AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, May 11, 2020

අධ්‍යාපනයේ කේන්ද්‍රය ආදරයයි


ලංකාවේ අධ්‍යපන ක‍්‍රමය ගත්තහම ඒක කේන්ද්‍ර වෙලා තියෙන්නේ තරගය කියන කාරණාවත් එක්කයි. නමුත් තරගය
කේන්ද්‍රකර ගත් අධ්‍යාපනයකින් සිද්ධ වෙන්නේ බුද්ධි ප‍්‍රභාව විනාශ වී යාමක්. උදාහරණයක් හැටියට බලන්න සෑම පාසැල් ශිෂ්‍යයෙකුට ම ප‍්‍රගති වාර්තා පොතක් (Report Card) තියෙනවා. සෑම වාර අවසානයකදී ම බලන්නේ ළමයා පංතියේ කී දෙනෙකුට ඉස්සරහින් ඉන්නවද කියලා. ළමයි තුළ මේ තරගය ඇති කරන්නේ දෙමාපියන් සහ ගුරුවරුන්. මේ තරග කිරීම තුළ ඊර්ෂියාව, වෛරය වගේම ආතතිය තුළ ඇති වෙනවා.
දෙමාපියන් කරන තව දෙයක් තමයි දරුවන් අතර සන්සන්දනය ඇති කිරීම. මේ සන්සන්දනය (Comparision) කිරීම තුළ දරුවන් විශාල පීඩාවකට පත් වෙනවා. දෙමාපියන් නිතර කියනවා ‘‘අර බලන්න අර ළමයා ඔයාට වඩා කොච්චර හොඳට ලකුණු අරගෙන ද’’ කියලා. මේ කි‍්‍රයාවලිය තුළ පීඩාව හා වෛරය ඇති වීම කිසිම විදියකට නවත්තන්න බෑ.
තේරුම් ගන්න ඕන පළමු කාරණාව තමයි කිසිම වෙලාවක කෙනෙකුට පළවෙනි වෙන්නවත් අන්තිමයා වෙන්නවත් බැහැ කියන කාරණය. උදාහරණයකට හිතන්න අපි මේ ඉන්නේ ගෝලාකාර ලෝකයක. මොහොතකට අපි හිතමු අපි මේ හිටගෙන ඉන්නේ වෘත්තයක කියලා. අපි ඔක්කොම එකම දිශාවකට දුවන්න පටන් ගත්තොත්, කිසිම කෙනෙකුට කියන්න බෑ කවුරු පළමුවැනි කවුද අන්තිම කියාලා. අපි හැමෝම හැමෝට ම වඩා ඉස්සරහින්, අපි හැමෝම හැමෝටම වඩා පිටි පස්සෙන්.
එකිනෙකා තුළ තියෙන්නේ එක එක දස්කම්. ඒ දක්‍ෂකම් විවිධයි. කිසිම කෙනෙක් හැමදේටම දක්‍ෂ වෙන්නේ නෑ. කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්, තව කෙනෙක් ගායනයට නැත්නම් වාදනයට එහෙත් නැත්නම් කී‍්‍රඩාවට දක්‍ෂයි. මේ විවිධත්වය තුළ තමයි ලෝකය ලස්සන වෙන්නේ.
ඔබට යමක් ඉගෙන ගන්න ඕන නං, ඔබ ඒ දේට ආදරය කරන්න ඕන. ඔබට සංගීතය ඉගෙන ගන්න ඕන නම් ඔබ සංගීතයට වගේම සංගීතය දන්න අයට, ඔබත් සමග ඉගෙන ගන්න අයට ආදරය කරන්න ඕන. එතකොටයි ඔබට සංගීතය ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. අවාසනාවකට අපේ අධ්‍යාපන ක‍්‍රමයට ආදරයත් එක්ක කරන්න දෙයක් නෑ. අපේ අධ්‍යාපන ක‍්‍රමය ආදරය ගැන දන්නේ නෑ.
මේ තරගය කියන දේ අධ්‍යාපනයෙන් ඉවර වෙන්නේ නෑ. ඒක ඔබත් සමග සමාජයට එනවා. හැමෝම උත්සාහ කරන්නේ අනිත් අයට වැඩිය ඉස්සරහින් ඉන්න. කෙනෙක් රූපවාහිනියක් නැත්නම් වාහනයක් ගත්තහම අනිත් කෙනාට ඕන ඊට වඩා හොඳ, ඊට වඩා ලොකු එකක් ගන්න. කෙනෙක් ගෙයක් හැදුවා ම අනිත් කෙනාට ඕන ඊට වඩා හොඳ, ලොකු ගෙයක් හදන්න. අන්න එහෙමයි අධ්‍යාපනය තුළ තියෙන තරගය ඔබත් එක්ක දිගට ම එන්නේ. එක දෙයක් මතක තබා ගන්න ඔබ වරක් තරග වැදුණොත් තරගය ඉවර වෙන්න කලින් ඔබව ඉවර වෙනවා.
මේ අධ්‍යාපන ක‍්‍රමය තුළ සිද්ධ වෙන ලොකුම විනාශය තමයි ඔබ ඔබගේ බුද්ධි ප‍්‍රභාව විනාශ කර ගන්නවා. ඔබ විශ්ව විද්‍යාලයෙදි කවිය ගැන සාහිත්‍ය ගැන ඉගෙන ගත්තා නම්, විශ්ව විද්‍යාලයෙන් එළියට ආවාම ඔබ ඒවා ගැන තවදුරටත් අධ්‍යයනය කරන්නෑ. ඔයාට කවිය සාහිත්‍ය එපා වෙලා තියෙන්නේ. ඔයා මේ හැම දෙයක්ම ඉගෙන ගෙන තියෙන්නේ විශාල තරගයක් තුළ, විභාගේ සමත් වෙලා පළමුවැනියා වෙන්න ඕන හින්දා, ඔයාට කවිය ගැන කිසිම ආදරයක් තිබුණේ නෑ.
උදාහරණයක් හැටියට මේ ලිපිය ලියන මම මීට අවුරුදු තුනකට විතර කලින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‘‘ලේඛකත්ව හා ජන සන්නිවේදන’’ ඩිප්ලෝමාවක් හැදෑරුවා. මේ පාඨමාලාව තුළ සන්නිවේදනය වගේම නාට්‍ය, කවිය, කෙටි කතාව, නවකතාව, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගැන දේශන පැවැත්වූවා. පාඨමාලාව අවසානයේ හැමෝම නිබන්ධනයක් කරන්න ඕන. ඒ කියන්නේ හැමෝ ම කවි පොතක්, කෙටි කතා පොතක්, නවකතා පොතක්, චිත‍්‍රපටයක් හෝ පරිවර්තනයක් වගේ දෙයක් කරන්න ඕන. හැමෝම මින් කුමක් හෝ දෙයක් කළා. නමුත් ගැටලූව තියෙන්නේ ඒ නිබන්ධනයෙන් පසු ගෙවුණු වසර තුනක විතර කාලය තුළ මා හැරෙන්න පාඨමාලාවේ හිටපු කිසිම කෙනෙක් කිසිම පොතක් ලියලා නෑ. මේක තමයි අධ්‍යාපනයේ ඛේදවාචකය.
ඒක නිසයි අධ්‍යාපනයේ කේන්ද්‍රය ආදරය වෙන්න ඕන. එය තරගය කියන දේ කේන්ද්‍රකර ගත්තහම වෙන්නේ විනාශයක්. නමුත් කිසිදු බුද්ධිමතෙක් මේ ගැන කතා කරලා නෑ. ආදරය කේන්ද්‍ර වුණ අධ්‍යාපන ක‍්‍රමයක් තුළින් විශාල සමාජ ප‍්‍රශ්න රාශියකට ම පිළිතුරු ලැබෙනවා.
 
  දුමින්ද බොරළුගොඩ

(භගවාන් ශී‍්‍ර රාජනිෂ්ගේ අදහස් ඇසුරිනි)
2019 දෙසැම්බර් පළමු කලාපය  
අග්නි තුරුණු වියමන Facebook Page  

No comments:

Post a Comment