AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

බබාගෙ ඩයලිය - 2020 මැයි කලාපය

අනිත් ඊයේ 

තුච්ඡ කතාවෙ ලින්ක් එක මට එව්වෙ සමාධි අක්කා. වීදියෝ එක බලලා හැලෙන තැපෑලෙන් මම එයාට මැසේද් එකක් දාන්න එක එක ඒවා ටයිප් කළා. ඒවා යවන්න මට ලැද්දයි. අන්තිමට හාට් එකක් දාලා නිකන් හිතියා.
“මොකද මැට්ටෝ හාට් එවන්නෙ....?”
“තුච්ඡ වෙන්න”
මං තග්ගාලා සයින් අවුත් වුණා.
ඊයේ
මේ යන විදියත මේ අවුලුද්දම මොන්තිසෝලි යන්න වෙන්නෙ නෑ වගේ. ඒ පැත්තෙන් සුදු නෝනා. මේ පැත්තෙන් නිමේසා තීචර්. මේ මූණු දෙක බලන්නෙ නැතුව දැන් නම් සංකාව වගේ.
අද
අද උදේ ඇහැලුණේ නිමේසා තීචර්ගේ කෝල් එකට. සිලස තීවී එකේ යන කොලෝනා සින්දුව අපේ මොන්ටිසෝලියෙ කට්ටිය දාලා කියවන්න හදන්නෙ. නිමේසා ටීචල් මට කියන්න ඕන කෑල්ල කියලා පෙන්නුවා.
‘අදුලු වලා පට අතලින් හිනැහී නැගිටිමු සී ලංකා’
තීචල්ගේ කටහද අහන්න ඕනෙ නිසාම මම දහපාලක් විතල වලද්ද වලද්ද ඒ කෑල්ල ම කිව්වා.
හෙත
අපේ අම්මා දැන් යූ තියුබ් බලාගෙන උයන නිසා පෝන් එක අතේමයි. හිතපු ගමන් පේස්බුක් එකතත් යනවා. පේස් බුක් පොස්ට් එකක් දැකලා අම්මා මට කතා කලා.
‘මේ බලන්න පුතේ මේ පාල හොඳටම ඕලෙවල් පාස් වෙලා තියෙන්නෙ මේ ළමයා. පව් කාත් කවුලුත් නෑලු. අනාත නිවාසෙක හැදිලා තියෙන්නෙ. එයා හරියට දුක් විඳලා තියෙනවා”
පොස්ට් එක දැක්කට පස්සේ මත හිනා ගියා.
“ඇයි හිනාවෙන්නෙ...?”
ඒ පොස්ට් එකේ ඉන්නෙ මීයා කයිප් කියලා මං කොහොමද අම්මට පැහැදිලි කරන්නෙ.
“ලස්සන ළමයෙක් නේද අම්මේ. පව් හලියට දුක් විඳලා තියෙන පාතයි.”
අනිත් හෙත
අපේ අයියා ඌ කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි. කොලොනා නිසා උගේ ඔලුව හොඳතම අප්සත් වෙලා. මෙන්න මේ යකා උදේ ඉඳලා චිත්‍රයක් අදිනවා. මාත්තුකාව මා දුටු කොලෝනා.
- බබා

ඇහි පිල්ලමෙන් ලියන සෙල්ලිපිය

සිකුරාදා 

තාත්තා අද ගෙදර ආවේ පුදුම සන්තෝසෙන්. කොරෝනා ආවට පස්සේ තාත්තා මෙච්චර සන්තෝසෙන් හිටියෙ අද. අම්මා පනවලා තියෙන කොරොන්ටයින් නීති ටික නිසා වැඩ ඇරිලා ගෙදර එන තාත්තාට එළියෙ ළිඳෙන් නාගෙන තමයි ගේ ඇතුළට එන්න අවසර තියෙන්නෙ. නාන අතරෙ තාත්තා එයාගෙ සතුටට හේතුව එළිකරා.
“පැය එකාමාරක් පෝලිමේ ඉඳලා ගත්තෙ. අම්මේ නැතිවෙච්ච සහෝදරයෙක් ආපහු හම්බවුණා වගේ. අද නම් මට මුකුත් කියන්නෙ නැතුව බයිට් එකට බිත්තරයක් ඔම්ලට් දාල දෙන්න”
වෙනදට තාත්තගෙන් ඒ වගේ ඉල්ලීමක් ආවොත් දාහක් ආඩපාලි කියන අම්මා සද්ද නැතුව බිත්තර ඔම්ලට් එකක් දාන්න ලෑස්ති වුණා.
“මාස දෙකක්ම මුකුත් කටේ ගහන්නෙ නැතුව හිටියනේ... ඔන්න ඔහේ අද එයාගෙ කැමත්තක් කරපු දෙන්”

සිකුරාදා රෑ
තාත්තගේ කටින් සින්දුවක් කියවෙන්නෙ එයාගෙ සන්තෝසෙ උතුරලා යන වෙලාවට. දැන් 12ටත් කිට්ටුයි. 10ට විතර පටන් ගත්ත තාත්තගේ සංගීත සාඡ්ඡේ තාම යානවා.
“පුහුමානය හර්දේ පුරවන්නේ දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ
ඔහු නොවෙන මේ ලොකේ වසලයා
වංසේ කුල භේදේ නී ලොවේ - නොමෙ වේ බමුණා හෝ වසලයා”
මේ සින්දුව අදට ඇහෙන තුන්වෙනි වතාව. එකම වචන ටික වුණාට තාල තුනක්. දැන් දැන් ඔක්කොම සින්දු යන්නෙ එකම තාලෙට.
“දැන් ඔය ඇති. ගිහින් නිදාගන්න.”
“එහෙම බෑ විකාශන නිමාව ලස්සනට ගන්න ඕනේ. අපි ජාතික ගීය කියමු”
තාත්තා අමාරුවෙන් සිරුවෙන් වැනි වැනි ශ්‍රී ලංකා මාතා කියනකොට අපි හිනාව තද කරන් සීරුවෙන් හිටියා.

සෙනසුරාදා
කලිඟු අයියා අද උදේම අපේ ගෙදර. එයා දැන් ගෙදර එන්න ලස්සන හේතුවක් හොයාගෙන.
“මේ බීජ ඇට ටික බය නැතුව පැල කරන්න නැද්දෙ....? මාසෙන් පළදාව”
අපේ අම්මාට කළිඟු අයියා ගෙවතු වගාව ගැන උපදෙස් දුන්නෙ හරියට කෘෂිකර්ම උපදේශකයෙක් වගේ.
“අපරාදේ කලිඟු අයියා අපිට ඇඳිරි නීතිය දාපු අලුතම ඕවා ගෙනත් දුන්නා නම් මෙලහට අපි පළදාව භුක්ති විඳිනවා නේද අම්මෙ”
මම කතාවට පොහොර ටිකක් දැම්මෙ අම්මගේ හිතේ සැකයක් නැති වෙන්න. ලැබුණු අවසරෙන් කලිඟු අයියත් උපරිම ප්‍රයෝජන ගන්න අමතක කරේ නෑ.
“පාත්තිය හදාගන්න නැන්දට උදව් කරන්න මං හවස් වෙලා එන්නම්.”
“හවස එනවා නම් අපිට යීස්ට් ටිකක් හොයාගෙන එන්න අයියේ...?”
“යීස්ට් ඇයි පෙරන්නද...?”
“මොනවා පෙරන්නද....? මාළු පාන් හදන්න”

ඉරිදා

ඊයේ හවස කලිඟු අයියා යීස්ට් අරන් ආවේ අද දවල්ටත් අපේ ගෙදර එන්න හේතුවක් ඉතුරු කරගෙන. ඒ මාළු පාන්. ජීවිතේ පලවෙනි වතාවට මම මාළුපාන් හැදුවෙ. අනේ මන්දා මම සෑහෙන්න දෙගිඩියාවෙන් කලිඟු අයියට මගේ අතින්ම මාළු පාන් එකක් ගිහින් දුන්නා.
“ෂා මරුනේ.. මේවට තමයි මාළු පාන් කියන්නෙ. මාළු තියෙනවා. පානුත් තියෙනවා”
කලිඟු අයියා ඕනවටත් වඩා බොරු කිය කිය මගේ මාළු පාන් වර්ණනා කරා. ඇත්තටම සතුටුයි. ඒ මාළු පාන් හරියට හැදුණු නිසා නෙමෙයි මගේ අතින් කලිඟු අයියට කෑමක් හදපු නිසා.
- මානවිකා

දෝංකාරය - කයිවාරු

ට කිහිප දෙනෙක් කියලා තියෙනවා youtube channel එකක් පටන් ගන්න කියලා, පත්තර
වලින් interview ඉල්ලපු අවස්ථා විතරක් නෙවෙයි පත්තර වලට කොලම් එකක් ලියන්න කියලා ආරාධනා ආපු අවස්ථා එහෙමත් තියෙනවා, ඔය හැම වෙලාවෙම විතරක් නෙවෙයි මං කතා කරන්න ඕන ඇතැම් අවස්ථා වලදි පවා මොනවා හරි ඒ වෙලාවට හරි යන එකක් කියලා ශේප් වෙන එක තමයි මගේ ක්‍රමය උනේ. ඇත්තම කතාව එහෙම මට හිතෙන හිතෙන ඒවා ප්‍රසිද්ධියේ කියන්න තියෙන ලැජ්ජා ව සහ බය තමයි ඔය අවස්ථා ප්‍රතික්ෂේප කරන්න හේතු උනේ. මොකද මං හොඳාකාරවම දන්නවා මට වඩා දන්න මිනිස්සු අටෝරාසියක් ලෝකෙ ඉන්නවා කියලා, එහෙම මිනිස්සු ඉඳිද්දි කොහොමද මං පොර ටෝක් දෙන්නෙ කියලා ඉහ වහා ගිය ලැජ්ජා වක් තමයි තාමත් මගෙ ඔලුවෙ තියෙන්නේ.

හැබැයි මට දැන් පේන්නේ එහෙම ලැජ්ජා බය තියෙන්නේ මට විතර ද මන්දා. මෙලෝ තේරුමක් නැතුව හැමෝම හිතෙන හිතෙන හැමදේම, හැමතැනම කියනවා, තමන් කියන්නෙ ඔප්පු කරපු දෙයක් ද, නැත්නම් මොකක් හරි පිලිගත් මත වාදයක් ද, නැත්නම් තමන් ගෙ මනෝ විකාරයක් ද කියලා වත් අඩුම ගානෙ කියනවා නම් යම් වැදගත් කමක් එයි කියලා මට හිතෙන්නේ .
දේශපාලනඥයෝ, මාධ්‍යවේදීන්, පැවිදි උතුමන්ලා, ගිහි උතුමන්ලා, දොස්තරලා, ගුරුවරු, නලුවො, ගායකයො, ක්‍රීඩකයෝ, ඩ්‍රයිවර් අන්කල්ලා, කොන්දොස්තර මල්ලිලා, ත්‍රීවිල් කොල්ලො, නර්ස් ඇන්ටිලා යනාදී සියල්ලෝම මේ වෙන කොට දේශන දෙන්න පටන් අරගෙන තියෙන්නේ, මං මේ කියන්නෙ කොරෝනා තත්ව යටතේ ඇතිවුන ඒවා නෙවෙයි ඊට කලින් ඉඳල එහෙම තමයි සිද්ධ උනේ. කොරෝනා තත්ව යටතේ ඒ පිලිබඳ දැනුවත් පුද්ගලයන් කරන ප්‍රකාශ හෝ ඕනෑම කරුණ ක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයන් කරන ප්‍රකාශ එක්ක මේක පටලවා ගන්න එපා. මං මේ කියන්නෙ තමන්ට මෙලෝ අදාලත්වයක් නැති දේවල් ගැන දේශන පැවැත්වීම ගැන.
ඉතින් අර වගේ මටත් කයිවාරු ගහන්න ආපු අවස්ථා මඟහැරපු එක ගැන මට පුදුම සංතෝසයක් තියෙන්නේ. ඇයි දෙයියනේ හැමෝම කතා කරන එකේ ඕවා අහගෙන ඉන්නත් කවුරු හරි ඉන්න එපැයි. ඉතින් ඒ දුර්ලභ අවස්ථාව ලබා ගන්න මං අර සුලභ තත්ත්වය මග හැරපු එක ගැන මං සතුටු වෙන්න ඕන නැද්ද?
අපි ඉස්කෝලෙ යන කාලෙ අපි හිටපු සංගමයක සාමාජිකයන් අතුරින් එක් අයෙක් හැරෙන්න අනිත් හැමෝටම විවිධ තනතුරු තිබ්බා. එකම එක කෙනයි තනතුරක් නැතුව හිටියේ මිනිහා පුදුම ආඩම්බරයෙන් හිටියෙ ඒ සම්බන්ධයෙන්, අනිත් අය තමන් ගෙ තනතුර ලියලා අත්සන් කරද්දි එයා ඔයැ member කියලා අත්සන් කරනවා. මටත් ඒ වගේ හැඟීමක් තමයි දැන් තියෙන්නේ.
මහ සභා මැද නොවුනට දෙන්නා තුන් දෙනා එකතු වෙන තැන් වල අපිත් ලොකු කතා කියවනවා, හැබැයි ඒවා නිකන් gossip විතරයි කියලා අපි දැනගෙන ඉන්න ඕන. අනික මං හිතන විදියට ම අනිත් අයත් හිතන්න ඕන, මේක තමයි නිවැරැදි ම ක්‍රමය කියලා හිතෙන එක ම මං හිතන්නේ රෝගී තත්ත්වයක් කියලා. ඒ වගේම සමාජය ට උපදෙස් දෙන්න තමන් ට තියෙන සුදුසු කම මොකක් ද කියලා පෙරලා තමන් වම ප්‍රශ්න කරන්න හික්මීමක් තියෙන්න ඕන කියලා මට හිතෙන්නේ. නැත්නම් අඩුම ගානෙ කයිවාරුව ඉවර වෙලා මේ මට හිතෙන හැටි මේක ට වෙනස් අදහස් අනිත් අයට තියෙන්න පුළුවන් කියලා කියන්න නිහතමානී කමක් වත් තියෙන්න ඕන.
කොහොම හරි හැමෝම කතා කරන්න ගත්තා ට පස්සෙ වචන වලට තියෙන වටිනාකම, ගෞරවය විතරක් නෙවෙයි වචන වලින් නිර්මාණය වන සුන්දරත්වය හා ආදරයත් නැති වෙලා යනවා. දැන් ඒක වෙලා තියෙන්නේ, ඒකයි කතා කරන මිනිස්සු මහ කන්දරාවක් හිටියට කවුරුවත් ඒවා අහන්නෙ නැත්තෙ, නැත්නම් ගනං ගන්නෙ නැත්තෙ, ඉතින් කතා කරන මිනිස්සු ත් තේරුම් ගන්න ඕන කතා කලා ට මුකුත් වෙන්නෙ නෑ කියන එක.
ඒක නිසා දැන් ඉතිරි වෙලා තියෙන්නේ ආයෙ කවදාහරි දවසක වචන වලට වටිනාකමක් එන කල්, ගෞරවයක් එන කල්, නිශ්ශබ්ද ව ඉන්න එක. එහෙම දවසක් කවදා වත් එන්නෙ නැත්නම් සදාකාලිකව ම නිශ්ශබ්ද ව හිටියත් කමක් නෑ කියලා මට හිතෙන්නේ. එතකල් මොකද කරන්න ඕන කියලා කවුරු හරි ඇහුවොත් උත්තරේ හරි සරලයි. එතකල් නෙවෙයි ඊට පස්සෙත් කරන්න ඕන වැඩ කරන එක, ඔයා ට මට ජීවත් වෙන්න පුළුවන් බිමක් හැදෙන්න මොනවා මොනවා හරි වැඩ කරන එක. ඊට පස්සෙ කතා කරන්න සුදුසු දවසක් ආවත් ඔයාට තේරෙයි කතා කරන්න ඕන නෑ, කරන්න ඕන වැඩ කරන එක කියලා.
ඔව්... මේ මට හිතෙන හැටි. වෙන කෙනෙකුට වෙන අදහසක් තියෙන්න පුළුවන් . මං ඒකට ගරු කරනවා. ඔයා ගෙ අදහස අහං ඉන්නත් මං කැමතියි. හැබැයි මට කම්මැලි හිතුනොත් මං නැඟිටලා යනවා. දිගටම අහගෙන හිටියම එහෙම වෙනවා. මොකද එකම දේ නම් කියන්නෙ, මං ඕක අනේක වාරයක් අහලා තියෙනවා නම්, මං අහගෙන ඉන්න එකේ තේරුමක් නෑ. අනික කතා කරන එක ඔයාගෙ අයිතියක් වගේම නැඟිටලා යන එක මගේ අයිතියක්. මං කියන දේවල් සම්බන්ධයෙනුත් ඒක එහෙම තමයි.
කාලිංග බණ්ඩාර

සුනිල් මාධව පේ‍්‍රමතිලක මතක දිගහැරුම - 04

මාධව අරක්කු ටිකක් කටේ තියන එකක් නෑ... 
නන්දය මාධවට ආගන්තුක තැනක් බවට පත් වූයේ කෙටි කාලයකට පමණි. තමන්ගේ පියා ඉගෙනගත් පාසල වන නිසාවෙන් ඔහුට මේ තුළ පුදුමකාර හුරුබවක් දැනුණි.
මීමන තුළ වූ පොත් කියවීමේ පුරුද්ද ඒ අයුරින්ම මාධවට ද දායද වී තිබූ නිසා ඔහු ඉඩ ලැබෙන සෑම අවස්ථාවක දී ම පොත් කියවන්නට යොමු විය. ඒ අවධියේ ඔහුගේ වීරයා වූයේ ඩීමන් ආනන්ද ය. ඩීමන් ආනනදගේ පොත්පත් මාධව කියවූයේ මහත් ආශාවකිනි. මේ ආශාව විසින් ම ඔහුව තවත් පොත් පත් කියවීමට යොමු කළේ ය. ඉගෙනීමට ද අති දක්ෂයෙකු වූ මාධව වඩාත් ම ආශා කළේ ඉංග්‍රීසි සාහිත්‍යයට ය.
මාධව ඉගෙන ගත් පන්තියට ඉංග්‍රීසි සාහිත්‍යය ඉගැන්වූයේ ජේ.බී. ලැනරෝල් ය. ඔහු වේ වන විට මුළු ආනන්දයට ම ආනන්දජනක ගුරුවරයෙක් බවට පත් ව සිටියේ ය. ශේක්ස්පියරගේ කෘතීන් හා බටහිර කවි ඔහු ඉදිරිපත් කළේ රඟපාමිනි. මේ නිසා ලැනරෝල් ගේ දේශනයට මාධව වඩාත් ප්‍රිය කළ අතර එයින් ලද උත්තේජනය හමුවේ වැඩිවැඩියෙන් ලෝක සාහිත්‍යය කියවීමට ද ඔහු උත්සාහ කළේ ය.
විද්‍යාලයීය නේවාසිකාගාර ජීවිතයට ටික කලෙකින් අනුවර්තනය වූ මාධව පසුව එයට දැඩි ලෙස ඇලුම් කළේ ය. මුලින් මුලින් නේවාසිකාගාර ජීවිතය
ඔහු ට ආගන්තුක වූ නමුත් පසුව ඔහුට එය සාමාන්‍ය ජීවිතයේ ම කොටසක් බවට පත්විය. පාසැලට පැමිණ දින කිහිපයකින් ම ඔහු ඒ කඩඉම පසු කළේ ය. මාධව කෙටි කලෙකින් පාසල තුළ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණි. එයට බලපෑ ප්‍රධාන හේතුවක් තිබිණි. ඒ වෙනකක් නොව ඔහු තුළ වූ අසාධාරණය නොඉවසන ගුණයයි. නේවාසිකාගාරය තුළත් පාසල තුළත් ඇති වුණ බොහෝ කළකෝලහලවල දී ඉස්මතු වූ ප්‍රධාන චරිත අතර මාධව සිටියේ ඉදිරියෙනි. විශේෂයෙන්ම නේවාසිකාගාර තුළ වූ පොදු ප්‍රශ්න පිළිබඳ ගැටුම්වලදී ඔහු ගුරුවරුන් සේම පරිපාලන නිලධාරීන් සමඟ ද බහින් බස් වීම් ඇතිකර ගත්තේ ය. මේ නිසා ගුරුවරුන් අතරත් පරිපාලන නිලධාරීන් අතරත් මාධව ප්‍රසිද්ධ වූයේ ‘ගෝරී දාගන්න ළමයා’ යන අන්වර්ථයෙනි.
නේවාසිකාගාරයේ සිට සෑම සතිඅන්තයේ ම ගෙදර යාම මාධවගේ සිරිතකි. සෑම සතිඅන්තයකම මීමන ඒ සඳහා පැමිණෙන බැවින් මාධව මුළින් මුළින් ඒ දිනය උදාවනතුරු පුලපුලා බලා සිටියේ ය. එහෙත් දැන් දැන් ඔහුට අවශ්‍ය වූයේ වැඩිකාලයක් නේවාසිකාගාරයේ
රැඳෙන්නට ය. එහෙත් ඒ බව තාත්තාට හෙළි නොකිරීමට වගබලා ගත්තේ ය. කෙසේ වුවද මීමන එය අවබෝධ කරගත්තේ ඉවෙන් මෙනි. මාධව සමඟ ගෙදර ගිය මොහොතක ඔහු ඒ බව ඇඞ්ලින්ට වක්‍රාකාරයෙන් කියුවේ ය.
“ඉස්සර නම් මෙයා ඇඬුවේ අපිව දාලා හොස්ටල් යන්න බෑ කියලා. ඒත් දැන් අඬන්නේ හොස්ටල් එක දාලා ගෙදර එන්න බෑ කියලා”
එතරම් හිතට නොගෙන මීමන එම ප්‍රකාශය කළ ද එහි වූ කරුණුවලට එරෙහිවීමට මාධව උත්සාහ නොකළේ ය. මක් නිසා දයත් එම කාරණා තුළ පුදුමාකාර සත්‍යයක් අඩංගුව තිබූ බැවිනි.
තම යහළුවන් සමඟ එක් ව නේවාසිකාගාරයේ ඕනෑතරම් දඟවැඩ කිරීමට මාධව ආශා කළේ ය. දිනක් මිතුරන් සමඟ එකතුව ඔහු පාසැල් වත්තෙන් කෙසෙල් කැනක් කැපුවේ ය. පළමු දවසේ මෙම කටයුත්ත සිද්ධ වූයේ ඉතා සූක්ෂමවත් දැඩි බියත් මැද්දේ ය. එහෙත් පසුව එය ද සාමාන්‍ය අංගයක් බවට පත් විය.
ක්‍රීඩාව සඳහා ද මාධවගේ තිබුණේ පුදුමාකාර උනන්දුවකි. ඔහුගේ ජනප්‍රියම ක්‍රීඩාව වූයේ ක්‍රිකට් ය. ඒ හැරෙන්නට මළල ක්‍රීඩා සම්බන්ධයෙන් ද ඔහුට හොඳ උනන්දුවක් තිබිණි. මේ සියලු කරුණු පෙරදැරි කර ගනිමින් නේවාසිකාගාර ජීවිතයට ඇලුම් කළ මාධව ඉරිදාට ගෙදර ගියේ තරමක ශෝකී මනසකිනි.
මෙසේ ගිය දිනක තාත්තා සිය මිතුරන් කිහිපදෙනෙකු සමඟ මධුපානොත්සවයක් සංවිධානය කර තිබිණි. තාත්තාගේ බීම පිළිබඳ ව මාධව සිටියේ බොහෝ කලකිරීමෙනි. ඔහු එයට එරෙහිව තාත්තාටත් අම්මාටත් කරුණු කීවේ ය. එහෙත් එදින තත්වය ඊට වඩා බොහෝ සේ වෙනස් වී ඇත. තාත්තා සංවිධානය කළ සාදය ජයට කෙරීගෙන යද්දී මාධව අම්මා අසලට ළං විය.
“අම්මේ මොකක්ද මේ වැඬේ.... බොනවා බොනවා ඉවරයක් නෑ.”
“මොනවා කරන්නද ඒක එයාගෙ හැටිනෙ...”
අම්මාගේ කියමනත් සමඟ මාධවගේ කෝපය ඉහවහා ගියේ ය. ඔහු අසල තිබූ මේසයට වේගයෙන් ගසා කාමරයට වැදුණේ ය. දැන් දැන් තම පුතු තුළින් එල්ල වන විරෝධයන්ගේ තරම තේරුම් ගත් ඇඞ්ලින් මාධව ඔහුගේ වයසේ සිටින අනෙක් දරුවන්ට වඩා විශේෂ බව තේරුම් ගත්තා ය.
පාසැල් නිවාඩුවට ගෙදර පැමිණි දිනක මාධවට හදිසි කාරණාවක් සඳහා නිවසින් බැහැරව යාමට සිදුවිය. ටික මොහොතක් ගිය පසු මාධව යළි නිවසට පැමිණියේ ය. මෙවර ඔහු තුළින් විද්‍යමාන වූයේ කේන්තියෙන් දිදුලන දෑසකි. නිවසට ගොඩ වූ මාධව තම කමිසය ගලවා විසිකර දැමී ය. ඇඞ්ලින් වහා මාධවගෙන් ඒ පිළිබඳ කරුණු විමසා සිටියා ය.
“මොකද පුතේ වෙලා තියෙන්නෙ...?”
“අද බස් එකේ එද්දි මිනිහෙක් බස් එක ඇතුළෙ සිගරට් බොනවා. මගේ ඇඟට තමයි දුම් ටික ඔක්කොම ආවේ. මට ඒ වෙලාවෙ ෂර්ට් එක ගලවලා දාන්න තරම් කේන්තියක් ආවේ. බස් එකේ නිසා නිකන් හිටියෙ”
සුරාවට එරෙහිව මාධව මෙසේ විරෝධය පළකිරීම ගැන ඇඞ්ලින් තුළ වූයේ පුදුමාකාර සන්තෝසයකි. ඇය නිතර සිය ඥාතීන් සමඟ ද ඒ බව උදම් ඇනුවා ය.
“මට විස්වාසයි ලොකු පුතා කවදාවත් අරක්කු ටිකක් කටේ තියන එකක් නෑ.”
පාසල් සමය තුළ මාධව මුහුණ දුන් පළමු අභියෝගාත්මක විභාගය වූයේ සිනියර් පෙප් විභාගයයි. ඔහු එයට සාර්ථකව මුහුණ දී ඉන් සමත් වූ බැවින් ජේ්‍යෂ්ඨ පන්තිවලට ඇතුළු වීමට භාග්‍ය උදාවිය. මීමනගේ එකම සිහිනය වූයේ මාධව කෙදිනක හෝ වෛද්‍යවරයෙක් වනු දැකීමයි. ඒ නිසා ජේ්‍යෂ්ඨ පන්තිවල දී විද්‍යා විෂය හදාරන ලෙසට මාධවට ගෙදරින් යෝජනා ඉදිරිපත් විය. ඒ සඳහා මාධවගේ විරුද්ධත්වයක් නොවූ බැවින් එතැන් පටන් වෛද්‍යවරයකු වීමේ සිහිනය තුරුළු කර ගනිමින් මාධව සිය අධ්‍යාපන කටයුතු සිදු කළේ ය.
ආනන්දයේ ජේෂ්ඨ පන්තිවලට ඇතුළු වන විට මාධව පිළිබඳව බෝහෝ ගුරුවරුන් තුළ වූයේ මොහු ගණන්කාරයෙකු වන බවට වූ හැගීමකි.
“අපරාදෙ හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයා. නිකන් අනන්මනන් නිසා නාස්ති වෙනවා”
මතු සම්බන්ධයි
අසංක සායක්කාර

99 ලෝක කුසලානය

Garner, Marshall ,Holding" Roberts" Croft යන පිතිකරුවන් සසල කල වේග පන්දු
යවන්නන් ගෙ පරම්පරාවෙ අවසන් පුරුක් දෙක වූ Curtly Ambrose සහ Courtney Walsh යන දෙපල සහභාගි වූ අවසන් ලෝක කුසලාන 1999 යි. ඉහත නම් සඳහන් කල ප්‍රතාපවත් පන්දු යවන්නන් ගෙ අන්තිමයා වූ Malcolm Marshall ද 1992 දි සමුගැනීමෙන් පසු කොදෙව් වේග පන්දු බල ඇණියේ සම්පූර්ණ වඟකීම මේ දෙපල බාරගත් අතර මුල් යුගයෙදි Ian Bishop " Winston Benjamin හා Kennath Benjamin ගෙන් ඉහළ මට්ටමේ සහයෝගයක් ලැබුණු නමුත් ආබාධ හා විවිධ කරුණු හේතුවෙන් ඔවුන් ක්‍රමයෙන් දුර්වල වූ අතර Ambrose හා Walsh කාලයත් සමඟ හුදකලා වෙමින් සිටිනු දක්නට ලැබුණි . පන්දු යවන්නන් ගෙන් ලැබෙන සහයෝගය එලෙස එන්න එන්නම අඩු වද්දි පිතිකරුවන් ඊට වඩා වේගයෙන් අකර්මණ්‍ය වීමත් සමඟ සෑම තරඟයක් ම පාහෙ පරාජයෙන් අවසන් වන ආකාරය මේ දෙපල නිසොල්මනේ බලා සිටින්නට විය. නමුත් කිසිඳු අයුරකින් තම එල්ලය හා පතිත කිරීම (line & length) මඟ හැරීමට ඔවුහු ඉඩ නොදුන්නෝය.

1999 ලෝක කුසලානය ට සංචිතය නම් කර තිබියදී තරඟ ආරම්භ වීමට සති තුනකට පෙර ජේශ්ඨ ක්‍රීඩක මෙන්ම මැද පෙල ශක්තිමත් කල දැවැන්ත පුරුකක් වන Carl Hooper" cricket ක්‍රීඩා වෙන් සමු ගැනීම ප්‍රකාශ කරමින් තරඟාවලියෙන් ඉවත් වන්නෙ කණ්ඩායම තුල තිබූ මතභේද තව දුරටත් රහසක් නොවන බවට පත් කරමිනි. Hooper පසු කළෙක නැවත ක්‍රීඩාවට එකතු වන අතර කණ්ඩායම් නායකත්වය ට ද පත්වේ. 2003 ලෝක කුසලානය ට කොදෙව්වන් සහභාගි වන්නේ Carl Hooper ගේ නායකත්වය යටතේ ය.) කෙසේ හෝ Brian Lara ගේ නායකත්වයෙන් 99 ලෝක කුසලානයට තරඟ වදින කොදෙව් කණ්ඩායම පලමු වටයේ දී ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය ඉතා පහසුවෙන් පරාජය කරනු ලබන අතර නවසීලන්තය ද පරාජය කිරීමට සමත් වේ. පාකිස්තානු තරඟය මෙන්ම ඔස්ටේ්‍රලියානු තරඟය ද පරාජය වන්නෙ මූලික වශයෙන් පිතිකරුවන් ගෙ දුර්වල තාවය හේතුවෙනි.
ඔස්ටේ්‍රලියානු කණ්ඩායම හමුවේ කොදෙව්වන් ලකුණු 110 කට මුලුමනින්ම දැවී ගිය ද ඔස්ටේ්‍රලියානුවන්ට එම ජයග්‍රාහි ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට පන්දු වාර 41ක් වැයවීම Ambrose, Walsh දෙපලගේ මෙන්ම අනෙකුත් පන්දු යවන්නන්ගේ ද ධෛර්යය සඳහා ඉතා පැහැදිලි නිදසුනක් වේ.
මුළු තරඟාවලිය පුරාවට ම අති විශිෂ්ට පන්දු යැවීම ක නිරත වූ Ambrose තරඟ 4 කදී ඕවර 40 ක් යවා ලකුණු 94 ක් පමණක් ලබාදී කඩුළු 7 දවා ගන්නේ පන්දු වාරයකට ලකුණු 2.35 පමණක් ලබා දෙමින් වන අතර කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය ලෙස 13.42 පවත්වා ගනිමිනි. Walsh මෙහිදී Ambrose අභිබවා යන අතර ඔහු තරඟ 5 කදී පන්දු වාර 47ක් යවා ලකුණු 108 කට කඩුළු 11 ලබා ගන්නෙ පන්දු වාරයකට ලකුණු 2.29 පමණක් ලබා දෙමින් හා කඩුල්ලක් සඳහා 9.98ක සාමාන්‍ය යක් රඳවා ගනිමිනි. මෙම ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නන් දෙදෙනාට මහඟු සහයෝගයක් ලබා දෙන නවක ක්‍රීඩක Reon King තරඟ 4 කදී පන්දු වාර 31.3 ක් යවමින් ලකුණු 95 කට කඩුළු 8 ක් බිඳ හෙලන්නේ පන්දු වාර යක් සඳහා 3.01 ක් ලබා දෙමින් සහ කඩුල්ලක් සඳහා 11.87 ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් වේ. 99 ලෝක කුසලානයේ හොඳ ම economy rate එක මෙන්ම හොඳම average සඳහා ද පලමු ස්ථාන තුනම හිමිවන්නේ අනුපිලිවෙලින් මොවුන් තිදෙනා ට වීම විශේෂත්වයකි.
පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා කල Phil Simmons හොඳ මeconomy rate සහිත පන්දු යවන්නන් පලමු 10 දෙනා තුලට අයත් වන අතර ඉතිරි ප්‍රධාන පන්දු යවන්නා වන Mervin Dillon ද 4 ට අඩු economy rate එකක් පවත්වා ගැනීමට සමත් වේ. ( 99 ලෝක කුසලානය අති විශාල ලකුණු සංඛ්‍යාවන් වාර්තා නොවුණු තරඟාවලියක් වන අතර පන්දු යවන්නන් සැලකිය යුතු දක්ශතා දැක් වූ ලෝක කුසලානයකි.economy rate 4 ට වඩා අඩු වූ පන්දු යවන්නන් 31 මෙම තරඟාවලිය අවසානයේ දි වාර්තා විය.) නමුත් කොදෙව්වන් ට මෙම අති විශිෂ්ට පන්දු යැවීමේ වාර්තා හිමිවීමට කොදෙව්වන්, වඩා තරඟ කාරි වූ දෙවන වටයට ඇතුලත් නොවෙමින් ඉවත් වීම ද යම් ආකාරයට බලපාන බව අප තේරුම් ගත යුතුය.
පිතිකරුවන් අතරින් කඩුළු රකින්නා ලෙස මෙන්ම ආරම්භක පිතිකරු ලෙසද ක්‍රීඩා කල Ridley Jacobs යම් සාර්ථකත්වයක් දැක්වූ නමුත් ඊට අමතරව Shivanarine Chanderpaul හා Jimmy Adams එක් අර්ධ ශතකය බැගින් රැස් කල ද ඊට වැඩි යමක් කිරීමට ඔවුන් අසමත් විය. නායක Lara ඉනිම 5 දිම රැස් කරගනු ලැබූවෙ ලකුණු 106 ක් පමණි. මෙම සියලු දත්ත වාර්තා පිරික්සීමේදී Carl Hooper ඉක්මන් නොවූයේ නම් ඔහුගෙ තුන් ඉරියව් දස්කම් කොදෙව්වන් super six වටයට රැගෙන යාමට ඇතැම් විට ප්‍රමාණවත් වීමට ඉඩ තිබුණි.
ඉහත නම් සඳහන් කල Reon King එතරම් සුප්‍රසිද්ධ ක්‍රීඩකයකු නොවූවද, කොදෙව් වේග පන්දු පුරාණයෙ ඊලඟ පුරුක වීමට නියමිත වූ ක්‍රීඩකයා වූයේ ඔහුයි. King සහ Franklyn Rose දෙපලAmbrose" Walsh යුගලයට අති විශිෂ්ට සහයෝගයක් ලබා දීමට සමත් වූ තරඟ රැසක් එකල පැවති අතර වේග පන්දු යවන්නන්ගේ යශ්ටිය ස්වකීය ජ්‍යෙෂ්ඨයන් ගෙන් ලබා ගැනීමට ඔවුන් දෙපලම ඉතා උනන්දුවෙන් සැදී පැහැදි සිටියහ. නමුත් ආබාධයන්ට ලක් වූ මොවුන්ව රැක ගැනීමට, ආරක්ෂා කර ගැනීමට විධිමත් වැඩ පිලිවෙලක් නොමැති වීම හා ආර්ථික අර්බුදයක පැවති පාලක මණ්ඩලයේ අදූරදර්ශි ක්‍රියා මාර්ග එම අවස්ථාව කොදෙව් දේශයට මෙන්ම ලෝක වාසී ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ද අහිමි කලේය. ඔවුන් මනාව ආරක්ෂා කර ගත්තේ නම් 2000 දි පමණ පිටියට පිවිසෙන Jaramine Lawson සමඟ ඇතැම් විට Dillon" Cuffy" Collymore Collins වැන්නන් ගෙ ද සහයෝගයෙන් තවත් කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දමනය කිරීමේ අවස්ථාව ක් කොදෙව් වේග පන්දු යවන්නන් ට ඉතිරි වී තිබුණි. නමුත් අදූරදර්ශි පරිපාලනය එය මඟ හැර ගත්තේය. එම නිසා ලොව භීතියට පත් කල කොදෙව් වේග පන්දු පුරාණය Ambrose සහ Walsh ගෙ නික්ම යාමත් සමඟ ම වැලලී ගියේය.
99 ලෝක කුසලාන තරඟාවලියේ පෙරලිකාර සිම්බාබ්වේ කණ්ඩායමේ කතාව ද සෑහෙන්න මට්ටමකට ඊට ආසන්න වේ. Alistair Campbell ගෙ නායකත්වයෙන් පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම ඒ වනවිට Andy හා Grant යන Flower සොහොයුරන්ට අමතරව Neil Johnson නම් වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා ගෙන් මෙන්ම ඔස්ටේ්‍රලියානු වේගවත් තණතීරු තුලින් බිහිවූ Murray Goodwin නම් මනරම් පිතිකරුවා ගෙන් සන්නද්ධ වූ පිතිකරන බල ඇණියකින් සමන්විත විය. එය ඉතිහාසයේ සිම්බාබ්වේ කණ්ඩායම සතුවූ අග්‍රගණ්‍යම පිතිකරන නාමාවලිය වන අතර ඔවුන් ලෝකයේ ඕනෑම කණ්ඩායම ක් නියෝජනය කල හැකි මට්ටමේ අති ප්‍රබල පිතිකරුවන් විය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලානයෙ වැඩිම ලකුණු ලාභියා මෙන්ම වැඩිම කඩුළු ලාභියා ද වූයේ Johnson ය.Heath Streak, විසින් Johnson ට සැලකිය යුතු සහයෝගයක් ලබා දීමට සමත් වූ අතර Henry Olonga ද වරින්වර අතිශය තර්ජනාත්මක පන්දු යැවීම් සිදු කිරීමට සමත් විය. (සුපිරි පිතිකරු Sachin Tendulkar ව පිට පිට පන්දු දෙකකදී දෙවරක් දවා ගැනීම එවැනි මතකයේ රැඳෙන අවස්ථාවකි) Paul Strang සහ Adam Huckle ගේ පන්දු යැවිම් තව දුරටත් ඔපමට්ටම් කර ගැනීමට සමත් වූයේ නම් සිම්බාබ්වේ කණ්ඩායමේ පෙරලිකාර ගමන තවත් දීර්ඝ වීමට ඉඩ තිබුණි.
මෙම පෙරලිකාර සිම්බාබ්වේ වරු 99 ලෝක කුසලානයේ පලමු වටයේදී කෙන්යාව, ප්‍රබල ඉන්දියානු කණ්ඩායම මෙන්ම සුපිරි දකුණු අප්‍රිකානු කණ්ඩායම් ද පරදවමින් super six වටයට පිවිසෙන නමුත් එහිදී ඔස්ටේ්‍රලියාවට, හා පාකිස්තානය ට පරාජය වන අතර නවසීලන්තය සමඟ පැවති තරඟ ය වර්ශාව හේතුවෙන් ජය පැරදුමකින් තොරව අවසන් වේ. එමගින් ඔවුන් ට අවසන් පූර්ව වටයට පැමිණීමට තිබූ අවස්ථාව අවසන් විය.
මෙලෙස ලෝක කුසලාන තරඟාවලියෙදි අති සාර්ථක ක්‍රීඩා විලාශයක් දැක්වුව ද පරිපාලනය සමඟ ඇති වූ පරස්පරතා සහ ක්‍රීඩකයන්ට සිඳු කල ප්‍රමාණවත් නොවන ගෙවීම් සම්බන්ධයෙන් එකඟවීමට නොහැකි වූ Neil Johnson 2000 දි සිම්බාබ්වේ දේශය අත් හරිමින් දකුණු අප්‍රිකාව ට සංක්‍රමණය වන අතර එම වර්ෂයේ දීම Murray Goodwin ද සිම්බාබ්වේ අත් හැර නැවත ඔස්ටේ්‍රලියාව ට ද පසුව එංගලන්තයට ද සංක්‍රමණය වේ. සිම්බාබ්වේ දේශයේ අභිමානය රැක ගනිමින් දිගින් දිගටම ක්‍රීඩා කිරීමට ලොව වසඟ කල සුපිරි පිතිකරු Andy Flower ක්‍රියා කල නමුත් ජනාධිපති Robert Mugabe ගෙ අමනෝඥ පාලනය තව දුරටත් දරාගත නොහැකි වූ Andy Flower ස්වකීය ජීවිතය පවා පරදුවට තබමින් Mugabe විවේචනය කරමින් 2003 ලෝක කුසලාන තරඟාවලියෙදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වූයේHenry Olonga ද සමඟය. ( Death of Democracy ලෙස හැඳින්වූ එම විරෝධ තාවයෙන් පසුව 2007 දි Andy Flower එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණු කරු ධූරයට පත් වන අතර එතැනින් ප්‍රධාන පුහුණු කරු ධූරයට ද පසුව High performance manager, Technical director වැනි තනතුරු විශාල සංඛ්‍යාවක් දරමින් එංගලන්තය ක්‍රිකට් ක්‍රීඩාවෙ හිණි පෙත්තටම රැගෙන යන ඒ යකඩ මිනිසා පසුගිය අවුරුද්දේ 2019 දී සියලු තනතුරු වලින් ඉවත් ව විශ්‍රාම ගැනීමට තීරණය කළේය. මෙම ඛේදවාචකයන් සිදුනොවීමට සිම්බාබ්වේ දේශපාලනය මෙන්ම ක්‍රිකට් පරිපාලනයද කටයුතු කලේ නම් පසු කලෙක ලොව ප්‍රබලතම කණ්ඩායමක් බවට පත්වීමේ පෙරනිමිති 99 දි සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රකට කරමින් සිටියේ ය.
1997 දී Stephen Fleming නවසීලන්තයේ ලාබාලතම ක්‍රිකට් නායකයා ලෙස පත්වීම් ලබන්නේ Martin Crowe ගෙන් පසු කිවියන් ට විසඳාගත නොහැකි ව තිබූ දීර්ඝ කාලීන නායකත්ව අර්බුදය ට පිලියමක් ලෙසය. ඔහු 2007 හිදි නායකත්වයෙන් ඉවත් ව යන්නෙ නවසීලන්තය බිහි කල විශිෂ්ටතම නායකයා ලෙස පමණක් නොව නවසීලන්තය ට තව දිගු කාලයක් පුරාවට තර්ජනාත්මක කණ්ඩායම ක් ලෙස ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ පැවතීමට අවශ්‍ය බොහෝ දේ ඉතිරි කරමිනි. අතිශය සීමිත සම්පත් ප්‍රමාණයක් භාවිතා කරමින් ලෝක ක්‍රිකට් දැවැන්තයන් සමඟ උරෙනුර ගැටීමට සමත් කණ්ඩායම ක් බිහිකළ Fleming එදත් අදත් මතුවටත් සලකනු ලබන්නේ ක්‍රිකට් පිටියේ බිහිවූ සූක්ෂමතම (master mind tactician ) නායකයකු ලෙසය. අයිස් පර්වතයක් මෙන් සීතල කිසිඳු කැළඹීමක් නැති Fleming ලෝ සුපතල බොහෝ ක්‍රීඩකයන් ගෙ නොමඳ ගෞරවය ට මෙන්ම පැසසුමට ද ලක් වු නායකයෙකි. වර්තමාන Chennai Super Kings නායක Mahendra Singh Dhoni පසුපස සිටින මහා දැවැන්ත සෙවනැල්ල ද වන්නේ ඔහුය.
99 ලෝක කුසලානය එළඹෙන්නේ මේ පෙරලිකාර කණ්ඩායම ගොඩ නඟමින් සිටින මුල් අවධියේ දී ය.Mat Horne, Nathan Astle, Roger Twose, Chris Cairns , Chris Haris, Dion Nash, Craig Mcmillan, Garvin Larsan , Geoff Allot,Adam Parore වැනි ක්‍රීඩකයන් ගෙන් සමන්විත වූ මේ කණ්ඩායම පලමු වටයේදී බංග්ලාදේශය , ස්කොට්ලන්තය සහ ප්‍රබල ඔස්ටේ්‍රලියාව පරාජය කරමින් Super six වටයට සුදුසුකම් ලබන අතර එම වටයේදී ඉන්දියානු කන්ඩායම පරාජය කරමින් (සිම්බාබ්වේ තරඟය වර්ෂාව හේතුවෙන් අත් හැර දැමීමට සිදුවෙයි.) අවසන් පූර්ව වටයට (semi final ) සුදුසුකම් ලබයි. එහිදී පාකිස්තානයට කඩුළු 9 කින් පරාජය වන කිවියන්ට තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වෙයි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවද තරඟාවලිය පුරා අති විශාල පෙරලියක් සිදු කිරීමට කිවියන් මෙහිදී සමත් වන්නේ නැත. නමුත් Geoff Allot කඩුළු 20ක් දවා ගනිමින් Shane Warne සමඟ තරඟාවලියේ වැඩිම කඩුළු ලබා ගත් ක්‍රීඩකයා බවට පත්වීම සුවිශේෂී කරුණකි.
මෙම ලෝක කුසලානය කිවියන්ට වැදගත් වන්නේ Fleming විසින් පසු කලක ගොඩනැඟූ අතිශය සටන්කාමී නවසීලන්ත කණ්ඩායම බිහි වීමේ ආරම්භය මෙහිදී සිදුවීමයි.Haris, Parore, Larsan, Allot සමුගනිද්දි Twose, Cairns, Mcmillan, Astle ,ලාගේ සහයට Styris, Vetori, Shane Bond, Tuffy, Oram වැන්නවුන් පසු කලකදී එකතු විය. 2000 දී ICC Champions කුසලාන ජයග්‍රහණය කල Fleming ගේ සටන්කාමී කිවියන්ගේ තර්ජනාත්මක පෙලහර 2007 අවසන් පූර්ව වටයේදී ( semi final) මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය වීමෙන් අවසන් විය. එය අවම සම්පත් ප්‍රමාණයකින් ලෝකයක් සමඟ ගැටුනු මේ අසහාය නායකයා කිවි දේශයට නායකත්වය දුන් අවසාන තරඟ යයි.

චරිත දිසානායක
චරිත දිසානායක


තෙරපෙන මනුෂ්‍යත්වය 2020 මැයි කලාපය

මේ ඡායාරූප දෙකම කියපාන්නේ මරණීය ඛේදවාචක දෙකක්. එක ඡායාරූපයක සිටින්නේ 
මොහොමඞ් රිස්වාන්. ජීවිතේ නැති කරගන්න කොත්මලේ ජලාශයට පැන්න තරුණියක් බේරගන්න රිස්වාන් ඡලාශ්‍රයට පනිනවා. තරුණිය ගොඩ ගන්න උත්සාහ කිරීමේ දී රිස්වාන්ගේ ජීවිත නැතිවෙනවා. 32 දෙහැවරිදි රිස්වාන් දෙදරු පියෙක්. ජීවිතයක ඇති වටිනාකම ආරක්ෂා කරගන්න දෙවතාවක් නොසිතා වතුරට පැන්න රිස්වාන් ලෝකයට කියලා දෙන උතුම්ම පාඩම මනුෂ්‍යත්වය. මනුෂත්වය ඉදිරියේ ජාති ආගම් කුල පන්ති සියල්ල අහෝසියි. ජීවිතේ නැති කරගන්න වතුරට පැන්න තරුණියගේ වාර්ගිකත්වය දෙමළ. රිස්වාන් මුස්ලිම්. රිස්වාන් වතුර යටට ගහගෙන ගියාට පස්සෙ තරුණිය බේරගන්නෙ පිරිස සිංහල.
අනෙක් ඡායාරූපය මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු වූ හදිසි අනතුරක්. කොරෝනා නිසා අසරණ වුණු මිනිස්සුන්ට ආධාර බෙදන වැඩසහනක දී ඇතිවුණු දරුණු තෙරපීම නිසා කාන්තාවන් තිදෙනෙක් එතැනම මිය යනවා. තවත් පිරිසක් අසාධ්‍යව තවම රෝහල්වල. ඡායාරූපයේ දිස්වෙන පාවහන් අපිට කතා ගොඩක් කියනවා. එකක් ඒ මොහොතේ සිදුවුණූ තෙරපීමේ තරම. අනිත් පැත්තෙන් මේ මිනිස් ජීවිත දුගීබව විසින් තෙරපූ තරම. රුපියල් 1500 ආධාරයක් ලබා ගැනීමෙන් වෙනුවෙන් තමයි මිනිස්සු එතැන තෙරපුණේ.


බෝල්ට් ලා ට පෙර මීටර සියය

කැනේඩියානු ආධිපත්‍යට අභියෝග කළ කෙටිදුර ලෝක සංග‍්‍රාමය 
කාල වර්ණ කුසෙන් පෙකණි වැල ඔතා එලි බහින ගලිවර්ලා ඈත අතීතයේ සිටම සුද්දන්ට නුරුස්සන ජාතියකි. ඒ අන් කිසිත් නිසා නොව ඔවුන් අතේ පයේ වැඩ වලට සේම ක‍්‍රීඩාවටද එක සේ දස්කම් දක්වන බැවිනි. මේ වර්ණභේද වාදය හොඳින් දළුලන සමයේ වුවද ඇමරිකානුවන් ක‍්‍රීඩාව තුළ තම ආධිපත්‍ය වැපිරීමට මහත් වෙහෙසක් ගත් බවට ඉතිහාසය සාක්ෂි දරයි. නමුත් අද වනවිට සමස්ත මලල ක‍්‍රීඩාවේම රටේ ධජය කුමක් නමුත් සංයමයෙන් ධාවන පථය දෙස බලන්නාවුන්ට පෙනී යන්නේ රටෙන් රටට බෙදී කුළල් කා ගන්නේ කළු ජාතිකයන් පමණක්ම ලෙසිනි.
උසේන් බෝල්ට් නමින් මිහිපිට බිහිවූ වේගවත්ම මිනිසා මෙකී අතීත කාල වර්ණ ආධිපත්‍යයේ කෙටිදුර ධාවන වෘතාන්තයේ ආසන්නතම විශිෂ්ටතමයා වේ. නමුත් බෝල්ට් ගෙන් ඉහත යුගයන් හී බිහිවූ විශිෂ්ඨතමයන්ද නැතුවා නොවේ. බෝල්ට් මෙන්ම ලොව දෙවනත් කල ලොවම වසඟ කල තවත් පුරාවෘත්තය කි කාල් ලූවිස්. බෝල්ට් ගැන මෙන්ම ලූවිස් ගැන ද පොත් දහස් ගණනක් ලිවිය හැකිය. ලියැවිලා ද ඇත . මෙහිදී අප අදහස් කරනුයේ බොහෝ අඩුවෙන් කතා වෙන ලූවිස් හා බෝල්ට් අතර කාල පරාසය ගැන යම් සඳහනක් කිරීම සඳහා වේ.
අප ඒ කතාව ලින්ෆර්ඞ් ක‍්‍රිස්ටි ගෙන් ආරම්භ කරමු. ජැමෙයිකාවේ ඉපිද තම මිත්තණිය සමග බි‍්‍රතාන්‍යට සංක‍්‍රමණය වන පුංචි ක‍්‍රිස්ටි ව ලන්ඩන් යොවුන් මලල ක‍්‍රීඩා තරගාවලියේදී ක‍්‍රීඩා ලෝලීන් අඳුන ගත්තද ඔහු ක‍්‍රීඩාව තුළ එතරම් විශේෂයෙකු නොවිය. කොටින්ම කියතොත් 1984 ග‍්‍රීස්ම ඔලිම්පික් උළෙලේ බි‍්‍රතාන්‍ය සහය දිවීමේ සංචිතයට වත් ඔහුට තේරෙන්නට නොහැකිවිණි. නමුත් රොන් රොඞ්න් නම් වූ ඉන්ද්‍රජාලික මලල ක‍්‍රීඩා පුහුණුකරුවා ක‍්‍රිස්ටිට මග හැරුණු, ක‍්‍රිස්ටි ව සොයා දුන්නේය.
අඩි 6යි අඟල් 2ක් උස ක‍්‍රිස්ටි බි‍්‍රතාන්‍යයේම අවධානය තමා වෙත නතු කරගන්නට සමත් වන්නේ ඉන් අනතුරුවය. 1986 වසරේදී ජර්මනියේ පැවති යුරෝපීය මලල ක‍්‍රීඩා ශූරතාවේදී සියල්ලන් පුදුම කරමින් මීටර 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්නා ක‍්‍රිස්ටි, එම වසරේම එඩින්බරෝ හී පැවති පොදු රද මඬුලූ ධාවන පථයේද රිදී පදක්කම ඩහැ ගන්නේ ලෝක ශූර බෙන් ජොන්සන්ට පමණක් දෙවැනි වෙමිනි. එවකට කෙටිදුර ධාවන පථය තනිකරම ඇමරිකානු ජාතික කාල් ලූවිස් හා කැනේඩියානු ජාතික බෙන් ජොන්සන් අතර ද්වන්ධ යුද්ධයක් ව පැවති අවධියකි.
ඉන් අනතුරුව මුළු යුරෝපය පුරාම ක‍්‍රීඩාලෝලීන් මේ කැනේඩියානු දැවැන්තයාට අභියෝග කළ බි‍්‍රතාන්‍යය ජාතිකයා ගැන අවධානයෙන් පසුවන්නට විය. 1987 වසරේදී රෝමයේ පැවති ලෝක මලල ක‍්‍රීඩා ශූරතාව ක‍්‍රිස්ටි වෙත, එවක වේගවත්ම ක‍්‍රීඩකයින් හට සටනක් දීමට හැකි වැදගත්ම තරගාවලියක් විය. නමුත් ක‍්‍රිස්ටි මීටර 100 ඉසව්වේදී ලබා ගන්නේ 4 වැනි ස්ථානයයි. එම තරගයේදී ඔහු තත්පර 10.14කින් එම ඉසව්ව අවසන් කළ අතර තරගයේ රන් පදක්කම් ලාභියා වූ බෙන් ජොන්සන් තහනම් උත්තේජක ලබා ගැනීමේ වරදට හසු වූ හෙයින් එම ඉසව්වේදී ක‍්‍රිස්ටි තම පළමු ලෝක මට්ටමේ පදක්කම දිනා ගන්නට සමත් විය.
1988 දකුණු කොරියානු සෝල් ඔලිම්පික් උළෙල ක‍්‍රිස්ටිගේ පළමු ඔලිම්පික් උළෙලයි. එහිදී මීටර 100 ඉසව්ව අවසන් මහා තරගය ඇමරිකානුවන්ගෙන් සහ කැනේඩියානුවන් ගෙන් පිරි පැවතිණි. කැනේඩියානු කෙටිදුර ශූරයා වූ බෙන් ජොන්සන් සුපුරුදු පරිදි එම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට සමත්වූයේ එවකදී මීටර 100 ඉසව්ව වෙනුවෙන් වාර්තාවූ හොඳම කාලය වූ තත්පර 9.79ක කාලයද වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවමිනි. නමුත් 1987 වසරේ ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවේද තහනම් උත්තේජක මාෆියාවේ ගොදුරක්ව සිටි ඔහු, මෙවරද එම වරදටම හසුව ඔලිම්පික් රන් පදක්කමත් ඔහුගේ වාර්තාවත් අහිමි කරගන්නේය. එම ඉසව්වේදී තත්පර 10 සීමාව අභිබවා ගිය පළමු බි‍්‍රතාන්‍ය ජාතිකයා වෙමින් තත්පර 9.97කින් රිදී පදක්කම දිනා ගන්නට ක‍්‍රිස්ටි සමත් වූයේ එම ඔලිම්පික් උළෙලේ නව වාර්තාවට හිමිකම් කී කාල් ලූවිස්ට වඩා තත්පර 0.05ක් මෙපිටින් සිටිමිනි. බෙන් ජොන්සන් ගේ නිත්‍යානුකූළ නොවන වාර්තාව ඒ අනුව නිෂ්ප‍්‍රභ වූ අතර තත්පර 9.93ක් ව තිබී කැල්වින් ස්මිත් ගේ වාර්තාවේ නව හිමිකාරීත්වය කාල් ලූවිස්ට හිමිවිය. එතැන් සිට විවිධ තරඟ වලදී විවිධ පදක්කම් ජයග‍්‍රහණය කිරීමට ක‍්‍රිස්ටි සමත් විය.
1992 බාසිලෝනා ඔලිම්පික් උළෙල, ක‍්‍රිස්ටිට ඉතා වැදගත් උළෙලකි. මේ වනවිට 100m ලෝක වාර්තාව කාල් ලූවිස් සතු වූ නමුත් (9.86) 92 ඔලිම්පික් උලෙළේ කෙටිදුර ධාවන තරඟ නියෝජනය කිරීමට තරම් මට්ටමක කාල් ලූවිස් නොසිටියේය. නමුත් තහනම අවසන් වී බෙන් ජොන්සන් නැවතත් ධාවන පථයට පැමිණ සිටියේය . 84, 88 ඔලිම්පික් උළෙල දෙකහිදීම රන් පදක්කම් ලාභී කාල් ලූවිස් නොමැති බැවින් බොහෝ දෙනෙකු ජයග‍්‍රහණය ජොන්සන් සතු වනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් ආරම්භයේ සිට ම දුර්වල තරඟ විලාසයක් දැක්වූ බෙන් ජොන්සන් අවසන් පූර්ව වටයේදී (semi final ) 8 වෙනි ස්තානය ට පත් වෙමින් තරඟාවලියෙන් ඉවත් විය. ඒ හා සමඟම සැවොම ගෙ අවධානය ජොන්සන් ජාත්‍යන්තර පිටියේ නොමැති කාලයේදී ලෝක ශූර කාල් ලූවිස් ට ප‍්‍රබලතම අභියෝග ය එල්ල කල ඇමරිකානු ජාතික ලීරෝයි බූරල් වෙත යොමු විය . (කාල් ලූවිස් විසින් සෝල් ඔලිම්පික් උළෙලේ දී පිහිට වූ 9.92 ක ලෝක වාර්තා ව 1991 දි බිඳ දැමීමට එනම් 9.90 ක කාලයක් වාර්තා කිරීමට බූරල් සමත් වූ නමුත් මාස තුනක් ඉක්මයාමට මත්තෙන් එය 9.86ක කාලයක් වාර්තා කරමින් නැවත බිඳ හෙලීමට කාල් ලූවිස් සමත් විය. 1994 දී එය 9.85 ක් ලෙස අලූත් කරමින් නැවතත් ලෝක වාර්තාව තමන් සතු කරගැනීමට බූරල් සමත් විය)
කරුණු එසේ වුවත් මෙය ක‍්‍රිස්ටිගේ දක්ෂතා උපරිම වූ වකවානුවක් විය. අර්ධ අවසන් පූර්ව වටයේදී (quarter final) දි ක‍්‍රිස්ටි , බූරල් ව පැරදවීමට සමත් වුවද අවසන් පූර්ව වටයේදී (semi final ) ක‍්‍රිස්ටි ව අභිබවා යාමට බූරල් සමත් විය.
නමුත් අවසන් මහා තරගයේදී සියල්ලන් මවිතයට පත් කරමින් ක‍්‍රිස්ටි තම දිවියේ පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා ගන්නේ එම ඉසව්ව තත්පර 9.96කින් එම අවසන් කරමිනි. ඒ එවන් දස්කමක් සිදුකළ තෙවැනි බි‍්‍රතාන්‍ය ජාතිකයා වීමේ භාග්‍යය ද උදා කරගනිමිනි. බූරල් ට හිමිවන්නේ 5 වන ස්තානය යි.
මෙම පරිච්ෙඡ්දයට තවත් සුවිශේෂී ක‍්‍රීඩකයෙක් බාසිලෝනා අවසන් මහා තරගයේදීයි එකතු වෙයි. අප‍්‍රිකාවේ ඉපිද මීටර 100 ඉසව්ව සඳහා නැම්බියාව නියෝජනය කළ ආගන්තුක ධාවකයෙක් ගැනද එවකදී පේ‍්‍රක්ෂකයා උත්සුක වන්නට විය. යන්තම් 25 විය පසුකළ ඔහු නමින් , ෆ‍්‍රෑන්කි ෆෙඞ්රික්ස් විය. එම තරග ඉසව්වේදී බාසිලෝනා ඔලිම්පික් උළෙල ෆෙඞ්රික්, අප‍්‍රිකාවට සේම නැමීබියාවටද අමතක නොවන එකක් කළේ ඉතිහාසයේ පළමු වරට නැමීබියාවට ඔලිම්පික් පදක්කමක් හිමිකර දෙමිනි. ක‍්‍රිස්ටි ට පමණක් දෙවෙනි වෙමින් 100mරිදී පදක්කම ලැබීමෙන් අනතුරුව 200mඉසව්වේද රිදී පදක්කම දිනා ගන්නා මෙම හුදකලා නැමීබියානුවා කැනේඩියානු සහ බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයට දිගින් දිගටම වසර ගණනක් පුරාවට අභියෝග කරන්නට සමත්විය.
1993 වසරේදී නැවතත් මීටර 100 ඉසව්ව ජයගනිමින් ලෝක ශූරයා බවට පත්වන්නට ලින්ෆර්ඞ් ක‍්‍රිස්ටි සමත් වූ අතර එම උළෙලේ මීටර 200 රන් පදක්කම දිනා ගන්නේ ෆ‍්‍රෑන්කි ෆෙඞ්රික්ස් විසිනි. ඒ අනුව ෆෙඞ්රික්ස් ලෝක ශූරතා ක‍්‍රීඩා උළෙලක රන් පදක්කමක් දිනා එවන් දස්කමක් සිදුකළ පළමු නැමිබියානු ජාතිකයා බවට ඉතිහාසයට එක්විය. 1995 වසරේදී ස්වීඩනයේ පැවති ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවේදී තවත් කැනේඩියානු ක‍්‍රීඩකයෙක් බෙන් ජොන්සන්ගේ උරුමය ඉදිරියට ගෙන යන්නට ඉදිරිපත් විය. නමින් ඔහු ඩොනවන් බේලි විය. කැනඩාවට හුරු පුරුදු මීටර 100 ඉසව්වේ රන් පදක්කම බේලි නැවතත් කැනඩාවට දිනා දුන්නේ එම ක‍්‍රීඩා උළෙලේ මීටර 100 x 4 සහය දිවීමේ රන් පදක්කමද කැනඩාවට උරුම කරදෙමිනි.








ඉන් අනතුරුව එළැඹෙන්නේ කාල් ලූවිස් ලා, බෙන් ජොන්සන් ලාගේ යුගයෙන් අනතුරුව පැවති තරගකාරීම ක‍්‍රීඩා උළෙලයි. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙල සඳහා ඉහත කී රටවල් ත‍්‍රිත්වයේම, එනම් බි‍්‍රතාන්‍ය, කැනඩාව සහ නැමීබියාව නියෝජනය කළ ක‍්‍රීඩකයින් එක්ව සටන් වැදීමට නියමිතව තිබුණි. එවක ඔලිම්පික් ශූරයා වූ ක‍්‍රිස්ටි, නැමිබියානු ශූරයා වූ ෆෙඞ්රික් සහ කැනේඩියානු අභියෝගය වූ බේලි එකම තරගයක තරග වැදීමට නියමිත විය. එයට අමතරව ඇමරිකානු ආධිපත්‍යය ඒ වනවිටද මුලූමනින් පහව ගොස් නොතිබුනු අතර ඇමරිකාව නියෝජනය කරමින් ඩෙනිස් මිචෙල් හා මයිකල් මාශ් අවසන් තරඟයට සුදුසුකම් ලැබූ අතර ට‍්‍රිනිඩැඞ් හා ටොබැගෝ රාජ්‍යය නියෝජනය කරමින් අටෝ බෝල්ඩන් නම් පෙරලිකාර නව යෞවනයකු අවු කණ්ණාඩි පැලඳමින් තරඟ වදිමින් සිටියේය. මෙය ඉතිහාසයේ තරඟාකාරීත්වයේ උච්චතම අවසන් තරඟ ය බව පැහැදිලි ය. සියල්ලෝම ලින්ෆර්ඞ් ක‍්‍රිස්ටි වෙත අවධානය යොමු කළද සෙසු අභියෝගයන්ද සුළුපටු නොවන බැව් ක‍්‍රිස්ටි දැන සිටියේය. ඒ නිසාම එම අවසන් මහා තරගය කිසිවෙකුට අමතක නොවෙන එකක් විය. පීඩනයේ තරම කොතෙක්ද යත් එවක ඔලිම්පික් ශූර ක‍්‍රිස්ටිට එම තරග ආරම්භයටත් පෙරම ක‍්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදුවන්නේ වැරදි ආරම්භ 2ක් සමගින් දණ්ඩනයට වරදකරුවා වෙමිනි. කෙසේවෙතත් වැරදි ආරම්භයන් ත‍්‍රිත්වයක් සහිතව හතරවෙනි වෙඩිල්ලෙන් ඉසව්ව ආරම්භ වූයේ එවක පැවති උණුසුම් ම තරග ඉසව්ව මෙය බවට නැවත නැවතත් ලෝක මලල ක‍්‍රීඩාවටම පසක් කරමිනි. ඇසිල්ලකින් අවසන් වුණු එම තරග ඉසව්ව නව ලෝක ශූරයෙකු ඔලිම්පික් පථයට හඳුන්වා දුන්නේය. ඒ නව ලෝක වාර්තාවක් සමගින් (9.84* ඔලිම්පික් පිටියට ගිලිහී ගිය බෙන් ජොන්සන්ගේ කෙටිදුර ආධිපත්‍ය ඩොනවන් බේලිගේ උරමතින් නැවත කැනඩාවට දිනා දෙමිනි. එම ඉසව්වේ රිදී පදක්කම නැමීබියාවේ ෆ‍්‍රෑන්කි ෆෙඞ්රික්ස් දිනා ගත් අතර පෙරලිකාර යෞවනයා අටෝ බෝල්ඩන් 3 වැනි ස්තානය ට පත් විය. එම තරග ඉසව්වත් සමගින් දශකයකට ආසන්න කාලයක් පුරා කැනේඩියානු ආධිපත්‍යය සමග පොර බැදි තවත් බි‍්‍රතාන්‍ය ජාතික කාලවර්ණයෙකුගේ ඔලිම්පික් දිවිය අවසන් විය. පරාජිතයෙකු ලෙසින් සිත් තැවුලින් තම අවසන් ඔලිම්පික් උළෙලට සමුදුන් ක‍්‍රිස්ටිට ඇට්ලන්ටා හි සෙන්ටෙනියල් ධාවන පථය ම එකම අත් පොළසන් හඬින් සමුදුන්හ.





1996 බාසිලෝනා ඔලිම්පික් උලෙළේ 200m රන් පදක්කම ලෝක වාර්තාවක් තබමින් ඇමරිකානු ජාතික මයිකල් ජොන්සන් විසින් ජයග‍්‍රහණය කරද්දි එහි රිදී සහ ලෝකඩ පදක්කම් දෙක ද පිලිවෙලින් ෆෙඩ‍්‍රිරික්ස් සහ බෝල්ඩන් විසින් ම ජයග‍්‍රහණය කරනු ලබයි.
මෙය මයිකල් ජොන්සන් නම් විශිෂ්ටතමයා ලොව රැුව් පිලිරැුව් දුන් යුගය විය. ඔහු 1996 ඔලිම්පික් උලෙළේ දී 200 m ඉසව්වේ ලෝක වාර්තාව ලෙස සනිටුහන් කල කාළය තත්පර 19.32 වන බැවින් ලෝකයේ වේගවත්ම මිනිසා ජොන්සන් ද බේලි ද යන්න පිලිබඳ සැකයක් ඇතිවිය. එය දුරුකිරීම ට 150m ක සුවිශේෂී තරඟයක් 1997 දී සංවිධානය විය. තරඟ ය ආරම්භ යේදී ම ඩොනවන් බේලි ඉතා පහසුවෙන් ඉදිරියට ඇඳුනු අතර තරඟය අතර තුරදී ආබාධය ක විලාසයක් දක්වමින් ජොන්සන් තරඟයෙන් ඉවත්වූයේ බේලි ට ජයග‍්‍රහණය හිමි කර දෙමිනි.
බෝල්ට් පෙර මීටර 100 අධිපත්‍යයේ නව සහස‍්‍රයට පා තබන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට ජැමෙයිකානු උරුමක්කාරයන් වැට බඳින අවධියකදීය. එම උරුමක්කාරයින් උරෙනුර ගැටුණු සැටි මීළඟ පරිච්ෙඡ්දයෙන්...

දහයයි විසිඅට 


තිරය මත නැවත සිදු වූ කේදාර්නාත් ඛේදවාචකය

ලොවක් Covid-19 වසංගතයට හසුව දිවි ගෙවන අතරතුර මේ කියන්න යන්නේ ඉන්දියාවට
ඉතා බරපතල ලෙස බලපෑ 2013 මහා ගංවතුර තත්වය පිලිබඳව ය.. ඉන් බරපතලම හානි සිදුවූ ප‍්‍රදේශය ලෙස හඳුන්වන්නේ කෙදාර්නාතය ය. මේ කතාව ඒ කෙදාර්නාතය ගැන ය. ඒ ව්‍යසනය ගැන ය. කේදාර්නාතය සහ එම ව්‍යසනය සිනමාවට සම්බන්ධ වන අපූරු මං සන්ධියක් ගැන ය.


කේදාර්නාතය හින්දු භක්තිකයින් අතර ගෞරවාදරයට ලක්වූ පූජනීය භුමියක් ලෙස සැලකෙන්නේ ය. එමෙන්ම ශිව දෙවියන් වෙනුවෙන් තැනූ පූජනීයම සාම්ප‍්‍රදායික දෙවොල් දුසිමෙන් එකක් ලෙස ද සැලකෙන්නේ ය. ඒ දෙවොල් දොලොසින් ඉහලම පිහිටීමක ස්ථානගත වන්නේ මේ කෙදාර්නාතයයි. අප රට ආසන්නයේ ද එකී දෙවොල් දුසිමෙන් එකක් පිහිටා ඇත. ඒ අනෙකක් නොව, තලයිමන්නාරම ට කිලෝමීටර් 30 ක 35 ක පමණ දුරින් වූ රාමේෂ්වරම් දේවාලය යි.

කේදාර්නාතය ඉන්දියාවේ ඉහල කොනේ හිමාලය ආශ‍්‍රිතව පිහිටා ඇත. එය උත්තර්කණ්ඞ් ප‍්‍රාන්තයේ රුඩ‍්‍රාප‍්‍රයාග් දිස්ත‍්‍රික්කයට අයත් ස්ථානයකි. හිමාලයේ ගර්වාල් කඳු වැටිය ආශ‍්‍රිතව ඇති මේ බිම මතින් අපූරුවට ගලා යන ගංගාවක් ඇත. එය නමින් මන්දාකිණී ගංගාව ය. එතරම් සුන්දර මන්දාකිණිය කෙදිනෙක හෝ කේදාර්නාතය ආශ‍්‍රිත රම්බාඩා, ගෞරිකණ්ඞ් ආදී ප‍්‍රදේශවල වැසියන්ට අසුන්දරතම අත්දැකීමක් ලබා දේ යැයි කිසිවෙකු නොසිතන්නට ඇත.

ගෞරිකණ්ඞ් යනු කේදාර්නාත් ගිරියේ පාමුල යැයි කිව හැකිය. වන්දනාකරුවන් පේවී වන්දනාව පටන් ගන්නේ මෙතැන් සිට ය. කෙදාර්නාත් පුදබිම පිහිටන්නේ ගෞරිකණ්ඞ් සිට කිලෝමීටර විසිදෙකක කඳු තරණ දුරකිනි. ලංකාවේ අපිට ශ‍්‍රී පාදය සේ ඔවුනට කෙදාර්නාතයනම්, මේ ගෞරිකණ්ඞ් යනු නල්ලතන්නියයි. ගෞරිකණ්ඞ් සිට කි.මි 22 නැතහොත් සැතපුම් 14 ක් දුරැුති කෙදාර්නාතයට යන මගදී හරි මැද මුණගැසෙන සුන්දර ජනාවාස ප‍්‍රදේශය රම්බාඩා ය. වන්දනාකරුවන් වෙහෙස නිවාගන්නා ප‍්‍රධාන නැවතුම්පොල එය ය.

එරට වැසියන් විස්වාස කරන ආකාරයට කේදාර්නාත් පුදබිම නිර්මාණය වන්නේ මහා භාරතයේ එන පංච පාණ්ඩවයන් විසිනි.
මෙහි වන්දනාමානයන් සිද්ධ වෙන ආකාරය ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රී පාදය හා සමාන ය. ශ‍්‍රී පාදය විවෘත වන්නේ දෙසැම්බරයේ සිට මැයි දක්වා පමණි. කෙදාර්නාතය අපේ‍්‍රල් සිට නොවැම්බර් දක්වා පමණක් වන්දනාවට විවෘත ය. කාලගුණ හැසිරීම අනුව ඒ ඒ කාලවල හැර අන් කාලවල වන්දනාමාන කිරීම භයානක ය. ශ‍්‍රී පාදයේ සිරි පතුල හැරුණුකොට වන්දනාමාන කරන ධාතු කරඬුව අදාල වන්දනා කාල සීමාව අවසන් වූ පසු දෙල්ගමුව රජමහාවිහාරයට රැුගෙන එන්නේ යම් සේ ද, කෙදාර්නාතයේ වන්දනාමාන කරන පිලිමය උත්තර්කණ්ඞ් ප‍්‍රාන්තයේම උඛිමත් ප‍්‍රදේශයට රැුගෙන එනු ලබන්නේ ද එසේ ය. දෙසැම්බර් සිට මාර්තු දක්වා ඊට වන්දනාමාන කිරීම සිදුවන්නේ එහි සිට ය.

2013 ගංවතුර ව්‍යසනය හේතුවෙන් 197 ක් දෙනා මිය යද්දී, 236 ක් ආබාධිත වද්දී, 4021 දෙනෙක් අතුරුදහන් විය. ඉහල කඳුවැටියෙන් පෙරැුලී ආ විශාල ගල් පර්වතයක් දේවාලය පිටුපස ස්ථානගත වීම හේතුවෙන් දේවාලයට සිදුවූ හානිය පැති බිත්තියක සිදුවූ ඉරි තැලීමකට පමණක් සීමා විය.

1912 දී සිදුවූ ටයිටැනික් ඛේදවාචකය සහ ඒ සිද්ධිය වටා චරිත උපදවමින් නිමැවු ඔසඒබසජ (1997* චිත‍්‍රපටය ඔබට මතක ඇතුවාට සැක නැත. කේදාර්නාත් ව්‍යසනය ද අපූරු චරිත කිහිපයක් සමග නැවත ජීවය ලබන්නේ 2018 දී බොලිවුඩයේ නවක අධ්‍යක්ෂක අභිෂේක් කපූර් අතින් ය. ‘ජජ්මෙන්ටල් හේ ක්‍යා’ සහ ‘මන්මර්සියාන්’ වැනි විශිෂ්ට සිනමා නිර්මාණවල චරිත තම පෑන ඔස්සේ ඉපැද්¥ කනිකා ඩිලෝන් තම හුරු පුරුදු කර්තව්‍යය මෙහි ද මනාව සිදු කර ඇත. ඇගේ චිත‍්‍රපටවල විශේෂත්වය නම්, ඒවායේ ප‍්‍රබල කාන්තා චරිත එකක් හෝ අඩංගු ය. මන්මර්සියාන් හි රූමි, සහ ජජ්මෙන්ටල් හේ ක්‍යා හි බොබී ඊට උදාහරණය. කේදාර්නාත් හරහා ඈ ජීවය දෙන විශේෂ කාන්තා චරිතය නම් මන්දාකිණී ය. කෙදාර්නාතයට නපුරු වූ ගංගාවේ නම ම ඈට ද යෙදීමට ඔවුන් පියවර ගෙන ඇත. ඒ චරිතයේ උපතත් සමගම ජනප‍්‍රිය නළු සයිෆ් අලි ඛාන්ගේ දියණිය, සාරා අලි ඛාන් ගේ සිනමා ගමනේ උප්පත්තියද සිදු විය.

යනවනම් නගින්න,
”රම්බාඩා හරහා කේදාර්නාත්”

”ජල කඳකි, ජල කෙ`දන් බේරී අමාරුවෙන් මෙන් දරා සිටින අතු රිකිලි ගොමුවකි. එහි පැටලූනු රෙදි කඩකි. රෙදි කඬේ එතුනු ජංගම දුරකථනයකි. ඊට එන ඇමතුමකි. තිරයේ සටහන්ව ඇත්තේ ”අම්මා” ය. අකුරු තුනකි. ආත්මයකි.”

ඉන් එහා ස්පොයිලර නැත. එන්න, යමු මා එක්ක කේදර්නාතයට.
කේදාර්නාත් යනු හිම ගිරෙන් පැනනගින හිම පැහැති ජල ධාරාවන් දෙකකින් වට වූ රම්බාඩා නම් සුන්දර ග‍්‍රාමය ගැන මෙන්ම මන්දාකිණී ගංගාව සහ මන්දාකිණී යුවතිය ගැන ද කතාවකි.
චිත‍්‍රපටයේ තේමාව ම ආකර්ෂණීය ය. ඊට පරිසරයේ සුන්දරත්වයද මහා රුකුලකි. චිත‍්‍රපටයේ මුල් භාගය මද පවනක් මෙන් සෞම්‍ය වන්නේ එනිසාය.

අධ්‍යක්ෂක අභිෂේක් කපූර් ඉහල නිර්මාණයක් දායාද කර ඇත. චරිත හැසිරවීම දෙස බැලීමෙන් ම එය තහවුරු වේ. සුශාන්ත් සිං රාජ්පුත් ගේ රංගනය විශිෂ්ඨ ය. සැවොම ප‍්‍රිය කරන මනරම් මදහසක් ඇති මේ තරුණයා තුල හොඳ රංගධරයෙක් නිදා සිටී. ඔහු ක‍්‍රමයෙන් අවදිවෙමින් පවතින බව ට මේ සාක්ෂි ය. ආධුනික සාරා අලි ඛාන්ගෙන් ගෙන ඇති ප‍්‍රයෝජනය ද ඉහළ ය. ඇය අනගි රංගනයක යෙදේ. කැමරාව ට කිසිඳු ආධුනික බවක් ඇය පෙන්වන්නේම නැත.
සිත්ගන්නා සුලූ සංස්කෘතියක් අස්සේ සිතට ඉහිලූම් නොදෙන ආගම්වාද, ජාතිවාද අස්සේ ද සැම කුණු අතුගාගනිමින් කෙදාර්නාත් සිනමා ගංගාව අස්සක් මුල්ලක් නෑර ගලන්නේ ය.
දක්ෂ කැමරා ශිල්පියෙකුට මෙවන් පරිසරයක් මනා ආශීර්වාදයකි. මෙහි කැමරාව හැසිරී ඇති ආකාරයෙන් එය සනාථ වේ. ඊළඟ මල් මිට කලා අධ්‍යක්ෂකට ය.

චිත‍්‍රපටයට මනා සංගීතයක් එක් කර ඇත්තේ ්බාය්ාමබ සහ ඵ්බප්ර‘සහ්්බ වැනි චිත‍්‍රපටවල සංගීතය නිමැවූ අමිත් ත‍්‍රිවේදි ය. හිමාලය ආශ‍්‍රිත උත්තර ඉන්දියාවට ලතා මංගේශ්කාර් ගයන ‘ලග් ජා ගලේ’ නම් ආදරණීය ගීතය නැතිවම බැරි පාටය. කේදාර්නාත්හි ද අපට ඇසෙන ආදරයේ පසුබිම් ගීතය එයයි.
මා හට නම් ඇසට, සිතට හසුවන අඩුපාඩු ඇත්තේම නැති තරම් ය. යම් තැනක දෙකක වූ අභව්‍ය දෘශ්‍ය ප‍්‍රයෝග ඇරෙන්නට චිත‍්‍රපටය ඉතා හොඳ ය.

සෞම්‍යව ගලා යන කතාව එක්වරම රුදුරු වන්නේ ය. එතැන් සිට කරලියට එන්නේ කේදාර්නාතයේදී 2013 සිදුවූ ඛේදවාචකය ය. ඉන් එහාට මම ඔබට භාර කරමි. කුතුහලය යනු ජීවිතයට අවශ්‍ය ම දෙයකි. එනිසා ඉතිරිය ඔබම දෑසින් දැකබලා ගත යුතු ය.
ජැක් - රෝස් මෙන් මන්දාකිනී - මන්සූර් ලෝක ප‍්‍රසිද්ධ නොවනු ඇත. නමුත් හීන් හිරිපොදයක් සහිත මොහොතක හීතලේ ගුලිගැසී බැලිය හැකි හෘදයාංගම නිර්මාණයක් ලෙස මෙය ඔබට නිර්දේශ කරමි.