දැන්? කියලත් හිතෙනව ඇති. ඒත් මේ කියන කාරණේ අද අපි කතාකරන චිත‍්‍රපටයත් එක්ක එකට බැ`දුන දෙයක්. ඒකෙන් ගළවන්න බැරි දෙයක්. මම ඒක මෙහෙම ලිහන්නම්කෝ.
සෙලියුලොයිඞ් පටය කියන්නේ චිත‍්‍රපටයේ රූපරාමු මුද්‍රණය කරලා තියෙන එහා-මෙහා පෙනෙන සෙලියුලෝස් ඇසිටේට් නම් ද්‍රව්‍යයෙන් නිපදවා ඇති නම්‍යශීලි පෘෂ්ටයක් සහිත පටල පටයටයි.
මෑතක් දක්වා, ඒ කියන්නෙ සිනමා ප‍්‍රක්ශේපණය ඩිජිටල් තාක්ෂණයෙන් කරන්න පෙරාතුව සම්පූර්ණ චිත‍්‍රපටය තිබුණෙ රීල් වශයෙන්. ඒ රීල්වල එතිල තිබුණෙ තත්පරයට රූප රාමු 24ක වේගයෙන් ධාවනය කරද්දි තිරයමත චලනයවන රූප පද්ධතිය සටහන් වුණ අන්න ඒ සෙලියුලොයිඞ් පටය.
ඔබ දැකල ඇති සිනමාශාලාවල පුංචි කවුළුවකින් ගලා එන එළිය කදම්බයක් තිරය මත පතිත වීමෙන් තමයි අපිට රූප පෙනෙන්නේ. අන්න ඒ කවුළුව තියෙන කාමරයට කියන්නෙ ‘කැබින්එක’ කියලා. කැබින්එක ඇතුළෙ තමයි රීල් ධාවනයවෙන ප්‍රොජෙක්ටරය (සිනමා ප‍්‍රක්ශේපණ ) යන්ත‍්‍රයතියෙන්නේ. ඒ යන්ත‍්‍රය කි‍්‍රයාකරවන්නාට කියන්නෙ ප්‍රොජක්ටර් ඔපරේටර් කියලා. ඇත්තටම ඔහු සහ කැබින්එක කියන්නෙ සිනමාශාලාවක හදවතවගේ බලගතු තැනක්. අපි වගේ ‘චිත‍්‍රපටි-පිස්සන්ට’ ආසහිතෙන තැනක්. ඉතිං සිනමාව ඩිජිටල් වුණාට පස්සෙ මේ රීල් කැරකෙන ප්‍රොජෙක්ටරය කෞතුකවස්තුවක් බවට පත්වෙලා හෝල්වලින් එළියට ගියා. රීල් වෙනුවට හාඞ් ඩිස්ක් එකක ගබඩා කරලා එන ඩිජිටල් චිත‍්‍රපටය පෙන්වන්න වෙනත් ආකාරයක ප්‍රොජෙක්ටරයක් ආවා. යුරෝ-ඇමරිකන් රටවලට සාපේක්ෂව ගත්තොත් අපේ වගේ රටවල්වල මේ තාක්ෂණ මාරුවීම සිද්ධවුණේ බොහොම හෙමින්. හේතුව මේ ඩිජිටල්කරණ තාක්ෂණයට වැයකරන්න සිනමාහල් හිමියො හැමකෙනෙකුටම එකවගේ මුදල් නොමැති වීම.
මේ ප‍්‍රශ්නෙ හින්ද අපේ අසල්වැසි ඉන්දියාවෙත් ඇතැම් ප‍්‍රාන්තවල සිනමාහල් වැහිලගියා. උදාහරණෙකට බටහිර බෙංගාලයේ සිනමාශාලා 700කින් ඉතිරිවුණේ 200විතර වගේ කියල කියනවා. අද කතාකරන ‘සිනෙමාවාලා’ නම් ඉන්දියානු සිනමාපටයට තේමා වෙන්නෙ එහෙම වැහුනු සිනමාහලක ඔපරේටර්වරාත්, එහි හිමිකරුවාත්, හිමිකරුවාගේ ඊළග පරම්පරාව නියෝජනය කරන පුත‍්‍රයාත් වටා.
බෙංගාලි ජාතික සිනමාකරුවෙක් වන කව්ෂික් ගංගුලි තමයි මේකෙ අධ්‍යක්ෂවරයා.
”සෙලියුලොයිඞ් කලාව නොවැලැක්විය හැකි තාක්ෂණ ගමන ඔස්සේ මුහුණ දෙන අර්බුදය ගැන අවධානය යොමුකිරීම වෙනුවෙන්” යැයි ස`දහන සහිතව ඉන්දියානු සිනමා විචාරක කවය විසින් විශේෂ සම්මානයක් මේ චිත‍්‍රපටයට පිරිනැමුණා. යුනෙස්කෝව විසින් ප‍්‍රවර්ධනය කරනු ලබන පරමාදර්ශ පිළිබිඹු කැරෙන චිත‍්‍රපටයට හිමිවන ජාත්‍යයන්තර ෆෙඞ්රිකෝ ෆෙලිනි සමරු සම්මානයත්, ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ බෙංගාලි සිනමා අංශය වෙනුවෙන් පිරිනැමෙන හොදම අධ්‍යක්ෂණය, හොදම චිත‍්‍රපටය, හොදම සිනමා රංගනය ආදී සම්මාන ගණනාවක උරුමයත් මේ චිත‍්‍රපටයට ලැබුණා.
සිනමාවාලා බොහොම හෘදයාංගමව ගලා යන චිත‍්‍රපටයක්. ‘කමලිනී’ කියල වහලා දාපු සිනමා ශාලාවක් බෙංගාලයේ තියෙනවා. චිත‍්‍රපටි පෙන්වීම නවතා තිබුණත් පැරණි ප්‍රොජෙක්ටරය තවමත් ඒ ශාලාවෙ තියෙනවා. ශාලාවෙම පදිංචිවෙලා ඉන්න ඔපරේටර් (එයාගෙ නම හරී) හැමදාම මේ යන්ත‍්‍රය පිරිසිදුකරමින්, පිසදමමින් බලාගන්නෙ තමන් ඊට හදවතින් කොයිතරම් බැ`දී ඉන්නවාද යන්න පසක් කරමින්. ශාලාවෙ හිමිකරුවාත් තමන්ගෙ නිවසට වඩා කාලය ගත කරන්නෙ මේ වැහිච්ච සිනමා-ශාලාවේ. ඔහු ප‍්‍රනබන්දුබෝස්.
ප‍්‍රනබන්දුබෝස් ගෙ දෛනික ජීවිතය ගෙවෙන්නෙ මේ විධියටයි. මිරිදිය මසුන් අළෙවිකරන පවුලේ ව්‍යාපාරයකුත් ඔහුට පරම්පරාවෙන් හිමි නිසා උදේම ලෙල්ලමට යනවා. ගිහිල්ල ඒ කටයුතු කරලා සිනමාශාලාවට එනවා. ඇවිත් ඔහු ඔපරේටර් හරීත් එක්ක බොන්න පටන් ගන්නවා. ඒ අතර සිනමාශාලාව සම්බන්ධ අතීත විභූතිය හරී හා මතක්කරමින් පැරණි සිනමා ගී තැටි අහන එක සහ ඡුායාරූප වගේ එවා බලමින් තමයි කාලය ගත කරන්නේ. එහෙම කරලා ගෙදර යන්නෙ රාත‍්‍රියේ. ප‍්‍රනබන්දුබෝස්ගේ තරුණ පුතාට තාත්තාගෙ මේ ඇවතුම්-පැවතුම් ගැන පැහැදීමක් නෑ. පුතා වෙනත් ගමනක් යන කෙනෙක්. ඔහුට ඕන වෙනවා තනියම නැගී හිටින්න. පිය උරුමයෙන් ලැබෙන හයියකින් දියුණුවෙන්න උත්සාහ කරන එක මේ පුතාට දැනෙන්නෙ හීනමානයක් විදියට.
කොහොම නමුත් ප‍්‍රනබන්දුබෝස් මත්පැන් එක්ක දියකරන්නෙ තමන්ට ගැලවෙන්න බැරි මිහිරි සිනමා මතක පිරුණ අතීතය එක්ක වර්තමානයේ දැනෙන වේදනාව. ඔහුව ජීවත්කරන්නෙ ඒ පැරණි බිත්ති අතර ඉ`දන් මත් වූ මනසට දැනෙන ස්මරණය. මිනිසුන් රැුස්කමින් චිත‍්‍රපට නැරඹූ ඒ යළි නොඑන අතීතය, මිනිසුන් විනෝදමත්ව දුක් කම්කටොලූ මොහොතකට හෝ අමතක කළ සිනමාව ඔහුට පූජනීයයි. ඒ වගේම ප‍්‍රනබන්දුගෙ ජීවිතයෙ තව පැතිකඩක් තමයි නීතිගරුක සාධාරණ පැවැත්ම. ඔහු මිරිදිය මතස්‍ය වෙළෙ`ද ව්‍යාපාරයෙ නියැලෙන්නෙත් එහෙම ආචාරධාර්මිකවයි.
මේ අතරෙ පුත‍්‍රයා පියා කිසිසේත් අනුමත නොකරන, නීතියට පටහැනි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ තමයි අනවසර සීඞී සහ ඞීවීඞී තැටිමගින් චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරන කූඩාරමක් පටන් ගැනීම. පියා ඊට එරෙහි වෙන්නෙ එහෙම අනීතික ව්‍යාපාරකින් චිත‍්‍රපටයක නිෂ්පාදකයාට, අධ්‍යක්ෂවරයාට, නළු-නිළියන්ට කිසිදු මුදලක් නොගොස් එය ප‍්‍රදර්ශනය කරන්නාගේ පමණක් සාක්කුව පිරීම බලවත් වරදක් ලෙස දකිමින්. ඔහු ඒ තරමට තමන් අතීතයෙ නියැලිලා හිටිය සිනමාවට ගරු කරනවා.
මෙහෙම සිදුවීම් ගලා යන අතර, පිය-පුතු ගැටුම් එක්ක සිත් බිදීම් සහ දුරස්ථ වීම් සිදුවන අතර කලකිරීමෙන් පසුවන ප‍්‍රනබන්දුදාස් යම් තීරණයක් ගන්නවා. සිනමාහලේ තිබෙන පැරණි ප්‍රොජෙක්ටරය වෙනත් ව්‍යාපාරිකයෙකු මිලටගෙන, කැබලිකොට ලොරියක පටවා රැුගෙන යනවා. ඒ දර්ශන පෙළ අවමංගල උත්සවයක් අවසානයේ මෘත දේහය සුසානය කරා ගෙන යන මොහොත මෙන් ශෝකී බවින් යුතුයි. මෙය ඔපරේටර් හරීගේ හිත කෙතරම් වේදනාවට පත් කරන්නක් දැයි කියනවා නම්.... නෑ... මම එතනින් එහාට නොලියා ඉන්නම් ඒ ගැන.
කොහොම නමුත් තමන් හදවතින්ම සිනමා තිරය හා බැදි මතක ආදරය වෙනුවෙන් අවසානයේ ජීවිතවලින් ප‍්‍රනබන්දු හා හරී වන්දි ගෙවනු ලබනවා. ඒක සිද්දවෙන විධිය මේ චිත‍්‍රපටයේ ඉදිරිපත් කරන ආකාරය ඉතාම සියුම් හා හදවත පාරන්නක් බව, පේ‍්‍රක්ෂකයාගේ ඇස නිසග කදුළකින් තෙත් කරන්නක් බව ලියා තැබිය යුතුයි. චිත‍්‍රපටයේ එය සිදුවන අයුරු පෙන්වන අකාරය අතිශය සිනමාත්මක බව තමයි විචාරක මතය.
ඉතාම සංක්ෂිප්තව මම අතින් මෙහෙම ලියවුණත් මේ චිත‍්‍රපටය තුළ මතු වන සියුම් තැන් බොහොම ගැඹුරුයි. සංකේතාත්මකයි සහ භාවාත්මකයි.
ලෝකයේ කිසිදා නොවැලැක්විය හැකි තාක්ෂණ පරිණාමයත්, ඊට අනුගත වීම අතර මානව ජීවන සංවේදනා පණගසන අයුරුත් කාව්‍යාත්මකව නිරූපණය කරන චිත‍්‍රපටයක් ලෙස සිනමාවාලා හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම, කෞතුකයක් බවට පත්වූ සෙලියුලොයිඞ්පටය සමුගන්නේ එක්තරා පරම්පරාවක ආදරය සහ මතක වේදනාවද රැගෙන බව අපට ඩිජිටල් මාධ්‍යයෙන් කියන චිත‍්‍රපටයක්. තවත් විධියකට කියනව නම් පැරණි සෙලියුලොයිඞ් නෑදෑයා ආදරයෙන් සිහිපත් කරන නව පරපුරේ ඩිජිටල් අනුප‍්‍රාප්තිකයෙක් හැටියටත් ‘සිනෙමාවාලා’ නම් කරන්න පුළුවන්.
ඉතිං අලූත්ම පරම්පරාවක පුරුක් නියෝජනය කරන ඔබට ‘අග්නි සිනමා කවුළුව’ අද විවර කළේ ඉන් පිවිස පැරණි පරම්පරාවේ ආදරයක සුවද අරගෙන වර්තමානය වෙත ආපහු එන්නයි.













No comments:

Post a Comment