AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

අවාසනාවේ ආරම්භය


මේ 1992 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයයි (semi final) . තරග වදින්නෙ
එංගලන්තය හා දකුණු අප‍්‍රිකාවයි. වසර 22 ක ක‍්‍රිකට් තහනමකින් පසු නැවත ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට පැමිණි දකුණු අප‍්‍රිකානුවන් ලෝක කුසලානයට පැමිණෙන්නේ ඊට මාස කිහිපයකට පෙර ඉන්දියානු සංචාරයෙන් ලැබුණු ජාත්‍යන්තර අත්දැකීම් පමණක් සහිතවය. නමුත් ඔවුන් හිටපු (1987) ලෝක ශූරයන් වන ඔස්ටේ‍්‍රලියාව පළමු තරගයේදී ම කඩුළු 9 කින් පරදවමින් අති සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතර එයට අමතරව කොදෙව්වන්, ඉන්දියාව, පකිස්ථානය හා සිම්බාබ්වේ තරග ජයගනිමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණියේ ජයග‍්‍රාහී ගමනකි. එවකට දුර්වල කණ්ඩායමක් ව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් අනපේක්ෂිත පරාජයක් ලැබූ අතර මීට අමතරව පරාජය වී සිටියේ පළමු වටයේ ප‍්‍රබලතම කණ්ඩායම් වූ එංගලන්තයට හා නවසීලන්තයට පමණි. ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ද ජාත්‍යන්තර තරග ක‍්‍රීඩා කර ඇති කෙප්ලර් වෙසල්ස් විසින් මෙම නව යොවුන් කණ්ඩායම මෙහෙය වූ අතර, පරිණත පිතිකරු පීටර් කර්ස්ටන්ට අමතරව අනිත් සියල්ලෝම අත්දැකීම් අවම මට්ටමක ක‍්‍රීඩකයන් විය. ඇන්ඩෲ හඞ්සන්, හැන්සි ක්‍රොන්යේ, ඇලන් ඩොනල්ඞ්, ජොන්ටි රොඞ්ස්, මෙරික් ප‍්‍රින්ගල්, බ‍්‍රයන් මැක්මිලන්, එඩි‍්‍රයන් කූපර්, රිචඞ් ස්නෙල් වැනි මෙම නවක බලඇණිය අනාගතයේදී ලෝකෙටම ඇණයක් වන බව ඒ වනවිටත් පැහැදිලි ව පෙන්වා දී තිබුණි. අනෙක් අතට එංගලන්තය 1987 දී මයික් ගැටින් ගේ reverse sweep පහරින් අත් හැරුණු ලෝක කුසලාන ය මෙවර කෙලෙසක හෝ අත් කරගැනීමේ අරමුණින් තරගාවලියට අවතීර්ණ වී තිබුණි. එංගලන්තයේ එක් යුගයක් තනිවම තම කර මතින් ඇදගෙන ගිය ග‍්‍රැහැම් ගුච් නායකත්වය දැරූ එම කණ්ඩායම ඇලන් ලෑම්බ්, රොබින් ස්මිත්, ඇලෙක් ස්ටුවර්ට්, ගේ‍්‍රම් හික්, නීල් ෆෙයාර්බ‍්‍රදර්, වැනි නම් දැරූ පිතිකරුවන් රැසක් සහ ක‍්‍රිස් ලූවිස්, ෆිල්ප් ඩෙෆ‍්‍රිටාස්, ග්ලඞ්ස්ටෝන් ස්මෝල් , ඩර්මෝට් රීව්, ඩෙරෙක් ප‍්‍රින්ගල් වැනි වේග පන්දු යවන්නන් රැසකින් මෙන්ම ඉයන් බොතම්ගෙ සුපිරි තුන් ඉරියව් හැකියාවන් ගෙන් බලසම්පන්න වූ කණ්ඩායම කි. ඔවුන් පළමු වටයේ තරග 8න් නවසීලන්තය ට පරාජය වූ අතර පළමු වටයෙ අවසන් තරගයේදී තරගාවලියේ දුර්වල ම කණ්ඩායම වූ සිම්බාබ්වේ පිල හමුවේ ඇදහිය නොහැකි ලෙස ලකුණු 9කින් පරාජය විය. ඊට අමතරව පකිස්ථානය සමග තරගය ලකුණු 64 ක පහසු ඉලක්කයක් කරා ගමන් කරමින් සිටියදී එක් කඩුල්ලකට ලකුණු 24 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් අත් හැර දැමීමට සිදුවිය. ඉතිරි තරග 5 ම මොවුන් ජයගත් අතර ඒ වනවිට තරගාවලියේ ජයග‍්‍රහණය නවසීලන්තය හෝ එංගලන්තය ලබා ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළේය.
මෙම අවසන් පූර්ව තරගය ට මුල සිටම වර්ෂාවෙන් බාධා ඇති වූ අතර පළමුව පන්දුව ට පහර දුන් එංගලන්ත ඉනිම, වර්ෂාව හේතුවෙන් අවසානයේදී පන්දු වාර 45 කට සීමා කෙරුණු අතර, ඔවුන් එම නියමිත පන්දු වාර 45 දි කඩුළු 6කට ලකුණු 252 ක් ලබාගැනීමට සමත් විය. ගේ‍්‍රම් හික් ගෙ ලකුනු 83 එහිදි කැපී පෙනුණි.
දෙවනුව පන්දු වට පහර දුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ට ද වර්ෂාවෙන් බාධා ඇතිවුවද තරගය දිගටම පවත්වාගෙන යාමට විනිසුරුවරුන් කටයුතු කළේය. එක් අවස්ථාවකදී ඔවුන් ඒ පිළිබඳ ව පිතිකරුවන් ගෙන් විමසූ විට ඔවුන් දිගටම තරගය පැවැත්වීමට ඉල්ලා සිටි බැවින් තරගය දිගටම ක‍්‍රියාත්මක විය. නමුත් එක්තරා අවස්ථාවකදී ඇඳ හැලෙන වර්ෂාව හේතුවෙන් තමන්ගේ පන්දු රකින්නන් ට පන්දුව ග‍්‍රහණය කරගැනීමට අසීරු බව එංගලන්ත නායක ග‍්‍රැහැම් ගුච් විනිසුරුවරුන් ට දැනුම් දීමත් සමග දකුණු අප‍්‍රිකානු පිතිකරුවන් ගෙ යම් විරෝධයක් මැද වුවද තරගය තාවකාලිකව නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදී. එවිට පන්දු 13 කදී තවත් ලකුණු 22 ක් ලබා ගැනීමට දකුණු අප‍්‍රිකානුවන් ට ඉතිරි වී තිබූ අතර ඒ සඳහා ඔවුන් අතැතිව කඩුළු හතරක් තිබුණි. පන්දු වට පහරදෙමින් සිටියේ ලකුණු 20(20) ලබා සිටි බිග් මැක් හෙවත් බ‍්‍රයන් මැක්මිලන් හා ලකුනු 13(10)
ලබා සිටි කඩුළු රකින ක‍්‍රීඩක ඬේව් රිචර්ඞ්සන් ය.
ඉන්පසු එළඹෙන්නේ දකුණු අප‍්‍රිකාවට එතැන් සිට වසර ගණනාවක් මුහුණ දීමට සිදු වූ ලෝක කුසලාන අවාසනාවේ ආරම්භයයි. එවකට ඩක්වර්ත් ලූවිස් න්‍යාය හඳුන්වා දී නොතිබුණු අතර එවකට තිබූ නීතිය අනුව දෙවැනි යට පහර දෙන කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී වර්ෂාවෙන් බාධා ඇතිවුව හොත් ලකුණු සංශෝධනය වනුයේ පළමුවට පන්දුවට පහරදුන් කණ්ඩායමේ අවම ලකුණු ප‍්‍රමාණයක් ලබාගත් පන්දු වාර සංඛ්‍යාව සහ එහිදි ලබාගත් ලකුණු සංඛ්‍යාව අඩු කිරීමෙනි. ඒ අනුව පළමුව මෙරික් ප‍්‍රින්ගල් විසින් යවනු ලැබූ එක් නිලකුණු පන්දු වාරයක් සලකමින් දකුණු අප‍්‍රිකානු ඉලක්කය පන්දු 7 කට ලකුණු 22 ක් ලෙස සංශෝධනය විය, ඉන්පසු තව දුරටත් ඇති වූ වර්ෂාව හේතුවෙන් තවත් පන්දුවාරයක් ඉවත් කළ අතර එය ප‍්‍රින්ගල් ගේ දෙවැනි නිලකුණු පන්දු වාරය විය( මෙම තරගයේදී ප‍්‍රින්ගල් ගේ පන්දු යැවීම 9 - 2- 36- 2 විය.) එංගලන්ත ඉනිමේ තිබූ මුළු නිලකුණු පන්දු වාර සංඛ්‍යාව වූයේ ද එම පන්දු වාර දෙක පමණි .ඒ අනුව දකුණු අප‍්‍රිකානුවන් ගෙ ඉලක්කය එක් පන්දුවකට ලකුණු 22 ලෙස නැවත සංශෝධනය විය . ඒ අනුව පිටිය ට පිවිසි පිතිකරුවන් දෙපල අතරින් පන්දු වට මුහුණ දුන් මැක්මිලන්, ක‍්‍රිස් ලූවිස් ගේ පන්දුවට එක් ලකුණක් ලබා ගනිමින් තරග ය අවසන් කරමින් පිටියෙන් ඉවත් විය. එංගලන්තයේ මෙම ක‍්‍රීඩා ශීලි නොවන ක‍්‍රියාමාර්ගය පේ‍්‍රක්ෂකයන්ගෙ දැඩි අප‍්‍රසාදයට හේතු වු නමුත් දකුණු අප‍්‍රිකානුවන් නැවත පිටිය ට පැමිණ එංගලන්ත ක‍්‍රීඩකයන්ට අතට අත දෙමින් සුබ පැතීමට පමණක් නොව වසර 22 කට පසු ක‍්‍රිකට් පිටිය ට පිවිසි තම කණ්ඩායම ට එම දීර්ඝ තරගාවලිය පුරා ඉහළ
සහයෝගයක් ලබා දුන් පේ‍්‍රක්ෂකයන් ට සිය ප‍්‍රණාමය පළකිරීමට ද කටයුතු කළේය . නමුත් පසුව දැන ගැනීමට ලැබුණු පරිදි මෙය අවසන් පූර්ව තරගයක් බැවින් තරගය පැවත්වීම සඳහා අමතර දිනයක් ද වෙන් කර තිබී ඇත. නමුත් තරගාවලියේ නිල රූපවාහිනී නාලිකා ව තරගය එක් දිනයකින් අවසන් කළ යුතු ලෙස සිදුකළ බලපෑම හේතුවෙන් තරගය මෙලෙස එක් දිනයකින් අවසන් කිරීමට සංවිධායකයින් කටයුතු කර ඇත. මෙම අවාසනාවන්ත අවසානය ක‍්‍රීඩාව වාණිජකරණයෙන් ඇතිවිය හැකි බිහිසුණු තත්ත්වයන් පිළිබඳ ඉතා හොඳ සාක්ෂයකි.
තරගයෙන් පසු ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නායක කෙප්ලර් වෙසල්ස්, තමා එංගලන්ත නායකයා වුවානම් බොහෝවිට තමන් ද එම තීරණය ගැනීමට ඉඩ තිබූ බව ප‍්‍රකාශ කිරීමට නිහතමානී වීමෙන් එංගලන්තය ට තිබූ විරෝධය යම් ප‍්‍රමාණකින් අඩු වුවද අවසන් තරගයේදී පේ‍්‍රක්ෂක බහුතරය එංගලන්ත විරෝධි ස්ථාවරයක් දැරීමට මෙම සිදුවීම සැලකිය යුතු මට්ටමකින් හේතු විය.
දකුණු අප‍්‍රිකාව මෙතැනින් පසු 1996, 1999, 2003, 2007, 2015 යන සියලූ අවස්ථාවන් හීදි ලෝක කුසලානය ජයග‍්‍රහණය කිරීමේ වැඩිම අවස්ථාවක් ඇති කණ්ඩායමක් ලෙස තරගාවලිය ට අවතීර්ණ වුවද එම සෑම අවස්ථාවකදීම ඔවුන් විවිධ වූ අවාසනාවන්ට ගොදුරු විය, 96 දී බ‍්‍රයන් ලාරා ගෙ අනභිභවනීය ශතකය හමුවේ අර්ධ අවසන් පූර්ව (quarter final) තරගයේදී පරාජය ලැබූ ඔවුන් ඩොනල්ඞ්ගේ විකාර සහගත කඩුලූ අතර දිවීම හේතුවෙන් 1999 දී අවසන් පූර්ව තරගයේ දී (semi final ) පරාජය විය. නැවත 2003 දී ක‍්‍රීඩාගාරය සමග සිදුවූ සන්නිවේදන දුර්වලතාව ය මත super Six වටයට ද සුදුසුකම් නොලබා ඉවත්ව යාමට සිදුවිය, 2007 දී ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රබල පන්දු යැවීම හා, දකුණු අප‍්‍රිකානුවන් ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ගැසීමට උත්සාහ කිරීමේ ප‍්‍රතිඵල යක් ලෙස අවසන් පූර්ව (semi final ) වටයේදී තරගාවලියෙන් ඉවත් වූ අතර 2015 දී නවසීලන්තය ලෝක කුසලානය වෙනුවෙන් ම වසර ගණනකට පසු කණ්ඩායමට ගෙන්වූ ග‍්‍රාන්ට් එලියට් ගේ 6 පහර දකුණු අප‍්‍රිකානුවන්ව අවසන් පූර්ව වටයේදී (semi final ) ඉවත් කරවීමට සමත් විය.
මෙය 1969 දී බැසිල් ඩි ඔලිවේරා හට දකුණු අප‍්‍රිකාවට ඇතුලූ වීම ට ඉඩ නොදී ලෝක වාසී කලූ මිනිස්සුන්ට සිදුකළ අවමානයේ ශාපය දෝ ඇතැම් විට සිතීම වැලැක්විය නොහැක. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලය එම වරදට ප‍්‍රතිසංස්කරණවලින් පසුව සමාව දීමට තීරණය කළ ද ස්වභාව ධර්මය ඇතැම් විට තවමත් සමාව දී නොමැති වීම ට ඉඩ ඇත.

චරිත දිසානායක
චරිත දිසානායක






2019 දෙසැම්බර් මැද කළාපය  
අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment