ලොකු වුණාම කවුරු වෙන්නද හිතන් ඉන්නේ ? මං පුංචිම කාලේ කවුරු හරි මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවොත් මං දෙන්න හිතං හිටපු උත්තරෙ තමයි පයිලට් කෙනෙක් වෙනවා කියන එක.
හැබැයි මං එහෙම කිව්වේ පයිලට් කියන්නේ මොනවගේ රස්සාවක් ද කියන එක ගැන හාංකවිසියක් නොදැන. සමහරවිට මම ඒ කාලේ ආසවෙලා ඉන්න ඇත්තේ බස් ඩ්‍රයිවර් කෙනෙක්ට වෙන්න ඇති. මොකද අර මහසද්දන්තෙට තියෙන බස් එහෙට මෙහෙට කිසි ගානක් නැතුව කපන ඒ වීරකම මම දැක්කේ බස් ඩ්රයිවර්ලගෙ ළ`ග. (ඉස්සර ඉස්කෝලේ ඇරිලා මං එන්නේ ඩ්‍රයිවර්ගේ සීට් එක පිටි පස්සේ.* ඒත් බස් ඩ්‍රයිවර් කියන්නේ ඒ තරම් සමාජයේ ගරු සරුවක් හිමි නොවන රස්සාවක් බව මගේ පුංචි මොලේට ඒ කාලෙ වැටහිලා තිබ්බා. ඒ හින්දා වෙන්නැති ඩ්‍රයිවින් රස්සාවල තියෙන ඉහළම රස්සාව වන ප්ලේන් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඒ කාලේ මං පෙරුම් පිරුවෙ. හැබැයි පෙරුම් පිරිල්ල කොහොම උනත් ප්ලේන් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න අවශ්ය කිසි සුදුසුකමක් මට සපුරන්න බැරි උණා. ඇත්තම කියනවා නම් ඒ ගැන උනන්දු≥වෙන්නත් අමතක වුණා.
මම ඒලෙවල්වලට මැත්ස් කරේ ඉංජිනේරුවෙක් වෙන්න හිතාගෙන. ඒත් ඉංජිනේරු වෘත්තිය ගැන කිසිම ආසාවක්වත් පැහැදීමක්වත් මට ඒ කාලෙ තිබ්බේ නැහැ. කොහොමත් යන්ත්‍ර සූත්‍ර ඇණ මුරිච්චිත් එක්ක මගේ ඒ කාලේ ඉ`දන් ලොකු ඇයි හො`දයියක් තිබ්බෙ නැහැ. යාලූ වෙන්න කැමැත්තෙන් හිටපු ගැහැනු ළමයා බයෝ තෝරා ගැනීම තමයි මම මැත්ස් තෝරා ගන්න ප්‍රබලම හේතුව. එය දොස්තරවරියක් වුණොත් මම ඉංජිනේරුවෙක් වත් වෙන්න ඕනේ. ඒකයි ගැලපෙනම විෂය මම හිතුවෙ එහෙම. ලෙඞ්ඩුත් එක්ක කාලය ගෙවීමට මට තිබුණ අකමැත්ත නිසා දොස්තර කෙනෙක් වෙන්න නම් කවදාවත්ම මට හිතයන්නේ නැහැ.
ඔහොම ඉන්න අතරෙ දවසක් විනෝදෙට උපුල් ශාන්ත සන්නස්ගල සර්ගේ සිංහල පන්තියට ගියා ඒ විනෝදාත්මක අත්හදා බැලීම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණා. නීරස ඉංජිනේරු සිහිනයට මම ටාටා බායි කියලා මැත්ස්වලින් ආර්ට්ස්වලට මාරු උනා. ඔය අතර කාලයේ මම අර යාලූවෙන්න හීන දැකපු ගෑනු ළමයා යාලූ වෙන්න බැරි මට්ටමට මගෙන් ඈතට ගිහින්් තිබුණා. සමහර විට ඒ තීරණයට යන්න තිබුණු බලවත්ම හේතුව ඒක වෙන්න ඇති. මම එක්කෝ ලෝයර් කෙනෙක් වෙනවා. එහෙම නැත්නං මම විශ්වවිද්යාල ආචාර්ය වරයෙක් හෝ මහාචාර්යවරයෙක් වෙනවා. මම ආර්ට් කරේ කවදක හරි එහෙම වෙන්න හිතා ගෙන. ඒත් මට කැම්පස් යන්න බැරි වෙනවා. විශ්වවිද්යාල ආචාර්ය සිහිනය එතැනින් හමාර වුණත් ලෝයර් කෙනෙක් වෙන්න ලෝ එන්ට්‍රස් මම කිහිප වතාවක් ලියන්න තීරණේ කරා ඒ හැම වතාවෙම ලෝ කොලෙජ් එකට ඇතුළත් වෙන්න තියෙන අවස්ථාව ලකුණෙන් දෙකෙන් මට මිස් වුණා. අවසානේ යන්තන් විවෘත විශ්වවිද්යාලේ නීති උපාධියට සුදුසුකම් ලැබුවත් ඒක හරියට කරගන්නත් මට බැරි වුණා. ඒ කාලෙ මගේ මානසික වියවුල සමහර විට මේ දිගින් දිගටම සිදුවෙච්ච අසාර්ථකවීම්වලට බලපාන්න ඇති.
දොස්තර ඉංජිනේරු නීතිඥ ආචාර්ය මහාචාර්යකම් කොහොමවෙතත් මොනවත් නොකර රස්තියාදු ගගහා ඉඳන් නිකං ගෙදරින් නිකමෙක්ගෙ තත්වෙට ඒ කාලේ මම වැටිලා හිටියේ. ඔය අතරෙ එන්.ජී. ඕ එකක තාවකාලික රස්සාවක් මට ලැබුනා. මම හිතුවා ඒ රස්සාවෙන් වත් ස්ථාවර වෙන්න. නමුත් ඒකත් මට බැරි උනා. සමහර විට ඒ හින්දා එන්.ජී. ඕ. ඩොලර් කාක්කෙක් වෙන්න තිබුණ අනභිභවනීය අවස්ථාව මට එවෙලෙ මිස් වුණා. ලොකු ලොකු හීන නොදැක අතට අහු වෙන ඕනම රස්සාවක් කරන්න මේ වෙනකොට මං ඔලූව හදන් හිටියේ.
වරක් එක්තරා ඇමතිවරයෙක්ගේ මාධ්ය ලේකම්වරයෙක් එම ඇමතිවරයාගේ මාධ්ය ඒකකයේ වැඩ කරන්න මට ආරාධනා කරා. මම දඩිබිඩියේ ඉල්ලූම් පත්‍රයකුත් හදාගෙන දඩිබිඩියේ කිව්වාට ඒකටත් සති දෙකක් විතර ගියා. සති දෙකකින් එම අමාත්යංශයට මම බලාපොරොත්තු දල්වා ගෙන යන විට අදාළ ලේකම්වරයාට නිවන් සැප පතා මරණ බැනර් අමාත්යංශයේ තාප්ප පුරා ගසා තිබුණා. පසුගිය සති දෙකේ මගේ දඩිබිඩි ප්‍රමාදය තුළ එතුමා එලොව ගිහින්. මේ මැරුණු මනුස්සයා මට රස්සාවක් දෙනවා කියලා පොරොන් වුනා කියලා ජීවත්ව උන්නු අයට ඒත්තු ගන්නන්න බැරි නිසා ඒ රස්සාව ගැනත් තිබුණ බලාපොරොත්තු අමාත්යංශයේ ගේට්ටුවටත් මෙහාදි අතහැර ගෙන මං ආපහු හැරුණා. සමහර විට ඒ මහත්මයාගෙ හදිසි අවාසනාවන්ත මරණය සිදු≥නොවන්නට මම මේ වන විට දේශපාලන කුණු හෝදන අප්‍රසන්න මාධ්යවේදියෙක් වෙලා ඉන්නත් තිබ්බා.
කරන්න කිසිම දෙයන් නැති තැන, කිසිම දෙයක් නොකර ගෙදරට වෙලා ඉන්නත් බැරි තැන, අන්තිමෙදී මම යාලූවෙක්ගේ පොල් කඬේක පොල් විකුණන්න ගියා. ඇත්තටම ලොකු වෙලා පොල් කඬේක පොල් විකුණන්න නම් මම කවදාත් හීන දැක්කෙ නැහැ. ඒත් ඕනෑම රැුකියාවක් කරන්න පුලූවන් මානසිකත්වය මට හදාගන්න ඒ වෙනකොට ඕන වෙලා තිබ්බා. ඒ අදහසින් තමයි මම ඒ රැුකියාව තෝර ගත්තේ. මාත් එක්ක එකම ටියුෂන් පන්තියේ ඉගෙන ගත්තු කොල්ලන්ට කෙල්ලන්ට අමුතු ලැජ්ජාශීලී හැගීමකින් තොරව පොල් විකුණන්න ඒ රස්සාව නිසා මට හැකි වුණා. ඇත්තටම ගත්තත් එතැන ලැජ්ජා විය යුතු කිසි දෙයක් නැහැ.
ඔය අතරෙදි එක්තරා වෙළඳ ප‍්‍රචාරණ දැන්වීම් නිර්මාණය කරන ආයතනයක ඒ කියන්නේ ඇඞ්වටයිසින් ෆර්ම් එකකට මම යවලා තිබුණු ඉල්ලූම්පත‍්‍රයකට අනුව මට කැඳවීමක් ලැබුණා. එම ආයතනය මගේ ඉන්ටවිව් එක අවසානේ කිව්වේ ‘‘ඔයාගේ නිර්මාණශීලිත්වය ගැන අපට ප‍්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාගේ වයස වැඩියි (එතකොට මගේ වයස අවුරුදු≥ 30යි* ඊට සාපේක්‍ෂව ඔයාට එක්ස්පීරියන්ස් නැහැ. ඒ හින්දා ඔයා බලාපොරොත්තු වෙන වැටුප අපිට දෙන්න බැරි වේවි’’ කියන එක. සියලූ රතු එළි මැද්දෙ කොළ එළියක් යාන්තමට දැක්ක මම ඉක්මන් වුණා. ‘‘මගේ වයස අමතක කරන්න. මට මේ රැුකියාව
සම්බන්ධ එක්ස්පීරියන්ස් නැති බව ඇත්ත. නමුත් මම කැමතියි ඒ සම්බන්ධ එක්ස්පීරියන්ස් ගන්න. ඒ නිසා මට මාසයක් වැඩ කරන්න අවස්ථාවක් දෙන්න. ඒ මාසය වෙනුවෙන් මට වැටුප් එපා. ඒ මාසය තුළ මං නුසුදුස්සෙක් බව හැගී ගිය හොත් වැටුප් නොගෙවා මාව ඉවත් කරන්න. මං සුදුස්සෙක් යැයි හැගුනොත් සුදුසු වැටුපක් දී මාව රැුකියාවට ගන්න.’’ ඒ තමයි මගේ යෝජනාව. බැලූ බැල්මට අකමැති වෙන්න තරම් හේතුවක් ඒ යෝජනාවේ නැති හින්දා ඔවුන් ඊළඟ දවසෙම මාව වැඩට ගත්තා. එතැන් සිට මේ වන තුරු මම තවමත් ඒ රැුකියාවෙ.
ලොකු වුණාම කවුරු වෙන්නද හිතන් ඉන්නේ?... මේ ප‍්‍රශ්නය ඔස්සේ මං ලොකු වෙච්ච හැටි ගැන මේ දීර්ඝ නීරස විස්තරය මම ලිව්වේ එක්තරා වැදගත් අදහසක් ගොඩනගන්න.
ලොකු වුණාම පයිලට් කෙනෙක් වෙන්න හිතං ඉන්න කාලෙ මේ දැන් කරන රස්සාව වගේ රස්සා තියෙනවද කියලාවත් මං දැනං හිටියේ නැහැ. පයිලට් කෙනෙක් නොවී අද මං මේ ඉන්න කෙනා බවට පත් වීම ගැන මෙතැන ඉඳන් බලද්දි මං සතුටු වෙනවා. මගේ සමහර මිතුරු ලෝයර්ස්ලාට දවසකට එන ≥දුරකථන ඇමතුම් තොගය දැක්කාම ඒවාට උත්තර දෙන්න, එයාලාගේ සේවාදායකයන්ව හසුරවන්න, එයාලා දරන මහන්සිය හා අවසානයේ එම වෘත්තිය එයාලාට පෙරළා අත්කර දෙන වෙහෙස දැක්කාම මගේ ලෝයර් වීමේ උත්සාහය දිගින් දිගටම අසාර්ථක වීම ගැන මම දැන් සතුටු වෙනවා. ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාලයට මාව නොතේරීම ගැනත් මම සතුටු වෙනවා. මොකද එහෙම වුණා නම් බොහෝ අය වගේ මමත් ආයතනගත සිතන්නෙක් වෙන්න තිබ්බා. සමහර විට දෛවය අපට යා යුතු මග පෙන්වන්නේ ඉතාම අමිහිරි විදියට. අපිට ඒ අමිහිර මිහිරි විදියට භාර ගන්න පුලූවන් වුණොත් දෛවයේ සරදම වෙනුවට දෛවයේ ආශිර්වාදය අපට හිමි වෙනවා. ‘‘ලොකු වුණාම කවුරු වෙන්නද හිතන් ඉන්නෙ’’ කියන ප‍්‍රශ්නයට මම හැමදාම උත්තර හෙව්වේ ඒ මොහොත් මගේ අවබෝධයට හා මගේ අවශ්‍යතාවන්ට සාපේක්‍ෂව. ඉතින් ඒ අවබෝධයන් හා අවශ්‍යතාවන් කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒක තමයි ජීවිතේ විදිහ ඒ වෙනස බාර ගන්න අපිට පුලූවන් වෙන්න ඕනේ. අනික තමයි ලොකු වුනාම කවුරුන් හෝ බවට පත්වීමට වඩා වැදගත් දේ තමයි මේ මොහොතේ තමන් බවට පත්වීම. තමන් දැනට ගත කරන මොහොත ඉතාම සිහිබුද්ධියෙන් ගෙවීම. තමන් කරන කාර්යය ඉතාම තෘප්තියෙන් හා කැපවීමේන් ඉටු කිරීම. අනාගත සිහිනමය මොහොතක් ගැන සිතීමෙන් නොව මේ දැන් ගෙවෙන මොහොත තුළින්ම සතුට උපයා ගැනීම.
සමහරුන් මගෙන් සමහර අවස්ථාවල අහන ප‍්‍රශ්නයක් තියෙනවා... ඔබ කවුද? ඔබ නාට්‍යකරුවෙක් ද?...ඔබ ලේඛකයෙක් ද?...ඔබ මත ප‍්‍රකාශකයෙක් ද?... ඇත්තටම ඔබ කවුද?...මට ඒ ප‍්‍රශ්නයට තියෙන්නේ හරි සරල උත්තරයක්...මම ද?...මම චාමර ගුරුගේ. බොහෝවිට ඔබව අපහසුතාවට පත් කරන ඒ වගේ ප‍්‍රශ්නවලට ඔබටත් පුලූවනි අන්න ඒ වගේ ඉතාම සරල ඒ වගේම ඉතාම නිරවුල් උත්තරයක් දෙන්න.
චාමර ගුරුගේ
අග්නි තුරුණු වියමන Facebook Page
No comments:
Post a Comment