AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

මගදි මුණගැහුණා මගහැරුණ ආදරේ - 03

අසංක සායක්කාර ලියන
ආදරණීය නවකතාව...

”පුදුමයි, තාම කොණ්ඩෙ ඉදිලා නෑ...” 
ගුවන් ගමන්වලින් නූපා හිටියෙ බාසුරුට වඩා ඉස්සරහින්. හාහාපුරා කියලා නූපා මුළින්ම ගුවන් ගමනක යෙදුණේ ඕලෙවල් ලියන කාලෙ. සමස්ත ලංකා නැටුම් තරගයකින් පළමු ස්ථානය දිනාගත්ත නූපට තෑග්ග විදියට ලැබුණේ විදේශ සංචාරයක්. ඔස්ටේ‍්‍රලියාවට ගියපු සංස්කෘතික නියෝජිත කණ්ඩායමක නූපා තමයි ලාබාලතම සාමාජිකාව. එතන ඉඳලා කැම්පස් එකෙන් එළියට එනකම් පාස්පෝට් එකක පිටු පිරෙනකම් නූපා විදේශ සංචාරවල යෙදිලා තියෙනවා. ඒ හැම එකක්ම නටන්න ගියපුව. අලූතෙන් ගත්ත පාස්පෝට් එකෙන් දෙවැනි වතාවට සංචාරයක යෙදෙන දවස අද. අලූත් පාස්පෝට් එක ඉඳුල් වුණේ මීට අවුරුදු 11කට කලින්. ගමන මාලදිවයිනට. ඒක සංස්කෘතික නර්තනයකට ගියපු ගමනක් නෙමෙයි. ජීවන නර්තනයේ එක පරිච්ෙඡ්දයක් වෙනුවෙන් ගියපු ගමනක්. නූපා - සාගර යුවළගේ මධුසමය වෙනුවෙන්. අවුරුදු 11කට පස්සෙ යෙදෙන ගුවන් ගමනේ හැමදෙයක්ම නූපට අලූත්.
‘‘මම යන්නේ කොමන්වෙල්ත් කල්චර් ෂෝ එකට...’’
කලින් අහපු ප‍්‍රශ්නෙකට බාසුරු ඇත්ත උත්තරේ දුන්නෙ නූපගෙනුත් උත්තරයක් බලාගෙන.
‘‘මං දැනගෙන හිටියෙ නෑ ඔයා එනවා කියලා’’
‘‘මං දන්නෙත් නෑ. ඩාන්සින්වලට ලංකාවෙන් තව එක්කෙනෙක් යනවා කියලා දැනගෙන හිටියා. ඒත් ඒ ඔයා කියලා මම හිතුවේ නෑ නූපා’’
‘‘අන්තිම මොහොත මම ටුවර් එකට ලෑස්ති වුණේ. යන්නෙ කවුද කියලා හොයන්නවත් මට වෙලාවක් තිබුණේ නෑ.’’
එක එල්ලේ නූපගේ ඇස් ග‍්‍රහණය කරගත්ත බාසුරු නූපාව පරීක්ෂා කරන වෙන විදියක ප‍්‍රශ්නයක්
අතඇරියා.
‘‘මං එනවා කියලා දැනගෙන හිටියා නම් ඔයා එන්නේ නැද්ද...?’’
‘‘නෑ කීයටවත් එන්නෙ නෑ’’
වචනවල අර්ථය නිශේධනීය වුණාට නූපා ඒ වචන ටික පිටකරපු ස්වරයේ තිබ්බෙ තනිකරම උත්ප‍්‍රාසය. ඒ ඇස්වල ලියවිලා තිබුණේ මේ අසිරිමත් අවස්ථාව ගැන දොරේ ගලන සතුට.
ගුවන් යානය ඇතුළත පිහිටීම නිරීක්ෂණය කරන මුවාවෙන් නූපා ඔලූව දකුණට හරවගෙන බාසුරුව නිරීක්ෂණය කරද්දී කවුලූවෙන් එළියෙ පෙනෙන දේ නිරීක්ෂණය කරන මුවාවෙන් බාසුරු නූපාව නිරීක්ෂණය කරනවා. දෙන්නම දන්නවා දෙන්නම කරන්නෙ බොරුවක් කියලා. ඒත් නොදන්නවා වගේ
ඉන්නවා.
එදාට වඩා නූපගේ මූණ පිරිලා. ඒ රත්තරන් පාට තවත් ඔපවැටිලා. තොල් පෙති මත ළාවට තවරපු රෝස පාට ලිප්ස්ටික්වලින් දොතෙලේ සරාගී බව තවත් වැඩිවෙලා. ඒක තීව‍්‍ර වෙලා තියෙන්නෙ දශමයක් වත් ඇදවෙන්නෙ නැතුව ඇඳලා තියෙන ලිප් ලයින් එක නිසා. මේ ලයින් එක ඇදට ඇඳුණු දවසක් බාසුරුගෙ මතකයේ නෑ.
බාසුරුගේ මූණේ ඝණව අපිළිවෙළට වැවුණු රැුවුලෙ තැනින් තැන සුදුපාට රැුවුල් ගස් මතුවෙලා. මේ අපිළිවෙළ රැුවුලට නූපා කවදත් ආසයි. වෙනදා නැති විදියෙ පරිණතකමක් සුදුරැුවුල් ගස් ටික නිසා බසුරුගෙ මූණෙන් නූපා දකිනවා. කැරලි ගැසුණු කොණ්ඩෙ තාමත් එදා වගේමයි. කෙස් ගස් අතරින් ඇස් යවපු නූපා සුදු වෙච්ච කෙස් ගස් හොයන්න තරමක අසාර්ථක උත්සාහය යෙදුණා.
‘‘පුදුමයි තාම කොණ්ඩෙ ඉදිලා නෑ’’
නූපා මේ වචන ටික තමන්ට ම කියාගනිද්දි බාසුරු ඇගේ අවධානය වෙනස් කළා.
‘‘ඉතින් කියන්න කොහොමද ජීවිතේ.’’
බාසුරුගෙ පැනය ඉදිරියේ නූපා එකපාරටම නිරුත්තරවුණේ ඒක ඉතිහාසයක් තියෙන ප‍්‍රශ්නයක් නිසා.
‘‘ඇයි....?’’
‘‘තාමත් පරණ වචන ටික ඔයාගෙ ළඟ තියෙනවා නේද...?’’
ඉස්සර නිතරම වගේ මේ වචන ටික බාසුරුගේ කටින් ඇහෙනවා. කවුරු
මුණගැහුණත් කතාව පටන් ගන්නේ මේ වචන හතරෙන්.
‘‘ඉතින් කියන්න කොහොමද ජීවිතේ...’’
‘‘මොකක්ද බං අද උදෙත් උඹට ඕකට උත්තර දුන්නනේද...?’’
‘‘අවුලක් නෑ. හවසට හම්බවුණාමත් මේ ප‍්‍රශ්නෙ අහනවා. ජීවිතේ කියන්නෙ. තප්පරෙන් තප්පරේ වෙනස් වෙන දෙයක්.’’
තමන්ගේ ප‍්‍රශ්න කිරීම ගැන බාසුරු යාලූවොන්ට දීපු දාර්ශනික පැහැදිලි කිරීම තමයි ඒ. හැබැයි නූපා ඉදිරියේ කවදාවත් බාසුරු ඒ ගැන දාර්ශනික පැහැදිලි කිරීම්වලට ගියේ නෑ.
‘‘ඇත්තම කියන්න බාසුරු ඇයි ඔයා හැම තිස්සෙම ඒ ප‍්‍රශ්නෙම අහන්නෙ...’’
ඇත්තටම බාසුරු ළඟ ඒකට දෙන්න උත්තරයක් තිබුණේ නෑ. බාසුරු කරේ වචනෙන් උත්තර දෙනවා වෙනුවට ඒ වචන ටික එකතු කරලා කවියක් ලියපු එක. නූපා ඒ කවියේ මතක වචන ටික හිතින් කියවගත්තා.
‘‘ඉතින් කියන්න කොහොමද ජීවිතේ
ළඟින් තියන්න මතකය මාවතේ
නිතින් වයන්න නිදහස ගීපොතේ’’
නූපා මේ කවියට පුදුම විදියට ආසාවෙන් හිටියෙ. නළමුදු සුවඳට නිර්මාණ ඉදිරිපත් කරන්න තිබුණෙත් මේ කාලෙම තමයි.
‘‘බාසුරු ඔයාගෙ කවිය අපි තරගෙට දාමු’’
‘‘පිස්සුද බං... මට කවි ලියන්න බෑ. ඕවා දැකලා සුනිල් අරියරත්නලා හිනාවෙයි.’’
‘‘නෑ මේක ලස්සනයි අපි දාලා බලමු’’
‘‘එපා එපා.... ’’
බාසුරු කොච්චර විරුද්ධ වුණත් නූපා කවිය තරගෙට ඉදිරිපත් කරා. ඒක සිද්ධ වුණේ බාසුරුට හොරෙන්. ඕනම නිර්මාණයක් භාරදෙන්න කලින් තරගකරුවා තමන් විසින් හදපු ඇප්ලිකේෂන් එකක් ඒකට අමුණලා භාරදෙන්න ඕනේ. නූපගේ අකුරුවලින්ම ලියපු ඇප්ලිකේෂන් එකයි ඒ අකුරෙන්ම ලියපු කවියයි සිංහල අධ්‍යයනාංශයට භාර දුන්නෙත් නූපමයි.
‘‘කෝ මේකෙ උඩින් තරග අංශෙ දාලා නෑ.’’
කොච්චර සැලකිල්ලෙන් කරපු හොර වැඩක වුණත් කොහෙහරි අතපසුවීමක් තියෙනවා. නූපා ඒ අතපසුවීම නිවැරැුදි කරේ කලබලෙන්. ඒ වෙනකොට අහම්බෙන් වගේ බාසුරුත් සිංහල අධ්‍යයනාංශෙට ආවා. බාසුරු දැක්ක විතරයි නූපාගේ අවධානය වෙනස් වුණා. ලියන්න ඕන තරග අංශය පැටලූණා. පද්‍ය රචනා කියන එක වෙනුවට නූපගේ අතින් ලියවුණේ ගීත රචනා කියලා.
නළමුදු සුවඳෙ අවසන් වටයට තේරුණු නිර්මාණ ගැන දැනුවීම් පුවරුවේ පළ වෙද්දි තමයි නූපට වෙච්ච අතපසු වීම තේරුණේ. බාසුරුගෙ කවිය හොඳම ගීත රචනා 10 අතට තේරිලා. බාසුරු මේ ගැන දැනගත්තේ මේ ගේය පද රචනයට තනුවක් දාන්න ලයිටා ගිටාර් එකත් අරගෙන බාසුරුගේ රූම් එකට රිංගපු වෙලාවේ. නළ මුදු සුවඳේ සම්ප‍්‍රදාය තමයි අන්තිම 10ට තේරෙන ගීත රචනා තනු යොදලා ගායනා කරන එක.
‘‘මේක මම නිකමට ලියපු කවියක්’’
‘‘දැන් ඒවා වැඩක් නෑ. මට මේකට මෙලඩියක් දාන්න ඕනේ. උඹ මොන වගේ ෆීල් එකක් ඔලූවෙ තියාගෙන ද මේක ලිව්වෙ’’
ලයිටා දිගට හරහට වදදෙනකොට අවසානයේ බාසුරු කවිය ලියවෙච්ච පසුබිම වචනෙන් දෙකෙන් ලයිටට කිව්වා.
‘‘කිසිම ෆීල් එකක් නෑ... මම ඕක ලිව්වෙ නදීකගේ සින්දුව අහ අහ.. කියන්න කියන්න හද රැුදි දේ....’’
බාසුරුගේ වචන ටිකට ලයිටා අතින් වැටුණෙත් ගිටාරය මුල් කරගත්ත රොක් ආරේ සංගීත රචනයක්. නළ මුදු සුවඳේ පෙරළිකාරම ගිතය විදියට මේ ගීතය ඉහළට එසවෙද්දි හොඳම ගේය පද රචකයාට පිරිනැමෙන මහගමසේකර සම්මානය බාසුරු අතට ලැබුණා.
‘‘ඊට පස්සෙ සින්දු ලිව්වෙ නැද්ද බාසුරු’’

මතු සම්බන්ධයි

No comments:

Post a Comment