AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Sunday, May 10, 2020

මේ කවුද? මොනවද කරන්නේ?


මේ කවුද? මොනවද කරන්නේ? ලිපි පෙළේ පළමු ලිපියයි මේ.
නීරසයි කියල හිතෙයි. ඒත් කොහොම හරි කියවන්න මොකද මනුස්සයෙක් විදිහට ඔබට ඉටු කරන්න වගකීම් තියනව ඉතිං.... දැනුවත් වෙන්න.
ඔබ දන්නවද ලෝකයේ වෙරළ ආශි‍්‍රතව පමණක් එක් වසරක් තුළ ප්ලස්ටික් මෙටි‍්‍රක් ටොන් මිලියන 6 - 8 අතර ප‍්‍රමාණයක් මුහුදට එකතු වෙන බව.?
ඔව්. හරියට සංඛ්‍යාත්මකව නොවුණත් ඔබ මේ ගැන දැනුවත්. ඉතිං ඔබ ඒ ගැන මොනවද කරල තියෙන්නෙ? තව කාට හරි ඇඟිල්ලක් දික් කරන එක ඇරුණු කොට එක බීම බටයක් ප‍්‍රතික්ෂේප කරල තියනවද?
ප්ලාස්ටික් කියන්නේ මිනිසාට ප‍්‍රයෝජනවත් ද්‍රව්‍යයක්. ඉතා සෙමින් දිරා පත්වන ප්ලාස්ටික් ඇතැම් විට අවුරුදු 500 පමණ යන තුරු දිරාපත් වන්නේ නෑ. මිනිසා නිපද වූ මේ රසායනික සංයෝගයෙන් මිනිස් ජීවිත පහසු උනා. ප්ලාස්ටින් කියන්නෙ දැං මිනිසාට නැතිවම බැරි දෙයක් කිව්වොත් නිවැරදියි. මං මේ ලියන පෑනෙ, ටයිප් කරන කීබෝඞ් එකේ, දත් මදින බුරුසුවෙ, බීම බටේ, බෑග් එකේ ඉඳං යෝගට් හැන්ද දක්වාත් ඊට කුඩා ප්ලාස්ටික් පබළු දක්වාත් අතිශය කුඩා මයික්‍රෝ ලෙවල් එකේ ඉඳං විශාල මෙගා ලෙවල් එක දක්වා අතන, මෙතන, බලන බලන හැම තැනම ප්ලාස්ටික්.
මේක කොයිතරම් ව්‍යාප්ත වෙලාද කියනව නම් දැං අතිශය දරුණු පාරිසරික සහ සමාජ ගැටලූවක් වෙන තරමටම ප්ලාස්ටික් කියන්නෙ ප‍්‍රශ්නයක්.
2018 දි විතරක් පෘතුවිවාසීන් විදිහට අපි ප්ලාස්ටික් ටොන් මිලියන 380 ක් නිපදවලා තියනව. මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය උනාට පස්සෙ සැලකිය යුතු ප‍්‍රතිශතයක් කෙළවර වෙන්නෙ සාගරය තුළ හෝ විවිධ භූමි ප‍්‍රදේශවල නොදිරන ආගන්තුක ද්‍රව්‍යයක් විදිහට.
1950 ගණන්වල ඉඳන් අපි සාගරයට එකතු කරල තියන ප්ලාස්ටික් ප‍්‍රමාණය ගත්තහම සමහර පරිසරවේදීන් ගණනය කරනවා 2050 වෙන විට සාගරය තුළ ජීවත්වන මත්ස්‍ය ගහනයට වඩා ඒ තුළ ප්ලාස්ටික් කැබලි හා කොටස් වැඩි විය හැකි බව.
මං කලින් කිව්ව වගේ මේ ප්ලාස්ටික් ඉතා කුඩා මයික්‍රෝ අංශුවල සිට විශාල කැබලි දක්වා ප‍්‍රමාණයෙන් හඳුනාගත හැකියි. මේ ඉතා කුඩා අන්වීක්‍ෂයිය ප්ලාස්ටික් කොටස් සාගරයට විශාල වශයෙන් එකතු වීමේ ප‍්‍රතිඵලයක් විදිහට මත්සයින් මේවා ආහාරයට ගන්නටත් ඒ හරහා ඒවා මත්සයින්ගේ ශරීර තුළට ඇතුළු වීමටත් මත්ස්‍යයන් අනුභවය නිසා එම ප්ලාස්ටික් අංශූ යළි මිනිස් සිරුරට ඇතුළු වීමත් සිදුවන බව විද්‍යාඥයින් මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා. මේ කොටස් පිළිකාකාරක වශයෙන්ද, ශරීර සෞඛ්‍යයට මෙන්ම මානසික සෞඛ්‍යයටද බලපාන රසායනික ද්‍රව්‍ය අඩංගු වන බවට ද ඔවුන් සොයා ගෙන තියනවා. තවද ප්ලාස්ටික් නිෂ්පාදනයේදී නිකුත් වෙන හරිතාගාර
වායු සහ විවිධ රසායනික අතුරු ඵල නිසා මිනිසුන් රෝග ආබාධවලට ඔරොත්තු දීමේ ගුණයද හීන විය හැකි බවටත් ලිංගික බෙලහීන තත්වයන් ඇතිවිය හැකි බවටත් මේ වන විට සොයා ගන්නට පරික්‍ෂයින් සමත් වී තිබෙනවා.
මහා පරිමාණ ප්ලාස්ටික් නිෂ්පාදනයේදී පිට වන වායුන් ඍජුවම ගෝලීය උෂ්ණත්වය වැඩි වීම කෙරේ බලපාන බවද මේ වෙනකොට රහසක් නෙමෙයි.
වැඩියෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය විදිහට බැහැර කෙරෙන්නේ චීනය ප‍්‍රමුඛ ආසියාතික රටවලින්. ඉන් බහුතරයක් සාගර තුළට එකතු වෙනවා. එහි ප‍්‍රතිඵලයක් විදිහට බොහොමයක් සත්ව විශේෂ. මත්ස්‍ය විශේෂ සහ කොරල් වඳවීමේ තර්ජනයන්ට ද මුහුණ පා තිබෙනවා.
ඔබට පුළුවන් Google ගිහිං Plastic Patch in the Ocean නැත්නං Pacifi Ocean Plastic Island කියල Search කරන්න.ඒ තමයි මෙහෙම මුහුදට එකතු උන ප්ලාස්ටික් දිය වැල් මාර්ගයෙන් පෘතුවියේ මහ සාගර වල එකතු වෙන තැන් මේ Plastic Patches විශාල දුපත් වගේ අභ්‍යවකාශයට පවා පෙනෙන තරම් ප්ලාස්ටික් ඒවායෙ තියනවා.
මෙසේ මුහුදට එකතුවන ප්ලාස්ටික්වලින් වැඩි කොටසක් එක් වරක් පමණක් භාවිතා වෙන ප්ලාස්ටික් නැත්නම් බීම බට, කෝප්ප, බෝතල්, ආහාර ඇසුරුම්, බෑග් වගේ දේවල්.
මත්ස්‍ය ආහාර, ජලය, වාතය අතරට එකතු වෙන ප්ලාස්ටික් සහ ඒ ආශි‍්‍රත රසායනික ද්‍රව්‍ය ආහාර දාමයන්ටන් ඒ හරහා මිනිස් සිරුරටත් ඇතුළු වෙන්නට පටන් අරන්. දිරාපත් වන්නට වසර 400 පමණ ගතවෙන මේ අවධානම අනාගත පරම්පාරාවන්ට අතිශය අහිතකර වෙනවා. මේ මහ පොළව අසනීප කරන මූලික අංගයක් බවට අද අපි විසින් "Plastic" පත් කරල තියනවා.
අපි අපේ අනාගත පරම්පරාවට රටක් ඉතුරු කරන්නට දිවි හිමියෙන් සටන් කරන්න ලෑස්තියි. ඒත් ඒ රටට පවතින්න ලෝකයක් තියෙන්න ඕන කියල අපිට අමතක වෙනවා. හැමදේකටම කලින් නිරෝගී පොළවක් අපට අවශ්‍ය වෙනවා. සෞඛය සම්පන්න මුහුදක් අහසක් වායු ගෝලයක් අපිට අපේ අනාගත පරම්පරාවට අවශ්‍ය වෙනවා.
ඔබටත් මටත් මඟ අරින්න බැරි වගකීමක් තියනවා. ඔබ කැමති තැනකින් පටන් ගන්න. ලොකු, පොඩි භේදයකින් තොරව කළ යුතු දේ කරන්න පටන් ගන්න. බීම බට අවශ්‍ය නොවන හැම මොහොතකම එය ප‍්‍රතික්ෂේප කරන්න. සිලි බෑග් භාවිතය හැකිතාක් අවම කරන්න. වතුර බෝතලයක් භාවිතා කරන්න. බීල විසි කරන බෝතල් පුළුවන් තරං මිලදී ගන්නෙ නැතුව ඉන්න. ඔබ Plastic භාවිතයට දක්වන ආකල්පය සමාජගත කරන්න. යහළුවො එක්ක ඇවිදින්න රට වටේ යන්න. ඒ ගිහාම රටට ප‍්‍රශ්නයක් වෙන ලෝකයට ප‍්‍රශ්නයක් වෙන ප්ලාස්ටික් සුද්ද කරන්න. දැං මේ ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචකී‍්‍රකරණයට අවශ්‍ය තාක්‍ෂණය අපේ රට තුළ තියනවා. ඒ අදාළ අංශ වලට සහයෝගය දෙන්න. ඉස්කෝලෙ, පන්තියෙ, වැඩ පොළේ ඔබේ සහෝදර සහෝදරියන් දැනුවත් කරන්න. රටට, ලෝකයට ඔබේ වගකීම ඉටු කරන්න. වඩාත් යහපත් නිරෝගී සොඳුරු ලෝකයක් වෙනුවෙන් වැඩ කරමු. එන්න, අදම පටන් ගනිමු.
_චරිත් සේනාධීර
දත්ත - Wikipedia සහ National geogrphic


 2019 දෙසැම්බර් පළමු කලාපය






අග්නි තුරුණු වියමන Facebook Page

No comments:

Post a Comment