AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

මට තියෙන්නෙ හොඳ කරන්න බැරි ලෙඩක්...

ලංකාවේ නළුවෙක් වෙන්න මොකක් හරි සුදුසුකමක් ඕනෙද...?
නළුවෙක් වෙන්න ඕනෙ කෙනෙකුට පුළුවන්. අඳුරනකමට නළුවෙක් වෙන්න පුළුවන්. තාත්තා හරි

බාප්පා හරි අඳුරන අයියා කෙනෙක් හරි ටෙලිනාට්‍යක් චිත‍්‍රපටයක් කරනවා නම් කොහොමහරි නළුවෙක් වෙන්න පුළුවන්. හැබැයි රඟපාපු ගමන් නළුවෙක් වෙන්නෙ නෑ. මේකෙ ඉන්න එක තමයි ගේම. මේකෙ පවතින්න නම් හදාරන්න ඕනේ. අප්ඬේට් වෙන්න ඕනේ. අපි කට්ටිය එනවා දැක්කා. අපිත් එක්කත් ආව. අපිට පස්සෙත් ආව. ලොකු චරිත කරා. ඒත් ඊට පස්සෙ අතුරුදහන්. ඇයි ඒ? පවතින්න බෑ. මොකද මේක එඩිට් කරලා කරන මාධ්‍යයක්. මං කියන්නෙ චිත‍්‍රපටි ටෙලිනාට්‍ය ගැන. එඩිට් කරන නිසා අමාරුවෙන් ක්ලොස් අප් ගහලා හරි නළුවෙක් කරන්න පුළුවන්. හැබැයි හැමදාම ඒකම කර කර ඉන්න බෑ. හැමදාම පවතින රංගන ශිල්පියෙක් වෙන්න නම් සුදුසුකමක් තියෙන්නෙ ඕනේ මේක හදාරලා මේක කියවලා මේක අධ්‍යයනය කරලා ගොඩ යන්න ඕනේ.
ඔය කියන සුදුසුකම් ටික ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට තියෙනවද...?
මම හිතන්නේ නෑ මේ සුදුසුකම් සපුරලා ඉවරවෙච්ච කෙනෙක් ඇති කියලා. මම මේක ඉගෙන ගනිමින් හදාරමින් ඉස්සරහට යනවා. ඒක වැඩකිරීම තුළින් හැදෑරීම තුළින් වර්ක්ෂොප් කිරීම තුළින් අදාළ සුදුසුකම් සපුරගන්න මම උත්සාහ කරනවා.
මෑතකාලෙ වැඩි වැඩියෙන් ටී.වී එකේ වගේම සිනමාවෙත් මූණ පේනවා. නළුවෙක් විදියට මේක අවාසියක් නෙමෙයි ද...?
සමහරු කියනවා වැඩියෙන් පෙනුනම එපා වෙයි කියලා. මම විස්වාස කරනවා නලූවෙක් නෙමෙයි ප්‍රොෆෝමින් ආර්ට් කරන ඕන කෙනෙක් නිර්මාණ කරන්න ඕනේ. ලියන කෙනෙක් නම් ඌ ලියන්න ඕනේ. නටන කෙනෙක් නම් ඌ නටන්න ඕනේ. අපි වත්තක ගත්තොත් හරි කාලෙ හැමදාම මල් පිපෙන ගහේ මල්නෙ අපි කඩලා පූජා කරන්නෙ. ඉඳලා හිටලා මල් පිපිලා වැඩක් නෑ. මල් දිගටම පිපෙන්න ඕනේ. හැබැයි ඒ මල් හොඳ සුවඳ ගහන මල් වෙන්න ඕනේ. එතකොට තමයි පූජ කරන්න පුළුවන්. ඒ නිසා හැමදාම පේන එකේ අවුලක් නෑ. හැබැයි හැමදාම පේන එක කොලිටි වෙන්න ඕනෙ. වෙනස් වෙන්න ඕනේ. නිතර පේන එක තුළ මම පරිස්සම් වෙනවා විවිධ වූ චරිත කරන්න.
නළුකම කියන්නෙ ඔබට පිපාසයක් ද..?
ඇත්තටම ඔව්. මම පුදුම පිපාසාවකින් හිටපු එකෙක්. තාමත් ඒ පිපාසෙ සන්සිඳිලා නෑ. මම ඉස්කොලෙ නාට්ටිකාරා ඒ අස්සෙ කෙල්ලෙක්ට ලව් කරලා ඒක කෙළවිලා ඒ දුකට බෑන්ඞ් ගැහුවා. පස්සෙ ආමි එකට බැ`දුණා. ආමි එකට ගිහිල්ලත් මම ට‍්‍රයි කරේ නාට්ටි කරන්න. නාට්ටි කණ්ඩායම් හදාගෙන එහෙත් නාට්ටි කරා. පස්සෙ මම ආමි එකෙන් අයින් වෙලා ආපහු මේ ක්ෂේත්‍රෙටම ආවා. ආවට අවස්ථා නෑ. අවස්ථා හොය හොය පුදුම කට්ටක් කෑවා. බස්වල ගිහින් හිටන් ඉඳලා අමාරුවෙන් අවස්ථාවක් ලැබෙනවා 2008 දී. ඒකත් ඈතින් ඇවිදින මිනිස්සු ගොඩක් එක්ක ඇවිද ඇවිද ඉන්න. 2008 ඉඳලා 2011 වෙනකම් මම කරේ ඔය ජාතියේ ඈතින් ඇවිදින චරිත. 2011 තමයි දෙබසක් කියන චරිතයක් ලැබුණේ. ඒ කට්ට කාගෙන ආපු ගමන තමයි තමත් එන්නෙ.
නලූකමත් එක්ක ගැටගැහිච්ච දෙයක් තමයි සම්මාන. සම්මාන ගැන මොකද අදහස?
ජනප‍්‍රිය නලූවා වගේ සම්මාන මගේ ජීවිතේ කිසිම හීනෙක නෑ. ජනප‍්‍රිය නලූවා කියන සම්මානෙ ගන්න ඇත්තටම සල්ලි වියදම් කරලා පුළුවන්. මේක තරගයක්නේ එතකොට මගේ ෆෝන් එකෙන්ම එස්.එම්.එස් ගහගෙන ඒක ගන්න පුළුවන්. එහෙම ගන්නවා. එහෙම ගත්ත අය ඉන්නවා. ඒක තමයි මේ සිස්ටම් එකේ හැටි. මම අත්දැකීමෙන් දන්නවා අපේ සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන් තමන්ට ඡුන්දෙ දෙන්න කියලා කැම්පේන් කරනවා. මට ඡුන්දෙ දෙන්න කියලා කැම්පේන් කරනකොට මම කොහොමද ජනප‍්‍රිය නළුවෙක් වෙන්නෙ... එතකොට මම ඡුන්ද අපේක්ෂකයෙක් විතරයි. මම කියන්නෙ ජනප‍්‍රිය නලූවා කවුද කියන එක හොයාගන්න පුළුවන් මිනිස්සු අතරට ගියාම. ලංකාවෙ අතිශය ජනප‍්‍රිය නලූවෙක් ගිහාන් ප‍්‍රනාන්දු. හැබැයි එයා කවදාවත් ජනප‍්‍රිය නලූවට සම්මාන දෙන ලිස්ට්වල නෑ. ඒ නිසා ඒ සම්මාන ගැන මගේ හීනයක් නෑ. ඒවගේම තමයි දක්ෂම නලූවා කියන එකත්. ඒකත් සාපේක්ෂ දෙයක්නේ. එක එක විනිශ්චය මණ්ඩලවල හැටියට තමයි ඒක තීරණය වෙන්නෙ. වසරේ වේගවත්ම මිනිසා තෝරනවා වගේ වසරේ දක්ෂම නලූවා තෝරන්න බෑ. වේගවත්ව මිනිසා තෝරන්න පුළුවන් ස්ටොප් වොච් එකෙන්. හැබැයි ඇක්ටින් මනින්න මීටර් නෑ. උඹට පට්ට නලූවා මට අවුල්ම නලූවා වෙන්න පුළුවන්.
නලූවෙක් විදියට ලංකාවේ සමාජ දේශපාලනය ගැන සවිඥානික ද...?
පැහැදිලිව ලංකාවේ දේශපාලනය ගැන මට තියෙන්නෙ ලොකු කලකිරීමක්. මම විස්වාස කරනවා කලාකාරුවා කියන්නෙ දේශපාලනඥයාගේ වේදිකාවට නැගලා එයාව ප්‍රොමෝට් කරන්න ඉන්න කෙනෙක් නෙමෙයි. කලාකරුවාගේ දේශපාලනය තියෙන්නෙ ඕනේ නිර්මාණ ඇතුළෙ. තමන්ගේ ඕඩියන්ස් එකට තමන්ගේ නිර්මාණ ඇතුළෙන් දේශපාලනය දෙන්න පුළුවන් නම් ඒ තමයි කලාකරුවා. ස්ටේජ් එකට නැගලා මෙන්න මෙයාට ඡුන්දෙ දෙන්න කියන එකා කලාකාරයෙක් නෙමෙයි ඌ නලාකාරයෙක්. මගෙත් දේශපාලනයක් තියෙනවා. හැම ඡුන්දෙදිම මම ඡුන්දෙ ප‍්‍රකාශ කරලා තියෙනවා. මට පක්ෂයක් නෑ. ඒ මොහොතේ පවතින දේශපාලනික තත්වය බලලා මගේ හදවතට හරී කියලා හිතෙන කෙනාට මම ඡුන්දය දීලා තියෙනවා. ඒක ඇතුළෙ මම සතුටු වෙච්ච අවස්ථාත් තියෙනවා පසුතැවිච්ච අවස්ථාත් ගොඩක් තියෙනවා.
ඉදිරි ගමනේ ටාගට් එකක් තියෙනවද?
ඔව්. පැහැදිලිවම
මොකක්ද ඒ?
ඇක්ටින් කියන්නෙ මට උණක් නෙමෙයි. සමහරු කියනවනේ රඟපෑම කියන්නෙ උණක් කියලා. මට ඒක උණක් නෙමෙයි. මොකද උණක් නම් බෙහෙත් බිව්වම ඒක සනීප වෙනවා. මේක චරිතයක් කරලා සනීප කරන්න පුළුවන් උණක් නෙමෙයි. මට තියෙන්නෙ හොඳ කරන්න බැරි ලෙඩක්. මේකත් එක්කම මැරෙන්න තමයි කවදහරි වෙන්නෙ. අද වෙද්දි මම පටන් ගත්ත තැනත් එක්ක මට මාර ආතල් මං ගැන. මැරෙනකම් රඟපානවා. ඒ ආසාව ඇති වෙන්නෙ නෑ. මැරෙන මොහොතත් අලූත් චරිතයක් කරන්න තමයි ආස.

කතාබහ 
අසංක සායක්කාර
                                    




 2020 ජනවාරි මුල් කළාපය 
අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment