AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

මාධව


සුනිල් මාධව පේ‍්‍රමතිලක නම් අදීන පුවත්පත් කලාවේදියාගේ මතක දිගහැරුම 
ජීවිත දෙකම බේරන්න බෑ...
එක්කො අම්මා, නැත්තම් දරුවා!
දේශන ආරම්භ වීමට තව ඇත්තේ විනාඩි කිහිපයකි. මේ වන විටත් මුළු ශාලාව ම මිනිසුන්ගෙන් පිරි ඉතිරි ගොසිනි. බණී මාධව බරුවා පිළිබඳ තොරතුරු අසා තිබූ බොහෝ ශී‍්‍ර ලාංකිකයෝ ඔහුව දෙනෙතින් දැකබලා ගැනිමේ අටියෙන් ශාලාව තුළ රැුස්කකා සිටියහ. පිරි ඉතිරී සිටි සෙනඟ පීරමින් අයෙක් ඉදිරියට එනු පෙනේ. ඒ මීමන පේ‍්‍රමතිලක ය. ලේක් හවුස් ආයතනය වෙනුවෙන් බණි මාධව බරුවාගේ දේශනය වාර්තා කිරීමේ වගකීම පැවරුණේ මීමනට ය. මීමනව දැන හඳුනාගත් පිරිස බාධාවකින් තොරව ඔහුට ඉදිරියට යන්නට ඉඩ ලබා දුණි.
තම කාර්යය සඳහා සුදුසු ස්ථානයක්
තෝරාගත් මීමන අසල සිටි තම හිතවතෙකු සමඟ කතාවට වැටුණේ ය.
’‘තාම නෑ නේද?’’
’‘දැන්නම් වෙලාව හරි. එන්න ඕනෙ.’’
මීමන සමඟ කතාවට වැටුණු සගයා මාධව බරුවා ගැන තමා නොදත් කරුණු මීමනගෙන් අසා දැන ගත්තේ ය.
‘‘මීමන දැකලා තියෙනවාද මාධව බරුව ව...?’’
‘‘දැකලානම් නෑ. හැබැයි මම අහලා තියෙනවා. මිනිහ ඉන්දියාවෙ හොඳ ෆිලෝසෆර් කෙනෙක්. හැබැයි ටිකක් අමුතු තාලෙ මිනිහෙක් කියලයි ආරංචිය.’’
බණි මාධව බරුවාගේ රූපය පිළිබඳ මීමනගේ හිතේ තිබුණේ සංකල්ප රූපයක් පමණි. එම සංකල්ප රූපයට අනුව ඔහු අරෝහපරිණාහ දේහයකින් යුතු පිළිවෙළට ඇදුම් ඇඳි හැඩකාරයෙකි. මීමන සේම සෙස්සන් ද මාධව බරුවා ගැන විවිධ රූපයන් මවාගනිමින් සිටියහ.
නියමිත වෙලාව උදාවිය. මාධව බරුවා තවම පමා ය. රැුස්කකා සිටි පිරිස ක‍්‍රමයෙන් නොසන්සුන් වන ලකුණු දිස්වේ. එහෙත් කිසිවකු හෝ ශාලාවෙන් පිටවන්නට හෝ කළහ කරන්නට උත්සාහ නොකළහ. සියල්ලන් නොසන්සුන්ව සිටි මොහොතක අයෙක් වේදිකාවට ගොඩ විය.
‘‘මේ කවුද....?’’
හැම සිතකම නැගුණේ මෙම පැනයයි. වේදිකාවට ගොඩ වූ පුද්ගලයාගේ රූපකාය කිසිසේත් ම මීමනගේ සිතේ ඇ`දුණු දේශකයාගේ රූපයට සමාන නොවුණි. වේදිකාවට ගොඩ වූයේ සිහින් සිරුරක් ඇති පුද්ගලයෙකි. ඔහුගේ හිසකේ අවුල් වී ගොසිනි. ටයි පටියක් පැළඳ සිටි නමුත් එහි කිසි`දු හැඩයක් පිළිවෙළක් නැත. බාගයට දමා තිබුණු ටයි ගැටයත් පැත්තකට විසි වූ ටයි පටියත් නිසා ඔහු කෙරෙන් විද්‍යමාන වූයේ තරමක අමුතු ආකාරයේ පෙනුමකි. මේ කිසිසේත්ම මාධව බරුවා විය නොහැකි යැයි මීමන සිතී ය. එහෙත් මීමනගේ සිතුවිල්ල සාවද්‍ය කරමින් මේ අමුතු මිනිසා දේශනය ආරම්භ කළේ ය.
තමාගේ සංකල්ප රූපයට කිසිසෙත් ම සමාන නොවූ නමුත් මේ අමුතු මිනිසා කෙරෙහි මීමන ඇලී ගියේ ය. ඔහු සිය දේශනය හමාර කරන විට මීමන ට මේ මිනිසා පිළිබඳ ඇති ව තිබුණේ පුදුමාකාර ප‍්‍රසන්න හැගීමකී.
’‘මට හිතාගන්න වත් බෑ මෙහෙම මිනිස්සුත් ලෝකෙ ඉන්නව ද කියලා.’’
මීමන ශාලාවෙන් නික්මුණේ සිය මිතුරකුට එසේ කියමිනි.
රාජකාරිය අවසන් කළ නමුත් මාධව බරුවාගේ මතකය දිනය පුරා ම මීමනගේ හිතේ හොල්මන් කරන්නට විය. නිවසට ගොඩ වූ පසුත් ඒ මතකය ඔහුට වද දුණි. ඔහු බොහෝවෙලා නිසොල්මන්ව මාධව බරුවාගේ දේශනය මතකයට නගා ගත්තේ ය. සිය සැමියා අද හැසිරෙන්නේ වෙන දා මෙන් නොවන බව වටහගත් ඇඞ්ලින් ඒ පිළිබඳ ඔහුගෙන් කරුණු විමසන්නට වූවා ය.
‘‘මොකද අද ආපු වෙලාවේ ඉඳලා කල්පනා කරන්නේ?’’
‘‘ඇඞ්ලින් අපිට පුතෙක් හම්බවුණෙත් අපි එයාට මාධව කියලා නම දාමු.’’
මේ වන විට දරුප‍්‍රසුතිය සඳහා සූදානම් වෙමින් සිටි ඇඞ්ලින්, මීමන හිටිහැටියේ මෙසේ පැවසීම ගැන පුදුම නොවුවා ය.
පළමු දරු ප‍්‍රසුතියට ඇඞ්ලින්ට ආරාධනා කරමින් 1944 වසර උදාවිය. මේ හරියට ම වෙසක් මාසයයි. ඇඞ්ලින්ගේ කුළුදුල් දරුප‍්‍රසුතිය සඳහා තවත් ටික කාලයක් ඉතිරිව තිබේ. තම ලෙයින් උපදින්නට යන කුළුදුල් දරුවාව දැක ගැනීමේ ආසාවෙන් සිටින මීමන මේ දිනවල පසුවන්නේ ඉමහත් පී‍්‍රතියෙනි. ඒ පී‍්‍රතිය විසින් ම වැඩි වැඩියෙන් ම මධුපානය සඳහා ද ඔහුව ළං කරන ලදී.
එහෙත් මීමනගේත් ඇඞ්ලින්ගේත් සතුට ට වැඩි ආයුෂ නොවුණි. ඇඞ්ලින්ගේ සෞඛ්‍ය තත්වය නිරීක්ෂණය කළ වෛද්‍යවරු පවසා සිටියේ නියමිත දිනයට ප‍්‍රථම දරු ප‍්‍රසුතිය සිදු කළ යුතු බවයි. එහෙත් මෙම දරු ප‍්‍රසුතිය ඉඳුරාම අවාසනාවක නිමිත්තකැයි වෛද්‍යවරු කියා සිටියහ.
‘‘මිස්ටර් පේ‍්‍රමතිලක තත්වෙ බරපතලයි. අනිවාර්යයෙන් ම ජීවිත දෙකෙන් එකක් නැති වෙන්න පුළුවන්. එක්කෝ අම්මා. නැත්නම් ළමයා.’’
සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි වන පරිදි මීමන අසරණ විය. බිරිය ද? දරුවා ද? නැත. ඔහුට ඒ ජීවිත දෙකම අවශ්‍ය විය. කෙතරම් කටුක වූ නමුත් කෙතරම් වේදනාබර නමුත් මේ සත්‍යයෙන් පලා යන්නට ද නොහැක. සිදුවන ඕනෑ ම ප‍්‍රතිඵලයක් දරා ගැනීමේ අටියෙන් මීමන බලාසිටියේ ය.
1944 මැයි 12 වන දා මෙම තීරණාත්මක උපතට හෝ මරණයට හෝ දින යෙදී තිබිණි.
’‘බයවෙන්න එපා මිස්ටර් පේ‍්‍රමතිලක අපි උපරිම උත්සාහ කරන්නම් අම්මවයි, දරුවයි දෙන්නම බේරගන්න. හැබැයි ඒ ගැන අපිට සහතිකයක් වෙන්න බෑ.’’
වෛද්‍යවරුන්ගේ අවසාන තීරණය වූයේ ද එය ය.
කරුණු කාරණා කෙසේ පෙළගැසී තිබූ නමුත් මීමනත් ඇඞ්ලිනුත් සිතුතරම් අවාසනාවන්තයෝ නොවුහ. මහාපරිශ‍්‍රමයකින් අනතුරුව මවගේත් දරුවාගේත් දෙදෙනාගේ ම ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරු සමත් වූහ.
‘‘දුවෙක් ද? පුතෙක් ද?’’
‘‘පුතෙක්.’’
මීමනගේ සතුට ඉහවහා ගියේ ය. තවත් පසුබට නොවූ ඔහු වහා සිය කළුදුල් දරුවාට නමක් දැම්මේ ය. මාධව බරුවා දුටු දා සිට මෙතෙක් සිත තුළ කැකෑරුණ ‘මාධව’ යන නමයට පෙළපත් නාමය එක් කළ ඔහු සිය දරුවට හරියන නමක් දැම්මේ ය. ඒ, සුනිල් මාධව පේ‍්‍රමතිලක ය.

                                           
අසංක සායක්කාර 







   2020 ජනවාරි මුල් කළාපය 
අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment