AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

වසත් මං පෙත් දිගේ (පුද්ගලික නොවන පුද්ගලික සටහන්)

දෙවන සටහන
යෞවනෝදය සහ ‘රැඩිකල්’ වීම   


ඈත ගම් දනව්වල සිට කොළඹ නගරය නරඹන්නට පැමිණි කුඩා පාසල් දරුවන් රැගත් 
බස් රථ කීපයක් උද්‍යානය ආසන්නයේ මාර්ගය අයිනේ නවත්වා තිබේ. ඒ බස් රථවලින් බැසගත් දරු දැරියෝ තමනට රිසි සේ උයනෙහි කෙළිදෙලෙන් සිටිති. ඔවුන් කැටුව ආ ගුරුවර ගුරුවරියෝ ද තැන් තැන්වල වාඩි වී ගිමන් හරිති. අයිස්ක‍්‍රීම් සහිත රෙජිෆෝම් පෙට්ටි සවි කළ බයිසිකල් කීපයක් මේ පිරිස් ආසන්නයේම නලා හඬවමින් ගැවසේ. මේ දසුනින් මට මගේ කුඩා කාලය සිහිපත් වනු නවතාගත නොහැකිය.
මා ගමේ ප‍්‍රාථමික පාසලට ගිය කාලයේත් මෙවැනිම අයිස්ක‍්‍රීම් බයිසිකලයක් පාසල් විවේක කාලයේත් එය නිමාවන වෙලාවේත් පාසල් ගේට්ටුව අසල නලාව හැඬවූවේය. ඒ අයිස්ක‍්‍රීම් මාමා ය. එකල අද මෙන් කුඩා අපට කඩචෝරු සඳහා විකල්ප රැසක් නොතිබිණ. අයිස්ක‍්‍රීම් මාමාට අමතර ව අඹ, වෙරළු අච්චාරු විකුණා ජීවිකාව සපයාගත් ආච්චි අම්මා කෙනෙක් අපගේ දිව පිනවූවා ය. අද වන විට විවිධ ආහාර නිශ්පාදන ආයතන කුඩා දරුවන් ඉලක්ක කොට නොඑක් ආකාරයේ රසවත් ආහාර වෙළෙඳපොළට ගෙනැවිත් තිබෙනු පෙනේ. රටේ නිසි ආහාර ප‍්‍රතිපත්තියක් නැතිකමින් මේ ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව කිසිදු සහතිකයක් අපට ලැබී නැත. කුඩා දරුවන් අතර පවා දියවැඩියාව වැනි බෝ නොවන රෝග බහුලවීමට ප‍්‍රධාන හේතුව සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර බව හඳුනා ගෙන ඇතත් මේ තත්වයට නිසි පිළියම් සෙවීමට කිසිදු රජයකට අවශ්‍ය වී නැත.
අප කුඩා කාලයේ එවකට පැවති ආණ්ඩුව විසින් පාසල් දරුවන්ට නොමිලේ කිරි ලබා දීමේ ව්‍යාපෘතියක් දියත් කෙරිණ. නගරයේ පාසල්වලට සහ නගරයත් ගමත් අතරමැද වූ පාසල්වලට ඒ ව්‍යාපෘතියෙන් කිරි ලැබුණු බවට සැකයක් නැත. එහෙත් ගම්බද දුප්පත් පාසල්වල ළමයින්ට ඒ කිරි කෝප්පය නොලැබුණු බව අප දැනගත්තේ ‘කොළඹට කිරි අපට කැකිරි’ යනුවෙන් ප‍්‍රසිද්ධ වූ සටන් පාඨය නිසයි. පාරවල් ගානේ් තාප්පවල මේ සටන් පාඨය පොල්ගෙඩි අකුරුවලින් ලියා තිබුණු හැටි මට මතක ය. එහෙත් එහි ඉන් එහා ගිය යම් දේශපාලනික අරුතක් තිබුණේදැ’යි කුඩා අපිට තේරුණේ නැත. අදටත් ආණ්ඩුව ගමට සහ නගරයට දෙවිදියකට සලකන බව කීම සඳහා නොයෙක් දේශපාලන කණ්ඩායම් මේ සටන් පාඨය ඉඳහිට හෝ පාවිච්චි කරති. එහෙත් අද මිනිසුන් මෙබඳු සටන්පාඨ එතරම් බැ?රුම් ලෙස නොසලකන බව පෙනේ. බොහෝ මිනිසුන් ඒවා වටහා ගන්නේ අප කුඩා කල වටහා ගත් ආකාරයට සමාන ආකාරයකට විය යුතුය. සමාජ අසාධාරණය, පන්ති පරතරය, සම්පත් බෙදී යාමේ විෂමතාව ආදිය සැබැවින්ම පවතින ඒවා යැයි ඔවුහු විශ්වාස නොකරති. එනිසා මෙබඳු සටන් පාඨ දැන් යල් පැන ගිය අයුරක් බැලූ බැල්මට පෙනේ.
‘යෞවනෝදය’ එක එකා කෙරෙහි බලපාන්නේ එකම අකාරයෙන් නොවේ. ජීව විද්‍යාත්මක වශයෙන් බලන කල මේ කාලය ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වන්නට පටන්ගන්නා කාලයයි. ගැහැණු පිරිමි දෙවර්ගයේම ශරීර තුළ සිදුවන රසායනික විපර්යාස හේතුවෙන් ඔවුන්ගේ හැසිරීම් රටාවල වෙනස්කම් සිදුවන කාලයයි. නව යොවුන් විය එළැඹීමත් සමඟ දරුදැරියෝ වෙනදා නොසෙවූ නිදහස් ලොවක් සොයන්නට උත්සුක වෙති. මගේ යෞවනෝදය මට මතක ආකාරයට සිදු වූයේ මා දහයේ පන්තියේ පමණ සිටියදීය. ඒ කාලය අදටත් මා සිහිපත් කරන්නේ අමුතු කාලයක් වශයෙනි. එකල අවට සිදුවන සියල්ලකම වාගේ දැනුණේ ඕලාරික බවකි. එහෙත් මා ඇතුළත වූයේ දැඩි නොසන්සුන්කමකි. එහි සිටියේ, යා යුත්තේ කොහිදැයි නොදත් මුත් ලෙන් දොර බිඳ දමා පලායන්නට දඟලන සිංහබාහු කෙනෙකි. මුලදී මට පැන යා හැකි වූයේ පංතිකාමරයෙන් පමණි. පාසලේ සමිති සමාගම් තුළ ක‍්‍රියාකාරී වීම පාසලෙන් පිටත ලෝකයට එබී බැලිය හැකි හොඳ කවුළු දොරක් විය. සමාජ අසාධාරණය, පන්ති අරගලය ආදී සමාජ-දේශපාලන සංසිද්ධි සිත තුළට කාන්දු වන්නට පටන් ගත්තේද මේ අවදියේදි ය. දේශපාලනික කාරණා පිළිබඳව ඉතා අඩු දැනුමකින් වුවද සිත රැඩිකල් හැඟීම්වලින් පිරෙමින් තිබුණු බව මතක තිබේ. පවතින අධ්‍යාපන ක‍්‍රමය විවේචනයට ලක් කරමින් මවිසින් ජාතික පුවත්පතකට සපයන ලද ලිපියක් නිසා ඇතැම් ගුරුවරුන් මා සමඟ අමනාපයෙන් පසු වූ සැටි මතක් වේ. ‘වනපොත්’ කිරීමත් කාලය සමඟ පොරබදන විභාගත් මූලික අංග වූ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් විය යුතු බව මා එහි ලියා තිබිණ. ඒ මා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අවුරුද්ද වූ බැවින් ගුරුවරුන්ගේ අමනාපය එක් අතකින් සාධාරණය. මේ රැඩිකල් වීම පාසලෙන් දහම් පාසලට ද බෝ විය. කවි, ගාථා කටපාඩම් කිරීම මට එපා වී තිබිණ. ගැඹුරු දහම් කරුණු නොදත් ඇතැම් ගුරුවරු කවි, ගාථා වැරදුණු විට වේවැලෙන් පහර දුන්හ. සමහර සාමණේර හිමිවරු කොල්ලන් සමඟ සිගරැට් බිව්වෝය. සමහර තරුණ හිමිවරු දහම්පාසල් ආ කෙල්ලන් සමඟ හාදකම් පැවැත්වූහ. සමහර විට ඒ භික්ෂූන් ද රැඩිකල් වී සිටින්නට ඇත. එහෙත් ඒ ක‍්‍රියා, ධර්මයට අනුකූල නැතැයි මම සිතුවෙමි. එසේ සිතන්නට ඉගැන්වූයේද දහම් පාසලම වුවත් එතැනම ඒවා කඩ විය. ඉතින්, ධර්මයේ නොහැසිරෙන භික්ෂූනුත් ගිහි ගුරුවරුනුත් අනෙක් අයට ධර්මය උගන්වන්නේ කෙසේදැ’යි සිතමින් දහම් පාසල් යාම අත්හැර දැමුවෙමි. එය ‘මඩොල් දූවේ’ උපාලි සහ ජින්නා මෙන් මුරකාවල්ල වැටකොටු නැති ලොවක් සොයා යා හැකි නම් කියා තනිව කල්පනා කරමින් ගෙවා දැමූ කාලයක් විය. පාසලෙන් අස්ව ගිය දවස සිහි කරනු වස් මම මෙබඳු කවියක් ලියා තැබීමි.

අස්වීමේ සහතිකය
නගරයේ කොලීජිය
අවසානයේ මට දුන්
අස්වීමේ සහතිකය
ළය තබා වැළඳගමි

මෙතෙක් කල් ජීවිතේ
ලද ලොකුම ත්‍යාගය මේ යැයි
මට සිතේ
දැන් ඉතින් නිදහසේ
යා හැකියි
අර පේන
මග දිගේ
(කුසුමක් හා සුසුමක්, 2005)

නව යොවුන් වියේ මේ රැඩිකල් වීමට නිශ්චිත දිශානතියක් හෝ දර්ශනයක් හෝ නොතිබුණු බවද කිව යුතු ය. ඊට හොඳ උදාහරණයක් මට මතක් වේ. කොළඹ පිහිටි ප‍්‍රමුඛතම සිංහල-බෞද්ධ පාසලක් ලෙස සැලකෙන අප පාසලට එය අවට වූ සුළු ජාතික පාසල්වල සිසුන්ගෙන් යම් ප‍්‍රතිශතයක් අනිවාර්යයෙන් ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇතැ’යි රාවයක් පැතිර ගියේය. ආදී ශිෂ්‍යයන් විසින් අප පාසලේ සියලූම සිසුන් යොදවාගෙන පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කෙරුණේ මෙකී තීරණයට විරෝධය පෑමට කියා ය. පන්ති කාමර තුළ සිරවී එකාකාර දින චරියාවක දවස ගෙවූ සිසුන්ට මෙය වෙනස් අත්දැකීමක් වගේම විනෝදය සපයන්නක් ද විය. එහෙත් ඉහළ පන්තිවල සිසුන් වූ අපි සිංහල-බෞද්ධ පාසල්වලට සුළු ජාතික ළමුන් ඇතුළු කිරීම අසාධාරණ තීරණයකැ’යි සිතුවෙමු. එනිසා අපි සමහරෙක් සටන් පාඨ ලියා ප‍්‍රදර්ශනය කරමින් උනන්දුවෙන් උද්ඝෝෂණයට සහයෝගය දුන්නෙමු. එහෙත් ඒ උද්ඝෝෂණය තනිකර පුස්සක් බව එකල අපට නොතේරුණි. හුදු ජාතිවාදයට එහා ගිය කිසිවක් එහි නොවූ බව එකල අපට නොතේරුණි. මෙරට දේශපාලනය තුළ සිංහල-බෞද්ධකම තරම් අවභාවිතා කළ වෙනත් දෙයක් නැති බව මට තේරුම් ගියේ මේ සිදුවීමට බොහෝ කලකට පසුය. ආදි සිසුන් විසින් කියන ලද ආකාරයේ තීරණයක් රජය විසින් ගෙන තිබුණු බවක් අපට කිසිදිනක දැනගන්නට නොලැබුණි. එහෙත් සැබැවින්ම එවැනි තීරණයක් ගෙන සියලූ ජාතීන්ට අයත් දරුවන්ට එකට අධ්‍යාපනය ලබන්නට සැලැස්වී නම් කෙතරම් හොඳදැ’යි අද මම සිතමි. කිසිදු පාසලක් ජාති, ආගම් නාමයෙන්් හංවඩු නොගසා තබන්නේ නම් ශ‍්‍රී ලංකාව වැනි බහුවාර්ගික රටක අනාගත පරපුරට මීට වඩා සහජීවනයෙන් විසිය හැකි වනු නොවේදැ’යි අද මම සිතමි.
හොඳම රැඩිකල් වීම කුමක්දැයි මම අද නොයෙක් විට කල්පනා කරමි. බෞද්ධයන්ගේ ශාස්තෘන් වන බුදුන් වහන්සේද එක්තරා ආකාරයක රැඩිකල් චරිතයකි. උන් වහන්සේ එකල සමකාලීන ඉන්දීය සමාජයේ මුල්බැසගෙන තිබුණු කුලවාදය වැනි බමුණු සංකල්ප අලූයම ලූ කෙළ පිඬක් සේ බැහැර කළහ. රාජ්‍යයත් රාජකීය උරුමයත් ප‍්‍රතික්ෂේ්ප කොට සත්‍යය සොයා එතුමන් ගිය ගමන රැඩිකල් එකකි. සමාජය තුළ කුලයෙන් පහත් යැයි සලකා අවමන් කළ සුනීත, සෝපාක වැන්නවුන් පවා නිවන් දුටු බුද්ධ ශාසනය රැඩිකල් තැනකි. යටත්විජිතවාදයට එරෙහිව සටන් කළ ඉන්දියාවේ මංගල් පාණ්ඬේ, භගත් සිං, මහත්මා ගාන්ධි මෙන්ම ලංකාවේ පුරන් අප්පු,
ගොන්ගාලේගොඩ බණ්ඩා, කැප්පෙටිපොළ ආදීහු ද රැඩිකල් චරිත වෙති. 1917 දී මාක්ස්වාදය ගුරු කොට ගෙන ලෙනින්-ට්‍රොට්ස්කි නායකත්වය බිහි කළ සෝවියට් සමූහාණ්ඩුව යනු ලොව පුරා විප්ලවවාදී කණ්ඩායම්වල මහත් ම ආදර්ශය වෙයි. චේ ගුවේරා, පිදෙල් කැස්ත්‍රෝ ආදීන් සදාකාලික රැඩිකල් චරිත ලෙස ලොව පුරා බුහුමනට ලක් වේග ලොව රැඩිකල් චරිත සියල්ල සමාජවාදීහු නොවෙති. එහෙත් ඔවුහු සියල්ලෝම පාහේ පවතින ක‍්‍රමය නොයෙක් ආකාරයෙන් ප‍්‍රශ්න කළෝ යත නැතහොත් වෙනස් ලෙස සිතුවෝ ය. අමුතු ම ආකාරයේ මිනිසකු ලෙස බ’ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘හුණුවටයේ කතාවේ’ අපට හමුවනිඅසඩක්’ යනු රැඩිකල් චරිතයකි. නිතර බීමතින් පසුවන විනිසුරුවකු ලෙස නිර්මිත ඔහු සමාජ සාධාරණයේ නාමයෙන් රැුඩිකල් විසඳුම් දෙන්නෙකි. රැඩිකල් චරිත හැමවිටම හමුවන්නේ සක‍්‍රීය වීරයින් ලෙස ම නොවේග මාර්ටින් වික‍්‍රමසිංහගේ
‘විරාගයේ’ නිශ්ක‍්‍රීය චරිතයක් ලෙස ඇතැම් විචාරකයකු හඳුනා ගන්නා ‘අරවින්ද’ යනු ද එක්තරා රැඩිකල් චරිතයකි. ඇල්බෙයා කැමූ ගේ ‘පිටස්තරයා’ නව කතාවේ එන ‘මර්සෝ’ ද විශ්ව සාහිත්‍යයේ අපට හමුවන එවැනිම චරිතයකි.
අද මිනිසාගේ මොළය බොහෝ සෙයින් දියුණු වී ඇත. එහෙත් එය කොතරම් දියුණු වුවත් සොබාදහමට වඩා ඉදිරියෙන් සිටින්නේ නැත. විද්‍යාව සහ තාක්ෂණය කොතරම් දියුණු වී ඇතත් මිනිස් වර්ගයාට යහපත පමණක් ගෙන දීමට ඒවා සමත් ව නැත. මනුෂ්‍යයා තම මොළය තමන්ගේම විනාශය කරා මෙහෙයවන්නේදැ’යි සිතෙන තරමට මිනිස් ක‍්‍රියාකාරකම් අත්තනෝමතික වී ඇත. ගෝලීය උණුසුම ඉහළයාම, වායු දුෂණයල ස්වාභාවික ජල හා ආහාර ප‍්‍රභව විනාශ වීම හා ස්වාභාවික සම්පත් හායනය ආදිය සලකා බලන කළ විද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමත් අභ්‍යවකාශ තරණයත් අත්හැර තම පැවැත්ම (survival) වෙනුවෙන් ආපසු හැරී ස්වභාව ධර්මයේ නියාමයන්ට අනුගත වීමේ
රැඩිකල් තීරණය ගැනීමට මනුෂ්‍ය වර්ගයාට සිදුවන දිනය වැඩි ඈතක නොවේ. අද දවසේ මා මෙහෙයවන වඩාත්ම රැඩිකල් සිතිවිල්ල ද එයයි.



 ප‍්‍රදීප් සාරංග කුමාර  









 2020 ජනවාරි මුල් කළාපය 

අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment