AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, May 11, 2020

සම්මාන හා අවමාන


මං පළවෙනියා... ඒ කාලේ... මං ගියපු පොඩි ඉස්කොලේ...ඉතින් මං තමයි ඒ කාලේ ඒ ඉස්කෝලේ ආදර්ශමත් ළමයා.
ගුරුවරු උනත් අනිත් ළමයින්ට කිව්වේ මං දිහා බලලා හැදෙන්න කියලා.... මගේ තාත්තා හැමදාම මාව ඉහළින් අගය කළ කෙනෙක්... ඔහු ඉස්සර නිතර කියන ඉතා ආඩම්බරයෙන් කියන දෙයක් තමයි ‘සමාජෙන් ගුටි කන්නේ නැතිවෙන්න මං මගේ දරුවාව හදලා තියෙනවා’ කියන එක... ඇත්තටම ඒ කාලේ හැටියට මට එතකොට හිතුන දේ තමයි ‘යකෝ මං මාරයිනේ... මට හෙන අනර්ඝ ගති පැවතුම් තියෙනවානේ’ කියන එක... ඉතින් මං තාත්තා දුන්න සම්මානය ආරක්ෂා කර ගන්න තියන කැමැත්ත හින්ද පුළුවන් තරම් සමාජෙන් ගුටි නොකා ඉන්න සහ පුළුවන් තරම් ගුටි කන්න නියමිත වැඩවලින් හා තැන් වලින් ඈත් වෙලා ඉන්න වගබලා ගත්තා.
ඔය අතරෙ මං තාත්තාගේ ඒ කාලේ මං ගැන තිබුණ ලොකුම හීනය සැබෑ කරමින් කොළඹ ඉස්කෝලේකට ආවා. මං හිතන්නෙ එච්චරම ද කොහේද මං තාත්තගේ හීනෙකට කියලා සැබෑ කරලා තියෙන්නේ...කොහොමහරි ඒ ඉස්කෝලෙට මාත් එක්ක මං වගේ පළවෙනියෝ බර ගානක් ඇවිත් හිටියා. පළවෙනි වාර විභාගෙන් මං පහළොස් වෙනියා. ඒ කියන්නේ කිසිම ගුරුවරයෙක්ගේ අවධානය මං කෙරෙහි තව දුරටත් යොමු වෙන්නේ නැති අතිශය සාමාන්ය ස්ථානයක්. දැන් කවුරුවත් නැහැ මාව මෙතන ආදර්ශයට ගන්න බලාගෙන. ඉතින් දැන් මේ අනුන්ට පේන්න ගත කරන ආදර්ශමත් ජීවිතෙන් ඒ හැටි වැඩක් නැහැ.
දවසක් මං තව අළුත් යාලූවෙක් එක්ක කැන්ටිමට ගියා. ඒ කාලේ අපේ කැන්ටිමේ රෝල්ස් එකක් රුපියල් දෙකයි. අපි කෑම ඉල්ලූවත් කැන්ටිමේ හාදයා අපිව ගණන් නොගෙන එවෙලේ මොකක් හරි වෙනත් වැඩක නියැලෙමින් හිටියා... මගේ යාළුවා අර හාදයා අපි දිහා බලනකං කැන්ටිමේ තට්ටුවටඅතේ තියෙන රුපියල් දෙකේ කාසියෙන් තට්ටු කන්න ගත්තා. මමත් ඔහුව අනුකරණය කරමින් තට්ටු දාන්න ගත්තා. ටික වෙලාවකින් අපි දෙන්නා නොසිතූ මොහොතක අපි දෙන්නගේ කන් අඩි හරහා යන්න තඩි කනේ පහරවල් දෙකක් වැදුණා. ඒක අර කැන්ටිමේ හාදයාගෙන්. ඇත්තටම ඒ මිනිහා මගේ කණට ඒ විදියට ගහපු හේතුව මොකක්ද කියලා මම තාම දන්නේ නැහැ...කාසියකින් තට්ටු දාපු හින්ද උගේ දේපළවලට හානියක් අපෙන් වුණාද?.....නැත්තං ඌ කර කර හිටපු වැඬේට අපෙන් බාධාවක් වුණා ද?....අනික මං කරේ මොනවගේ වැරුද්දක් ද ? මගේ යාලූවාව අනුකරණය කරමින් කාසියකින් තට්ටු දැමීම ඔය තරම් වැරැද්දක් ද? ඊටත් වඩා නරකම දේ එහෙම දෙයක් කරන්න ඌ කවුද?.. අඩුම තරමේ ගුරුවරයෙක් නම් තව ඉවසත හැකි... නිකංම නිකං කැන්ටිමක කඩයප්පම් විකුණන එකෙක්නේ මං එහෙම ගුටි කන්න ඕනෙද?මේ සියලූ ආකාරයේ අවමානිය හැගීම්වලින් කණේ පාරටත් වඩා සැරට මගේ ඔලූව පුපුරන්න ගත්තා. ඒ අතරෙ තව දෙයක් මට මතක් වුණා. අපේ තාත්තා මට දුන්න ගරු සම්මානේ. අපේ තාත්තා බොහොම ආඩම්බරෙන් කීවාට එයාගේ පුතා සමාජෙන් ගුටි කන විදියට හදලා නැහැ කියලා... මෙන්න එයාගේ පුතා සමාජෙන් ගුටි කාලා කිසි හේතුවක් නැතුවම එහෙමත් නැත්තං අන්තිම පුංචි හේතුවකට...
කොහොම වුණත් එක දෙයක් මට එදා තේරුම් ගියා සමාජෙන් ගුටි කන්න ඔබට ඒ තරම් පරබල හේතුවක් ඕනේ නෑ... ඒක ඕනෑම මොහොතක විය හැකියි. ඇත්තටම ඔබව මේ සමාජෙට ඒ තරම් වැදගත් නැහැ. මම හිතන්නේ තාත්තා මට දුන්න ගෞරවය සම්මානයට වඩා අර කැන්ටිමේ හාදයා මට දුන්න අවමානීය කණේ පහර වැදගත් පාඩමක් ඉගැන්නුවා. වරදවා වටහා ගන්න එපා. මං මෙතැනදි කියන්නේ හදන්නේ පහරදීමක තියෙන වැදගත්කම නෙවෙයි. ඒ පහර කෑම විසින් මට උගන්වපු පාඩමේ ඇති වැදගත්කම.
ඒ කාලේ මම අපේ අම්මාගේ හොඳ පුතා. තව වෙනත් අම්මලාට ඉන්න නරක පුත්තු ගොඩකට සාපේක්ෂව මම අම්මාගෙ හොඳ පුතා. නමුත් මම මුලින්ම ආදරය කරපු ගැහැණු ළමයා මගේ ඉතා සුන්දර කුළුදුල් ආදරය කිසි පැකිලීමකින් තොරව කිසිම වටිනාකමක් නැති යමක් මෙන් පරතික්ෂෙප කළා. අම්මාට හොඳ පුතෙක් වුන මං මේ වැදගැම්මකට නැති කෙල්ලට නරක පෙම්වතෙක් වගේ පෙණුනේ කොහොමද? මම විමතියට පත් වුණා... වඩාත්ම වේදනාකාරී දේ තමයි අර මම කලින් කියපු නරක පුත්තුන්ගේ ආදරයන් පවා ඒ යුගයේ ඔවුන් පෙම් කළගැහැණු ළමුන් ඒ වන විට භාර ගනිමින් උන්නා. ඔන්න නැවතත් මට මං ගැන හිතන්න වැදගත් යමක් හම්බ වුණා. යමෙක් තමන් හොඳයි යැයි සිතා සිටි පමණි◊න් ඔහු හෝ ඇය හොඳ කෙනෙක් වන්නේ නැහැ. පිටත සමාජය ඔහුව හෝ ඇයව හොඳ කෙනෙක් හැටියට භාර ගන්න බැඳිලා නැහැ... ඒ අර්ථයෙන් ගත්තාම මාව හොඳ පුතෙක් විදියට භාර ගත්ත අම්මාට වඩා මාව නරක පෙම්වතෙක් හැටියට සලකා නොතකා හැරපු ඒ ගැහැණු ළමයා මට වැදගත් පාඩමක් කියා දුන්නා.
මම කියන මේ කතාව හරි අමුතුයි. ටිකක් පැටලිලි සහගතයි. මොකද අපි මෙච්චර කල් ඉගෙන තිබුණේ මේ කතාව මේ විදියට නෙවෙයි. මේකේ අනිත් පැත්ත... හැමෝගෙම ගෞරවය ලබා ගන්න ජීවිතය තමයි සාර්ථක ජීවිතයක් කියන්නේ... ඒ නිසා හැම විටම අනෙකාගේ ගෞරවයට පාතර වීමට හා අපේ ගෞරවය අනෙකා ඉදිරියේ ආරක්ෂා කර ගන්න අපි බොහෝ වෙහෙසුණා. අපේ ජීවිතයේ අප විසින් ගෞරවය හිමි කර ගත් හැම මොහොතක්ම අපව සරසන ආභරණයක් විදියට අපි භාර ගත්තා. ඒ ගෞරවය රාමු කරලා බිත්තියේ එල්ල ගත්තා. උපාධි පින්තුරය මැද සාලේ එල්ලූවා. අපිට සම්මානයක් ලැබුනොත් අපි එක්කෝ හැමෝටම පේන්න විසිත්ත කාමරයේ ඉස්තරම් තැනක තිබ්බා. ඇයි අපි එහෙම කරන්නෙ? අපි එහෙම කරන්නෙ ගෙදරට එන යන මිනිස්සුන්ව බය කරන්න...මම ගෞරවාන්විත මිනිසෙකු බවත් ඒ නිසා ඔබ මට ගරු කළ යුතු බවත් අප සමග සිටින අපව බලන්නට එන මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න. ඒ උපාය එක්තරා දුරකට සාර්ථක වෙන්නත් ඇති. ඇත්තටම ඒ මිනිස්සු ඒ දිහා බලලා ඔබට ගරු පක්ෂපාත වෙන්න ඇති. නමුත් මේ උපාය නැවත පරාවළල්ලක් සේ අප වෙත විශාල ව්යසනයක් කඩා වට්ටනවා. මොකද ඒ පින්තූරය.. ඒ සම්මානය වැඩියෙන් දකින්නේ වෙන කාටත් වඩා අපිමයි. ‘යකෝ මම මෙහෙම හිටියට සම්මානලාභියෙක්.. උපාධිධරයෙක්.. මේ සමාජෙ කිසියම් වැදගත් තත්වයක හිමිකාරයෙක්... ගෞරව සම්පරයුක්ත අයෙක්.., මේ ආකාරයෙන් අපි අපේ මමත්වය කරම කරමයෙන් අපටවත් නොබිඳිය හැකි තරමට මෝරා ගන්නවා. එහි වේදනාකාරී විපාකය අපි විඳින්නේ අපිට නිසි ගෞරවය අහිමි වන තැන් වලදී .... හොඳින් ඔබ ඔබේ ජීවිතය දෙස ඇස් යොමා බලන්න. ඔබ වඩාත් පිඩාවට හා අතෘප්තියට පත් වෙලා තියෙන්නේ කුමන අවස්ථාවලදී ද? ඔබ අපේ්ක්ෂා කළ ගෞරවය ඔබට නොලැබුණු තැන්වලදි නෙවෙයි ද? ගොඩාක් ආදර කතා වල ගැටලූ මතු කරන මූලය හ`දුනා ගන්න. ‘ඇයි ඔයා ඔච්චර සැරෙන් කතා කරන්නේ?’ ...‘ ඇයි ඔයා මං කියන දේ අහන්නැත්තේ?’... ‘ඇයි ඔයා කට්ටිය ඉස්සරහ මට ඒ විදියට කතා කරන්නෙ’... ‘ඇයි ඔයා මාව ගණන් ගන්නේ නැත්තේ?’... ‘ඇයි හැම තිස්සෙම මගේ ඇගට ගොඩ වෙන්නේ?’ ... ‘මං ඔයා වෙනුවෙන් මෙච්චර දේවල් කරා.. ඇයි ඔයාට ඒවා එච්චර වටින්නැත්තේ...?’ ආදරයේ දි මේ වගේ පරශ්න සුලබව ඇසෙනවා... මේ හැම පරශ්නයක් හරහාම අපි නැවත නැවත ඉල්ලා සිටින්නේ එක දෙයක්... ‘මට ගෞරව කරපං’ අනෙකාට අපි දිගින් දිගටම කියන්නේ.. අනෙකාගේ දිගින් දිගටම ඉල්ලා සිටින්නේ එච්චරයි. ගෞරවය අහිිමි කරගෙන අපි එක මොහොතක් වත් ඉන්න සූදානම් නැහැ. බලන්න ආරවුලක් දිහා... බොහෝ ආරවුල් සමථයකට පත් නොවන්නේ දෙපාර්ශවයම දිගින් දිගටම තමන්ගේ ගෞරවය පහතට දමා ගන්න තියෙන නොකැමැත්ත නිසා... බොහෝවිට අරවුල් සමථයකට පත් කරන්න යන අය තමයි වැඩිපුරම අපවාදයට ලක් වෙන්නේ..ඔවුන් බොහෝවිට දෙපාර්ශවයේම ගුටිබැටවලට හා ගර්හාවට ලක්වෙනවා. නමුත් ඔවුන් තමයි බුද්ධිමත් මිනිසුන්... ආරවුල් ඇති කරන හා නොනවත්වා පවත්වා ගෙන යන උද්ධච්ච මිනිසුන්ට වඩා ආරවුල් නිරවුල් කිරීම සඳහා අපවාදයට ලක්වීමට පවා සූදානම් නිරහංකාර වැඩදායි මිනිසුන් මේ ලෝකයට ගොඩක් වටිනවා.
මේ සටහන අවසන් කලින් මම පටන් ගත්තු තැනට නැවතත් යන්නම්.. ‘මං පළවෙනියා... ඒ කාලේ...’ මම මේක කියද්දි මට දැන් ඒ ගැන කිසිම ආඩම්බරයක් දැනෙන්නේ නැහැ. මේක කියවන ගොඩක් අයත් එක් එක් පන්ති වල එක් එක් විෂයන්ගේ එක් එක් ක්ෂේතරයන් හි පළවෙනියෝ වෙන්න ඇති. සමහරු පළවෙනියො නොවෙන්නත් ඇති. මොකද පළවෙනියෙක් නිර්මාණය වෙන්නේ පළවෙනියො නොවන්නො රැුසක් නිර්මාණය කරගෙන. නමුත් මේ කොයි කවුරු වුණත් පළවෙනියා වීමේ බලාපොරොත්තුවක ඒ කාලේ ඉන්න ඇති. බොහො විට දැනුත් ඇති. එහෙම බලාපොරොත්තුවක් තාමත් තියෙනවා නම් කරුණාකරලා ඒක බිමින් තියන්න. මොකද ජීවිතේ කියන්නේ පළවෙනියා තෝරන රේස් එකක් නෙවෙයි. මෙතන කිසිම තරගයක් නැහැ. ජයක් නැහැ. පරාජයක් නැහැ. නිදහසේ ජීවත් වෙන්න. සම්මාන යට දරණ ගසා සිටින සර්පයන් හ`දුනා ගන්න. අවමාන ගෙදර බිත්තියේ රාමු කරලා එල්ල ගන්න.



 _ චාමර ගුරුගේ







2019 දෙසැම්බර් පළමු කලාපය
අග්නි තුරුණු වියමන Facebook Page

No comments:

Post a Comment