AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

බොක්සින් ඬේ

මේ නම අපිට බොහොම ආගන්තුක වුණාට එංගලන්තය ඇතුළු බටහිර ලෝකයට
ඉතාම හුරුපුරුදු නමක්. බොක්සිං ඬේ කිව්වට මේක බොක්සිං කී‍්‍රඩාවට කිසි ලෙසකින් සම්බන්ධයක් නැති දවසක්. මේ දවස යෙදෙන්නේ දෙසැම්බර් 26 වෙනිදට. ඒ කියන්නේ නත්තල් දිනේට පහුවදා.
ඔව් ඔබ හිතුවා හරි. මේක නත්තලත් එක්ක සම්බන්ධයක් තියෙන දවසක්. බටහිර ලෝකයේ විවිධ අර්ථයෙන් සමරන මේ දිනයේ උපත සිදුවෙන්නේ මහා බි‍්‍රතාන්‍යයේ. හැබැයි බොක්සිං ඬේ ගැන උත්පත්ති කතා නම් කිහිපයක් තියෙනවා.
නත්තලට තෑගි පෙට්ටි දීම බි‍්‍රතාන්‍යයේ චිරාගත සම්ප‍්‍රදායක්. මේ පෙට්ටි හැඳින්නුවේ Christmas box කියලා. බි‍්‍රතාන්‍යයේ ධනවතුන්ගේ ගෙවල්වල වැඩ කරපු සේවකයන්ට නවත්තල් දවසේ නිවාඩු ලැබෙන්නෙ නෑ. හාම්පුතුන් නත්තල වෙනුවෙන් පවත්වන සාද සඳහා අවතේව කරන්න මේ සේවකයන් අවශ්‍ය නිසා ඔවුන්ට දෙසැම්බර් 25 හාම්පුතුන්ගේ නිවෙස්වල වැඩ කරන්න වෙනවා. සේවකයන්ට නත්තල සමරන්න නිවාඩු ලැබෙන්නෙ පහුවදාට. ඒ කියන්නෙ දෙසැම්බර් 26. නත්තල් දිනේ තමුන්වෙනුවෙන් කැපකරන මේ සේවකයන්ට හාම්පුත්තු 26 වෙනිදා ගෙදර යනකොට ලොකු නත්තල් තෑගි පෙට්ටියක් දෙනවා. ඒ පෙට්ටි ඇතුළෙ මුදල්, කෑම බීම, නත්තල් දවසේ කාලා ඉතුරු වුණු කෑම, ඇඳුම් සහ තෑගි තියෙනවා. දෙසැම්බර් 26 වෙනිදට ලැබෙන මේ Christmas box ඉදං එක ක‍්‍රමයෙන් විකාශනය වෙලා බොක්සිං ඬේ නිර්මාණය වුණා කියලයි බොහෝ දෙනෙක් කියන්නෙ.
බි‍්‍රතාන්‍යයේ මධ්‍යතන යුගයේ ඉඳලා එන චාරිත‍්‍රයක් මුල් කරගෙන බොක්සිං ඬේ නිර්මාණය වුණා කියලා මතකයකුත් තියෙනවා. ඒ කාලෙ දේවස්ථානවල නත්තල් දිනේට විශේෂ ලෝහ පෙට්ටියක් එළියට ගේනවා. දේවමෙහෙයට සහභාගී වෙන බැතිමතුන් මේ පෙට්ටියට තම තමන්ගේ සම්මාදම් මුදල් දානවා. දවස පුරා පෙට්ටියට විශාල මුදල් ප‍්‍රමාණයක් එකතු වෙනවා. 26 වන දා මේ යකඩ පෙට්ටිය විවෘත කරලා එකතු වුණු මුදල් ප‍්‍රදේශයේ ඉන්න දුප්පතුන් අතර බෙදලා දෙන එක තමයි දේවස්ථාන සිරිත. මේ මුදල් වලින් ඔවුන්ටත් නත්තල සමරන්න අවස්ථාව දීම තමයි මේ කාර්යයේ අරමුණ. metal box විවෘත කරන දිනය 26 වන දා නිසා පසුකාලීනව මේ දිනය බොක්සින් ඬේ ලෙස හැඳින්වුණු බවත් කියවෙනවා.
කි‍්‍රස්තු දේව ධර්ම ඉතිහාසයේ ආගමික ඇදහීම් නිසා ජීවිතය පූජා කළ ප‍්‍රථම මුනිවරයා විදියට සැලකෙන්නේ සාන්ත ස්තේපාන්තුමා. එතුමව සිහිපත් කරන දිනය හෙවත් සාන්තුවර මංගල්‍යය යෙදී තියෙන්නේ දෙසැම්බර් 26 වෙනිදට. ස්තේපාන්තුමා දානයට කැමති දක්ෂ දේශකවරයෙක්. නත්තලට පසු දින
ත්‍යාගවන්තකම පෙරදැරි කරගෙන සැමරීම සිදුවූණේ ස්්තේපාන්තුමාගේ
ත්‍යාගවන්තකම සිහිකිරීමක් නිසා කියලත් මතයක් තියෙනවා.
මොන අර්ථයෙන් නිර්මාණය වුණත් වර්තමානයේ බොක්සිං ඬේ බටහිර ලෝකයේ තවත් ස්මණීය දිනයක්. හැබැයි මේ දිනය ත්‍යාගශීලිත්වයෙන් ටික ටික ඈතට ගිහින් වෙනමම වෙළෙඳ වටිනාකමකට ළං වෙමින් තියෙන්නෙ. මෙදාට ඉතාම අඩු මිලට කඩවල්වලින් බඩු මිලදී ගන්න පුළුවන්. බොහෝ වෙළෙඳ ආයතන මේ දිනයට පමණක් ඉහළ වට්ටම් ලබා දෙනවා. මේ නිසා බොහෝ දෙනෙක් ඒ දවස සාප්පු සවාරි වෙනුවෙන් වෙන් කරනවා. විශේෂත්වය වන්නේ වැඩි පුරම මේ දවසට සාප්පු සවාරියේ යෙදෙන්නේ දුප්පතුන් වීම. ත්‍යාගශීලීත්වය මුල් කරගනිමින් ආරම්භ වූ බොක්සිං ඬේ අද වන විට භාණ්ඩ මිල දී ගැනීමේ දිනයක් බවට පරිවර්තනය කිරීම නත්තල වාණිජකරණය වීමේ තවත් එක් අවස්ථාවක් විදියටත් සලකන්න පුළුවන්.









No comments:

Post a Comment