AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, May 11, 2020

වසත් මං පෙත් දිගේ -පළමුවන සටහන

(පුද්ගලික නොවන පුද්ගලික සටහන්)  

--- උයන් කෙළවර හිඳ ආපසු හැරී බැලීමක්
වසත් උයනෙහි කෙළවර කිසිවකුත් වැඩිපුර නොගැවසෙන තැනෙක හිඳිමින් ආපසු හැරී බලන විට උයනෙහි විශාල වපසරියක් පහසුවෙන් දැක ගත හැකිය. මීට විසි වසරකට නොඅඩු කාලයකට ඉහත යම් දවසක මුල් වරට උයන් දොරින් ඇතුළු වෙද්දී දුටු තරම් මේ උයන සුවිශාල එකක් නොවන බවයි දැන් මට පෙනෙන්නේ. එකල මෙහි වූ ඇතැම් අහුමුලූ පවා අද වන විට බොහෝ දුරට එළි පෙහෙළි වී තිබේ. එහෙත් අද මෙහි හාත්පස දැකිය හැකි අලූත් තුරු ලතා, මල් ගොමු එකල ද වෙනස් ආකාරවලින් මෙහි දැක ගත හැකි විය. එකල ද ඒවායෙහි කාර්යභාරය වූයේ උයන අලංකාර කිරීම සහ ගිමන් හරින්නන් හට සෙවණ සැලැසීමයි. වෙනසකට ඇත්තේ ඒවා පරම්පරා දෙකකට අයත් වීම පමණි.
මා සිටින ස්ථානයට ඈතින් ගී ගයමින් විනෝද වන නව යොවුන් කණ්ඩායමකි. වරින් වර ගී ගැයීම නවතා අල්ලාප සල්ලාපයේ යෙදෙන ඔවුහු උස් හඬින් සිනාසෙන හඬ මගේ අතීත කාමය (nostalgia) අවුළුවාලයි. එකල නව යෞවනයකු ව මෙහි පැමිණි මාත් අද මෙහි ගැවසෙන නව යෞවනයනුත් අතර යම් පරම්පරා වෙනසක් දක්නට හැකිය. ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් වෙනස් ය; ඔවුන් ගායනා කරන ගීත වෙනස් ය; සමීප වී ඇහුම්කන් දෙන්නේ නම් ඔවුන් කතා බහ කරන තේමාවන් ද වෙනස් බව වැටහෙනු ඇත. වෙනස් වීම ලෝක ස්වභාවයයි. එනිසා එහි එතරම් පුදුම වීමට හේතුවක් ද නැත. අප මෙන් නොව, 21 වන සියවසේ මුල උපත ලැබුවා යැයි සිතිය හැකි මේ දරුවන්ගේ වසන්ත කාලය සාමකාමී සමාජ-දේශපාලනික වටපිටාවක ගෙවී යමින් තිබීම ගැන ඇති වන්නේ සතුටකි. 80 දශකයේ මුල් භාගයේ කොළඹ අර්ධ නාගරික ප‍්‍රදේශයක උපත ලද මගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවුණේ දේශපාලනික වශයෙන් රට අර්බුදවල ගිලී පැවැති කාල වකවානුවක ය. 83 කළු ජූලිය ඇතිවන විට මා ළදරුවෙකි. 88-89 දකුණේ භීෂණය කුඩා පාසල් දරුවකු ව සිටිමින් අත් වින්දෙමි. එසේම වසර 30 කට ආසන්න කාලයක් පැවැති ජනඝාතක සිවිල් යුද පසුබිම තුළ යොවුන් විය ගෙවා ඇත්තෙමි. ද්විතියික අධ්‍යාපනය සඳහා කොළඹ ජනප‍්‍රිය පාසලකට ඇතුළත් වුවද මගේ ජීවිතය එතරම් නාගරීකරණය වූයේ නැත. මගේ දෙමව්පියන් ගැමියන් වුවද මා කිසි දිනෙක ගැමියකු වූයේද නැත. මා මැරෙන තුරුම අර්ධ නාගරිකයකු ලෙස හිඳිනු ඇතැයි මට සිතේ.
මා සිටින ස්ථානයට තරමක් ළඟින් මගේ මව්පියන්ගේ වයසේ මහලූ යුවලක් බොහෝ වේලාවක සිට මෙහි රැඳී සිටිති. තම දරුවන් වෙනත් රටවල ස්ථිර පදිංචියට ගිය බැවින් සිය නිවසේ තනිව ජීවිතයේ අවසන් කාලය ගෙවා දමන මා දන්නා මහලූ යුවලක් සිහිපත් වෙයි. මගේ සමකාලීන මිතුරෝ බොහෝ දෙනෙක් ද මෙරට හැර ගොස් ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව ආදී දියුණු රටවල පදිංචි වී සිටිති. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනකු facebook වැනි සමාජ මාධ්‍යජාලයන්හි සිංහලෙන් හෝ ඉංග‍්‍රීසියෙන් හෝ ශ‍්‍රී ලංකාවාසීන් හා සම්බන්ධ වී සිටීමට ඇලූම් කරන බවක් පෙනේ. තම මව්බිම හැරයන බොහෝ දෙනා හිතින් මව්බිමෙහිම ජීවත් වනවා ඇතැයි වරෙක සිතේ. එසේ මව්බිම හැර යන බොහෝ දෙනා මැරෙන්නට මොහොතකට හෝ පෙර පෙරළා සිය රටට පැමිණෙනු ඇතැයිද මට සිතේ. මිනිසුන් කෙරෙහි, උපතින් උරුම කරගන්නා දේ ලෙහෙසියෙන් අත් හළ නොහැකි ගතියක් ඇත. මිනිසුන් කොයි රටක ජීවත් වුවද සිහින දකින්නේ තම මව් බසින් යැයි කතාවක් ද තිබේ.
සංචාරය කිරීම සඳහා යනවා හැරෙන්නට දියුණු රටක පදිංචියට යාමට මට නම් මෙතෙක් ආශාවක් ඇති වී නැත. ඒ මා මගේ යොවුන් කාලය පුරා හදා වඩා ගත් යම්කිසි ප‍්‍රතිපත්ති පද්ධතියක් නිසා සිදු වූවක් ද නොඑසේ නම් අතීත කාමයෙන් (nostalgia) හෝ නිවසින් ඈත සිටියදී ඇති වන කාන්සාවෙන් (homesick) හෝ දැඩිව පෙළෙන නිසා ද යන්න නිශ්චිත ව කිව නොහැකි ය. ලංකාව හැර ගිය බොහෝ දෙනා මෙය විසීමට සුදුසු තැනක් නොවන නිසා එසේ කිරීමට සිදු වූ බව ඇඟවීමට කැමැත්තෝ ය. කොතරම් අර්බුද පැවතියද මියෙන තුරු මෙහිම දිවි ගෙවීමට මා මෙන් තීරණය කර ඇති මගේ පරම්පරාවේ තවත් අය සිටිති. දියුණු රටක පදිංචියට යාමට ඕනෑ තරම් අවස්ථාව තිබියදී ඒවාට පයින් ගැසීම අනුවණ ක‍්‍රියාවකැයි ඔබට සිතෙනු ඇත. එහෙත් මා සිතූයේ වෙනස් අයුරකින් බව කිව යුතු ය. ප‍්‍රතිපත්තිමය අතින් බැලූ විට බුද්ධිගලනයට දායක වීම වරදක් ලෙස දකිමි. එසේ කරතොත් නිදහස් අධ්‍යාපනයෙන් උගත් අප ඒ වෙනුවෙන් දහදිය හෙළා ඇති මෙරට ජනතාවට කරන බලවත් වරදකි. අප මෙරට ජනතාවට සේවය කිරීමට පළමුව බැඳී සිටිමු. අනෙක් අතට, මගේ සමීපතමයින් මෙන් ම හුරුපුරුදු පරිසරය, දේශගුණය, ගහකොල, සතා සිවුපාවා අත්හැර මට ජීවත් විය නොහැකි ය. ඒවා මගේ ජීවිතයේ කොටස් ය. එසේ මහත් අපහසුවෙන් ජීවත් විය හැකි වුවත් එය සැබෑ ජීවත් වීමක් නොවිය හැකි ය. මේ භූමියේ ඇති අර්බුද ද මගේ නොවේද? රට හැර යාමෙන්, ඉහත කී මගේ ජීවිතයේ කොටස් සියල්ලටම විමුක්තිය ළඟා කර දීමට මට හැකි නොවේ. එසේ කළ නොහැකි නම් කළ හැක්කේ කුමක්ද? ඔවුන් සමඟ මේ අර්බුද තුළම ගිලී ජීවත් වීමය; හැකි පමණ ඒ අර්බුද සමඟ සටන් වැදීමය.
මම සාහිත්‍යය ඇලූම් කරන්නෙක්මි; කවියෙක්මි. එනිසාම යම් තාක් දුරකට අතීත කාමයෙන් පෙළෙන්නෙක්මි. ‘අතීත කාමය’ නිර්මාණකරුවන්ට නිර්මාණාවේශය (inspiration) සපයන එක්තරා මානසික තත්ත්වයකි. නිර්මාණකරුවන්ට පමණක් නොව සංවේදී මනසක් ඇති ඕනෑම මිනිසකුට අතීත කාමය යනු ජීවත් වීමට ආවේශයක් සපයන්නක් බව මගේ විශ්වාසයයි. තමන් උපන් දේශය වූ කිඹුල්වත්පුර දෙසින් හමන සුළඟ පවා සුව දෙන බව බුදුන් වහන්සේ ද වදාළ බව අසා ඇත්තෙමි.
එක් කාලයක මම මුදල් සෙවීමේත් වෘත්තීය පළපුරුද්ද වැඩි කර ගැනීමේත් අරමුණු ඇතිව විදේශ රැකියා සොයමින් සිටියෙමි. එසේ සොයමින් සිටින අතරතුර එක්තරා රටක, ගැළපෙන ආකාරයේ වෘත්තීය අවස්ථාවක් ලැබිණ. ඒ සඳහා රටින් පිටව යා යුතු දිනය ළං වන විට මගේ අදහස කෙමෙන් වෙනස් වන්නට විය. රැකියාව සඳහා හෝ රටින් බැහැරව සිටිනවාට මගේ දෙමව්පියන්ගේ වැඩි කැමැත්තක් නැති බව හොඳින් නිරීක්ෂණය කළ විට පෙනිණ. මම දෙලොවක අතරමං වීමි. තීරණයක් ගැනීමට අපහසු ව තරාදියේ දෙපසට දමා කිරා බැලීමි. මුදල් ඉපැයීම හා පුද්ගලික උන්නතිය පසෙක ලා දෙමව්පියන් සමග හැකි තරම් කල් මෙහිම ජීවත් වීමත් මව්බිමෙහි රැකියාවක නිරත වෙමින් මෙහිම සේවය කිරීමත් වඩා හොද බව අවසානයේ තීරණය කළෙමි. මා ඒ දිනවල ලියූ කවියක් මෙහි සටහන් කර තබමි.
එතෙරින් කැඳවුමක්
කවුදෝ ඇවිත්
දුර සිට
සුළඟක් සමග
මිදුලට
කඩා කූඩලූ මල් ගස්
ගෙනැත් කුණු රොඩු
හැඩි කොට
සිනාසෙයි
දත් විලිස්සා ගෙන
සාක්කුවල අත් දමා ගෙන
කාසි සොලව සොලවා
සද්දෙට
(නොසොඳුරු පෙදෙසක, 2010)

වර්තමානයේ බොහෝ දෙමව්පියෝ තම දරුවන්ට හොඳින් උගන්වන්නට වෙහෙස මහන්සි වෙති. හොදින් උගත් පසු දරුවෝ එහි අස්වනු නෙළීම සඳහා දියුණු රටවල ගොස් පදිංචි වෙති. දෙමව්පියෝ සුසුම් හෙළමින් මෙරට තනිවෙති. සිය දරු මුණුපුරන් සමග ජීවිතයේ අවසාන කාලය ගෙවා දැමීමට වඩා වෙන සතුටක් මවකට හෝ පියකුට හෝ ඇතැයි මම නොසිතමි. රටක අධ්‍යාපනය සකස් විය යුත්තේ දක්ෂයින් බිහි කරන්නට පමණක් නොවේ. හොඳ මිනිසුන් බිහිකිරීමේ අරමුණක් ද එහි තිබිය යුතුමය. ඒ සඳහා අනිවාර්ය වන ආකල්ප වර්ධනය එන්න එන්නම අධ්‍යාපන පද්ධතිය තුළින් වියැකී යනු පෙනේ. අධික තරගකාරීත්වය වෙත දරුවන් පෙළඹවීම මේ අර්බුදය උත්සන්න වීමට හේතුවක් බව විද්වතුන් විසින් පැවසෙනු අසන්නට ලැබේ. වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ ආදී සමාජයේ ඉහළ යැයි සම්මත වෘත්තීන් වෙත ළඟා වීමට පෙළඹවීම දරුවන් මුල සිටම යහපත් ආකල්ප කෙරෙන් ඈත් වීමට හේතු වී තිබෙනවා විය හැකිය.
මමද කුඩා කල දොස්තර කෙනකු වන බව මහත් ආඩම්බරයෙන් කීවෙමි. එහෙත් දැනුම් තේරුම් ඇති වයසට එන විට එය මට එතරම් ගැළපෙන්නේ නැති වෘත්තියකැයි සිතෙන්නට විය. සාහිත්‍ය කලා ආදිය කෙරෙහි වැඩි ඇල්මක් ඇතිවෙමින් තිබුණු කාලයේ සිට මා ලේඛකයකු වන බවට සිතා ගත්තෙමි. කෙසේ නමුත් සියල්ලට වඩා වැදගත් වන්නේ යහපත් මිනිසකු වීම බව පාසලෙන් නික්මෙන විට මගේ අදහස විය. ඒ අනුව මගේ අදහස් සීඝ‍්‍රයෙන් වෙනස් කරගන්නට පටන් ගත්තෙමි.
අවසානයේ, සරසවි ආචාර්යවරයකු ලෙස යොවුන් පිරිස් සමග වැඩ කිරීමට අද මට අවස්ථාව ලැබී තිබේ. එහිදී මෙහි මුලදීම කී පරම්පරා වෙනස නිරීක්ෂණය කිරීම මට පහසු වී ඇත. අලූත් පරම්පරාව නරක යැයි කිසිවිටෙකත් මම නොකියමි. වර්තමාන පරම්පරාවේ අඩුලූහුඬුකම් සිය පරම්පරාවේ ලක්ෂණ හා සසඳමින් පුරාජේරුකම් කියන වැඩිහිටියෝද බොහෝ වෙති. ඒ ද අතීතකාමයේම තවත් පැතිකඩකි. ඒ අතීතකාමයෙන් නම් කිසිවකුට පලක් නැත. සිදුවිය යුත්තේ අතීතයේ පාඩම් පොත වර්තමානයේ කියවීමට දිගහැර තැබීමයි. එවිට ඒ පොතින් උගත යුත්තේ මොනවා දැයි අලූත් පරම්පරාවට තීරණය කළ හැකිය.

                                       
                                   
  ප‍්‍රදීප් සාරංග කුමාර  




2019 දෙසැම්බර් පළමු කලාපය  
අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment