AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Sunday, May 10, 2020

මගදි මුණගැහුනා මගහැරුණු ආදරේ - 01

අසංක සායක්කාර ලියන ආදරණීය නවකතාව...


-- "තාම කවුරුත් නෑ... සමහරවිට කවුරුත්ම නැතිවෙයි” 
මගීපර්යන්තයේ අන්තිම කෙළවරට වෙනකම් බාසුරුගේ අතේ එල්ලිලා ආව යහන්සා එකපාර නතර වුණා. මෙතනින් එහාට හැමෝටම ඇතුළුවෙන්න බෑ කියන එක ඈ ඉවෙන් වගේ තේරුම් ගත්තා. ලැගේජ් පටවපු ට්‍රොලිය තල්ලූ කරගෙන ආපු සමිතා බාසුරුගේ කකුලේ ට්‍රොලිය වදිනකම් ඉස්සරහට ගියා.
‘‘අනේ සොරි බාසුරු.. මම දැක්කෙ නෑ.’’
ට්‍රොලිය කකුලෙ වැදුණු වේදනාවට බාසුරුගෙ හිතට ඇතුළු චාන්ස් එකක් ලැබුණේ නෑ. හිත ඇතුළෙ වේදනා ට‍්‍රැෆික් එක නිසා ශාරීරික වේදනාවට ආපහු පල්ලම් බහින්න වුණා.
‘‘සුදුඅම්මි ඔය දෙන්නට මෙතන නවතින්න වෙනවා.’’
‘‘ඔක්කොම හරිද බලන්න
බාසුරු.’’
‘‘දැන් කීපාරක් බැලූවද...? වරදින්න දෙයක් නෑ.’’
‘‘පණිඩිතකම නැතුව බලන්නකෝ.. ඔතනින් ඇතුළට ගියාට පස්සෙ ආපහු එන්න බෑනේ’’
සමිතාගේ අණකිරීමට අවනතව බාසුරු සිය බැක් පැක් එක විවර කර නැවත පරීක්ෂා කරන්න පටන් ගත්තා.
‘‘තාත්ති ඇයි මේ පින්සල් ටික අරගෙන යන්නෙ’’
බැක් පැක් එකේ පිළිවෙළට අතුරලා තිබුණු බාසුරුගේ ආසම පින්සල් ටික යහන්සාගේ නෙත ගැටුණේ දැන්.
‘‘එහේ ගියාම අඳින්න’’
‘‘ඔයා යූ.කේ. ගියාමත් අඳිනවද...?’’
‘‘ඔන්න ආයි ප‍්‍රශ්න අහන්න පටන් ගත්තා. දැන් ඕක නවත්තගන්න. තාත්තිට පරක්කු වෙනවා’’
බාසුරු බෑගය පරීක්ෂා කරන අතරවාරයේ සමිතා, යහන්සාව නිහඬ කරගත්තා.
දැන් හැමදේම හරි. බාසුරු සමු ගැනීමේ සංඥාව නිකුත් කරන්න සූදානම්. සමිතගේ ඇස් දිහා අද දවසෙ පළවෙනි වතාවට බාසුරු එකඑල්ලේ බැලූවේ දැන්. සුනාමිය එන්න කලින් මුහුද ආපස්සට ගැලූවා වගේ සමිතාගේ ඇස් දෙක මේ වෙලාවෙ හිඳිලා.
‘‘එහෙනම් මම යනවා. පරිස්සමෙන් ඉන්න සුදු අම්මි’’
කඳුළු සුනාමියේ පළමු රළපාර සමිතගේ ඇස් දිහාවට එනගමන්.
‘‘ඇයි මේ අඬන්න හදන්න...?’’
සමිතා නිහඬයි.
‘‘සතියනේ...’’
සමිතා තාමත් නිහඬයි. තව දුරටත් ඇස් දිහා බලාගෙන ඉන්න බැරිතරමට බාසුරුගෙ ඇස් දෙකත් තෙත හොයනවා.
‘‘මට කඳුළු එන්න කලින් මා දමා යන්න
නෑ හයියක් මට නුඹ දැක දැක පලායන්න’’
කොහේදෝ ඉඳලා දීපිකාගේ සින්දුවක් බාසුරුට ඇහෙන්න ගත්තා. සමිතගෙ මුණ ළඟට කිට්ටු වුණු බාසුරු ඇගේ නළල ළඟට දොතොල අරන් යනකොට සමිතා ඇස් පියා ගත්තෙ පුරුද්දට. පළමු හාදුව නළලට. දෙවැනි හාදුව කම්මුලට.
සාමාන්‍යයෙන් බාසුරුගේ හාදු අනුපිළිවෙළේ හැටියට ඊළඟ හාදුව දෙතොලට. ඒත් මහජන අවකාශයක ඒකට ඉඩ නෑ. සමිතා තාම ඇස් පියාගෙන.
‘‘කෝ තාත්තිට උම්මා දෙන්නෙ නැද්ද’’
බසුරු එහෙම කිව්වෙ පුංචි යහන්සට බෙල්ල බදාගෙන උම්මා දෙන්න ලේසි වෙන තරමටම බෙල්ල පහත්කරන ගමන්. එක පිට එක යහන්සගෙන් උම්මා වරුසාවක්.
‘‘තාත්ති යනවා දු.. බායි...’’
ලැගේජ් සහිත ට්‍රොලිය අතට අරන් බාසුරු චෙක් ඉන් වීම සඳහා ගුවන්තොටුපළ කවුන්ටරය දෙසට යන්න පටන් ගන්නකොටම යහන්සට මේ කතාවෙ බරපතලකම දැනුණා.
‘‘තාත්ති මාවත් එක්කන්යන්නකෝ තාත්ති’’
ඈතින් ඈතට යන බාසුරු පිටිපස්ස හැරි හැරි යහන්සට අතවනනවා. යහන්සා පුළුවන් උපරිම හයියෙන් තාත්තට ඇහෙන්න කෑගහනවා. බාසුරුගේ ඇස්වලට සමිතගෙ ඇස් මඟ ඇරෙන සීමාවෙදි, ඇස් ඇතුළෙ තෙරපෙන කඳුළු සුනාමියට එළියට පනින්න සමිතා ඉඩ දුන්නා.
********
ගුවන් තොටුපොලේ සියලූ නිල කාර්යයන් ඉවරකරගෙන බාසුරු නිවිහැනහිල්ලෙ දිගපුටුවක වාඩි වුණා. තවත් පහුකරන්න තියෙන්නෙ එක දොරයි. ඒ දොරෙන් කෙළින්ම යන්නෙ ගුවන් යානය ඇතුළට. ගුවන් ගමන්වලට ආගන්තුකයෙක් නොවුණත් හැම ගමනකදිම ගුවන්යානයට නැගලා වාඩි වෙනකම් බාසුරු ඉන්නෙ සියුම් ටෙන්ෂන් එකක. කල් ඇතුව ගුවන් තොටුපලට එන්න පුරුදු වෙලා තියෙන්නෙත් මේ ටෙන්ෂන් එක නිසාම යි. ගුවන්යානයට ඇතුළුවෙන මගී පෝලිමේ බාසුරු ඉන්නෙ ඉදිරියෙන්. තව පැය භාගෙකට වඩා කාලය ඉතුරුයි. පාස්පෝර්ට් එක අතට අරන් එහෙට මෙහෙට පෙරළා පෙරළා බැලූවේ කරන්න වැඩක් නැති නිසා. පරණ ගුවන්ගමන්වල විස්තර නැවත නැවත කියවන එකෙන් බාසුරු සියුම් ආස්වාදයක් ලැබුවා. මීට කලින් හතර වතාවක් බාසුරු ගුවන්ගමන්වල යෙදීලා තියෙනවා. සිංගප්පූරුවට එකපාරක්. ඒක තමයි පළවෙනි ගුවන් ගමන. රට යන්න තිබ්බ ආසාවටම යාලූවෝ පස්දෙනෙක් එක්ක සල්ලි එකතු කරන් ඒ ගමන ගියේ පළවෙනි රස්සාව කරන කාලේ.
දෙවැනි ගුවන් ගමන චීනෙට. ඒ ගමන විශේෂයි. බාසුරුගේ චිත‍්‍රයක් බේජීන් චිත‍්‍ර තරගයක සම්මානයක් දිනාගත්ත වෙලාවේ ඒ සම්මානෙ අරන් එන්න තමයි චීනෙ ගියේ. එතකොට බාසුරු තනිකඩයි. තුන්වැනි ගමනයි හතරවෙනි ගමනයි දෙකම ඉන්දියාවට. තුන්වැනි ගමන දිල්ලි ඩ‍්‍රාමා ෆෙස්ටිවල් එකේ ලංකාව නියෝජනය කරපු නාට්‍ය කණ්ඩායමක් එක්ක. බාසුරු නාට්‍යවලට කිසිම සම්බන්ධයක් නෑ. හැබැයි ඔය කියන නාට්‍යයේ පසුතලය වෙනුවෙන් චිත‍්‍ර කීපයක් ඇන්දා. මේ නිසා නාට්‍ය අධ්‍යක්ෂවරයා පසුතල නිර්මාණ ශිල්පියාගෙ නමට දැම්මෙ බාසුරුගෙ නම. ඒ ලැබුණු අවස්ථාවෙන් තමයි තුන්වැනි පාර ඉන්දියාවෙ ගියේ. හතරවෙනි ගුවන් ගමනත් නැවත ඉන්දියාවටම. ඒ තුන්වෙනි ගමනෙදි හදාගත්ත සම්බන්ධකමක් නිසා. දිල්ලි ෆෙස්ටිවල් එකේදී බාසුරුට
මුණගැහුණු කේරළ චිත‍්‍ර ශිල්පියෙක් එක්ක හදාගත්ත සම්බන්ධය නිසා හතරවෙනි පාර බාසුරු ගියේ කේරළයට. කේරළ ගමන යනකොට සමිතයි බාසුරුයි වෙඩින් එකට ලෑස්තිවෙනවා. පළවෙනි වතාවට කසාද බැන්දට පස්සෙ ගුවන් ගමනක යෙදෙන්නේ අද.
වෙලාව හරි. ගුවන්යානයට මගීන් ඇතුළු කරනවා. කලබලයක් නැතුව බාසුරු ඇතුළු වුණා. ගුවන්සේවිකාවන්ගේ සුහදශීලි පිලිගැනීම භාරගෙන තමන්ගේ ආසනය හොයාගෙන ගියා. බලාපොරොත්තුවෙන් හිටියෙ කවුලූව ළඟ ආසනයක් වුණත් ටිකට් එකේ බුක් කරපු සීට් නම්බර් එකේ හැටියට ලැබුණේ කවුලූවට අසල ආසනයට එහා පැත්තෙ ආසනය. බැක් පැක් එක අදාළ ස්ථානයේ රැදෙව්වට පස්සෙ බාසුරු අවසන් වතාවට ලංකාවෙන් පිටවෙන්න කලින් සමිතාට කතා කරා.
‘‘නෑ නෑ කොණේ සීට් එක නෙමෙයි. ඊට මෙහා පැත්තෙ.’’
‘‘කවුද එහා පැත්තෙ ඉන්නෙ..’’
‘‘තාම කවුරුත් නෑ. සමහරවිට කවුරුත්ම නැතිවෙයි. එහෙම වුණොත් හොඳයි මට එහා පැත්තෙට මාරුවෙලා ජනේලෙ ළඟට යන්න පුළුවන්’’
ඇමතුම වැඩි දුර නොයා අවසන් කරගත්තෙ ඕනවට වඩා සමිතා හැගීම්බර වෙන්න පටන්ගත්ත නිසා. ඒක බාසුරුට දරන්න අමාරුයි. ගුවන්යානයේ කාර්යමණ්ඩලය දැනුම් දෙන්නත් කලින්ම බාසුරු ෆෝන් එක ඔෆ් කරලා සාක්කුවට දාගත්තා. මගීන් හැමෝම වගේ තම තමන්ගේ ආසනවල. බාසුරුගේ ප‍්‍රාර්ථනාව තමන්ගේ එහා පැත්තෙ ආසනයට කිසිම කෙනෙක් එන්න එපා කියන එක. සීට් එක ඉදිරියෙන් තියෙන ටච් ස්ක‍්‍රීන් මොනිටරේ ඔන් කරගෙන මොනවද ඒකේ තියෙන්නෙ කියලා පරීක්ෂා කරන්න පටන් ගත්තේ ගුවනෙදි කරන්න වෙන වැඩක් නැති නිසා ලස්සන චිත‍්‍රපටයක්වත් තියෙනවද කියලා කල් ඇතුව දැනගන්න. ස්ක‍්‍රීන් එක ටච් කරමින් බාසුරු චිත‍්‍රපටි හොයනවා. ඔහුගේ සෝදිසියට බාධා කරමින් කාන්තා හඬක් කන ළඟ.
‘‘එක්ස් කියුස් මී.’’
ඒක හොඳට හුරු හඬක්. සංසාරගත පුරුද්දක් වගේ ළඟින් ම ඇහුණු හඬක්. බාසුරු ඔලූව ඉස්සුවේ පුරුද්දට.
ඒක ඇස් අදහා ගන්න බැරිතරමේ ආශ්චර්යක්.
‘‘මැණිකේ..?’
මතු සම්බන්ධයි



 අසංක සායක්කාර

 2019 දෙසැම්බර් පළමු කලාපය
අග්නි තුරුණු වියමන Facebook Page

No comments:

Post a Comment